මාලිනී නැන්දිගේ හාද්දේ සියල්ල තිබුණා

සෙනාලි ෆොන්සේකා
සැප්තැම්බර් 26, 2019

ඇගේ සොඳුරු රුව රිදී තිරයෙන් මම දුටුවෙමි. ඒ විජයබා කොල්ලය සිනමාපටයෙනි. එහිදී ඇය රංගනයේ යෙදුණේ සෙනාලි ෆොන්සේකා නැමැති තැනැත්තියව මතක් නොවන්නට වගබලා ගනිමිනි. සිනමා සිතුවමේ නීලමනී බොහොම අපූරුවට ඇය නිරූපණය කොට තිබිණි. ඇයට රංගනයේ මුලකුරු අමුතුවෙන් කියැවීමට අවශ්‍ය නොවුණි. ඒ ඇගේ පරපුරේ බොහෝ දෙනා රංගනයට හෝ සෙසු අංශ යටතේ කලාවට සබැඳිකම් කියන නිසාය. නිළි රැජන මාලිනියගේ පටන් ගත් ෆොන්සේකා නිළි දාමයේ ඇය ද ප්‍රබල පුරුකකි. මේ මොහෙතේ මගේ ඉදිරියේ නීලමනී නැත. ඇයගේ මතකය විජයබා කොල්ලය සිනමා සිතුවමේ පමණක් ශේෂ වී ඇත. සෙනාලි ෆොන්සේකාගේ කතාවට ඔබට සවන්දීමට පුළුවන. ඒ අතරතුරදී නිලමනී ද වරින්වර ඔබ හමුවට එනු ඇත.

සෙනාලි, ඔබට නිදහස තියෙනවා මේ කතාව පටන් ගන්න.

මම කැමැතියි විජයබා කොල්ලය චිත්‍රපටයේ මංගල දර්ශනය නිම වූ මොහොත මතක් කරන්න.

එදා ඔබ වට කරගෙන බොහෝ දෙනෙක් සුබ පතන්නට ඇති?

ඔව්. ඒ අතරෙදි මට පේනවා මාලිනී නැන්දි දුවගෙන එනවා. ඇවිත් මට මුකුත්ම කිව්වෙ නැහැ. ලොකු හාද්දක් දුන්නා. ඒ හාද්දෙ තිබුණා ඇය කියන්න හදපු ඔක්කොම දේවල් ටික. ඇගේ දෙනෙත්වලින් මං දැක්කා මං කොච්චර නීලමනීට සාධාරණයක් ඉටු කළා ද කියලා. විජයබා කොල්ලය මුලින්ම නිෂ්පාදනය කරන්න ඉන්න කොට මාලිනී නැන්දි තමයි නීලමනීට රඟපාන්න ඉඳලා තියෙන්නෙ.

නීලමනීට හොඳ වගේම නරක කියන අයත් ඇති?

ඔව්. හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. සියල්ල මැදිහත් සිතින් විඳ දරාගෙන ඉන්නවා. නරක කියන අයගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕන. සමහරු ඇත්තටම අඩුපාඩු කියනවා. පුද්ගලයාගේ පරිණතභාවය මත තමයි මං ඒවා හිතට ගන්නවද නැත්නම් මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරනවද කියන එක තීරණය කරන්නේ. චිත්‍රපටය නරඹන්නෙවත් නැතුව, ට්‍රේලර්ස් විතරක් බලලා බනින අය කොච්චර නම් ඉන්නවද. ඒ වගේ විවේචන අවශ්‍යම නැති නිසා බැහැර කරලා දානවා.

ඔබේ ඥාති සොයුරිය සමනලී ෆොන්සේකා තරමක අසම්මත චරිතයක්. ඔබගේ මතය වෙනස්. සමනලී ගැන ඔබ දකින්නෙ කොහොමද? 

තම තමනට ආවේණික වූ විධි තියෙනවනෙ. මං එක විදිහක්, සමනලි අක්කි තව විදිහක්. ඒකෙ වැරැද්දක් දකින්නෙ නැහැ. යම්කිසි තත්ත්වයකදී ඇය මුහුණ දෙන විදිහ, ඇය ක්‍රියා කරන විදිහ වෙනස්. අසම්මත දේවල් ඇය කරන බව පේනවනෙ. ඒ ඇය සමනලී ෆොන්සේකා නිසානේ. හැබැයි මං ඇයගේ ක්‍රියාකාරකම්, කියන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇගේ පැත්තෙන් ඇය සාධාරණ දේවල් තමයි කරන්නේ.

සිනමාවේ ඔබ කැපී පෙනෙන චරිතයක් වුණා නීලමනී සමඟින්. ඉදිරියේදී ඔබට චරිත තෝරා බේරා ගැනීමක් සිදු කරන්නට වේවි?

චරිත මේ මේ වර්ගයේ කියලා බෙදාගෙන හිටපු කෙනෙක් නෙවෙයි මම. බැලුවෙ නිර්මාණය ගැන පමණයි. සිනමාවෙන් තමයි මං නිළියක් හැටියට කරළියට ආවේ. නමුත් මට ඒ චරිත තුළදී ලොකු දේවල් කරන්න තිබුණේ නැහැ. ප්‍රේක්ෂකයා හඳුනාගැනීම සිදු වුණා. මං රඟපාපු එකම මෙගා නාට්‍ය තමයි හාරකෝටිය. ඒකේ මං කළෙත් වෙනස්ම වූ චරිතයක්නෙ. ලංකාව වගේ රටක නිර්මාණ කෙරෙද්දි ගෑනු උදවියට චරිත ලැබෙනවා අඩුයිනෙ. සීමාවලට වෙන් නොකර ලැබෙන චරිත තුළින් මට දෙයක් කරන්න පුළුවන්නම් මං ඒක බාර ගන්නවා.

