චිත්‍රපට හදන තාත්තයි පුතයි

සැප්තැම්බර් 26, 2019

මම දැන් හුස්ම ගන්නේ හුස්ම නිසා 
- සුදේශ් වසන්ත පීරිස්

මට සනීප වුණාම දුවන චිත්‍රපටියක් කරනවා 
- සුනිල් සෝම පිරීස්

පිය උරුමයෙන් ගායනය, වාදනය, රංගනය, ව්‍යාපාර, දේශපාලනය වැනි ක්ෂේත්‍රවලට පුතුන් යොමු වීම සුලභ වුවත් සිනමා අධ්‍යක්ෂණයේදී එය බොහෝ විරල කාරණයකි. එහෙත් සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් පිය පුතු දෙපළ ඒ විරල ගණයට අයත් වන්නන්ය. චිත්‍රපට 54ක් තැනූ සුනිල් සෝම පීරිස් නාමය මා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. සුදේශ් වසන්ත පීරිස් ද චිත්‍රපට 22ක් ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව අතර නම තැබූවෙකි. අද අප ඔවුන් දෙදෙනා සමඟ කතාබහක යෙදෙන්නේ තම සිනමා ගමනේ හැරවුම් ලක්ෂ්‍යයකට යොමු වෙමින් සුදේශ් සිය 23 වැනි නිර්මාණය වන 'හුස්ම' චිත්‍රපටය නිර්මාණය කිරීම සහ එවැනි නිර්මාණයකට යොමු වීමට ඔහුට හේතු වූ කරුණු පිළිබඳවය....

අපි කතා කරමු ඉතින් හුස්ම ගැන?

සුදේශ් (පුතා): හුස්ම... හුස්ම කියන්නේ මම බයිස්කෝප් චිත්‍රපට 22ක් විතර කරලා, සිනමාව කොහෙද යන්නේ කියලා බලද්දි ඉන්දියාවේවත් දැන් බයිස්කෝප් පාවිච්චි වෙන්නේ නැති බව පෙනුණ නිසා, කලින් විදිහටම ගියොත් සිනමාවෙන් පැත්තකට තල්ලුවෙයි කියලා හිතුණ නිසා, මැජික් එකක් කරලා පැවැත්ම හදාගන්න ඕනේ කියලා හිතලා කරපු වැඩක්. මේ වර්ගයේ චිත්‍රපට කරන අධ්‍යක්ෂවරු බොහොමයක් ලංකාවේ ඉන්න නිසා, මම හොඳ ප්‍රස්තුතයක් හෙව්වා. යාළුවෙක් කීවා මෙහෙම සිදුවීමක් ලංකාවේ වෙලා තියෙනවා කියලා. හොයලා බලද්දි පත්තරවලත් විස්තර තිබුණා. පස්සේ මම ලෝක සිනමාවේ මේ වගේ ප්‍රස්තුත ගැන හොයද්දි සමාන කතා තේමාවන් සහිත චිත්‍රපට කීපයකුත් දැක්කා. ඒ ආභාසයත් අරගෙන හුස්ම කළා. හුස්ම මම දන්න සිංහල සිනමාවේ කවුරුත් අත නොගැසූ, කතා කරන්න බය වුණු වස්තුබීජයක්. මම බය නැතිව මේ කෘතිය කළේ මට සිනමාවේ අලුත් ඇරඹුමක් සමඟ කාගෙත් කතාබහට ලක්වන්න ඕනා නිසා.

සුනිල්සෝම (තාත්තා): නිෂ්පාදකවරයා කැමති වුණොත් තමයි අධ්‍යක්ෂවරයාටත් හැරෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකු අභියෝගයක්. සන්ධිස්ථානයක්. මොකද වැඩේ හරිගියොත් හරි. නැත්නම් හිටපු තැනත් නෑ ගිය තැනත් නෑ අනාථ වෙනවා.

මේ වෙනස ඔබට අභියෝගයක් වන්න ඇති?

