උපන්දිනයට පාටි දානවට වඩා නැති බැරි අයට පිහිට වෙන්න කැමැතියි

විශ්ව කොඩිකාර
සැප්තැම්බර් 12, 2019

අහස් මාළිඟා ටෙලි නාට්‍යයේ සුරාජ් දැන් ටික දවසක ඉඳලා අහස් මාළිගාවට එන්නේ නැහැ. එකපාරටම රට යනවා කියලා අතුරුදන් වුණු ඔහුට මොකද වුණේ? ඒ ගැන බලන්නත් එක්ක මම පසුගිය දිනෙක සුරාජ්ව සොයාගෙන ඔහුගේ දෙල්කඳ පිහිටි කැදැල්ලට ගියෙමි. නිවෙස වසාගත් කළු පැහැති විසල් ගේට්ටුව සෙමෙන් විවෘත වන අතරේ මා ඉදිරියට දුවගෙන ආවේ චූටි දියණියකි. ඈ එක්කම පැමිණියේ එරන්දි අනුරාධාය. ඈ අතේම එල්ලිලා තවත් පොඩි පුතකු සිටියා. කෝලබවෙන් එරන්දිගේ ඇඟට මුවා වුණු මේ චූටි පුතාව වඩාගෙන එරන්දි යළිත් ගේට්ටුව වැසුවේ ගෙට යන්න ආරාධනා කරන ගමන් ය.

ඒත් සුරාජ් පේන්න හිටියේ නැහැ.

“ඇත්තටම සුරාජ් විදේශ ගත වෙලා ද?”

මගේ හිතෙත් එහෙම අදහසක් ඇති නොවුණාම නොවෙයි. ඒත් ඒ අදහසට ඉඩක් නොතබාම ඔහුගේ රුව මතු විය.

“ඒ කියන්නේ සුරාජ් නොහොත් විශ්ව කොඩිකාර විදේශ ගත වෙලා කියන්නේ බොරුවක්.”

“මේ දවස්වල පවුලේ අයත් සමඟ කාලය ගත කරනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම්වල මුල් අදියර අවසන් වුණා. ‘අහස් මාළිගා ටෙලි නාට්‍යය දීර්ඝව යන්නයි පසුගිය දවස්වල කතාබහ කෙරුණේ. ඒ නිර්මාණය තවත් වසර 18ක් පමණ ඉදිරියට විකාශය වෙනවා. මම සිටින මේ කාලයේ විදියට එහෙම වුණොත් ඒ චරිතය මට නොගැළපෙන නිසා නිෂ්පාදකතුමා සමඟ සුහදව කතා කරලා ඒ චරිතයෙන් වෙන්වුණා. එවිටයි නිෂ්පාදකතුමා පැවැසුවේ මේක ඉදිරියට කරගෙන යන එක අපහසු නිසා ඔයා රට යන විදියට ඒ දර්ශන කිහිපය නිර්මාණය කරන්නම් කියලා. ඒත් සමඟම යළිත් නාට්‍යයට පැමිණෙන්න කැමැත්තක් තිබෙනවා නම් කියන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන්නත් හැකි බවයි ඔහු පැවැසුවේ. මම ඔවුන් සමඟ වසර දෙක හමාරක් පමණ එක්ව කටයුතු කළා. යළිත් මට රඟපාන්න ලැබුණේ වසර දහඅටකට පස්සේ දහ අටක තරම් වයසේ දරුවන් සිටින තාත්තාගේ චරිතය. මේ නිසා මේ වෙලාවේ රඟපාන්නේ ප්‍රධාන චරිත පමණක් නිසා හා මේ මොහොතේ එවැනි චරිත රඟපෑම හොඳ නැති නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව මා වෙන්වුණා.”

‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ සිටි විශ්ව විදේශ ගත වූයේ එලෙස ය. විශ්ව එක්වරම මෙවැනි චරිතයක් ප්‍රතික්ෂේප කළේ මන්දැයි රූපවාහිනි නරඹන්නන්ගේ හදවතෙහි ප්‍රශ්නයක් පැන නැඟිය හැකිය. ඔහු අභියෝග මඟ හැර යන්නෙක් ද? වැනි ප්‍රශ්නයක් මගේ සිතේ වුවද පැන නැඟීම වැළැක්විය නොහැකිය.

