ලබන අවුරුද්ද මගේ අවුරුද්ද

ධනංජය අලුත් බලාපොරොත්තුවක
සැප්තැම්බර් 19, 2019

ධනංජයගේ නිවෙස වැඩිපුරම සරසලා තිබුණේ සුදු පැහැයෙන්. දෙන්නාම සුදු පැහැයට දක්වන්නේ වැඩි කැමැත්තක්. වැඩිපුර ගෘහ භාණ්ඩ නොපිරුණු ඒ නිවෙසේ සරල බවයි රජයන්නේ.

"නින්ජා...."

 

එක්වරෙක තරුණයකු ලෙසත්, තවත් වරෙක තරුණියක ලෙසත් සැරසෙන තරුණයා. ඒ විතරක් නොවෙයි ඔහු සිය ජීවිතය ගෙව්වේ හොරකමෙන්. එහෙමත් නැත්නම් බොරුවෙන්. ස්වර්ණවාහිණියේ විකාශය වුණු 'සිල්ලර සමනල්ලු' ටෙලි සිත්තමෙන් ඔබගේ නිවෙසට ආවා නින්ජාට පණ පෙව්වේ ධනංජය සිරිවර්ධන. ඒත් මෙවර ඔහු පණ පෙව්වේ මේ වන තුරු පණ පෙව්ව චරිතවලින් මිදිලා වෙනස්ම චරිතයකට. ධනංජය ඒ වගේ කොමඩි චරිතයකට පණ පෙව්ව පළමු වතාව. කොහොම වුණත් නින්ජාට වඩා හාත්පසින්ම වෙනස් ම ගතිගුණයි ධනංජයට තියෙන්නේ. එවන් ගතිතුණවලින් හෙබි ධනංජයව අප පසුගිය දිනෙක හමු වුණා. ඔහුගේ සුන්දර නිවෙසේදි.

“නින්ජා ගොඩක් ජනප්‍රිය වුණා. මගේ රඟපෑමේ දැක්කේ නැති අවකාශයක් නින්ජාගේ චරිතය මඟින් ටෙලි නාට්‍ය නරඹන්නන් දැක්කා. නින්ජාගේ වගේ චරිතයක් මට රඟපාන්න පුළුවන් කියලා කිසිම කෙනකු සිතුවේ නැහැ. නින්ජා කරන්නේ හොරකම. හොඳට ඉඳලා විහිළුවෙන්ම හොරකම් කරන එකනේ අද බොහෝ දෙනා කරන්නේ. ඒ නාට්‍යයේ ගැහැනු කෙනකු විදියට ඇන්ද එක ගැනත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. වාසනා බණ්ඩාරයි ඒ විදියට මාව වෙස් ගැන්නුවේ. සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක්. සද්ධා මංගලගේ පිටපතක්. සමහරු එතරම් ප්‍රසාදයක් දැක්වුවේ නැහැ මම කොමඩි චරිතයක් කරනවට. කොමඩි චරිතයක් කිරීම ලෙහෙසි නැහැ. මිනිස්සු හිනස්සවන එකත් ලෙහෙසි නැහැ. විශේෂයෙන් දුවලා පැනලා, කකුල් කඩාගෙන මිනිස්සු හිනස්සවනවට වඩා ඉතා සියුම්ව මිනිස්සු හිනස්සවීම අපහසු කාර්යයක්. කොටින්ම කියනවා නම් අදටත් මිනිසුන්ට නින්ජාව අමතක කරන්න බැරි වෙලා. ඒත් මම නම් නින්ජාව අතහැරලා ගොඩක් කල්. කණ්ණාඩි දෙක ගැලෙව්වට පස්සේ මා ඔහුව අතහැරියා.”

නින්ජාගේ චරිතය තිබුණු සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යය අවසන් වී මාස කිහිපයක් ගත වී ඇතත් ධනංජය සිරිවර්ධනට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ඒ වගේම ධනංජය රඟපෑව නින්ජා විතරක් නොවෙයි ජනප්‍රිය. බොහෝ දෙනා අතර නින්ජා දාලා හිටිය කණ්ණාඩි දෙකත්. විශේෂයෙන් ඇමැතිවරු අතර පවා.