හ්ම්... එකම බිත්ති හතරක් මැද, හතර දෙනෙක්, එකම ඇඳුම්වලින් ඉන්නේ. මට ලොකු බයක් දැනුණා ප්‍රේක්ෂකයන් කොහොමද කතාව පුරා රඳවා ගන්නේ කියලා. ඒත් මම සාර්ථකයි කියා හිතෙනවා. මොකද මට ලැබෙන ප්‍රතිචාර එක්ක ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ නැහැලු අපි මේ දකින්නේ එකම දර්ශනතලයක් කියලා. ඇත්තෙන්ම ජීවිතේ මම දැන් හුස්ම ගන්නේ හුස්ම නිසා.

මේ කතාවේ වැඩිවේලාවක් කාන්තාව ඉන්නේ සම්පූර්ණ නිරුවතින්?

පුතා : ඇත්තෙන්ම නිරුවතින් ඉන්න දර්ශන දෙකක් දෙකහමාරක් වගේ තමයි තිබෙන්නේ. මට හිතෙන්නේ ඒ නිරුවත් දර්ශනවල තමයි කතාව රැඳී තිබෙන්නේ. ඒ නිසා ඒ චරිතය රඟපෑ තරුණිය ගැනවත් කිසිකෙනෙක් වචනයකින්වත් නරකක් කීවේ නැහැ. හැබැයි ඒ තරුණිය සොයාගැනීම මට විශාල අභියෝගයක් වුණා. මම අපේ ප්‍රවීණ වගේම අලුත් නිළියන් කීපදෙනකුටම කතා කළා. ඔවුන් බය වුණා. චමත්කා ලක්මිණි මේ චරිතය නිරූපණය බාරගත්තාම මම ඇයට පොරොන්දු වුණා නංගි මේ චිත්‍රපටය නිසා කවදාවත් ඔයාට වචනයක් අහන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ වගේම මම ඒ පොරොන්දුව රැක්කා.

තාත්තා මොකද කීවෙ හුස්ම බලලා?

පුතා: හොඳයි කීවා. ඒත් එක දර්ශනයක කාලය අඩු කළානම් වඩා හොඳයි කීවා. ඒත් මට හිතෙන්නෙ නිර්මාණය දිහා හරියට බලන කෙනෙකුට ඒ දර්ශනය සඳහා යොදාගෙන තිබෙන කාලය අවශ්‍යමයි. මම හිතන්නේ හුස්ම කාන්තාවන් විසින් බැලිය යුතුම චිත්‍රපටයක්. මොකද වැඩිහිටියන්ට පමණයි කීවාම කාන්තාවන් බියක් දක්වනවා ශාලාවට එන්න. ඒ ලේබලය දැම්මාට මෙය කාම චිත්‍රපටයක් නෙවෙයි. මෝචරියට ගියත් කාන්තාවකට නිදහසක් නැහැ කියන එකයි මේකෙන් මම කියන්න උත්සාහ ගන්නේ.

තාත්තා: මට ආරංචි වුණා සමහරු චෝදනා දානවලු සංස්ථාවට මේක 'සෙක්ස් ෆිල්ම්' එකක් කියලා. මේක එහෙම කතාවක් නෙවෙයි. අනවශ්‍ය විදිහට ඒ දර්ශන ඇතුළත් කරනවා නම් තමයි ප්‍රශ්නය. මියගියා කියලා හිටිය කාන්තාවකට නැවත ප්‍රාණය ලැබිලා ඒ හුස්ම ටික රැකගන්න කරන මහා අරගලයයි තියෙන්නේ. ඒකෙදි අත්‍යාවශ්‍ය කොටස අයින් කළොත් කතාවේ කිසිම අරමුණක් නැහැ. චිත්‍රපට ක්ෂේත්‍රයේ අවුරුදු 40ක අත්දැකීමෙන් මට තේරෙන්නේ නිර්මාණය ප්‍රේක්ෂකයාට ආකර්ෂණය වෙලා යන නිසා ඒකට අකුල් හෙළනවා කියලයි. හැබැයි ඉතින් ඒකත් මුදලට ගන්න බැරි තරම් ප්‍රචාරයක්. කලාවේ විතරක් නෙවෙයි ආදරයෙත් කොටසක්නේ ඊර්ෂ්‍යාව. තමන් අතේ තියෙන දෙයක් අනුන්ට යනවාට. සිනමාවට ආදරය කරන අයම වෙන්නැති ඔහොම කියන්නේ.

