ඔව් මම යළි සිනමාවට වීරයෙක් ගෙනාවා

RUSH සමඟ එන අලුත් සිනමාකරු මහේෂ් මුණසිංහ
ඔක්තෝබර් 3, 2019

සරසවි වරමින් සිනමාකරුවකු ලෙස අභිසෙස් ලබන මහේෂ් මුණසිංහ සිය කුලුඳුල් නිර්මාණය වෙනුවෙන් මංගල ලිපිය සැපයීමට පැමිණියේද සරසවියටය. අද පටන් සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතව තිබූ රෂ් (RUSH) අධ්‍යක්ෂණය දක්වා තම මඟ සැදුණු ආකාරය සහ මේ චිත්‍රපටය පිළිබඳ අදහස් අපට ඔහු මෙසේ පැවසුවේය...

මහේෂ්, ඔබ කොළඹට සංක්‍රමණය වුණ තරුණයෙක්?

ඔව්. මම බදුල්ලේ පස්සර. මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. උසස්‌පෙළින් පස්සේ මම මොකක් හෝ මෙවැනි විෂයයකට සම්බන්ධ වෙන්න ආසාවෙන් හිටියා. බස් එකේ යද්දි අපේ පැත්තේ පුවත්පත් වාර්තාකරුවකු මුණගැහිලා හිතවත් වෙලා ඔහුගේ වාර්තා සඳහා ඡායාරූප අරන් දෙන්න ගියා. මගේ නම නොගියත් විවිධ තැන්වල ගිහින් පින්තූර ගැනීම මට හරි සතුටක්. ටික කාලෙකින් මම හාලි ඇල වාර්තාකරු හැටියට පුවත්පතකට සම්බන්ධ වුණා මාස හයක් විතර. පස්සේ ටෙලිවිව් එකේ කෝස් එකක් කරන්න ගියාම මට ගිහාන් රෝහණ මුණගැහෙනවා. ඔහු මගෙන් අහනවා එයාගේ පළමුවැනි ටෙලි නාට්‍යය සඳගිනිගත් රාත්‍රියේ සහාය අධ්‍යක්ෂ කෙනෙකේ විදිහට වැඩකරන්න කැමතිද කියලා. රොෂාන් රවීන්ද්‍ර තමයි සහාය අධ්‍යක්ෂ හැටියට හිටියේ. මම ඒ ටෙලියේ පුහුණුවන සහාය අධ්‍යක්ෂ කෙනෙක් වුණාට විශාල වැඩ කොටසකට උරදෙන නිසා ගිහාන්ගේ දෙවැනි නාට්‍යයටත් ම‌‌ට කතාකරනවා. ඊටපස්සේ කාලෙ කකා ගෙදරට වෙලා ඉන්න අතර මම නිකං කට්ටියට කෝල් කරනවා. දවසක් මම දැක්කා දමිතා (අබේරත්න) අක්කා වකුගඩු වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නවා. පස්සේ මම ෂෝ එකක් ලෑස්ති කළා එයාලත් එක්ක එකතුවෙලා බදුල්ලේ රෝහලට රුධිර පාරවිලයන යන්ත්‍රයක් ලබා දෙන්න. ඒ වෙලාවේ තමයි දමිතක්කා කීවේ ලකී (ඩයස්) අය්යාගේ සුවඳ ඔබයි අම්මේ ටෙලි නාට්‍යයට දෙවැනි සහාය අධ්‍යක්ෂ කෙනෙක් හොයනවා ඇවිත් වැඩ කරන්න කියලා. ඒ කොළඹ ආපු ගමන තමයි මේ...

ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂණයෙන් පස්සේ?

ඊට පස්සෙත් මම විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරලා ඇඩ්වර්ටයිසින් පැත්තට යොමුවෙනවා. ඉරාජ්ලාගේ රන් රන් රන් මියුසික් වීඩියෝ එක කරන්න ලැබෙනවා. එතනින් නිලාන් කුරේ අඳුනගන්නවා. ඔහු සමඟ ස්කයිලයින් එකේ අවුරුදු පහළොවක් විතර දැන්වීම්වල නිෂ්පාදන කටයුතු පැත්තේ වැඩ කළා. මම චිත්‍රපටය රූපගත කිරීම් කරද්දිත් ඔහු සමඟ ප්‍රාණ ආයතනයේ වැඩ කරමින් හිටියේ. කොටින්ම කීවොත් මම කොළඹ එද්දි නවතින්න දන්න අඳුනන කෙනෙක්වත් හිටියේ නැහැ. රොෂාන් රවීන්ද්‍ර තමයි මාවයි වජිරවයි (කොඩිතුවක්කු) එයාගෙ ගෙදර තියාගත්තේ.

