මට වෙන දෙයක් තිබුණේ නැහැ

‘රෂ්’ මංගල දර්ශනයෙන් හමුවුණ අමුතු රසිකයා
ඔක්තෝබර් 3, 2019

ගාමිණිට, විජයට, ජෝතිට මම පහන් තියනවා

හේවාගමගේ දොන් ෂෙල්ටන් පෙරේරා හෙවත් කළු අයියා යනු කවුරුන්ද කියා ඔබ ඇතැම් විට නොදන්නවා වන්නට පුළුවන. එක්තරා කාල වකවානුවක සිංහල සිනමාවට නැතිවම බැරි චරිතයක් වූ හෙතෙම කලාවට දක්වනුයේ අසීමිත ආදරයකි. ඒ පෙම් කිරීම එක්තරා අන්දමක පිස්සුවක් ලෙස ද හැඳින්වූවාට වරදක් නැත. එය ඔහු ද පිළිගනියි. ගාමිණී, විජය ආදී නළු නිළියන් ඔහු අදහන්නෙ දේවත්වයෙනි. කලු අයියාගේ දෙවියෝ ඔවුන්ය. අද වන විට හුදෙකලා දිවියක් ගත කරන ඔහු අප කලාවට සම්පතකි. කලා තරු බබළන්නේ, කලා කෘතීන් ජනප්‍රිය වන්නේ මොවුන් වැනි රසිකයින් නිසාය. අද අපි ඔහු නිසි තැන වාඩි කොට තැබුවෙමු. සරසවිය පුවත්පතින් ලිපියකට ආරාධනාවක් ලැබුණා කියා දැනගත් මොහොතේ ඔහු හැඟීම්බර වුණේ කුඩා දරුවකු පරිද්දෙනි. නෙතින් කඳුළක් වැටුණේ සතුට දරා ගත නොහැකි වූ තැනය. හේවාගමගේ දොන් ෂෙල්ටන් පෙරේරා හෙවත් කළු අයියාට ඔහුගේ කතාව රිසි සේ පැවසීමට අප ඉඩ දුන්නෙමු.

කළු අයියා ඉපදුණේ කොහෙද? හැදුණෙ වැඩුණේ එහෙම? 

ඉපදුණෙත් හැදුණෙ වැඩුණෙත් කොළඹම තමයි. කොළඹ හුණුපිටිය තමයි මගේ ගම. අදටත් මං ඉන්නෙ එහෙ තමයි.

ඔබ කොහොමද සිනමා රසිකයකු වුණේ?

අමුතුවෙන් කවුරුවත් බල කරලා චිත්‍රපට පෙන්වන්න එක්කගෙන ගියේ නැහැ. මටම කැමැත්තක් ඇති වුණා සිනමාවට. ඒ සංසාර පුරුද්දක් වෙන්න ඇති.

මොකක්ද මුලින්ම නරඹපු චිත්‍රපටය?

රන්මුතු දූව. ඒක හිතට අල්ලලා ගියා.

වැඩිම වාර ගණනක් බලපු චිත්‍රපටය මොකක්ද?

ඒ කාලේ හැම චිත්‍රපටයක්ම වගේ එක සැරයට වඩා නරඹනවා. ඒක ඔබ සඳහන් කළා වගේ පිස්සුවක්. සූර චෞරයා එක දිගට දහ දොළොස් පාරක් නැරැඹුවා. ඉස්සර පික්චර් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනෙ.

ඔච්චර චිත්‍රපට බලන්න සල්ලි හොයා ගත්තේ කොහොමද?

මගේ මාමා කෙනෙක් හිටියා. ඔහු මට සල්ලි දුන්නා. අපිට පෝනියෝ එහෙම හිටියනෙ. උන් අරගෙන ගිහින් ගොල්ෆේස් පද්දනවා. මිනිස්සු දාගෙන වටයක් දෙකක් ගෙනි යනවා. ඒකෙන් මට හොඳ ආදායමක් ලැබුණා. ඒ කාලේ ඔය පෝනියෝ පැදිල්ලයි චිත්‍රපට පිස්සුවයි නිසා ඉගෙනීමත් කඩාකප්පල් වුණා.

පෝනියෝ සිනමාපට වෙනුවෙන් ලබාදීමත් සිදු කළා නේද?

චිත්‍රපටවලට පෝනියෝ අවශ්‍ය වුණාම ලබා දුන්නේ අපි. හඳයා, කොළඹ සන්නිය, සූරයෝ වැඩකාරයෝ ඇතුළු චිත්‍රපට රාශියකට අපි පෝනියෝ ලබා දුන්නා. මම තමයි ගිහින් පුරුදු කළේ.