ඔබ චිත්‍රපටයේ අලෙවිය ගැන හිතුවාවත්ද? මොකද කාන්තා සිරුර කියන්නේ හොඳ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා තිබෙන්නේ?

අනිවාර්යයෙන් අපි කවුරුත් කාන්තාවන්ට කැමතියි. කාන්තාව සුන්දර වස්තුවක්නේ. දුර ඉඳන් බලද්දි කාන්තාව හරි ලස්සනයි, දියඇල්ලක් වගේ. ළඟට ගියාමනේ භයංකාරකම තේරෙන්නේ. ඒකයි මම කියන්නෙ මේ චිත්‍රපටය කාන්තාවන් නැරඹිය යුතුම එකක් කියලා.

කලින් චිත්‍රපට කරද්දි සහ මේ චිත්‍රපටයේදී සුදේශ්ට අධ්‍යක්ෂවරයකු ලෙස දැනුණු වෙනස කෙබඳුද?

මම මුලින් හිතුවා මෙච්චර බයිස්කෝප් කරපු මට එක දර්ශන තලයක හතරදෙනෙක් එක්ක ෂූටින් කරන එක මොකක්ද කියලා. මගේ තව ලක්ෂණයක් තියෙනවා. මම කවදාවත් කලින් සූදානම් වෙලා එන්නේ නැහැ. මේ ෂොට් එක ගත්තට පස්සේ තමයි ඊළඟ එක කොහොම විය යුතුද කියලා මගේ හිතට එන්නේ. ඒක මගේ වැරැද්දක්ද මන්දා. ඒත් පුරුදු වුණ විදිහ. මේකටත් එහෙම ගිහින් බැලුවට පස්සෙ හම්මා... හිතාගන්න බැරුව ගියා කොහොම ෂූට් කරලා ප්‍රේක්ෂකයන් රඳවා ගන්නද කියලා. මොකද අපි බයිස්කෝප් කරද්දි දර්ශනතල පනහක හැටක, නළුනිළියන් විස්සක් තිහක් ඉන්නවා, ඇඳුම් හාරපන්සීයක් වෙනස් කරනවානේ. ඒත් මේක වෙනස්. කොහොම හරි ඒ අභියෝගයටත් මුහුණ දුන්නා.

තාත්තා: අපේ ආභාසයයි ඔහුගේ හැකියාව, පළපුරුද්ද, පිරිස් කළමනාකරණ හැකියාව සුදේශ්ගේ සාර්ථකත්වයට බලපානවා. තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව හොඳ දේවල් කළොත් පැවැත්මක් තියෙයි. එකක් අසාර්ථක වුණොත් අනෙක් ඔක්කෝටම ඒක බලපානවා.

ඔබ වරින්වර බයිස්කෝප්- බයිස්කෝප් කියන්නේ?

පුතා: මම බයිස්කෝප් කියන්නේ 60-70 දශකවල අපේ තාත්තලා, යසපාලිත අංකල්ලා, ලෙනින් මොරායස්ලා කරපු වට්ටෝරු චිත්‍රපටවලට. ඒවාට හිටියා ප්‍රේක්ෂක පිරිසක්. දැන් ඒ පිරිස වෙනස්වෙලා. අපි මුලින්ම ඒක තේරුම්ගන්න ඕනා. යාවත්කාලීන වුණේ නැත්නම් අපිට සිනමාවෙන් ඈත්වන්න සිදුවෙනවා. හැබැයි මම සිනමාවේ බෙදීමට පොඩ්ඩක්වත් එකඟ නැහැ. බයිස්කෝප්ද කලාත්මකද කියලා වෙනසක් නැහැ, ගුණාත්මක නිර්මාණයක් වෙන්නයි ඕනා. අධ්‍යක්ෂවරයකුට තිරපිටපතක් ලැබුණාම එයට සාධාරණයක් කරන්න පුළුවන් නම් ඒක තමයි එකම දේ. හුස්ම ඇතුළු මම තනිවම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ලේම පිටපත ලියුවෙත් මමයි. මම පිටපතක් දිහා බලන්නේ අධ්‍යක්ෂවරයෙක් විදිහට හෝ රස්සාව විදිහට නෙවෙයි. අරමුණ නිෂ්පාදකයා බේරාගන්නේ කොහොමද කියන එකයි. ඒක මට ගෙදරින්ම ලැබුණු ආභාසයක්. මොකද අනුන්ගේ සල්ලිවලින් අපේ වැඩ පෙන්වන එකේ තේරුමක් නැහැනේ.