“විශේෂයෙන්ම අපේ රටේ මෑත කාලයේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයේදි ඇමැතිවරු කිහිපදෙනකුම මුණ ගැසුණා. ඒ කිසිවකු මීට කලින් නම් එහෙම මගේ රඟපෑම අගේ කළ අය නොවෙයි. ඒ ගැහැනු චරිතයක් ඇදන් මා කළ රඟපෑම ඔවුන් ඇගයීමට ලක් කළා. ඒ වගේම ඒකේ පැලඳගෙන හිටිය කණ්ණාඩි දෙක ගැනත් ඔවුන් ඇහුවා. ඒ තරමටම ටෙලි නාට්‍යය ඔවුන් නරඹලා තිබුණා. ඔවුන් විතරක් නොවෙයි දොස්තරවරු පවා ඒ කණ්ණාඩි දෙක ගැන විමසුවා. ඒ අනුව හැම ටෙලි නාට්‍යයකම පොඩි පොඩි චරිත කරනවාට වඩා අවුරුද්දකට මිනිසුන්ගේ හදවත රැඳෙන එක චරිතයක් කළා නම් ඇති කියලයි මට නම් හිතෙන්නේ. නළුවකුට ඒකම ප්‍රමාණවත්.”

නින්ජාගේ කණ්ණඩි දෙක අනෙක් කණ්ණාඩිවලට වඩා වෙනස්. ඔහු එය පැලඳ සිටියේ ද වීදුරු නැතිව. එහෙත් ධනංජය එය පැලඳ වීදුරු තිබෙන කණ්ණාඩි දෙකක ආකාරයෙන් රඟපෑවා. ඔහු නින්ජාගේ චරිතයට අමතරව පසුගිය කාලයේ නිර්මාණ කිහිපයකටම දායක වුණා. ලබන වසරේදී තිරගත වීමට නියමිත ඒ නිර්මාණ අයිති සිනමාවට.

“ලංකාවේ සිනමාවට පායපු අලුත්ම සහෝදර යුග්මය වුණු වින්දන හා කල්පන ආරියවංශලාගේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. වැඩ කරන්න පහසු දෙපළක්. බොහොම ආදරණීය දෙපළක්. ඒ මඟින් අපට හොඳ අත්දැකීමක් ලැබුණා. හොලිවුඩ්වල ඩී.ඕ.පී. කෙනකු අපත් සමඟ සම්බන්ධ වුණේ. ඔහුත් සමඟ ගත කළ කාලය බොහොම සුන්දරයි. මා මෙහි රඟපෑමේ ළමයින් බලා ගන්නා මාමාගේ චරිතය. නැන්දාගේ චරිතය රඟපෑවේ උමාලි. එය වැඩිහිටියන්ටයි, ළමයින්ටයි එකට ඉඳගෙන නැරැඹිය හැකි වෝල්ඩ් ඩිස්නි මට්ටමේ නිර්මාණයක් වේවි. චිත්‍රපයේ නම ‘රූකඩ පැංචි’. ඒ වගේම සමීර වක්වැල්ලගේ ‘හෝන්’ චිත්‍රපටයත් පැමිණීමට නියමිතයි. ඒක් හොඳ හොල්මන් චිත්‍රපටයක් වේවි. එයට අමතරව සුරංග ද අල්විස්ගේ ‘කිඩ් නැප්’ චිත්‍රපයේ රඟපෑව කළු චරිතයටත් මා කැමැතියි. සුරංග ද අල්විස් හා අර්ජුන කමලනාත් එක්වුණොත් මේ චිත්‍රපටය කොයිවෙලාවක හරි එළියට එයි කියලයි අප බලාපොරොත්තු වන්නේ. ඒ නිසා ඒ දෙන්නට මා අනිවාර්යයෙන්ම පවසන්නේ චිත්‍රපටය එළියට දාන්න හරි කාලය පැමිණ ඇති බවයි. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ කිඩ්නැප් කිඩ්නැප් වෙන්න ළඟ බවයි. ඒ නිසා කිඩ්නැප් වෙන්න කලින් දෙන්නටම කිඩ්නැප් පෙන්වන්න කියලා ඉල්ලනවා. එහෙමත් නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි කිඩ්නැප් වෙන්නත් පුළුවන්.”

ධනංජය සිරිවර්ධන පැවැසුවේ සුරංග හා අර්ජුනව කිඩ්නැප් කරන්න වගේ. ලබන නව වසර හරියටම ධනංජටම වෙන් වුණු වසරක්. ඒක ධනංජයගේ වසර කියලා නම් කරන්නත් පුළුවන්.

“මා ප්‍රාර්ථනා කරන්නේ කලාවේ අවුරුද්ද වෙන්න කියලා. හරි කලාව පිහිටන අවුරුද්දක් වෙන්න කියලා. කල්ලි වාදය නැති වෙලා, මිනිස්සු එකිනෙකාට ආදරය කරන කලාවක් පටන් ගත්තොත් ඒක මගේ අවුරුද්දක් වේවි.”

