සැමියාගේ සහය නොවන්න මේ ගමන යන්න බැහැ

ඔක්තෝබර් 3, 2019

 

Chamathka Lakmini

 

ශ්‍රී ලංකාව වැනි රටක සිනමාපටයක කීයක් දෙන්නම් කිව්වත් නිරුවත් චරිත කරන්නේ නැතැයි ඇතැම් දක්ෂ තරුණ නිළියෝ පවසති. ඒ ඔවුන් ලංකාවේ හැටි දන්නා නිසාය. ලෝක සිනමාව ගත් කල කාන්තා නිරුවත යනු විස්මයජනක කාරණාවක් වන්නේ නැත. අප රට තුළ නිරුවත් දර්ශන රැගත් ගුණාත්මක චිත්‍රපටයකට පවා නිළියක් සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. සමහර නිළියන් බාල ප්‍රතිචාරයන් මත දරාගත නොහැකිව ක්ෂේත්‍රයෙන් බැහැර වූයේ ඇතැමුන් අවඥා සහගත ලෙස ඔවුන් දෙස බැලූ හේතුවෙනි. දැන දැනත් චමත්කා ලක්මිණි හුස්ම සිනමාපටය වෙනුවෙන් කළ රංගනය ඉහළින් අගය කිරීමට චිත්‍රපටය නැරැඹූවෝ උත්සාහ කළේ ඊට ඇය මනා සාධාරණයක් ඉටු කිරීමත් චරිතය වෙනුවෙන් ඇය කළ කැප කිරීමත් නිසාය.

චමත්කා, හුස්ම සඳහා ඔබට කතා කළේ කවුද?

අධ්‍යක්ෂ සුදේශ් අයියම තමයි කතා කළේ. ඔහු මං සරුංගල් චිත්‍රපටයේ කරපු රංගනය දැකලා තිබුණා. සුදේශ් අයියා බයිස්කෝප්කාරයනෙ. ඊට කලින් ඔහු කරපු චිත්‍රපටවලට මට කතා කළා. මං ගියේ නැහැ. චිත්‍රපටයේ පිටපත බලලා මට කෝල් කරන්න කිව්වා. මට ඒකට අකැමැත්තක් ප්‍රකාශ කරන්න හේතුවක් තිබ්බේ නැහැ. මේක මං බලාගෙන හිටපු පිටපතක්. මේ වගේ අභියෝගාත්මක චරිතයක් එනකං හිටියෛ්. අනික මාත් එක්ක රඟපාපු තුන්දෙනා ඉසුරු, පුබුදු, දසුන්. මේ අය නැත්නම් චිත්‍රපටය වගේම මගේ චරිතයත් වැටෙන්න තිබුණා. විශේෂයෙන්ම දස්සා. මං එයාගෙන් මුලින්ම ඇහැව්වා චිත්‍රපටය ගැන. උඹට පුළුවන් නම් කරපං කිව්වා. සුදේශ් අයියා කරන විදිහත් එක්ක තමයි වැඩේ ආලෝකමත් වුණේ.

චිත්‍රපටය මුලින්ම නරඹපු මොහොත මතකද?

ඔව්. දෙරණ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදි තමයි චිත්‍රපටය මුලින්ම පෙන්නුවේ. ඇත්තටම චිත්‍රපටය හැබහින් දකිනකම් පොඩි බයක් තිබුණා. දැන් නම් ඒ බය නැහැ.

මේ චිත්‍රපටයේ රඟපාද්දි ඔබගේ විවාහයට දින යොදාගෙනයි තිබුණේ. අද ඔබේ සැමියා එවකට පෙම්වතා, ඔහුගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ හුස්ම සඳහා ඔබ රංගන දායකත්වය ලබා දෙනවා කිව්වම?

චිත්‍රපටයේ රඟපාද්දී මගේ විවාහය මාස දෙකකින් සිදු කරන්නට දින දාගෙන හිටියේ. මගේ සැමියාට කොහෙත්ම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මං මේකට සම්බන්ධ වුණ එකට. ඔහුගෙන් මාර සපෝර්ට් එකක් මට ලැබුණෙ. චමත්කා, ඔයා ඔයාගේ වෘත්තීය ජීවිතය හරියට ගෙනියන්න කියලයි ඔහු කියන්නෙ. මගේ රංගන ජීවිතය තුළ හැම තැනකදීම ඔහු තමයි මාව ඉදිරියට යැව්වේ. අද මං යම් සාර්ථකත්වයක් ලබනවා නම් ඒකෙ ගෞරවයෙන් භාගයක්ම හිමි වෙන්න ඕන මගේ සැමියට.