තාත්තා: මම නම් චිත්‍රපට වර්ගීකරණය කරන්නේ නැහැ. හැබැයි අපි කළේ කර්මාන්තය පවත්වා ගන්න වාණිජ ගණයේ චිත්‍රපට. කර්මාන්තයක් කියන්නේ ව්‍යාපාරයක්. ඒක ලාභ ලබන්න ඕනා. මම සුනිල් ටීටම චිත්‍රපට 38ක් කළේ ලාභ ලැබුව නිසානේ.

සමහරු කියනවා හුස්ම කොපියක් කියලා?

ඔව්. ලංකාවේ ප්‍රශ්නේ අපි කළොත් ඒක කොපි. ඒත් සම්භාව්‍යයි කියලා හිතන අධ්‍යක්ෂවරු කළොත් ඒවා අනුවර්තන, පරිවර්තන, රීමේක්. කට්ටිය අපිව බෙදලා තියෙන හැටි තමයි ඒ. අපේ අතිසම්භාව්‍යයි කියන අය කරපු නිර්මාණවල පිටරට ආකෘති මට ඕනතරම් අහුවෙලා තියෙනවා. මම ඒ දේ වරදක් දකින්නෙත් නැහැ. දෙමළ, හින්දි චිත්‍රපට පවා අපි කොපි කරලා තියෙනවානේ. මම නම් ඒවායින් ගන්නේ කතන්දරය. එළියට දාන්නේ මගේ නිර්මාණය. නිර්මාණයක් කියන්නේ තමන්ගේ හිතට දැනෙන වස්තුබීජයනේ. එය පුළුවන් තරම් ආටෝප කරලා-කරලා ප්‍රේක්ෂකයා රඳවගත හැකි නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒක කොහෙන්ද ගත්තේ කොහොමද ගත්තේ මොනවද කළේ කියන එක වැදගත් නෑ. පිටපතක් ගත්තාම මම බලන්නේ චිත්‍රපටයට වැයවන මුදල හොයන්න පුළුවන්ද කියන එකයි. මම කතා කරන්නේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට ගෙන්වා ගැනීමට පුළුවන්ද කියන තැන ඉඳන්. මගේ චිත්‍රපට එකක්වත් පාඩු වුණ ඒවා නෙවෙයි. අපි කවුරුත් මිනිස්සු හැටියට ඉපදුණු දවසේ ඉඳන් කවුරුහරි කරන දෙයක් බලාගෙන ඉගෙනගන්න කරන්නේ කොපි කරන එකනේ. ඉතින් චිත්‍රපටවල වුණත් ලස්සන දර්ශනයක් තිබුණොත් ඒක ගන්නවා මිස රූප රාමුවෙන් රාමුවට කොපි කරන්න කාටවත් බැහැ. අනෙක ඕක ලෝකේ හැම කෙනෙක්ම කරන දෙයක්. ඒත් කොපියවත් හරියට කරගන්න බැරි අයනේ ලංකාවේ ඉන්නේ.

