මරියසෙල් සමඟ ගී ගයන සම්පත්

සැප්තැම්බර් 19, 2019

කුඩා කල පටන්ම සංගීතයට බෙහෙවින් ආදරය කරන සම්පත් ප්‍රනාන්දු කලක් සංගීත ක්ෂේත්‍රයේ නියැළුණු අයෙකි. සිය රැකියාවේ කටයුතු හා අනෙක් කටයුතු නිසා කලක් සංගීත ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි ඔහු මේ සූදානම් වන්නේ යළිත් එහි පිවිසීමට ය. ඒ 'සම්පත් ඇන්ඩ් කුවෙස්ට් විත් මරියසෙල්' නම් සංගීත කණ්ඩායමත් සමඟිනි. එහි නිත්‍ය ගායිකාව වන්නේ මරියසෙල් ගුණතිලක ය. මේ සංගීත කණ්ඩායමේ නායකයා හා කළමනාකාරවරයා වන්නේ ද ඔහු ය. ඔහුගේ සංගීත කණ්ඩායමේ නැවත පිවිසීම පිළිබඳ හා එහි අලුත් තත්ත්වයත්, ඔහුගේ සංගීත ජීවිතයත් පිළිබඳත් සම්පත් ප්‍රනාන්දු සඳහනක යෙදුණේ මෙසේය.

ඔබගේ සංගීත ගමන ගැන සඳහනක යෙදුණොත්

මගේ ප්‍රථම ආදරය වන්නේ සංගීතයයි. එහි ගමන් ආරම්භ කරන්නේ පාසල් යන කාලයේ පටන්. ඒ 'රජිව් ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ්' එකෙන්. එයට පසුව 1994 වසරේ චන්දිමාල් එක්ක 'සෙකන්ඩ් කනෙක්ෂන්' කියන සංගීත කණ්ඩායමේ කටයුතු කළා. මේ කටයුතුවලින් පසුවයි මා මගේම කියන 'Qභඥඵබ' සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ. ඒක ත්‍රීපීස් බෑන්ඩ් එකක්. ඒ වන විට මා රැකියාව කළේ මහරාජා ආයතනයේ. ඒ අය මට ඒක කරගෙන යන්න අවසර ලබා දීලයි තිබුණේ. ඒ වුණත් මා රැකියාවට හානි වන නිසා වැඩිය ප්‍රසිද්ධ කරගෙන ඒ කටයුතු කරන්න ගියේ නැහැ. ඊළඟට මා කළේ උපාධියක් හැදෑරීමයි. ඉන් පස්සේ පෞද්ගලික ආයතන කිහිපයකම රැකියාව කළ මා කලකට පසුව මගේම කියන ආයතනයක් ආරම්භ කරනවා.

ඔබට සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමේ හැකියාව පවතිනවා නේද?

පියානෝ, ගිටාර්, ට්‍රම්පට්, මැන්ඩලීන් ඇතුළු සංගීත භාණ්ඩ කිහිපයක්ම මට වයන්න පුළුවන්. මා ට්‍රම්පට් වයන්නේ හතේ පන්තියේ ඉගෙන ගන්න කාලයේ. ඒ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ.

ඔබ නිර්මාණය කළ ගීත මොනවා ද?

මා නිර්මාණය කළ ගීත කිහිපයක් තියෙනවා. ඉන් ෂෙහාන් මිහිරංග සමඟ කළ 'වස්සානේ' ගීතයත්, උමාරියා හා ජිප්සීස් සංගීත කණ්ඩායමේ දුෂාන් සමඟ කළ ගීතයේ සංගීතය හා තනු නිර්මාණ කළේත් මම. එය ටෙලි නාට්‍යයක තේමා ගීතය විදියටත් යොදා ගන්නවා. ඊළඟට හෙක්ටර් ඩයස් මගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් ගීතයක් කළා. මේ නිර්මාණ මා කළේ සිරස ආයතනයේ ඉන්න කාලයේ. ඒ ඔවුන්ගේ ද අවසරය ඇතිවයි. ඒත් 2013 වසරෙන් පසුව මා සංගීත කටයුතුවල ස්ථිර විදියටම නියැළුණේ නැහැ. පල්ලියේ සංගීත කටයුතුවලට දායක වුණා. පසු කාලයේ මට විවිධ ආරාධනා ලැබුණු නිසා මා ඒ ඒ සංගීත කටයුතුවලට සහභාගි වූ අවස්ථා බොහෝයි. ඒ අනුව විදේශ ගතව තිබුණු ප්‍රසංග රැසකටම සංගීතය සඳහා මට ආරාධනා ලැබුණු නිසා ඒ ආරාධනා මා භාර ගත්තා. ඒ විදියට රටවල් කිහිපයකම සංචාරය කිරීමේ අවස්ථාවත් මට හිමි වුණා.