ඔබේ මාමා කෙනෙකු වන සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ, තවමත් ඔහුගේ චිත්‍රපටයකට ඔබ ගත්තේ නැහැ?

ප්‍රසන්න මාමාගෙ චිත්‍රපටයක රඟපාන්න ආසයි. එහෙම වුණා කියලා ඔහු ඔහුගේ චිත්‍රපටවලට හිතුමතේට නළු නිළියී තෝර ගන්නේ නැහැ. ඔහුට ගැළපෙන නළු නිළියෝ පමණයි චරිතවලට ගන්නේ. ඔහු එවලෙ තීරණ ගන්නේ මාමකම පැත්තකින් තියලා. මම ඔහුගේ ඥාති දුවක් වුණත් ඔහුගේ බිරිය දමයන්ති නැන්දා වුණත් චරිතයකට ගැළපෙන්නෙ නැතිනම් ගන්නෙ නැහැමයි. ප්‍රසන්න මාමා කලින් කරපු චිත්‍රපටවල මට ගැළපෙන චරිතයක් නැතුව ඇති. ඒකනෙ මාව නොගත්තෙ. පුංචි කාලෙදි ඔහු කියලා තියෙනවා සෙනාලි මං ඔයාව චිත්‍රපටයකට ගන්නනවාමයි කියලා. ඉදිරියේදී ඒ ආරාධනාව ලැබෙයි කියලා හිතනවා.

විජයබා කොල්ලයේ ඔබ හේමාල් රණසිංහ සමඟ බොහොම ප්‍රේමාන්විතව රංගනයේ යෙදෙනවා. එවන් වූ කඩවසම් නළුවකු ළඟ තියාගෙන ආදරබර ජවනිකා රඟපාද්දී ඔහු ගැන ඇත්තම ආදරයක් හිතුණේ නැතිද?

හේමාල් එක්ක රංගනයේ යෙදෙන්න මීට ප්‍රථම අවස්ථා මට ලැබිලා තියෙනවා. ඒත් ඒවා නොසිතූ අන්දමින් ගිලිහුණා. ඇතැම් වෙලාවන්වලදී දින ප්‍රශ්න ආවා. ඔහුට පුළුවන් දිනවල මට බැහැ. මට පුළුවන් දිනවල ඔහු වැඩ. කොහෙන් කොහොම හරි ඔහු හා මම එකට රඟපෑවේ නැහැ. මාලිනී නැන්දි සිනමාවට ඇවිත් පනස් වසර සමරන උත්සවයේදී අයිටම් එකක් වෙනුවෙන් තමයි හේමාල් සමග මං මුලින්ම වැඩ කළේ. ඔහු මතු පිටින් පේන කෙනා නෙවෙයි. ඔහු දැක්ක ගමන් අපිට හිතෙනවා හරිම සෙල්ලක්කාර ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන කෙනෙක් කියලා. ඊට හාත්පසින්ම වෙනස් ඔහු. හරිම නිහතමානී, පරිසරයට බෙහෙවින් ආදරය කරන එකිනෙකාට ඉතාම හොඳින් ගෞරවය කරන කෙනෙක්. මං ඔහු සතු ඒ මනුස්සකමට ආදරෙයි. ඊට පරිබාහිරව හැඟීමක් මට ඇති වුණේ නැහැ.

සෙනාලි විවාහය පමා කරන්නේ ඇයි. ?

ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ බලාපොරොත්තු තියෙනවා. මටත් එහෙමයි. රංගන ජීවිතය පැත්තෙන් මටත් ටාගට් තියෙනවා මේ මේ දේවල් මේ මේ කාලයේදී වෙන්න ඕන කියලා. හොඳම නිළිය වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා. මව්පියන්ට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙකු වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා. මේවා එක්ක යන ගමනේදී කොයි මොහොතකදී හරි සුදුසු කෙනා මගේ ජීවිතයට එක් වෙයි. එහෙම රැඳෙන්න පුළුවන්කෙනා ඉඳියි.

විජයබා කොල්ලය චිත්‍රපටයේ ඔබ රඟපෑ දර්ශන අතරින් වඩාත් කැමැති තැන මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මේ චිත්‍රපටයේ හැම දර්ශනයකටම මං බෙහෙවින් ප්‍රියයි. ඒ සෑම වේලාවකදීම මට දෙයක් කරන්න තිබුණා. මේ වෙලාවෙ මට එකම එක දර්ශනයක් මතක් වෙනවා ප්‍රශ්නයේ උත්තරය හැටියට. නීලමනී මුල් වරට නයනානන්දට කෑම අරන් එන දර්ශනය තමයි මගේ ඔළුවට එන්නෙ. ඒ සීන් එක හරිම ලස්සනයි සහ තාත්ත්විකයි කියලා බොහෝ දෙනෙක් කිව්වා.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.