තාත්තා: කවුරු මොන විදිහේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කළත් තව කෙනෙක් කියයි ඕක අහවල් චිත්‍රපටයේ තියෙනවා කියලා. මොකද කතන්දරයකට මූලික වෙන තේමා කීපයයි තියෙන්නේ. ඒ නිසා ලෝකේ කොහේ හෝ සම්බන්ධයක් නැති කතා ලියන්නත් බැහැ. අනෙක අලුත් තේමාවක් කෙනෙක් ලීවාම ඒවා මිනිස්සු අතරට ගෙනයන්න පුළුවන්ද? ඒවා තමන්ගේ කතාව වුණාම වාණිජමය අතින් කොයිතරම් සාර්ථක වෙයිද කියන කරුණු නිසාද දන්නේ නැහැ ඒවා ලියැවෙන්නේ නැත්තේ. අපිත් ඔය හින්දි චිත්‍රපටයක තේමාවක් හරි අරගන්නේ පහසුවෙන් කළහැකි නිසානේ.

හුස්ම සඳහා නළුවරණයේදී ඔබ තීරණ ගත්තේ කොහොමද?

පුතා: මේ කතන්දරය දැක්කාම මගේ ඔළුවට ආපු චරිත කීපයක් හිටියා. ඒ පිරිමි තුන්දෙනාගේ චරිත ලක්ෂණ තුන් විදිහක්. මගේ නළු නිළියන් මම හිතපු විදිහටම ඒ චරිතවලට සාධාරණය ඉෂ්ට කළා. අරයා කළානම් වඩා හොඳයි කියන්න ඉඩක් තිබ්බෙ නැහැ. ඔවුන්ටත් මා එක්ක වැඩ කිරීමේදී ලොකු අභියෝගයක් තිබුණේ. පුබුදුලා ඉසුරුලා මුලින් බයත් වුණා. දසුන් කියන්නේ වෙනම අන්තයක ඉන්න නළුවෙක් විදිහට සුදේශ් අය්යා මොනවගේ වැඩක් කරයිද කියලා දෙගිඩියාවෙන් හිටියේ. ඒත් දැන් ඔවුන්ටත් සතුටුයි.

සිනමා කෘතියක් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නේ අධ්‍යක්ෂගේ හෝ නළුනිළියන්ගේ වාසනාව මතද?

පුතා: නෑ. මම හිතන්නේ පළමුව පිටපත. දෙවනුවත් පිටපත. තුන්වැනුව, ඒත් පිටපත. පිටපතට සාධාරණයක් කළ හැකි නළුනිළියන් ඉන්නකොට එය ලොකු ආලෝකයක් වෙන බව නම් ඇත්ත. ඕක මම මුලින් හිතුවෙ නැති දෙයක්. ඒත් දැන් ඒ ගැන හිතනවා. මොකද අද සිංහල චිත්‍රපට බලන්න එන්නේ අලුත් තාක්ෂණය එක්ක ඉන්න පිරිසක්.

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පරිහානියට පත් වෙනවා කියනවා?

පුතා: ඔව්. සමස්ත ශ්‍රී ලංකාවෙම හැම කර්මාන්තයකම කඩාවැටීමක් තියෙද්දි සිනමාව විතරක් බේරෙන්න බැහැනේ. හැබැයි ප්‍රේක්ෂකයන් චිත්‍රපට බලන්නේ නැතැයි කියන්න බැහැ. එහෙමනම් ඩීවීඩී ලක්ෂ ගණනින් විකිණෙන්නේ නැහැනේ. මිනිස්සු චිත්‍රපට බලන්න කැමැතියි. ඒත් සල්ලි නැහැ. ඉස්සර තුන්වැනි පන්තියේ ජනතාව බහුතරයක් චිත්‍රපට බැලුවා. අද ඒ අයගේ ආර්ථිකය කඩා වැටිලා. ඉතින් අපට චිත්‍රපට හදන්න වෙලා තියෙන්නේත් සල්ලි තියෙන පැලැන්තියේ, මධ්‍යම පන්තියේ ප්‍රේක්ෂකයන්ට. අනෙක අපේ සිනමාකාරයෝ ප්‍රේක්ෂකයන් ගැන හිතලා චිත්‍රපට හදන්නේ නැහැ. තමන්ගේ ආතල් එකට තමයි චිත්‍රපට හදන්නේ. ඒකයි සිනමාව කඩා වැටිලා කියන්නේ. ඇත්ත කතාව සිනමාව නෙවෙයි නිර්මාණකාරයන්ගේ නිර්මාණයි කඩාවැටිලා තිබෙන්නේ.

