සිනමා සක්විති නමින් ලේ බිඳක් දන්දෙමු

සිනමාලෝලී ඔබටත් ආරාධනා
සැප්තැම්බර් 26, 2019

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 15 වන ගුණානුස්මරණය මෙම මස 30 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඔහුව ඇසුරු කළ ඔහුට ආදරය කළ බොහෝ දෙනෙක් අතින් අද ද ඔහු වෙනුවෙන් විවිධ වූ ගුණානුස්මරණ වැඩසටහන් සිදු කෙරේ. වසර කිහිපයක පටන් සිනමා සක්විති වෙනුවෙන් එවැනි පින්කම් මාලාවක් සිදු කරන අපේ කලාකරුවෙක් තමයි අශෝක සෙනරත් මුදලිගේ. වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු, තිර රචකයකු මෙන්ම චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු වන අශෝක සෙනරත් මුදලිගේ මෙවරත් එම පින්කම පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර අවසන්.

සිනමා සක්විති 15 වන ගුණානුස්මරණය කොයි ආකාරයෙන් පවත්වන්න ද මෙවර ඔබේ සූදානම?

ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් මම සංවිධානය කරන හතරවන ලේ දන්දීමේ පින්කම තමයි මෙවර පැවැත් වෙන්නේ. මෙවරත් එය මම පැවැත්වීමට අදහස් කරලා තියෙන්නේ කොළඹ 05, නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී.

මේ සඳහා ඔබ කොයි වගේ වැඩ සටහනක් ද කරන්න බලාපොරොත්තුව?

ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දම්මිත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 30 වැනිදා පෙ. ව. 9.00 සිට ප. ව. 3.00 දක්වා ජාතික රුධිර මධ්‍යස්ථානයේ සියලු කලා ශිල්පී, ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් මේ ලේ දන්දීමේ පින්කම පැවැත්වෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් විශාල රණවිරුවන් පිරිසක් ලේ දන්දීම සඳහා සහභාගි වෙන්නට නියමිතයි.

එදාට මේ පින්කම සඳහා සාමාන්‍ය ජනතාවටත් එක් වෙන්න පුළුවන්ද?. විශේෂයෙන් ගාමිණී ෆොන්සේකාට ආදරය කළ රසිකයන්ට එහෙම?

අපොයි පුළුවන්. කිසිම වර්ග කිරීමක් නෑ. කාටත් කැමති අයුරින් සහභාගි වෙන්න පුළුවන්. තමන්ට කැමති නම් ලේ දන් දෙන්න පුළුවන්. මම අපේ රටේ ඉන්න සියලුම කලාකරුවන්ට කලාකාරියන්ට විවෘතව ආරාධනා කරනවා මේ වෙනුවෙන් එකතු වෙන්න කියලා.

ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් ඔබ මෙවැනි ගුණානුස්මරණයක් වෙත යොමු වුණේ කොයි කාලයේද?

එතුමන්ගේ නමවන ගුණානුස්මරණය යෙදිල තිබුණු 2013 වසරේ පටන් තමයි මම මේ සඳහා මුල පිරුවේ. එම වසරේ මම මුලින්ම එතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙන් කළේ සිනෙ රූ තරු තොරතුරු නමින් ඩී.වී.ඩී. එකක් එළි දැක්වීම. ඒ ගුණානුස්මරණය මම සංවිධානය කළේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියගේත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේත් ප්‍රධානත්වයෙන්. එදා මම ගාමිණී ෆොන්සේකා මහතාට උපහාරයක් ලෙස එළිදැක් වූ මේ ඩී.වී.ඩී. තැටිය උණු කැවුම් වගේ අලෙවි වුණා. ඊට පස්සේ මම 2014 වසරේ හා 2015 වසරේ එතුමන් වෙනුවෙන් පහන් පින්කමක් සංවිධානය කළා. 2016 වසරේදී මට අදහසක් ඇති වුණා .ගුණානුස්මරණය නිමිත්තෙන් ලේ දන්දීමේ පින්කමක් කළොත් හොඳයි කියලා. ඒ අනුව එතුමන්ගේ දොළොස් වෙනි ගුණානුස්මරණය නිමිත්තෙන් මම ලේ දන්දීමේ පින්කම ආරම්භ කළා. ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දම්මිත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් එතැන් පටන් මම වසරක් වසරක් පාසා මේ පින්කම අඛණ්ඩව කරගෙන එනවා. මෙවර පැවැත් වෙන්නේ හතර වෙනි වතාවට.

ගාමිණී ෆොන්සේකා අනුස්මරණ සම්මාන ප්‍රදානයක් පවා ඔබ මෙම පින්කමේදී සිද්ධ කරනවා?

ඔව්. මම ගිය වසරේ එම සම්මානය පිරිනැමුවේ උදුලා දාබරේට හා විල්සන් කරුණාරත්නට. මෙවරත් මම ඒ සම්මාන ප්‍රදානය සිද්ධ කරනවා එදා ගාමිණී ෆොන්සේකා සමඟ සිනමාවේ පෙළහර පෑ විශිෂ්ටයන් දෙපළක් වෙනුවෙන්.