“මට ලැබුණේ අභියෝගාත්මක චරිතයක්. රඟපාන චරිතයට වඩා වෙනස් වූ චරිතයක් රඟපෑමට ලැබෙනවා නම් ඒක නළුවකුට ලැබෙන බොහොම හොඳ අවස්ථාවක්. ඒත් මේ වෙලාවේ මා තාත්තාගේ චරිත කළොත් මට ලැබෙන්නේ තාත්තගේ චරිතමයි. හදිස්සියේ මම කොමඩි චරිතයක් කළොත් දිගටම මට ලැබෙන්නේ කොමඩි චරිත. දිගටම විලන්ගේ චරිතය කළොත් දිගටම විලන්. හීරෝගේ චරිතය රඟපෑවොත් දිගටම හීරෝ. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නම් මා දන්නේ නැහැ. ඒත් කවදහරි මා තරුණ රංගන ශිල්පිනියකගේ තාත්තාගේ චරිතය රඟපානවා. දැන්ම නොවෙයි. ඒ චරිතය රඟපාන්න යම් කාලයක් පැමිණේවි. ඒ කාලය උදා වුණාට පස්සේ ඒ චරිතය මා රඟපානවා. මේ කාලයේ මා එවැනි චරිත රඟපාන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ හීරෝගේ චරිතය රඟපාන හින්දා.”

මේ වන විට පුංචි තිරයේ ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පොවන විශ්ව කොඩිකාර නම් තරුණයා ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් ඉවත්ව කාලයක් ගත වුවද ඔහුට ආදරය කරන රසික රසිකාවන්ගෙන් නම් බේරුමක් නැත. ඒ සුරාජ්ගේ චරිතයට කුමක් වූයේ දැයි ඔවුන් විමසන නිසාවෙනි. එපමණක් නොවේ ඔහු පුංචි තිරයට පැමිණ ජනප්‍රිය වූ ‘පබළු’ නාට්‍යය ද ඔවුන්ට තවමත් මතකය.

“මගේ පාසල වුණු මහනුවර ධර්මරාජ විද්‍යාලයට මේ ළඟදි ගියා. එහේ ගිය වෙලාවෙත් මට ඔවුන් පැවසුවේ අපි ඔයාගේ ‘පබළු’, ‘අමා’ කියන ටෙලි නාට්‍ය නැරැඹුව බවයි. ඒ නාට්‍යයේ තිබුණු කාර් එකේ පාටත් ඔවුන්ට තවම මතකයි. ඔවුන් පැවැසුවේ කොළපාට කාර් එක තිබුණු නාට්‍යය නැරැඹුව බවයි.”

විශ්ව පළමුවෙන්ම පාසල් ගියේ ළමයින් කිහිප දෙනකු සිටි ගොඩමුන්න මහා විද්‍යාලයට ය. ඒ හතර පන්තිය දක්වා ය. ඉන්පසුවය ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයට පිවිසෙන්නේ.

“කොහොම වුණත් මා රඟපෑ පළමු ටෙලි නාට්‍යයත් රසිකයන්ට මතකයි කියන්නේ මට බොහොම සතුටක් ගෙනෙන කාරණයක්. මම මේ නාට්‍යයෙනුත් ඉවත් වුණේ මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන නොවෙයි. ඔවුන් ආරම්භ කරන අනෙක් නිර්මාණයටත් මට කතා කරලයි තිබෙන්නේ. මෙතෙක් නිර්මාණවල මා කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඉවත් වෙලා නැහැ. හැමෝමත් සමඟම සහයෝගයෙන් වැඩ කළා. ඒ නිසා මට ක්ෂේත්‍ර යේ තරහාකාරයන් නැහැ.”

‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යය නිසා විශ්වට අලුත් අත්දැකීමකටත් මුහුණදීමට සිදු විය. ඒ ඔහු ඒ වන විටත් සිටියේ ත්‍රී රෝද රථ පැදවීමට දැනගෙන නොවේ. එහෙත් මේ නාට්‍යයේදී ඔහුට එය පැදවීමට ඉගෙන ගැනීමට ම සිදු විය.