තාත්තා: ලංකාවේ සිංහල චිත්‍රපටි බොහොමයක් බලන්නේ මධ්‍යම පන්තිය හා පීඩිත පන්තිය. ඔවුන් ප්‍රිය කරන්නේ මොනවාටද කියලා අපි බලන්න ඕනා. එකකොට ඔය සම්භාව්‍යයයි කියා ගන්නා ඔළුව අවුල්වෙන, ගෙදර ගිහිල්ලත් මුලඅග සොයාගන්න බැරි චිත්‍රපට නෙවෙයි, එවෙලේ හිනාවෙලා විනෝද‌ වෙලා සින්දුවක් කියාගෙන ගෙදර එන්න පුළුවන් කානිවල් එකක් වගේ ඒවයි හදන්න ඕනා. අනෙක්වා එපා කියනවා නෙවෙයි. අඩු මුදලකින් පවුලටම විනෝද වෙන්න, හිතේ තිබෙන කරදර නැති කරගන්න පුළුවන් චිත්‍රපට තමයි එදා ප්‍රේක්ෂකයා බැලුවේ. චිත්‍රපටයක් සාර්ථකයි කියන්නේ එකම චිත්‍රපටය නැවත නැවතත් රසිකයන් බලනවානම්. එතකොටයි ක්ෂේත්‍රයේ අයටත් රැකියා තියෙන්නේ.

නිර්මාණශීලී නොවන්නත් හේතුවක් ඇතිනේ?

පුතා: තියෙනවා. අද නිකං ඉන්න හැම කෙනෙක්ම චිත්‍රපට අධ්‍යක්ෂවරු වෙන්න ට්‍රයි කරනවා. මම නම් ඉපදුණෙත් සිනමාව එක්ක. උපන්දා ඉඳන් හිටියෙත් සිනමාවත් එක්ක. එදා ඉඳන් සෙට්වල රවුම් ගහපු මට තාත්තා කීවේ මම ඔයාව ගේන්නේ නැහැ උඩට. ඔයා තනියෙන් ඉගෙනගෙන එන්න කියලා. මම ඩී.බී නිහාල්සිංහගේ දෙවැනි සහාය අධ්‍යක්ෂ කෙළි මඩල චිත්‍රපටයේ. කැමරාව සම්බන්ධව ලොකු දැනුමක් ගත්තෙ ඒ විදිහට. අවුරුදු ගාණක් අනෙක් අයගේ චිත්‍රපට තිහක විතර සහාය අධ්‍යක්ෂණය කරලා තමයි මම අධ්‍යක්ෂණයට ආවේ. අද එහෙම නෙවෙයි. හෝල් එකට ගිහින් චිත්‍රපටයක් බැලුවාම හිතනවා මටත් චිත්‍රපටයක් කරන්න තිබ්බානම් හොඳයිනේ කියලා හෙට චිත්‍රපටයක් කරනවා. කවුරුහරි කැමරාමන් කෙනෙක් ගන්නවා මොකද ඩිරෙක්ටර් ලෙන්සස් ටිකවත් දන්නේ නැති නිසා. මේවාට චිත්‍රපට සංස්ථාවෙන් හරි පොඩි නියාමනයක් තියෙන්න ඕනා. චිත්‍රපටයක් ලියාපදිංචි කරනකොට පාඨමාලාවක් කරල තියෙනවාද? චිත්‍රපට දෙකතුනකවත් සහාය අධ්‍යක්ෂණය කරලාද? කියලා මොකක් හෝ නිර්ණායකයක් තියෙන්න ඕනා. එහෙම නැතිව තමන්ගෙ ආතල් එකට චිත්‍රපට කරලා ප්‍රේක්ෂකයන් එන්නේ නැති වුණාම සිනමාව කඩන් වැටිලා කියන එක වැරැදියි.