චිත්‍රපටය කරන්න මඟ පෑදුණේ?

මම මුලින්ම හිතාගෙන හිටියේ ටෙලි නාට්‍යයක් කරන්න. ඒවා කොහොම කොහොම හරි මඟ හැරුණා. පස්සේ කැලුම් කුලරත්න මට තිරපිටපතක් දුන්නා. මට කොහොමත් උවමනා වුණේ මිනිස්සුන්ට බලන්න කැමති විදිහේ චිත්‍රපටයක් කරන්න. ඉතින් ඒ පිටපත ලංකාවේ හැඩේකට මට ඕන විදිහට පොඩ්ඩක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ගත්තා. රසන්ත විජේන්ද්‍ර අපේ නිෂ්පාදකවරයා මට හමුවුණේ මුලින් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා මඟක නතරවෙලා ඉන්න අතරේ. ඉතින් අපට ටික කාලයක් ඉවසගෙන ඉන්නත් වුණා. අභියෝග ගොඩාක් මැද හැදුණු චිත්‍රපටයක්. මම හිතන්නේ අපේ කණ්ඩායම සම්පූර්ණ කැපවීමෙන් මේ චිත්‍රපටය වෙනුවෙන් හිටියා. ඒ චිත්‍රපටයේ තිබෙන දේවල් ටික එකතු නොවුණා නම් ඒකට අගයක් ලැබෙන එකකුත් නැහැ. එහෙනම් යටයන චිත්‍රපටයක් බවට පත්වන්නත් තිබුණා.

ඇයි එහෙම කියන්නේ?

මේ චිත්‍රපටය ඇත්තෙන්ම නැවති නැවති කෙරුණු එකක්. 2018 පෙබරවාරි 14 තමයි මුහුරත් තිබ්බෙ. 2019 පෙබරවාරි 14 තමයි ප්‍රචාරක පටය නිකුත් කළේ. නුවර, නුවර එළියේ ෂූටින් වෙනම, මැලේෂියාවේ කළ සින්දුව වෙනම, වසන්තයේ සින්දුව වෙනමම, අනිත් සින්දුව ඊටත් පස්සෙ. පළමුවෙනි ෆයිට් සීක්වන්ස් එක සම්පූර්ණයෙන් වෙනම කළ එකක්. මූලික ලොකු ෂොට්ස් ටික මම 2017 වෙනම කළේ. සමහර වෙලාවට මගේ සීමාවෙන් ඔබ්බේ දේවල් එක්ක ගනුදෙනු කරද්දි මට එවා එක්ක මුහු වෙන්න සිදුවුණා. ආමි එකෙන් පර්මිෂන් ගන්න පුළුවන් වුණෙත් අමුතුම විදිහට. මොකද ඊට දවස් දෙකතුනකට කලින් මට ආමි එකටම වැඩසටහනක් කරන්න වුණා. ඒ ඇඳුණුම්කම් එක්ක තමයි එතැන රූපගත කිරීමට අවසර ගත්තේ. ඒ කොටස් අනෙක්වාට ගැළපෙන ආකාරයට හදාගෙන එකට අමුණන එකත් අමාරු කාර්යයක්.

රෂ් ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් ලෙසයි මට පේන්නේ?