මෙහෙම ඉන්න අතරදියි නැවත ඔබගේ සංගීත කණ්ඩායම නිර් මාණය කරන්නේ?

මගේම කියන ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පස්සේ බොහෝ දෙනා මගෙන් විමසුවේ ඔබගේ හැකියාවෙන් ප්‍රයෝජන නොගන්නේ ඇයි කියලා. ඒ අනුවයි මා නැවතත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට තීරණය කළේ. මේ වන විට මගේ ව්‍යාපාරයෙත් යම් මට්ටමකට ඇවිත් තිබෙන නිසා සංගීතය වෙනුවෙන් කාලය වැය කරන්න මට කාලය තිබෙනවා. ඒ නිසා මා මගේ සංගීත කණ්ඩායම නැවත මේ වසරේ ආරම්භ කළා. හරියටම මාස දෙකකට පමණ කලිනුයි එය ආරම්භ කළේ.

ඒ සඳහා ඔබ ප්‍රවීණ ගායිකාවක වන මරියසෙල් ගුණතිලකට ආරාධනා කරනවා?

ඔව්. අලුත් සංගීත කණ්ඩායම ගැන මා මුලින්ම ඇය පැවසුවා. ඉන් පසුවයි එහි නිත්‍ය ගායිකාව විදියට දිගටම අපත් එක්ක කටයුතු කිරීමට ඈ කැමැත්ත පළ කළේ. කිසිම නීති රීතියක් යොදා නොගෙන බොහොම සුහදශීලිව, සංගීත කණ්ඩායම ජනප්‍රිය කරන්න ඈ අපට උදව් කරනවා.

ඔබගේ සංගීත කණ්ඩායමේ ගායිකාව විදියට මරියසෙල්ම තෝරා ගැනීමට තීරණය කළේ ඇයි?

එතුමිය මාත් සමඟ මේ කටයුත්තට එකඟ වීමට පෙර කිහිපවාරයකම වැඩ කරල තිබුණා. ඒ වගේම මා කටයුතු කරන ආකාරය ගැන එතුමියට යම් දැනුමකුත් සතු වුණා. අපට වුණත් ඇයත් සමඟ කටයුතු කිරීම බොහොම පහසුයි. ඒ නිසාම මා ඇයට වෘත්තීය සංගීත කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ආරාධනා කළා. ඒ ආරාධනාව ඈ බොහොම කැමැත්තෙන් පිළි ගත්තා.

ඔබගේ සංගීත කණ්ඩායම අනෙක් සංගීත කණ්ඩායම්වලින් වෙනස් වෙන්නේ කොහොම ද?

අපේ රටේ තියෙන බොහෝ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල බොහෝ ජනප්‍රිය වුණු ගීත හෝ ඒවා ගයන ගායිකාවක් ස්ථිරව ඇත්තේ නැහැ. ඒ වගේම අනෙක් සංගීත කණ්ඩායම්වල සාමාන්‍යයෙන් වයන සංගීත භාණ්ඩ හැමදේමත් අපටත් තිබෙන බව ඇත්තයි. ඒත් එයට අමතරව පෑන්ෆ්ලූට් එක අපේ රටේ වාදනය කරනවා බොහොම අඩුයි. ඒ සංගීත භාණ්ඩයත් සමඟම මැන්ඩලින්, ට්‍රම්පට්, හාමෝනියම්, මවුත් ඕගන් වැනි අමතර සංගීත භාණ්ඩත් වාදනය කිරීම අනෙක් අයට වඩා තිබෙන අපගේ විශේෂ බවයි. අවශ්‍ය වෙලාවට සෝලෝ ප්ලේ කරන්නත් අපට පුළුවන්. ඒ වෙනුවෙන් වෙන්වුණු සෝලෝ සැක්සෆෝනිස්ට් කෙනකු අපත් සමඟ ඉන්නවා. ඔරියන්ටල් ගීත වගේම වෙස්ටන් ඇතුළු අනෙක් සෑම ගීතයක්මත් අප වයනවා. ගයනවා. ඒ සියලු දේ සඳහා අප සංගීතය සපයන්නේ යම් මිශ්‍ර ශෛලියකින්. ඒ විතරක් නොවෙයි ඕනෑම කෙනකු ගයන ගීතයකට අපට වාදනය සැපයිය හැකියි. ඒ නිසාම වෙනත් සංගීත කණ්ඩායමක නැති වර්ණයක් අපට තිබෙනවා.

තිලානි ශානිකා විතානාච්චි 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.