ධනංජයගේ ප්‍රාර්ථනාව නව වසරේදිවත් ඉටු වෙන්න හිතන ගමන්ම අපට කතා නොකරම බැරි කාරණයක් පෙනුණා. ඒ ධනාගේ කොණ්ඩා මෝස්තරය. මෙතෙක් කළ කොණ්ඩා විලාසිතාවලට වඩා වෙනස්ම විදියක මෝස්තරය ධනංජයගේ පෙනුම වෙනස් කරලා. හිටියට වඩා තරුණ පෙනුමක් ඔහුට අරගෙන ඇවිත්. ලස්සන වෙලා. මොකක්ද මේ ලස්සන වීමේ රහස?

“එන්න එන්නම අපේ වයස ගෙවෙනවා. වයස කියන්නේ ගෙවෙන දෙයක්. කාලයෙන් කාලයට මගේ පැෂන් එක වෙනස් වෙනවා. එදා වගේ වසර පහළොවක් පටන් අද වන තුරු මගේ වසරක් පාසා පින්තූර ගත්තොත් ඒ පින්තූර පහළොස් විදියක්. මුලින්ම බෑන්ඩ් එකක් දැම්මෙත් මම.”

එහෙම කියන විට ධනංජයගේ බිරිය ශෂිනි සිරිවර්ධන ඔහුගේ තවත් විලාසිතාවක් මතක් කළා.

“ ඇයි කොටු කොටු කමිස අඳීන්න පටන් ගත්තෙත් ඔයා නේ”

“ඒකත් ඇත්ත. මේ වෙනස් කිරීම්වල අන්තිම උත්තරේ තට්ටේ වෙන්නත් පුළුවන්. නළුවකු වුණාට පස්සේ වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. නළුවකු කියන්නේ එක විදියකට ඉන්න පුළුවන් කෙනකු නොවෙයි. නම්‍යශීලි කෙනකු සහ වෙනස් විය හැකි කෙනෙක්. මේ නිසා මා වෙනස් වෙන්න බය නැහැ.”

මේ කතාබහ අතර ඔහු ළඟටම වෙලා ඉන්නේ ධනංජයගේ ආදර බිරිය ශෂිනි. ඈ ඔහු කියන දේවල්වලට හූ මිටි තිබ්බා. අමතක දේවල් මතක් කළා. ඒ වෙලාවේ ඇගෙන් ලැබෙන සහයෝගය ගැනත් අහන්න මා අමතක ක‍ළේ නැහැ. එවිට නම් ධනංජය ඒ ප්‍රශ්නයට දුන්නේ අපූරු පිළිතුරක්.

“එයාගෙන් ලැබෙන එකම සහයෝගය වෙන්නේ මගේ වැඩවලට ඇඟිලි නොගහ සිටීම.”

දෙදෙනාම හඬනඟා සිනා සේ.

“ දැන් බිරියත් බොහොම කාර්යබහුලයි. එයා අලුතින් යූ - ටියුබ් චැනල් එකක් පටන් ගත්තා. පින්ක් රූම් නමින්. ආදරයෙන් ආරාධනා කරනවා අපේ ගැහැනු ළමයින්ට ඒ චැනල් එකට එන්න කියලා. එයාගේ චැනල් එකේ තියෙන්නේ අඩු වියදමින් අපේ දේවල්වලින් ලස්සන වෙන හැටි කියන විදිය. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ බිරින්දෑ තරුවක් නොවෙයි. ඒත් ඈ වටා ලොකු ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී තිබෙනවා. ඒ මඟින් සමාජයට යන්නේ හොඳ පණිවිඩයක්. අධ්‍යාපනික වටිනාකමක් තියෙන දෙයක් රටට දෙන විට තරුණ පරම්පරාව එකතු වෙලා ඒක නරඹනවා නම් මා කැමැතියි.”

පින්ක් රූම් සඳහා ඒකරාශි වී සිටින්නේ ලක්ෂයක් පමණ පිරිසක්. ඒ තරම් පිරිසක් මේ වැඩසටහන වටා සිටීමෙන් කියන්නේ ඇගේ දක්ෂතාව. ඒ වගේම ඈ අනෙක් අයට උදව් කරන්නත් කැමැති තරුණියක්.