ඒ කාලේ විඳි අමතක නොවන අත්දැකීමක් දෙකක් විස්තර කළොත්?

එක එක අත්දැකීම් ලැබුවා. සමහර ඒවා හරි භයානකයි. ඉස්සර චිත්‍රපටවල ළමා චරිත කරපු නිළියක හිටියා මතකද කුසලා බී. පෙරේරා කියලා. කුසලා බබා පෝනියකුගේ පිට නග්ගලා ගන්න දර්ශනයක් තිබුණා චිත්‍රපටයක. මට චිත්‍රපටයේ නම හරියට මතක නැහැ. බීච් එකක් අයිනේ අපි හිටියේ. බබා පෝනියගේ පිටේ නංගලා රඟපාන්න හිටපු නළුවට පෝනියව අල්ල ගන්න දුන්නා. එයාගෙ අතින් පෝනියගේ ලණුව අතහැරිලා පෝනියා යන්න ගත්තා පාර පැත්තට. ටිකක් වේගෙන් තමයි ගියේ. මං දුවල ගිහිල්ලා දුවන පෝනියගෙ බඩ යටින් පැනලා තමයි ඌව නවත්ත ගත්තේ. තව පොඩ්ඩෙන් කුසලා බබාගේ ජීවිතයට අනතුරක් වෙන්න තිබුණා. අපේ ඔය සුපිරි නළුවා ඉන්නවා නේද රන්ජන් රාමනායක. එයාව මං පෝනියගෙ පිටේ යන්න පුරුදු කරපු හැටි අමතක වෙන්නේ නැහැ. ඔක්කොටම වඩා හොඳට ඔහුට පෝනියො පදින සිස්ටම් එක අල්ල ගන්න පුළුවන් වුණා. පෝනියො පුරුදු කරනවාට අමතරව මුහුදවල්වලට පනින ජම්ප් එහෙම කරන්නත් මට සිදු වුණා. ටෙඩී විද්‍යාලංකාර තමයි මාව ඒවට ගත්තේ. ඉතාම සාර්ථකව මට ඒ පිමි පනින්න පුවළුන් වුණා. කොල්ලා කාලෙනෙ. අභියෝගයක් ආවම පැනලා ඒක බාර ගන්නෙ.

අද ඔබ හුදකලා ජීවිතයක් ගෙවන්නේ? 

අම්මලා තාත්තලට අයිති වෙලා තිබුණු පෝනියෝ ටික මගේම අය මාව රවට්ටලා ගත්තා. විවාහයත් කඩාකප්පල් වුණා. විජය නිවුස් එක ඉස්සරහ පොඩි කඩයක තමයි ඉන්නේ. මං ඒකේ බිස්නස් කරන්නේ නැහැ. කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නේ. දෙදහස් දොළහෙදි විතර මගේ ඇසකුත් අහිමි වුණා. දැන් එක ඇහැයි පේන්නේ. සිනමාවේ යාළුවො ඉන්නවා. ඔවුන්ගෙන් උදවු ඉල්ලන්නේ නැහැ මං. එයාලට කරදර කරන්න හොඳ නැහැනෙ.

ඔබේ නවාතැන්පොළේ නළු නිළියන්ගේ පින්තූර ගොඩ ගහගෙන ඉන්නවලු. ඒ වගේම විජය කුමාරතුංගට පහනකුත් පත්තු කරනවාලු නේද?

විජයට විතරක් නෙවෙයි, ගාමිණීටයි, ජෝතිටත් පහන තියනවා. මං සමස්ත කලාකරුවන්ව මතක් කරනවා. අද කෝ ගාමිණී වගේ නළුවෝ. ඒ උත්තමයගෙ අහලකින්වත් තියන්න පුළුවන්ද. ගාමිණී මහත්තයලගෙ ගෙදර නිතර මට දොර ඇරලා තිබුණේ. එයගෙ ළමයි මට කතා කරන්නේ සීයා කියලා. එච්චරට අපේ බැඳීම තියෙනව.

කාලෙකින් ඔබ චිත්‍රපට නරඹලා නැහැ?

අවුරුදු දහයකින් නැරඹුවේ නැහැනෙ. බලන්න චිත්‍රපට තියෙනවද. රෂ් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තිබුණා. එතනදි මට උපහාරයකුත් කළානෙ. අවුරුදු දහයකට පස්සේ රෂ් තමයි බලපු එකම චිත්‍රපටය.

තිලක් පෙරේරා 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.