කලාකාරයෙක් වෙනුවෙන් මෙවැනි පින්කමක් අඛණ්ඩව කරගෙන එන්න ඔබට විශේෂ වෙච්ච හේතුවක් තියෙනවාද?

මම කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ දැන ඉගෙන ගත්තේ ගාමිණී ෆොන්සේකා නිසා කියන දේ මගේ හිතේ අදත් තියෙනවා. හෙටත් තියෙනවා. මගේ ජීවිතය පවතින තුරා එය මගේ හිතේ කෙටුව රන් සිතුවිල්ලක්. අද බෙහෝ දෙනෙකුට මුල අමතක වෙන යුගයක්. ඒ වගේ විපරිත කාල වකවානුවක මම මේ වගේ දෙයක් කරන කොට වුණත් මගෙන් අහපු අවස්ථා තියෙනවා ඇයි අශෝක ගාමිණී වෙනුවෙන් උඹ ඕව කරන්නේ. උඹේ තාත්තා අම්මා වෙනුවෙන් පිනක් කළා නම් හොඳ නැද්ද කියලා. ඔය වගේ දේවල් කියන අයත් නැතුව නෙවෙයි. ඒත් මම හොඳට කෙලෙහි ගුණ දන්න කෙනෙක්. අපි පිදිය යුත්තන් පුදන්න ඕනේ. ඒකයි මගේ අදහස. මම මේ පින්කම වුණත් කරන්නේ කලා ජීවිතයේ අපි අතරින් සමුගත් සිනමා, වේදිකා, රූපවාහිනී මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ සියලු කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, රට බේරා ගත් රණවිරුවන් වගේම අපේ දෙමාපියන් සිහිපත් කරලා. සිනමා සක්විති ගුණානුස්මරණය මුලික කරගෙන තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ.

ගාමිණී ෆොන්සේකා කියන චරිතය හරි හැටි වටහා නොගත් අය නොවේද ඔය ආකාරයෙන් විවේචනයන් සිද්ධ කරන්නේ?

හුඟක් අය දන්නේ නෑ අපේ සිනමාව රැකුණේ ගාමිණී නිසා බව. ගාමිණී ෆොන්සේකා තමයි අපේ නළු නිළියන්ට ගෞරවයක් ඇති කළ පුද්ගලයා. එහෙම නොවන්න එදා අපේ නළු නිළියෝ වහල්ලු. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා නළුවට නිළියට නියම වටිනාකමක් ඇති කළේ මේ සිනමා සක්විති. ගාමිණී මහත්තයා ළඟ බොරුවට තැනක් නැහැ. වෙලාවට කලාවට වැඩ කරන දක්ෂයාට එතුමා ළඟ දොර විවර වුණා. එතුමා කැමති වුණේ අන්න ඒ වගේ අය එක්ක වැඩ කරන්න. රඟපෑම ගැන විතරක් නෙවෙයි, සිනමාවේ කාර්මික පැත්ත ගැනත්, විෂය දැනුම අතිනුත් ගාමිණී මහත්තයා ඉහළ තැනක හිටියා. එතුමා එක්ක ළඟින් වැඩ කළ අය වගේම එතුමාගේ දායකත්වයෙන් බිහි වූ සිනමා නිර්මාණ ඒ සඳහා කදිම සාක්ෂි.

ඔබ මුලින්ම සිනමා සක්විති හඳුනා ගත්තේ බොහොම තරුණ අවධියේ?

ඒක සිද්ධ වෙන්නෙත් අහඹු ලෙසින්. මම පාසලෙන් ඉවත් වුණු අලුත කොළඹ සුදර්ශියේ මගේ වේදිකා නාට්‍යයක් රිහසල් කරමින් හිටියා. ඒ නායකයා නාට්‍යය. දවසක් සොමී රත්නායක සුදර්ශිය ළඟට ඇවිත් කිව්වා මටත්, ප්‍රසන්න ෆොන්සේකාටත්, ගාමිණී සිල්වාටත් වැඩක් තියෙනවා යන්න ලෑස්ති වෙන්න. හෙට කිරුළපන හංදියේ ඉන්න. අහවල් වෙලාවට මම එනවා එක්ක යන්න කියලා. ඒත් වැඩේ මොකක් ද කියලා නම් කිව්වේ නැහැ. කිව්ව විදියට අපි ලෑස්ති වුණා. සොමී රත්නායක ඇවිත් අපිව එක්ක ගියා නෝටන්බ්‍රිජ්. එහෙ බංගලාවක අපි නතර වුණා. එදා රෑ කෑම කාලා ඉන්න කොට එතනට ආවේ ගාමිණී මහත්තයා. සොමී රත්නායක එතුමාට අපිව හඳුන්වලා දුන්නා. අපි තුන් දෙනාට නැගිටින්න කිව්වා. හොඳින් බැලුවා. චිත්‍රපටයක රඟපාන්න කැමති ද ඇහුවා. අපි එක එක් කෙනාට අඳින්න ඕනෑ ඇඳුම් ගැන කිව්වා. පහුවදා ෂූටින්වලට ලෑස්ති වෙන්න කිව්වා. ඒ තමයි බඳුරා මල් චිත්‍රපටය. මට ඒ චිත්‍රපටයේ කරන්න තිබුණේ මිනින්දෝරුවෙක්ගේ චරිතයක්. අනිත් දෙන්නාට ඒ සඳහා සහාය වන චරිත. ඒ තමයි ගාමිණී මහත්තයා මට හමු වූ මුල් අවස්ථාව. ඊට පස්සේ දෙමෝදර පාලම චිත්‍රපටයේ මට සහය අධ්‍යක්ෂක ලෙසින් එතුමත් එක්ක වැඩ කරන්න ලැබුණා. මගේ වේදිකා නාට්‍ය බොහොමයක මංගල දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එතුමා සහභාගි වුණ අවස්ථාත් තිබුණ. ඒ අනුව අප අතර මිතු දමක් ගොඩනැඟුණා.