මම විශ්වාස කරන්නේ සිනමාවේ ප්‍රහේද දෙකක් විදිහට කලාත්මක සහ වාණිජ චිත්‍රපට බෙදුවට මේ දෙකම ගහට පොත්ත වගේ ඇලිලා යන්න ඕනේ. ඒක ලංකාවේ හරියට වෙනවද කියලා මට පේන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධතාව, ඒ නම්‍යශීලීබව, එකිනෙකාට තිබෙන ගරුත්වය සහයෝගීතාව අපි හදාගන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන යන්න බැහැ. හොඳම උදාහරණය බඩගින්න. බඩගිනි මනුස්සයකුට ඉස්සල්ලාම දෙන්න ඕනෙ කෑම මිස අතුරුපස නෙවෙයි. අනේ රසිකයෝ උදේ හතරෙ පහේ ඉඳන් ඇහැරගෙන කෝච්චි බස්වල තෙරපිලා කොළඹ වැඩට ඇවිත් වැඩ කරලා රෑ හතට අටට ගෙදර යන්නෙ. ඒ අතර දරුවන්ගේ අධ්‍යාපන වැඩ අරවා මේවා එක්ක පුදුම පීඩාවකින් ඉන්නේ. ඒවාට දේශලපාලන සමාජ ආර්ථික ප්‍රශ්නත් එකතු වුණාම එන පීඩනය සන්සිඳුවන්නයි විනෝදාස්වාදය අවශ්‍ය වන්නේ. ඒ වෙනුවෙන් අතින් සල්ලි වියදම් කරලා පවුලත් එක්ක එන මිනිහකුගේ ඔළුව අපි තවත් අවුල් කරනවාද? නැත්නම් ඒ පුද්ගලයා සනසලා ඔළුව නිදහස් කරලා ඊළඟ සතියේ සතුටින් වැඩට එන්න පුළුවන් මානසිකත්වය අපි හදනවද? අපේ 80-90 දශකයේ චිත්‍රපටවල දැක්කේ වීරයා, සින්දු, ෆයිට් එක්ක පොඩි ෆැන්ටසියක්. අපි හැමෝටම ආදරය, වෙන්වීම, අම්මාගේ ආදරය ගැන අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් සිනමා නිර්මාණයත් එක්ක ගළපලා හිතින් එකතු කරන්න කැමතියි. ඉස්සර මම ජීවන් කුමාරණතුංග ටිකකට අයින් කරලා මම ඒ චරිතේ වෙලා ඉන්න කැමැතියි. චිත්‍රපටි බලලා රෑ කරුවලේ දූවලා ගෙදර යන්නේ එහෙම හිතාගෙන හිටපු සතුටෙන්. අපි ආසාවෙන් බැලුවා ඒවා. ජීවන් අනෝජා, සනත් සබීතා අපට මතක ඒ යුගය. ගාමිණි ෆොන්සේකාගේ දෙමෝදර පාලම. අන්තිමට ෆ්‍රෙඩී සිල්වා කියනවා අය්සේ අපි බයිස්කෝප් එකක් කළේ තව බලන් ඉන්නැතුව ගෙදර යනවා කියලා. අන්තිමට රසිකයන් හිනස්සලා විනෝදෙන් ගෙදර යවන්නේ. ඒ දේ අපට කරන්න පුළුවන් ගුණාත්මක වාණිජ සිනමාවක් ඔස්සේ. ඒ මඟින් රසිකයා මනස නිරවුල් කරගත්තාම දෙවැනුව හිතනවා, ආ දැන් මම අනෙත් ධාරාවේ එකකුත් බලන්න ඕනේ කියලා. ඉතින් අර මූලික ප්‍රශ්නය විසඳන්නේ නැතුව සිනමාව බෙදලා වැඩක් නැහැ.

අනෙක් අයත් එහෙම හිතයිද? 