“මේක මා ආරම්භ කළේ අපේ රටේ ගැහැනු ළමයින්ට උපදේශනයක්, උදව්වක් කරන බලාපොරොත්තුවෙන්. මේ වන විට එකේ තියෙන්නේ ලස්සනට රූපය පවත්වාගෙන යන විදියයි. ඒත් ඉදිරියට ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කර ගත යුත්තේ කොහොම ද? රැකියාවකට යන විට ඒ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දෙන්නේ කොහොම ද? වගේ කාරණාත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම උපදේශයක්ම මා ඔවුන්ට දෙන්නේ, මා කරන ලද අත්හදා බැලීමකින් පස්සේ. ඔවුන් ඒවා කළාට පස්සේ ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. ඒ ගැන සතුටුයි.”

බිරිය මේ කටයුතුවල නිරත වන විට ධනංජය ද රඟපෑමට අමතරව පසුගිය කාලයේ අලුත් වැඩක් ආරම්භ කළා. ඒ සම්පත් ජයවීර සමඟ. ඔවුන් ලැබුව අත්දැකීම් හා පුහුණුවත් සමඟ

“ලබන වසරේ ජනවාරිය වන විට ‘ප්‍රාණ’ එකට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. වෙනදා මට වැඩවලට කතා කළ අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරු අද මට වැඩවලට කතා කරන ගමන් අහන දෙවැනි ප්‍රශ්නය තමයි මේ ළමයින්ව ඔවුන්ගේ නිර්මාණ කටයුතුවලට ගන්න හැකිද කියන ප්‍රශ්නය. පසුගිය දිනෙකත් ඒ විදියට ඔවුන්ව එවැනි කටයුත්තකට සහභාගි කරගත්තා. මෙවන් දෙයක් කරන්න වසර පහළොවක තරම් අත්දැකීම් අපි දෙන්නට ම තිබෙනවා. ඒ නිසයි අප මේක පටන් ගත්තේ. අප පමණක් නොවෙයි මේ කටයුත්ත හා බැඳී සිටින්නේ. ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂරු, ගුරුවරු, රංගන ශිල්පීන් කිහිපදෙනෙකුත් අප සමඟ ඉන්නවා. මේ ක්ෂේත්‍රයට පිවිසෙන අයට හරියට දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය ඉඩකඩ සලසලා දෙන්නයි අප මේක ආරම්භ කළේ. මෙහි පැමිණි අය නිර්මාණවල දකින්න ලැබෙන කොට ඒ තරම් සතුටක් අපට තවත් නැහැ. රංගනය වගේම මානසික ආතතිය දුරු කරගැනීම සඳහාත් පිරිසක් මෙතැනට එනවා. ඉදිරියේදි තවත් කණ්ඩායමක් බඳවා ගැනීමටයි අප මේ සූදානම් වෙන්නේ. ‘ප්‍රාණ ඇක්ටින් ස්ටුඩියෝ’ නමින් අපේ වෙනම ෆේස් බුක් පිටුවක් තිබෙනවා. 0764500305 කියන අංකයට කතා කරලත් ඔබට අප හා සම්බන්ධ විය හැකි බවත් කියන්න ඕනෑ.”

ධනංජයගේ නිවෙස වැඩිපුරම සරසලා තිබුණේ සුදු පැහැයෙන්. දෙන්නාම සුදු පැහැයට දක්වන්නේ වැඩි කැමැත්තක්. වැඩිපුර ගෘහ භාණ්ඩ නොපිරුණු ඒ නිවෙසේ සරල බවයි රජයන්නේ.

“ඉස්සර ඉඳගෙන ම අපි දෙන්නාගේ කැමැත්ත තිබුණේ බඩු අඩුවෙන් පාවිච්චි කරන්න. ඒ වගේම සුදු පැහැයටත් අපි දෙන්නාම ආසා කළා. සුදු පැහැය අපට ආලෝකය ගෙනේවි.”

“වෙනත් ආලෝකයක් ගේන්න අදහසක් නැද්ද?” ආලෝකය ගැන මතකයට නැඟුව ගමන්ම මා විමසුවේ මේ කැදැල්ලේ අමුත්තකු ගැන.

“ ඒ අදහස අපි දෙන්නටම තියෙනවා. 2020 කියන්නේ ඒකටත් උත්තරයක් ලැබෙන වසරක් කියලා සිතමු.”

දෙදෙනාගේ සිනහ මුහුණු ඒ බව අපට පැවැසුවා. ලබන නව වසර ඒ ප්‍රාර්ථනාවල වසර බවට පත් වෙන්න යැයි සුබ පැතුම් එක් කරන ගමන්ම මාත්, තිලක් අයියාත් ඔවුන්ට සමු දුන්නා.

 

Comments

praneetha (තහවුරු වී නොමැත)
All the best. I watch your make up video. I will do in the future too. I learnt so many things. Thank you
සඳු, 09/23/2019 - 17:28

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.