මං ඇඳුමෙන් පෙනුමෙන් විතරයි වෙස්ටර්න්

සැප්තැම්බර් 26, 2019

 

ටීනා ෂනෙල්

 

මේ ඉන්නෙ ටීනා ශනෙල්. සිනමාව ඔස්සේ ඔබට සමීප වෙමින් පුංචි තිරයට ද එක් වූ ඇය මියුසික් වීඩියෝ ඔස්සේ ද සිය රංගන හැකියාව ඉදිරිපත් කළා. සමහරු ටීනාව හඳුන් වන්නෙ හොට් මොඩ්ලර් කෙනෙකු හැටියට. අවැසි තැන්වලදී කෙටි ඇඳුමෙන් සැරසෙන්නත් ටීනා පැකිළෙන්නේ නැහැ. රංගන ශිල්පිනියක ලෙස නිර්මාණයන්ට දායක වුව ද ටීනා ලැබෙන චරිත භාර ගන්නේ ද තෝරා බේරාගෙනයි.

 

එහෙම නේද ටීනා?

ඔව්. ලැබෙන සෑම ආරාධනාවක්ම බාරගන්න පුළුවන් ඒවා නෙවෙයිනෙ. අනික මං ආස නැහැ නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනෙන චරිතයක් වෙන්න. අපෝ . . . මෙයා හැම චැනල් එකකම ඉන්නවනෙ කියලා එතකොට මිනිස්සු කියාවි. එයාලටත් අපිව එපා වෙනවනෙ එතකොට. මට සාමාන්‍යයෙන් රංගනයට ආරාධනාවක් ලැබුණම කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙනවා. එකක් තමයි මගෙත් එක්ක රඟපාන්න ඉන්න නළුවා කවුද කියන එක. ඊට පස්සේ මගේ බජට් එකට හරියනවද කියලා බලනවා. පිටපතත් බලනවා. මේවා ගැන හොයලා බලලා තමයි රඟපාන්න යන්නෙ.

හරි අපි මෙහෙම හිතමු. ඔබට හොඳ චරිතයක් ලැබෙනවා. ඒත් ඔබේ බජට් එකට ගැළපෙන්නෙ නැහැ. එතකොට මොකද කරන්නෙ?

ටිකක් කතාබහ කරලා බලනවා. හැබැයි මගේ ගාණට වඩා අතිශය අඩු මුදලකට මම රඟපාන්න යන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියක තමයි මං ඉන්නේ. එහෙම කරන්නේ රංගනයේ තිබෙන වටිනාකම පවත්වාගෙන යන්න.

ටීනට සම්මාන ගැන බලාපොරොත්තුවක් නැතිද?

අපි ඉතින් මොඩ්ලින්වලින් ක්ෂේත්‍රයට ආව කට්ටියනෙ. එහෙම අයට සම්මාන දෙනවා අඩුයිනෙ. දේදුනු ආකාසේ චිත්‍රපටයේ අපි රඟපෑවා. කෝ කිසිම ඇගයීමක් කළේ නැහැනෙ.

ඒ චිත්‍රපටය වෙනුවෙන් සම්මානයක් බලාපොරොත්තු වුණාද?

මට නෙවෙයි, ඒකේ රඟපාපු චුලක්ෂිටවත් සම්මානයක් ලැබුණේ නැහැනෙ. අඩුම තරමෙ කුසලතා සහතිකයක්වත් දෙන්න තිබුණා. චිත්‍රපටය සෑහෙන කාලයක් හෝල්වල තිබුණා. මේ දවසින් දෙකෙන් ගලවපු චිත්‍රපටවල නිළියන්ට නම් සම්මාන ලැබෙනවා. ඒ අය නිළියොද කියලා අපි දන්නෙත් නැහැ, දැකලත් නැහැ.

ගොසිප් හරහා ඔබ ජනප්‍රියත්වයට පත් වුණා නේද?

ගොසිප් මට නිතර හැදෙනවනෙ. ඒවා හදන සයිට්වල ඉන්න අය මොනවා හරි කුණු කතාවක් හොයලා එයාලගෙ රීච් වැඩි කර ගන්නනෙ හදන්නෙ. මට ගොසිප්වලින් ජනප්‍රිය වෙන්න ඕන නැහැ. නිර්මාණ හරහා මිනිස්සු හඳුනා ගැනීම තමයි වැදගත්.

මෑතකදී ඔබ ගැන එහෙම කතාබහට ලක් වූ අවස්ථාවක් මතක් කරමු?

චන්දිමාල්ගෙ පාර්ටියට මං ගිය විදිහ ගැන නිතර කතාවට ලක් වුණා. තව . . . ආ . . . අර සිරසෙ ප්‍රෝගෑම් එකක් කරද්දි මගේ උඩු ඇඳුමෙ බටන්ස් ගැලවිලා ඇඳුම ඕපන් වෙච්ච සිද්ධිය සයිට් කීයක ගියාද.

ටීනා ශනෙල් හරිම ආඩම්බරකාර චරිතයක් කියලා ඇතැම් අය කියනවා?

මම . . . නැහැ, එහෙම කියන අය මං ගැන හරියට දන්නෙ නැතුව ඇති. එයාලා නැත්නම් එහෙම කියන එකක් නැහැනෙ. මාව දන්න අය මං ගැන දන්නවා. මගේ හිතවත් අය ගාවට මං ළඟට ගිහින් තමයි කතා කරන්නේ. එයාල මං ගාවට එනකම් ඉන්නෙ නැහැ. ඉතින් කොහොමද මං ආඩම්බර වෙන්නෙ.

ඔබ හරිම වෙස්ටර්න් ටයිප් කෙනෙක් වග බැලූ බැල්මට පේනවා?

ඒක මගේ පෙනුමනෙ. සමහරු හිතනවා මං නිතර පාර්ටිවලට සහභාගි වන ඩ්‍රින්ක්ස් එහෙම ගන්න නිළියක් වෙන්න ඇති කියලා. අනේ මන්දා එයාලා කොහොම මං ගැන විනිශ්චයක් දෙනවද කියලා. ඒවා සේරම අසත්‍ය දේවල්. මං හිතන්නෙ මං ඇඳුමෙන් පෙනුමෙන් විතරයි වෙස්ටර්න්.

ටීනා ශනෙල් කියන්නෙ මොන වගේ චරිතයක්ද?

නිළිකම හිතට නොගත්තු කෙනෙක්. තවත් විදිහකින් කියනවා නම් කාලෙන් කාලෙට ස්වරූපය වෙනස් කර ගන්න කෙනෙක්. බොහොම සාමාන්‍ය ගැහැනු ළමයෙක්.

තවම තනිකඩ කෙනෙක් කියලත් කියන්න?

ඔව්. තනිකඩයි. ආදරයක් ගැන හිතලවත් නැහැ.

 

හැඩගැන්වීම

සුනෙත් හිඳුරන්ගල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.