තාත්තා: රූපවාහිනිය ලංකාවටත් ඕනේ. ඒත් සිනමාව මරාගෙන යන්න දෙන්න බෑනේ. අද රූපවාහිනී බංකොළොත් වෙලා සිනමාවෙන් යැපෙනවා. තමන්ගේ මාධ්‍ය කරන්නෙ නැතිව දවසට චිත්‍රපට තුන හතර පෙන්වන්නේ ඒ නිසානේ. ඒත් නිෂ්පාදකවරුන් රූපවාහිනියට අයිතිය දීලා පොඩි මුදලක් ගන්නවා. එයාලට නොතේරෙන දේ තමයි ඒවා ආයෙ කවදාවත් ශාලාවක පෙන්වලා වැඩක් නැහැ කියන එක. සිනමා ශාලාවල අඩුපාඩු ගැන ශාලා හිමියන්ට විතරක් තනිකර චෝදනා දාන්න බැහැ. නඩත්තු කරන්න චිත්‍රපටවලින් ආදායමක් ලැබෙන්නත් එපැයි. කොළඹ සමහර ශාලාවල පහසුකම් තියෙනවා හැබැයි ටිකට් එකක ගාණ?

අනෙක ඔය ඩිජිටල් තාක්ෂණය ආවට පස්සේ මේ තරුණ පරපුරට චිත්‍රපට කිරීම නිකං හෝල්සේල් වුණා. පිළිවෙතක් නෑ. අවබෝධයක් නෑ. මඟුල්ගෙවල්වල පින්තූරගන්න අයත් චිත්‍රපට අධ්‍යක්ෂලා වෙනවා. කතන්දරවල චරිත අඩුයි, පවුල් ගතියක් නැහැ, පැය දෙකක් විතර ගැටලුවක් කියනවා. කිසිම විනෝදයක් නෑ මළගෙදරක වාඩිවෙලා හිටියා වගේ. මොනදේ කළත් අපේ ආගමට දහමට, සංස්කෘතියට හානියක් කරන්න හොඳ නෑ. හැබැයි ඒවා රැකගෙන විනෝදය සපයන්න පුළුවන් වුණොත් මිනිස්සු චිත්‍රපට බලනවා. අද මිනිස්සු චිත්‍රපට බලන්නේ නැහැ කියන්නේ බලන්න දෙයක් නැති නිසා.

පුතා: මගේ නිර්මාණවලට බැන්නත් හොඳ කීවත් ඒ දෙකම මම බාරගන්නවා. මොකද මගේ චිත්‍රපටවල හැම අංශයක්ම මගේ මැදිහත්වීමෙන්, මට ඕනාදේම තමයි කෙරෙන්නෙ. සිනමාව ප්‍රායෝගික වැඩක්. සමහරු පිටරට ගිහින් සිනමාව ගැන උපාධි ගහලා එනවා ෆ්රේම් එකේ සයිස් එක දන්නේ නැහැ. මට නම් ඩිග්‍රි නැහැ හැබැයි මම සිනමාවත් එක්කම ඉපදිලා තේ එක දෙන තැන ඉදන් අවසානයේ ශාලාවෙ ටිකට් නිකුත් කරන තැන දක්වාම දන්නවා. මම පුටුව උඩ ඉඳන් ඉන්න අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි.

තාත්තා: එයා ළමා කාලේ ඉඳන් විජේගේ, සනත්ගේ, ජීවන්ගේ කුඩා කාලේ චරිත රඟපෑවා. මුල ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වුණු නිසා සුදේශුත් ටිකක් වාණිජ පැත්තට තල්ලුවෙලා ගියා. නිල නොවන සහාය අධ්‍යක්ෂ වෙලා ඉඳලා මගේ චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂ වගේම සම අධ්‍යක්ෂත් වුණා. අධ්‍යක්ෂවරයකු හැටියට අවශ්‍ය ඥානය ඕන තරම් එයාට ලැබුණා. චිත්‍රපටවල කාර්මික දැනුම කොහෙන් ඉගෙන ගත්තත් එකයි. ඒත් නිර්මාණශීලීත්වය තමන් තුළින්ම ආ යුතු දෙයක්.

හුස්මෙන් පස්සේ?