ඔබ රංගනයට වඩා වේදිකා නාට්‍ය නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට පෙම් බැන්දා?

මම රඟපෑමට එතරම් කැමැත්තක් නැහැ. රඟපාන්න ආරාධනා ආවා. ඒත් මම සුහදව ප්‍රතික්ෂේප කළා. මේ වෙන කොට මම වේදිකා නාට්‍ය 14 ක් නිර්මාණය කරලා තියෙනවා. නායකයා, සැරද යමලෝපති, දේශද්‍රෝහියෝ, සිංහ දියණිය, සිකුරිටි සින්නතම්බි, මාස්ටර් බීන්, ඩාන්සින් ස්ටාර් විත් නාගින්නා ආදී නාට්‍ය බොහොමයක්. ඒ වගේම තමයි මම නාට්‍ය නිර්මාණ හරහා නිහාල් සිල්වා, සරත් පීරිස්, සංජය ලීලාරත්න ආදී බොහොමයක් නළුවන් කලාවට මුල්වරට හඳුන්වා දිලා තියෙනවා.

පාසලේ පටන් කලාවට ඔබ ඇලුම් කළා?

මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලය. මගේ කලා ජීවිතයේ මාර්ගෝපදේශකයෝ වුණේ උපාලි අත්තනායක ගුරු පියාත් සරත් දසනායක ගුරු පියාත්. මේ දෙපළගේ ගුරුහරුකම් මගේ කලා ජීවිතයේ යෝධ සෙවණැලි වුණා.

සිනෙ රූ තරු තොරතුරු ඔබේ නිෂ්පාදනය ඔබට ගාමිණී ෆොන්සේකා හා සමීප සබඳතාවයකට හොඳ අත්වැලක් වුණා?

ඔව්. ඒ අත්වැල මට යෝධ ශක්තියක් වුණා. මට අවශ්‍ය වුණා අපේ සිනමා යුග පිළිබඳ වැඩ සටහනක් කරන්න. ඒ අදහස තමයි මම මේ අයුරින් එළි දැක්වූයේ. මට අභියෝගයක් වුණේ සිනමා සක්විති මේ සඳහා සම්බන්ධ කර ගන්නේ කොහොමද කියන එක. කවුරුත් බෑ කිව්වා. ඒ සබඳතාවය මම ඇති කර ගත්තේ. කවුරුත් පුදුම කරමින්. එදා මට ගාමිණී මහත්තයත් එක්ක මාලිනී ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න එකතු කොට මේ වැඩසටහන රූපගත කරන්න ලැබුණා. ගාමිණි ෆොන්සේකාගේ උපදෙස් පරිදි ඔහුගේ හිතවතෙකු වූ ඩොනල් දිසානායකගේ ගම්පහ ප්‍රදේශයේ නිවසක මේ වැඩසටහන මට පටිගත කරන්න ලැබුණේ. මේ ගැන අවශ්‍ය දැනුම ගැන ගාමිණී මහත්තයා මාව පරීක්ෂාවකට ලක් කළේ මට නොදැනිම. ඒ ගැන මට එකින් එක තේරෙන්න ගත්තේ මේ කටයුත්ත නිමා වුණාටත් පස්සේ. වැඩ සටහනේ සාර්ථකත්වය කොච්චර ද කියනවා නම් මට සුමති සම්මාන උලෙළේ දී හොඳම සඟරාමය වැඩසටහන වෙනුවෙන් ඒ සඳහා සම්මානය පවා හිමි වුණා.

ඔබ ගෞරවනීයව සිහිපත් කරන ගාමිණී ෆොන්සේකා චරිතය ගැන අද ඔබට හැඟෙන්නේ මොන වගේ සිතුවිල්ලක්ද?

මම ඔය ප්‍රශ්නයට අපේ සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සක්විති ගැන කියූ වැකි තුනකින් උත්තරයක් දෙන්නම්.

ඔහු හා සමානයෙක් යළි දකින්නට ලැබේද?

තවත් ගාමිණී ෆොන්සේකා කෙනෙක් කවදා හෝ උපදීද?

සදා කාලයටම ගාමිණී ෆොන්සේකා කෙනෙක් බිහි වේද?


නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.