ගැමි කෙල්ලකගේ චරිතයක්

රඟපාන්න ආසයි
සැප්තැම්බර් 12, 2019

 

සරසවිය හඳුන්වා දුන් නවක නළු නිළියන් රැසක් මේ වන විට ඉහළ ජනප්‍රියත්වය විඳිමින් සිටිනවා. ඒ අයගෙන් වැඩි දෙනෙකුගේ පළමු පුවත්පත් ලිපිය පළ වුණේ ද සරසවියෙ. අදත් මේ අප සුදානම් වන්නේ තවත් එවන් වූ නවක තාරකාවක් ඔබට හඳුන්වා දෙන්න. ඇගේ නම නිශානි තෙන්නකෝන්. නිශානි වඩාත් ඔබට සමීප වන්නේ සිනමාපට හරහා. ඒ වගේම ටෙලි සිතුවම් ද්විත්වයකදී ඇය සිය රංගන හැකියාව ප්‍රකට කළා. මේ ලියැවෙන්නේ නිශානිගේ පළමු පුවත්පත් ලිපියයි.

නිශානි, ඔබ රංගනයට යොමු වන්නේ අහම්බෙන්. එය සිදු වුණ ආකාරය සඳහන් කළොත්?

ටෙලි නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂ වාසිත සමරනායක මහත්මයා තමයි මට පළමුවරට අවස්ථාව ලබා දෙන්නේ. මං රඟපාන්න හිටපු කෙනෙක් නෙවෙයි. වාසිත අයියා මාව අහම්බෙන් එක්තරා තැනකදී දැකලා ක්ෂේත්‍රයට එන්න ආරාධනා කරනවා. එතකම් මං කැමරාවක අහලකවත් ඉඳලා නැහැ. ඔහුගේ රජදහන චිත්‍රපටයේ තමයි මුල්වරට රඟපෑවේ.

ඊට පසුව ඔබ දායක වූ නිර්මාණ පෙළ ගැන කතා කළොත්?

යූ ටියුබ් එකේ නාළිකාවක වැඩසටහන් ගණනාවක් නිවේදනය කළා. ඒක ෆෑන්ස්ලා ගොඩක් බලන එකක්. ගින්දරි තුන, යක්ෂාදේශය, ගෝරි වගේ චිත්‍රපටවල රඟපෑවා. දෝනා කතරිනා සහ සක්කාරං තමයි මං රඟපාපු නාට්‍ය දෙක. මේ වෙලවේ චිත්‍රපට නිෂ්පාදක නිශාන්ත ජයවර්ධනවත් මතක් කරන්න ඕන.

ඔබ වඩාත් ප්‍රිය චිත්‍රපටවලට ද ටෙලි නාට්‍යවලට ද?

මං හරිම ආසයි ටෙලි නාට්‍යවල රඟපාන්න. ඒත් කතා කරන්නෙම චිත්‍රපටවලට.

දැන් ඔබ දිගටම රඟපාන්න හිතාගෙනද ඉන්නෙ?

ඔව්. ඇත්තටම දැන් මට රංගනයට ලැබෙන ආරාධනා එන්න එන්න වැඩි වෙනවා. ගෙදර අයත් සතුටුයි මට රඟපාන්න අවස්ථා ලැබෙන එකට. මුලදි මුලදි මං කිව්වෙ නැහැ මං රඟපාන්න ගියා කියලා. ගෙදරට හොරෙන් තමයි රඟපෑවේ. මගේ හැකියාව දැකලා ඒ අයත් පුදුම වුණා.

ඔබ කොළඹ අවට පදිංචි කෙනෙක් නෙවෙයි නේද?

මගේ ගම නුවර. නුවර ඉඳන් තමයි රඟපාන්න යන්නේ. මේ ආර්ටිකල් එකටත් ආවේ නුවර ඉඳලා. නුවර අත හරින්නේ නැහැ. එහෙ ඉඳන්ම තමයි රංගන කටයුතුවල නියැළෙන්නේ.

නුවර කෙනෙකු නිසා ලැබෙන අවස්ථාවන් මඟ හැරෙන්න තියෙන මොහොතවල් වැඩියි?

මං හිතන්නේ නැහැ එහෙම වේවි කියලා. මහරගම මගෙ ඥාතියෙක් ඉන්නවා. නුවර ඉඳලා එන්න බැරිම වුණොත් එහෙ නැවතිලා රඟපාන්න එනවා. මං හිතන්නේ ලංකාවෙ කොහේ හිටියත් අවශ්‍යම කෙනා මාව ඒ නිර්මාණවලට සම්බන්ධ කර ගනීවි.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවාද?

මං හරිම ආසයි ගමක ජීවත් වන ගැමි කෙල්ලකුගේ චරිතයක් කරන්න. තවම ඒකට අවස්ථාව ලැබිලා නැහැ.

යොවුන් නිළියක් විදිහට විලාසිතාවන්ට ඔබගේ මොන වගේ කැමැත්තක් ද තියෙන්නේ?

ඇත්තටම මං විලාසිතා කරන්න වැඩිය කැමැති නැහැ. ඒකයි මොඩිලිංවලට පවා යොමු නොවුණේ. මොඩිලිං කරන්න නිතරම ආරාධනා ලැබෙනවා. ඒව සුහදව ප්‍රතික්ෂේප කරනවා.

රඟපාන චරිත සඳහා ඔබට ලැබෙන මුල්‍යමය වටිනාකම ගැන මොකද කියන්න තියෙන්නේ?

මං රඟපාන්නේ මුදල් හොයන්නම නෙවෙයි. එහෙම කිව්වට රඟපාන්නේ විනෝදාංශයටත් නෙවෙයි. ලැබෙන චරිතයට උපරිමයෙන් කැප වෙනවා. මට චරිතවලට ලැබෙන මුදල ප්‍රමාණවත් කියලා හිතෙනව. මං දන්නේ නැහැ අනෙක් අයට කෙහොමද කියලා. මම නම් රඟපාන්නේ සල්ලි හොයන්නම නෙවෙයි.

රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන සිදුවීම මොකක්ද කියලා මම ඇහැව්වොත්?

එක්තරා චිත්‍රපටයක රඟපාන්න ගිහිල්ලා මට මේකප් ඇලජික් වුණා. මං චිත්‍රපටය මොකක්ද කියලා කියන්නේ නැහැ. අන්තිමේ මූණෙත් බිබිලි ආවා. ඒ සිදුවීම නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

නිශානි තෙන්නකෝන් කියන්නේ මොන වගේ චරිතයක්ද?

වගකීමෙන් වැඩ කරන කෙනෙක්. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින කෙල්්ලෙක් කිව්වත් වැරදි නැහැ.

 

ප්‍රසාද් සමරතුංග

 

නිශ්ශංක විජේරත්න

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.