පුතා: මම හුස්මත් එක්ක ලොකු වෙනසක්නේ කරගත්තෙ. ඉතින් තීරණය කළා මම බයිස්කෝප් චිත්‍රපටත් කරනවා හැබැයි ප්‍රමිතියක් ඇතිව අද ලෝකෙට ගැළපෙන විදිහට. මගේ ඊළඟ නිර්මාණ දෙකත් මම ලියලා හමාරයි. බොහෝ විට රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා මගේ ඊළඟ කෘතියට සම්බන්ධ වෙයි. ඒවාත් හුස්ම ගණයට වැටෙන බොහොම කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපට වෙයි. ඒ චිත්‍රපට දෙකත් එකම දර්ශන තලයේ චරිත හතර බැගින් තිබෙන ඒවා.

පුතා නම් වංගුවක් ගත්තා?

තාත්තා: මම යසපාලිත, මූ. අරුක්ගොඩ වගේ අයට සහාය අධ්‍යක්ෂණය කරලා මගේ මුල්ම චිත්‍රපටය කළේ ඔබට දිවුරා කියන්නම් 1985දි. ඒක දින 100 වාර්තා තියලා ඊට පස්සේ මමයි රජා, රජවැඩකාරයෝ, ජය අපටයි, ඔබටයි ප්‍රියේ ආදරේ අන්තිමටම ජය පිට ජය කළා. ලංකාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් කරපු අධ්‍යක්ෂ කියලා සරසවියේ වාර්තාවකුත් ගියා. ළඟදි සම්මානත් ලැබුණා සිනමාවට මම කළ පුරෝගාමී මෙහෙවරට. මගේ මේ රෝගාතුර තත්ත්වය තව ටික දවසකින් හොඳ වෙලා මට ඇවිදගන්න පුළුවන් වෙනබව මම දන්නවා. ඉතින් මම පිටපතක් ලෑස්ති කරන් ඉන්නවා. මට මේ චිත්‍රපටය කරන්න ඕනෙ වෙන මොකකටවත් නෙවෙයි චිත්‍රපට දුවන්‌නේ නැහැ කියන මේ බොරු තර්කය බිඳලා පෙන්වන්න තියෙන ආසාවට. අපි ජීවත් වුණ හැදුණ වැඩුණ ආදරය කළ සිනමා කර්මාන්තය වැටෙන්න නොදී මතු පරපුරට ආරක්ෂා කරලා සතුටින් බලන් ඉන්නයි අපට ඕනේ. ඒ නිසයි බැරිබැරි ගානේ වුණත් මේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

තාත්තා ගැන මොකද හිතන්නේ?

පුතා: ඇත්තටම මම අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ තාත්තා නිසානේ. ඒත් තාත්තා මට හැමදාම කීවේ මම ඔයාව උස්සලා තිබ්බොත් මම නැති දවසට ඔයා කඩන් වැටෙයි. ඒ නිසා ඉගෙනගෙන තැනකට එන්න. ඉතින් මම පිට අයට වැඩ කරලා, තාත්තාගේ දෙවැනි සහාය අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ, සම අධ්‍යක්ෂ වෙලා අධ්‍යක්ෂ වුණේ තාත්තාගේ මඟ පෙන්වීම සමඟ මගේ කැපවීම නිසයි.

පුතා ගැන තාත්තට හිතෙන දේත් කියමු?

මුලින් සබීතා පෙරේරාට අපි කීවේ ස්ටැන්ලි-ගර්ලිගේ දුව කියලා. සංගීතාට තිමොතිගෙ දුව කියලා. කාලයාගේ ඇවෑමෙන් ඒක වෙනස් වෙලා සබීතාගේ තාත්තා අම්මා ස්ටැන්ලි ගර්ලි, සංගීතාගේ තාත්තා තිමොති කියලයි අඳුන ගත්තේ. මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ සුනිල් සෝම පීරිස්ගේ පුතා සුදේශ් වසන්ත පීරිස් කියන එක වෙනස්වෙලා සුදේශ්ගේ තාත්තා සුනිල්සෝම පීරිස් කියලා හඳුන්වන කාලයක් උදාවෙන්න කියලා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.