හාරලක්ෂෙ හැදුණේ අපේ තාත්තා හින්දා

ජය ශ්‍රීී වේ ඇමැතිතුමා
ඔක්තෝබර් 3, 2019

- නිෂ්පාදක ජනිත මාරසිංහගේ හෙළිදරව්වක්

ජනිත මාරසිංහ චිත්‍රපට නිෂ්පාදකයෙක් හැටියට අපේ සිනමාවට අමුත්තෙකු නොවේ. ඔහු ගේ නවතම නිෂ්පාදනය නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයක් හැටියට දැන් තිරගතවේ. ඒ ජය ශ්‍රී වේ ඇමැතිතුමායි. එහි අධ්‍යක්ෂක හා නිෂ්පාදක හඳුන්වාදෙන අන්දමට ජය ශ්‍රී වේ ඇමැති තුමා දේශපාලන කොමඩියකි. ජනිත චිත්‍රපට නිෂ්පාදනයට අත ගසන්නට පෙරාතුව මාරසිංහ පවුලෙන් චිත්‍රපට නිෂ්පාදනයට අත තැබුවේ ඔහුගේ ලොකු තාත්තාය. ඒ සුගතදාස මාරසිංහය. ඔහු ගේ මුල්ම නිෂ්පාදනය කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ හිතට හිත චිත්‍රපටයයි. දෙවැන්න තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ පුංචි බබාය. හාසොත්පාදක චිත්‍රපටයක් වූ එමගින් නිළි රැජන මාලනී ෆොන්සේකා දොරට වැඩියාය. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ හාරලක්ෂෙ සුගතදාස මාරසිංහ නිපද වූ චිත්‍රපට අතර මෙන්ම සිංහල සිනමාවේ ද බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයකි. ඔහු නිපද වූ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ඔන්න බබෝ බිල්ලෝ එනවා බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළු චිත්‍රපටයකි. කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කළ හිඟන කොල්ලා සුගතදාස මාරසිංහ ගේ තවත් නිෂ්පාදනයක් විය. එය ඒ වන විට සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටය ලෙස වාර්තාවක් තැබුවේය. ඒ අවධියේ සිංහගිරි ෆිල්ම්ස් යනු ප්‍රධාන පෙළේ සිනමා සමාගමක් විය. ලුණුවිල සිංහගිරි ෆිල්ම්ස් සංස්කරණ මැදිරියේ හැඩවුණු සිංහල චිත්‍රපට රාශියක් විය. වෙන්නප්පුවේ ශ්‍රී ලංකා සිනමාහල මෙන්ම පසුකලක කොළඹ ක්‍රවුන් සිනමාහල ද හිමිව තිබුණේ ඔවුන්ටය. ජනිත, සුගතදාස මාරසිංහගේ බාල සොහොයුරා වූ ගුණරත්න මාරසිංහගේ පුතණුවන්ය. ජනිත චිත්‍රපට කෙෂත්‍රයට අවතීර්ණය වනුයේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපට ආනයනය කරමිනි. කල් හෝ නා හෝ, කබී අල්විදා නා කෙහෙනා, ක්‍රිෂ්, කොයි මිල් ගයා. මේ අතර වෙයි. චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය වූ පසු ජනිත උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට පළමුවැන්න සහ දෙවැන්න, ලේ කිරි කඳුළු, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස පබා. විමුක්ති ජයසුන්දර ගේ සුළඟ ගිනි අරන් චිත්‍රපට සඳහා දායක වූයේ සම නිෂ්පාදක හැටියටය. ඔහු තනිවම ජනිත ෆිල්ම්ස් ලේබලය යටතේ නිපද වූ මුල්ම චිත්‍රපටය මගෝඩි ගොඩයි චිත්‍රපටයයි. මුල් චිත්‍රපටය මෙන්ම කිව්වද නහී නොකිව්වද නහී, මගේ යාළු මාළු යන චිත්‍රපට ත්‍රිත්වයම අධ්‍යක්ෂණය කරන ලද්දේ ලාල් ප්‍රියදේවයි. ජනිතගේ සිව් වන නිෂ්පාදනය ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයයි.

මේ අලුත් චිත්‍රපටය වෙනුවෙන් ජනිත සමග කරන සංවාදයයි.සිනමාව සම්බන්ධව ඔබේ පවුල් සම්බන්ධයෙන්ම පටන් ගනිමු

මගේ පියා ගුණසේකර මාරසිංහ. ඔහු කලකට ඉහත මීගමුවේ උදය ස්ටුඩියෝ නමින් ඡායාරූපාගාරයක් පැවැත්වූවා. ඇත්තටම හාරලක්ෂෙ චිත්‍රපටය හැදෙන්නේ අපේ තාත්තා නිසා. මේ ගැන මට කිව්වේ ඇන්ඩෘ ජයමාන්න. ඔහුට තනිවම චිත්‍රපටයක කැමරා අධ්‍යක්ෂණයේ යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ හාරලක්ෂෙ චිත්‍රපටයෙන්. ටයිටස් තොටවත්ත මහත්තයාගේ ඒ චිත්‍රපටයට මුලින් නිෂ්පාදකයෙක් ඉඳලා නැහැ. ඇන්ඩෘගේ හොදම යාළුවෙක් තමා අපේ තාත්තා. තාත්තා ලොකු තාත්තා ගාවට ඇන්ඩෘ අංකල්ව අරන් ගියා .ඒ කතාබහේ ප්‍රතිඵල තමයි හාරලක්ෂෙ හැදෙන්නේ.

