ගොඩක් අය කැමැති මං කතා කරන ස්ටයිල් එකට

තිළිණි පූර්ණිමා කුලසිරි
සැප්තැම්බර් 12, 2019

 එෆ්. එම්. ලෝකයේ බොහෝ නිවේදක නිවේදිකාවන්ට අනවර්ථ නාම තිබේ. ඒ ඔවුන්ව හඳුනා ගැනීමට පහසුවීමටය. සැබෑ ජීවිතයේ තිළිණි පූර්ණිමා කුලසිරි ද එම පරපුර නියෝජනය කරන නිවේදිකාවකි. ඇයට අනවර්ථ නාමයක් ඇත. ඒ කොච්චි යනුවෙනි. කොච්චි සේම තිළිණිගේ හඬ සැරට දැනෙන නිසා ඇයට එම අනවර්ථ නම පටබැඳ තිබෙන්නේ අරවින්ද ලොකුගේ හෙවත් අරාය. වත්මනෙහි කොච්චි සියත නාළිකාවේ සේවය කරයි. ඇය කොච්චි බවට පත් වූයේ ද සියතට ආගමනය වූ පසුවයි.

ඇය එහි වැඩ සටහන් කළමනාකාරිනියක ලෙසට ද කටයුතු කරයි.

කොහොමද කොච්චි?

කොච්චි හොඳ ද කියලද ඇහැව්වෙ, මට කොහොමද කියල ද ඇහැව්වේ?

ඔබට කොහොමද කියලා?

හොඳයි හොඳයි. මේ පේන්නේ නැද්ද බොහොම හොඳින් සතුටින් ජීවත් වෙනවා.

ඔබ ඉදිරිපත් කරන වැඩසටහන?

හොට් ඇන්ඩ් ස්පයිසි විත් කොච්චි. සියත එෆ්. එම්. එකේ සතියේ දවස්වල සවස දෙකයි පහයි අතර තමා ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ.

ඔබට හොඳ ෆෑන් බේස් එකක් ඉන්නවා වගේ?

ඔව්. මට ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. මට වැඩසටහන අතරතුරදී ප්‍රමාණයක් නැතුව කෝල්ස් එනවා. කටහඬ ලස්සනයි කියනවා. මං හිතන්නේ ගොඩක් අය ආස මං කතා කරන ස්ටයිල් එකට.

ඔබ ඕනෑවට වඩා ළෙංගතුව කතා කරනවා කියලා හිතෙන්නේ නැත්ද?

එයාලා අපේ ලිස්නස්ලනෙ. එයාලට ළෙංගතු වෙන්නේ නැතුව කාට ළෙංගතු වෙන්නද. මං සමහර වෙලාවට සුදු, පැටියෝ, පණ වගේ වචනවලිනුත් ඔවුන් අමතනවා. මං දන්නවා මගේ ෆෑන්ස්ලා මාව වරදවා තේරුම් ගන්නේ නැහැ කියලා. සමහරු මට ෆේස්බුක් පණිවුඩ එවනවා. ඒවටත් මං පුළුවන් සෑම අවස්ථාවකදීම රිප්ලයි යවනවා. අසන්නන් තරහා කරගන්න බැහැනෙ. යාළුවෙක් වගේ සමීපව මං කතා කරන්න උත්සාහ ගන්නේ ඒකයි.

ඔබ කාලයක් ප්‍රවෘත්ති කිව්වා නේද?

සෑම අංශයකම වැඩසටහන් කරලා තියෙනවා. මාධ්‍ය ජීවිතයට දැන් අවුරුදු විස්සක් විතර ඇති. ඒ අතරේ ප්‍රවෘත්තිත් කිව්වා. ඒ වගේ වෙලාවල්වලදි වරදිනවා. ඒත් ඒක ගැන හිතන්නෙ නැතුව දිගටම ප්‍රවෘත්ති කිව්වා.

ඔබගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ කොහොමද?

පුංචිම කාලේ ළහිරු මඬල, මුතුහර වගේ වැඩ සටහන් කළා. දෙදහස් අට වසරේ රන් ගුවන් විදුලියට සම්බන්ධවීමෙනුයි මගේ ගුවන් විදුලි ජීවිතය අරඹන්නේ. ඒකෙ අවුරුදු හතරක් ඉඳලා ෂා එකට ගියා. එතැනින් වයි එෆ් එම්. ඊට පස්සේ හිරු. හිරු නාළිකාවෙන් පසුව මං මාධ්‍ය ලෝකයෙන් ඉවත් වෙලා හිටියා කාලයක්. අරවින්ද ලොකුගේ ගේ ආරාධනයෙන් තමයි මං යළි සියතට ඇවිත් මාධ්‍ය ජීවිතය අරඹන්නේ. අරවින්ද අයියා තමයි මට කොච්චි කියන නමත් තියන්නේ.

ඔබ ආසද කොච්චි නමට?

ඔව්. මිනිස්සු මාව දැන් හඳුනාගන්නේ ඒ නමින් තමයි. කටටත් ලෙහෙසි පහසු මතක හිටින නමක්නෙ.

කොච්චිගේ පෞද්ගලික ජීවිතයේ විස්තර මොනවද?

මගේ ගම ගම්පහ. ඉගෙන ගත්තේ ගම්පහ යශෝධරා විදුහලෙන්. මං තවම අවිවාහකයි. ඉපදුණේ අසූ නවයේ ජුලි දහතුන.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මට අත හිත දුන් වසන්ත කරුණාරත්න සහ අරවින්ද ලොකුගේ කියන මහත්වරුන්ව මතක් කරන්න කැමැතියි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.