කලකට ඉහතදී ගිනියම් රෑ වගේ මියුසික් වීඩියෝවල රඟපාලා ඔබ දැඩි ලෙස විවේචනයට ලක් වුණා. අද ඔබ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන තැනට පත් වෙලා. අද වනවිට කනගාටු වෙනවද අර වගේ නිර්මාණවටල දායක වුණු එක ගැන?

නැහැ. ගිනියම් රෑ සින්දුව නිසානෙ මං මිනිස්සු අතරට ගියේ. අදටත් මං හඳුන්වන්නෙ ගිනියම් රෑ චමත්කා කියලනෙ. ඒ සින්දුව තමයි මට වාසනාව ගෙනාවේ. මං හිතනවා මින් ඉදිරියට මාව හඳුන්වාවි හුස්ම එකේ චමත්කා කියලා. හරවත් වැඩ කරලා තමයි මං නම හදාගත්තෙ. නැතුව පජාත නිර්මාණ කරලා නෙවෙයිනෙ.

අද ඔබ මවක් වෙන්නට සූදානමින් පසුවනවා. කවදා හෝ ඔබේ දරුවන් ඔබ කළ නිර්මාණ නිසා අපහසුතාවයට පත්වේවිද?

එතැන මං මෙහෙමයි හිතන්නෙ. මම කරන්නෙ නිර්මාණයක් පමණයි. ඒ නිර්මාණ තුළ මං කරන කැප කිරීම බලලා ළමයි ඒක අගයයි. මං එක එක ඩිරෙක්ටර්ලත් එක්ක යාළුවෙලා නැහැනෙ. අන්න ඒ වගේ ජරා වැඩ කරලා තියෙනවා නම් තමයි මං බය වෙන්න ඕන. මගේ ළමයි බයවෙන්න ඕන. එහෙම වෙලා නැහැනෙ. ඒක නිසා මගේ ළමයි අම්මා ගැන සතුටුවේවි සිනමාවට කළ කැපකිරීම් දිහා බලලා.

ඔබට හිතෙන්නෙ නැද්ද හුස්ම නරඹන්න එන බොහෝ දෙනෙක් මේ එන්නෙ ඔබේ ඇඟ බලන්න කියලා?

ඔව්. ගිනියම් රෑ එකේ හිටපු චමත්කාව නිරුවතින් ඉන්නවා බලන්න වල්කමින් සිනමා ශාලාවට ඇතැම් අය ඒවි. ඒක ස්ථිරයි. නමුත් ඔවුන් ආපහු යන්නෙ චමත්කා ගැන පවු කියලා. ඒකෙ කතා දෙකක් නැහැ. බලන්න මං කියන්නෙ බොරුද කියලා. චිත්‍රපටය නරඹපු අයට මං හිටපු විදිහ මතකවත් නැහැ. ඔවුන් කතා කරන්නේ තාරුකා කියන මං රඟපාපු චරිතයට සිදු වූ ඛේදවාචකය ගැන.

බැරි වෙලාවත් හුස්ම චිත්‍රපටය සඳහා ඔබ බැහැ කිව්වා නම්?

එහෙනම් වෙන්නෙ සුදේශ් අයියට අවුරුදු තිහෙන් උඩ නිළියක් ගන්න. නැත්නම් මගෙ වයසෙ කවුරුවත් මේ චරිතේ බාරගන්නෙ නැහැම තමයි. චිත්‍රපටය පෙන්නුව දවසේ මගේ යාළුවො මට ඇවිල්ලා කියනවා චමත්කා අපිට නම් ඔයා තරම් ගට නැහැ මේ වගේ චරිතයක් කරන්න කියලා.

හුස්ම චිත්‍රපටයේ ඔබ වඩාත් අපහසුවෙන් රඟපෑවේ?

චිත්‍රපටයේ ලිංගික දර්ශන දෙක කරන්න මහන්සි වෙන්න වුණා. ඉසුරු මට කම්මුලට ගහපු එකත් දරාගන්න අපහසුයි. අර බඩ ගාන සීන් ටික ඉතාම කැප කිරීමෙන් කළේ. මිනියක් වෙන එකත් ලෙහෙසි නැහැ. මැරිච්ච කෙනෙකු විදිහට හුස්ම නොගෙන රඟපාන්න හොඳ පුහුණුවක් ලැබිය යුතු වුණා.

ආයෙත් නිරුවත් චරිතයක් ලැබුණොත්?

මේ වගේ චරිතවලට කතා කළා. නමුත් මට කියන්න තියෙන්නේ චමත්කා ලක්මිණි කියන්නෙ නිරුවත් චරිත කරන නිළියක් නෙවෙයි. එහෙම නම හදාගන්න මට වුවමනා නැහැ. අවුරුද්දට එකක් හෝ හොඳ චිත්‍රපට කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. සමහර විට මං ඊළඟ චිත්‍රපටයේ මුළු ඇඟම වහගත් සිල්වත් චරිතයක් කරන්නත් බැරි නැහැ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.