ඔබ චිත්‍රපටයක් නිෂ්පාදනයට මුල පුරන්නේ කොහොමද ?

සාමාන්‍යයෙන් කරන්නේ අධ්‍යක්ෂවරයෙක් මා එක්ක කතා කළාම ඒ කතාවට මාත් අදහස් එකතු කරනවා. තිර රචනය ලියන විට නැහැ එහෙම නෙමෙයි මෙහෙම වුණොත් හොඳයි කියලා අදහස් පළ කරනවා. මොක ද මම නිෂ්පාදකයෙක් වගේම සිනමා රසිකයෙක්. ඉතින් මගේ අදහසුත් ඒකට බොහොමයක් විට එකතු කරනවා.

එතකොට මේ ජය ශ්‍රී ඇමැති තුමා ?

නෑ .ඒකෙන් නම් අධ්‍යක්ෂවරයාගේ අදහස ගෙනාවාම මම ඒකට කැමැති වුණා.ඒක අලුත් ම තාලේ අලුත්ම කතාවක්. මා කතාව අහපු ගමන් ඒකට කැමැති වුණා.

ඔබ චිත්‍රපට නිෂ්පාදනයට ඇවිත් අවුරුදු දහයකට වැඩියි. චිත්‍රපට නිෂ්පාදනයේ දී ඇතිවෙන ගැටලු එදාට වඩා අද වෙනස් ද ?

චිත්‍රපට හදන්න නෙමේ අමාරු. පෙන්වන්න. මම චිත්‍රපට තිර ගත කරන හැම අවස්ථාවලම විවිධ ගැටලු වලට මුහුණ දුන්නා. ඒවා කාලෙන් කාලෙට එකිනෙකට වෙනස්. ඒවාට මුහුණ දුන් අයුරුත් වෙනස්. කොටින්ම සෙලියුලොයිඩ්. ඩිජිටල් මාරුවත් අපට ප්‍රශ්නයක්. ඇඩ්‍රස් නෑ චිත්‍රපටය හදද්දී අපි ඩිජිටල් පිටපත් වගේම සාමාන්‍ය පිටපත් හැදුවා. මේ පාරත් නුවර රීගල් සහ මාතර නිව් සිනමා සිනමා ශාලා වෙනුවෙන් චිත්‍රපට පිටපත් හැදුවා. අනිත් ශාලාවලට ඩිජිටල් පිටපත්.

චිත්‍රපට බෙදාහැරීම අමාරුකාරියක් කියලා බොහොමයක් නිෂ්පාදකවරු කියන්නේ ඇයි ?

ඒකට හේතුව ඒ සඳහා නිශ්චිත ව්‍යාපාරික හෝ ජාතික හෝ රාජ්‍ය හෝ ප්‍රතිපත්තියක් නැති එකයි. සිනමාව සුබ සාධන ව්‍යාපෘතියක් හැටියට නොවේ, කර්මාන්තයක් හැටියට පිළි අරගෙන කර්මාන්තයක් ලෙස ගොඩනැගීමේ නිසි ක්‍රමවේවදයක් නොමැති කමයි ඒයට හේතුව. ඒ සදහා සාකච්ඡා සම්ම්න්ත්‍රණ ආදිය පැවැත්වුවත් ක්‍රියාවට නගද්දී ප්‍රායෝගික ක්‍රමෙව්දයකට සිදුවන්නේ නැහැ. කොටින්ම අද චිත්‍රපට නිෂ්පාදනයේ රැඳී ඉන්න බහුතරය එහෙම ඉන්නේ ඒ ගැන තියෙන ඇම්ම නිසා. මා හිතනවා ප්‍රසන්න විතානගේ ආදින් විසින් යෝජනා කළ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

එහෙත් චිත්‍රපට නිෂ්පාදනයට දිනපතාම වගේ අලුත් නිෂ්පාදකයන් එකතු වෙනවා. ?

ඔව්. කිසිම සැලසුමක් නැතුව එකතු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් සමහරු විශාල බලාපොරොත්තු ඇතිවයි එන්නේ. සමහරු ඒන්නේ පෙරැත්තයන් නිසා. ඒත් මේ තත්ත්වය යටතේ දෙවැනි චිත්‍රපටයක් සඳහා අත ගසන්නේ කලාතුරකින්.

