සුද්දා තහනම් කළ අංගම්පොර

යුරෝපයටම පෙන්වන සඳුන් ප්‍රනාන්දු
සැප්තැම්බර් 19, 2019

මෙරටට ආවේණික අංගම් පොර සටන් කලාවේ නියැළෙන්නන් කිහිප දෙනා අතරින් කෙනෙකු පිළිබඳ ලියැවෙන ලිපියකි මේ. ඔහු නමින් සඳුන් ප්‍රනාන්දුය. සඳුන් කුඩා කල සිට අංගම්පොර කලාවට පෙම් බැඳි අයෙකි. වත්මනෙහි ඔහු එම සටන් ශිල්පය ප්‍රගුණ කළ ගුරුවරයකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම අංගම්පොර හා සැබැඳි ටෙලි සහ චිත්‍රපටයන්හි අංගම් පොර සටන් අධ්‍යක්ෂණයට සඳුන් හට නිරන්තරයෙන් ආරාධනා ලැබේ.

සඳුන් ඔබ අංගම්පොර සටන් කලාවට පිවිසෙන තැන සිට මේ කතාව අරඹමු?

මගේ ගම මොරටුව. ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විදුහලේ. පුංචි කාලේ ඉඳලා මොකක්දෝ ආසාවක් තිබුණා අංගම්පොර කලාවට. හොයාගෙන හොයාගෙන ඉගෙන ගන්න හිතුණා. මට ගුරුවරයෙකු මුණ ගැහෙනවා කේ. සුනිමල් ප්‍රනාන්දු කියලා. ඔහු යටතේ කාලයක් මං ආස කරන අංගම් පොර කලාව ඉගෙන ගන්නවා. ඔහු පන්ති කරපු තැනම මං උගන්වනවා. ඒ අතරතුරදි මගේම දෙයක් සොයනවා. වෙහෙස වෙලා අංගම්පොර ශිල්පය තවමත් මා පරපුරකට බෙදා දෙමින් සිටිනවා.

මොකක්ද මේ අංගම් පොර කලාව කියන්නේ?

මේක අපේ රටේ කලාවක්. අංගම්පොර සුද්දන්ට හරිම හිසරදයක් වෙලා තිබුණේ. ඔවුන්ට කවදාවත් මේ ශිල්පය අල්ල ගන්න බැරි වුණා. ඉවසා ගන්න බැරිම තැන තමයි සුද්දො අංගම්පොර තහනම් කළේ. පරිපූර්ණ මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීම සමානයි අංගම්පොර ශිල්පය. මං මේ කියන දේ හරියට තේරුම් ගන්න. තමන් තුළ තමයි සතුරාත් මිතුරාත් ඉන්නේ. තමන් තමන්ව පරාජය කර ගනිමින් තමයි මේ ශිල්පය ප්‍රගුණ කළ යුතු වන්නේ. රට ජාතිය වෙනුවෙන් අංගම්පොර ශිල්පය භාවිත කරමින් අයහපතට විරුද්ධව පැරැණියන් සටන් කළා. සමහරු දිවිය පවා පූජා කළානෙ. සමාජයේ මතයක් තියෙනවා පහරදීම පමණයි අංගම්පොර කලාවේ තියෙන්නේ කියලා. නැහැ. ඒක වැරදියි. අංගම් පොර ශිල්පින්ගේ අවසන් අරමුණ නිවන. එතැනට වෙනකම් ලොකු ශිල්පයක් තියෙනවා හදාරන්න.

ඔබ ටෙලි චිත්‍රපට කලාවට එකතු වන්නේ කොහොමද?

මා හිතවත් සටන් අධ්‍යක්ෂ සමන්ත මායාදුන්න තමයි මාව ඔය ෆීල්ඩ් එකට ගේන්නෙ. මහින්දාගමනය, සිරි දළදාගමනය, ආලෝකෝ උදපාදි වගේ චිත්‍රපටවලත් භව චක්‍ර, විදිය බණ්ඩාර නාට්‍යවලත් සටන් අධ්‍යක්ෂණය කළේ මං. ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය වෙනුවෙන් මට හිරු සම්මාන උලෙළේදි හොඳම සටන් අධ්‍යක්ෂ හැටියට සම්මාන ලැබුණා.

ඔබ මේ දිනවල විදෙස් සංචාරයක නියැළෙනවා. ඒ ගැනත් විස්තර කියමු?

මං හිතන්නේ පළමු වතාව තමයි අංගම්පොර ශිල්පියෙක් යුරෝපයට ගිහින් මේ වගේ ප්‍රසංගයක් කරන්නේ. ප්‍රසංගයක් නෙවෙයි ප්‍රසංග මාලාවක්. නෙදර්ලන්තයෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය වගේ රටවලත් ප්‍රසංග පවත්වනවා. යුරෝපයේ කොරියු ජු ජුට්සු සම්මේලනයෙන් තමයි මෙයට ආරාධනා ලැබුණේ. ලංකාවේ හිටපු මාධ්‍යවේදී හර්ෂණ කාරියවසම්, ඉතාලියේ ශාන්ත ජෝශප් විදුහලේ අධ්‍යක්ෂ තිමිර වර්ණකුල යන මහත්වරුන්ට විශේෂ ස්තූතියක් කරන්න ඕන. ප්‍රසංග මාලාවේ නම මේඝස්ත්‍ර. ආධුනිකයෙකුගේ සිට අංගම්පොර ගුරුවරයකු දක්වා යන යාත්‍රාව මෙමඟින් මම විවරණය කරනවා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.