“මුලින්ම මා ත්‍රී රෝද රථයක් ඇල්ලුවේ ‘ගුරු ගීතය කියන ටෙලි නාට්‍ය යේදියි. ඒත් එහිදි ඔවුන්ගේ උපදෙස් පිට ෆස්ට් එකට දාලා වීල් එකට යන්න ඇරියා විතරයි. ඒත් මේ චරිතය එහෙම නොවෙයි. වීල් එකක් පදින තරුණයෙකුයි සුරාජ් කියන්නේ. මම බොහොම කැමැත්තෙන් රඟපෑ චරිතයක්. අන්තිමේදි වීල් පදින්න බැරිව සිටි මට මේ වන විට හොඳට වීල් පදින්න පුළුවන්. එහෙම වුණේ නාට්‍යයේ රූගත කිරීම්වලට එන කොට එහි වීල් එකක් තිබුණා. ඒ වීල් එකෙනුයි මා පුරුදු වුණේ. මොකද මේ චරිතයට බොරුවක් කරන්න බැහැ. ඒ පුරුදු වීමත් එක්ක මා වසර දෙකක් වීල් පැද්දා. මේ හැමදෙයකටම සහය දුන් මේ ටෙලි නාට්‍ය යේ පළමු අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර, දෙවැනි අධ්‍යක්ෂ සමීර හසුන්, නිෂ්පාදක ප්‍රභාත් රෝෂන්, මා සමඟ රඟපෑ උදාරි වර්ණකුල ඇතුළු සියලු නළු නිළියන්ට, අපේ ඒ කණ්ඩායමට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. නාට්‍යයේ අලුත් කණ්ඩාමටත් සුබ පතනවා.”

ඒ සුබ පැතීමත් සමඟ විශ්ව මේ දිනවල නිවෙසේ සිටින්නේ විවේක සුවයෙන් බව හැඟෙයි.

“මොන විවේක සුවයක් ද? පොඩි විවේකයක් ලැබුණත් පසුගිය දිනවල ඒ විවේකය ලැබුණු දිනයට පසු වැනිදා මට ඉස්කෝලේට යන්න වුණා. ඒ මම ධර්මරාජෙට යන කාලයේ තූර්යවාදක කණ්ඩායමේ 2004 වසරේ සාජන් නිලය දැරුවා. ඒ වෙනුවෙන් අප යා යුතුයි. ඔවුන්ව පිටත් කරලා කෑම්ප් එක තියෙන්නේ රන්දෙණිගල. එයට පස්සේ අප එහි යා යුතුයි. එහි යන්න දවස් කිහිපයකට පෙර පවුලේ ම අය එකතු වෙලා නුවර යන්නයි හිතාගෙන ඉන්නේ.”

ඒ ගමනට විශ්වගේ හා එරන්දිගේ මවුපියන්ද එකතු වීමට නියමිත ය. ඒ ගමන ඔවුන් විශේෂ වීමට තවත් හේතුවක් වී ඇත. ඒ විශ්ව කොඩිකාරගේ උපන්දිනය යෙදී තිබෙන්නේ ද අනිද්දා ය. එනම් 14 වැනිදාට ය.

“අපි හැමෝම එකතු වෙලා කතරගම යන්නයි සිතාගෙන ඉන්නේ. කිරි අහර පූජාවකුත් කරලා නැවත උපන්දිනය වෙනුවෙන් විශේෂ කාර්යයක් සූදානම් කළා. සියඹලා ආණ්ඩුවේ දුප්පත් පාසලකට සංගීත භාණ්ඩ කිහිපයක් ලබා දෙන්නයි අදහස් කරගෙන ඉන්නේ. ඒ කටයුත්ත සූදානම් කළේ මගේ තාත්තා හා බිරියගේ තාත්තා, මගේ හොඳම යහළුවන් කිහිපදෙනකුගේ සහයෝගයෙනුයි. හරියටම මගේ උපන්දිනය දවසේ ඒ දේ සිද්ධ වෙන්නෙ.”

විශ්ව උපන්දිනයට සාද පැවැත්වීමට අකැමැති තරුණයෙකි. ඔහු ඒ දවස යොදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ අර්ථවත් දෙයක් සඳහා ය. ඒ නිසාම ඔහු සිය බිරිය ඉල්ලූ පාටියේ අදහස යහපත් කාර්යයකට යෙදෙව්වේය.