මේ චිත්‍රපට සමහරක් කිසිසේත් සිනමා ශාලා සදහා නොවෙයි. ඒවා ඩීවීඩී ඉලක්ක කර ගෙන හදන චිත්‍රපට. හැබැයි ඒවාටත් තිර ගත වෙන්න අවස්ථාව ලැබෙනවා ?

එතැන තමයි ප්‍රශ්නය. මේ අකටයුතුකම් කෙරෙනතුරු බලා සිටීම බලධාරින්ගේ යුතුකම නොවෙයි. චිත්‍රපට සංස්ථාව වැනි ආයතන ක්‍රියාත්මක කළයුත්තේ ඒ සදහා නියාමනයයි. චිත්‍රපට පිළිබඳ දැනුම්වත් පිරිසක් එහි සිටිය යුතුයි. විශේෂයෙන් සිනමා ප්‍රදර්ශකයන් එයට එක් විය යුතුයි.

ඔබේ චිත්‍රපටයත් දිනෙන් දින ප්‍රදර්ශනය කල් ගියා. ලෝකයේ ප්‍රධාන රටවල නිෂ්පාදකවරුන් තමන්ගේ චිත්‍රපටය හදන්නේ ලොව පුරා තම චිත්‍රපටය තිර ගත කරවන දින වකවානු සැලැස්ම සහිතව. එහෙත් අපේ රටේ තමන්ගේ චිත්‍රපටය පෙන්වන දිනය ගැන අපේ නිෂ්පාදකවරු දන්නේ නැහැ. මා හිතන්නේ ඔබත් මේ ගැටලුවට මුහුණ දුන්නා?

මම මුලින් චිත්‍රපට කරන විට එය සැලසුම් කර ගෙන සිටියේ සෙල් (ඛ්ඡ්ඹ්)ප්‍රදර්ශක මණ්ඩලය සමග තිර ගත කරවන්න. මගේ මුල් චිත්‍රපට කිහිපයක්ම සෙල් සමඟ තිර ගත කළේ. ඔවුන්ගේ කළමනාකාර අධ්‍යක්ෂගේ සිට පළපුරුදු සිනමා අත්දැකීම් සහිත දේශිය සිනමාවකට යොමු වූ පිරිසක්. මුලින් සිදුවුණේ සෙල් එක් චිත්‍රපටයක් සහ සංස්ථාවේ රිද්මා එක චිත්‍රපටයක් බැගින් පිළිවෙලට තිර ගත කරවන්නයි. රිද්මා තිර ගත කළ ගින්නෙන් උපන් සීතල වලින් පස්සේ සැලසුම වුණේ සෙල් සමාගම මගින් මගේ චිත්‍රපටය පෙන්වන්න. හැබැයි අප්‍රේල් 21 වැනි දින සිදුවීමත් එක්ක මම කල් ගත්තා. අපි ඒ වන විට ප්‍රචාරක සැලසුම් පවා කරලයි තිබුණේ. ඒ අතරේ සංස්ථාව එකවරම සමස්ත ප්‍රදර්ශනයම පවරා ගත්තා. ඊළඟට ඒ අයගේ ක්‍රමවේදය යටතේ මට ජූලි පළමු වැනි දා කතා කරලා චිත්‍රපටය තිර ගත කරවන්න යැයි සංස්ථාවේ බලධාරින් මට දැනුම් දුන්නා. හැබැයි ඒ වන විට විජයබා කොල්ලයත් තිර ගත කරවන්න සැලසුම් කරලා. මට මගේ චිත්‍රපටය පෙන්වන්න තියෙන්නේ සති තුනයි. ඒ විතරක් නෙවෙයි. මගේ චිත්‍රපටය පෙන්වන ශාලා පවා ඒ අය අරගන්නවා. මම ඒකට එකඟ වුණේ නැහැ. නැවතත් සෙල් සමාගමට චිත්‍රපට ප්‍රදර්ශණයට අවසර ලැබුණ නිසා මම එහි ප්‍රදර්ශනය ඇරඹුවා. හැබැයි සංස්ථාව ඔවුන්ගේ සිනමා ශාලා හිස් ව තිබියදීත් දුන්නේ නෑ. මේ රටේ අපි චිත්‍රපට හැදුවාම ඒ සඳහා සිටින රාජ්‍ය ආයතනය එක එක විධියට සලකන්නේ ඇයි? කවුරු බෙදාහැරියත් මේ ලංකාවේ චිත්‍රපට. සංස්ථාවට එහි වගකීමක් තියෙනවා. මේකෙන් නැතිවෙන්නේ අපේ සිනමාව. දැනටමත් සමහර සිනමා ශාලා හිමියෝ මගේ චිත්‍රපටය ඉල්ලනවා. සංස්ථාවේ නීති නිසා දෙන්න විධියක් නෑ. මේ චිත්‍රපට දුවන්නේ අපේ රටේ. ඉතින් අපේ චිත්‍රපටයක් අපේ ශාලාවක පෙන්වන්න ඉල්ලද්දීත් දෙන්න බැරි නම් කාටද කියන්නේ ?

අර්ජුන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.