“පාටි දාන්නේ නැත්තේ මුදල් වියදම් වන නිසා නොවෙයි. එහෙම නම් පාසල් උපකරණ සඳහා එයට වඩා වියදමක් යනවා. මට නිතරම හිතෙන්නේ අප පාටි දමමින් සතුටු වෙන මොහොතේ කී දෙනෙක් කන්න නැතුව ඉන්නව ද? කී දෙනෙක් අඳීන්න නැතුව දුක් වෙනවාද කියලා. ඒ නිසා මා බිරියට කිව්වා අපි මේ කටයුත්තට මුල් තැන දෙමු. පාටිය දාන මගේ කේක් එකට යන මුදලෙන් ඒ පාසලට ඔයා තාලම් පටවල් දෙකක් අරන් දෙන්න කියලා. ඈ ඒකට බොහොම සතුටින් කැමැත්ත පළ කළා. හැමෝටම අප ආදර්ශයකුයි සැපයිය යුත්තේ.”

මේ අපේ කතාබහ අතර හෙමිහිට අප අතරට පිවිසෙන්නේ විශ්වගේ දියණිය කවින්ද්‍යා ගංගාධරී කොඩිකාරයි. ඈ පැමිණ අපේ කතාබහට කරදරයක් නොවන්න සිය පියාට යමක් රහසෙන් පවසයි. ඒ රහසත් සමඟම දෝණි එතැනින් පිටව යන්නේ මඳ සිනහවක් මුවඟට නඟමිනි.

“දුවට වයස අවුරුදු හතරක් සම්පූර්ණ වූණා. මේ ජූනි 30ට. අගොස්තු 13 වැනිදාට පුතාට අවුරුදු තුනක් සම්පූර්ණ වුණා. දෙන්නාම ටිකක් දඟයි. විශේෂයෙන්ම දුව තමයි වැඩිය දඟ. හොඳට එයාට මොළය තිබෙනවා.”

විශ්ව කොඩිකාරට කුඩා කාලයේ පටන් ලැබුණේ අසීමිත නිදහසකි. ඒ නිදහස සිය දරුවන්ට ලබා දීමට විශ්ව වගේ ම එරන්දිත් සූදානම් ය. දරුවන්ගේ කැමැත්ත ඔවුන්ගේ ද කැමැත්ත ය.

“මම තවම ඉන්න ආසම තැන නුවරයි. පදිංචිය තවම එහේටයි තියෙන්නේ. විවේකයක් ලැබුණු ගමන්ම මා යන්නේ නුවරයි.”

ඔනෙත් දනල් කොඩිකාර පුතු ඒ අතර සිය පියා සොයා එයි. ඔවුන් දෙදෙනාට සීයලා දෙදෙනෙකි. ආච්චිලා දෙදෙනෙකි. ඔවුන්ගේ ආදරය මැද හැඳී වැඩෙන පොඩිත්තන්ගේ දඟකාර බවින් නිවෙසෙ පිරී ඉතිර ගොස් ඇත. මේ අතර එරන්දිත් පැමිණ අපේ කතාබහට එකතු වෙයි.

“මම බබාලා දෙන්න බලාගෙන, විශ්වගේත් කටයුතුවලට සහයෝගය දක්වමින් කාලය ගත කරනවා. රැකියාවක් කරන්නේ නැහැ. ඒත් නිවෙසේ ඉදන් කරගෙන යන්න පුළුවන් විදියට ඉවෙන්ට් ප්ලෑනින් කරගෙන යනවා. ළමයිගේ කටයුතු කරන අතරතුරයි මේ කටයුතු මා කරන්නේ. ජීවිතය සතුටින් ගත වෙනවා.”

එරන්දි උපාධිධාරිනියකි. ඇගේ කටයුතුවලට මවගෙන් ලැබෙන සහයෝගය අපමණ ය. නුවර ගිය පසු විශ්වගේ මවගෙන් ද නිවෙසේ සිටින විට ඇගේ මවගෙන් ලැබෙන සහයෝගයත් එක්ක එරන්දිට ජීවිතය පහසු ය. නිවෙසේ සිටින විට විශ්ව ද ඈට උදව් කරයි. ඒ දරුවන් දෙදෙනාගේ කටයුතු ඉටු කිරීමෙනි. බොහොම සන්සුන්ව ගෙවෙන ජීවිතයෙන් ඔවුහු අස්වැසිල්ලක් ලබති. ඒ අස්වැසිල්ල විදිමින් සිටින ඔවුන් දෙදෙනාට ඒ සැදෑ සුවය විඳින්නට ඉඩ දී මම ඔවුන්ට සමු දුනිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.