හැම චිත්‍රපටයම හදන්නේ කැමරාවෙන් තමයි. ඒත් රසකාරක වෙනස්. හරියට ස්වර හතෙන් හැදෙන සංගීතය වගේ. අමරදේව මහත්තයා කියන්නෙත්, නීල් වර්ණකුලසූරිය ගහන්නෙත්, රහුමාන් වගේම මයිකල් ජැක්සන් කියන්නෙත් එකම ස්වර හතමයි. ඒත් රස වෙනස්. රසික පිරිස් වෙනස්. හැබැයි ඒ හැමෝටම රසික පිරිසක් ඉන්නවා. ඉතින් මම කැමති නිර්මාණ ක්‍රමය වෙනුවෙන් අනෙක් ක්‍රමයක් බාල්දු කරන්න හොඳ නැහැ. කලාකරුවෙක් විදිහට මම විශ්වාස කරන්නේ තමන් මුලින්ම හොඳ මනුස්සයෙක් වීම. කලාකරුවෙක් කියන්නේ විශාල ප්‍රේක්ෂක ප්‍රජාවකට පණිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙක්. එයා කුහක සිත් ඇති අසත්පුරුෂයෙක් වුණොත් එයාගේ ඇතුළෙන් එන නිර්මාණයෙත් ඒ ලක්ෂණ තිබෙනවා. අපි බලන්න ඕනේ සමාජයේ තිබෙන ප්‍රශ්න මොනවාද? ඒවාට විසඳුම් දිය හැකි පණිවිඩයක් නිර්මාණය තුළින් දුවවන්න ඕනේ. එහෙම නැතිව ජෝගි දාලා නටලා සින්දු කියලා බයිස්කෝප් එකක් කරලා වැඩක් නැහැ. මම ලංකාවේ පුරවැසියෙක් විදිහට මට සමාජ වගකීමක් තියෙනවා. මේ කතාවේ අම්මගේ ආදරය, තාත්තලා කොහොමද එය දකින්නේ, තවත් ඇතුළාන්තයට ගියොත් අපේ අතින් අද ගිලිහෙන මාපිය දූදරු සබඳතාව දකින්න පුළුවන්. මම බෞද්ධයෙක් වුණත් පාලියෙන් හැමදේම කීවාට තේරෙන්නේ නැහැනේ. සමහර හාමුදුරුවරු සරලව ඒවා කියලා දෙනවා වගේ මේ ප්‍රසන්ටේෂන් එකත් හොඳට කළොත් හරි. ඉතින් කලාත්මක වාණිජ දෙකම සමගාමීව යන්න ඕනා. ඒක ලංකාවේ හරි මට්ටමක නැති කම තමයි තිත්ත ඇත්ත.

ඔබේ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට ඇති කරන බලපෑම සොයා බැලුවේ කොහොමද?

මමත් මගේ යාළුවෝ කීපදෙනකුත් එකතුවෙලා පොඩි අධ්‍යයනයක් කළා මේ චිත්‍රපටය අපි කා වෙනුවෙන්ද හදන්නේ, ලංකාවේ ජනගහනය කීයද, ඒකෙන් චිත්‍රපට බලන්නේ කීදෙනාද, ශාලා කීයක් තියෙනවාද, ලෝක සිනමාවට එකතුවෙන කෘති මුල් ප්‍රදර්ශන දිනයේ ඉඳන්ම අපට බලන්න පුළුවන්, ඒවාට කී දෙනෙක් ඇදී යනවාද? ඒවා නිසා අපට තාක්ෂණයට, ග්ලැමර් එකට බොරු කරන්න බැහැ. බොලිවුඩ් හා හොලිවුඩ් සිනමාව ඉහළ මට්ටමක තියෙනවා. අපට ඒ තලයට යන්න යම්කිසි කාලයක් යයි. ඒ සඳහා අපට යම් කාලයක් යයි. එක රැයින් ඒක කරන්න බැහැ. හැබැයි ප්‍රේක්ෂකයන්ගේ ඇහැ හුරුවෙලා තියෙන්නේ අර වර්ල්ඩ් රිලීස්වල මට්ටමට නම් ඊට ළඟ කතාවක්, ඊට ළඟ සංගීතයක්, ඊට ළඟ රඟපෑමක්, ඊට ළඟ ගුණාත්මක බවක්, සුපර් හීරෝ ගතියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අපට පුළුවන් උපරිමයෙන් ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට ඒ තත්ත්වයෙන් යුතු නිෂ්පාදනයක් දෙන්න ඕනේ. ඒක බොහොම අභියෝගාත්මකයි.

ඔබ ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?

මට තිබුණු ප්‍රශ්නය, අපි අලුත් පරම්පරාවේ විදිහට හිතද්දි, මේ ක්ෂේත්‍රයේ හිටපුම අය එක්ක වැඩ කරද්දි, ව්‍යාපෘතියක් හැටියට මේකට අත ගහන්න නිෂ්පාදකයකු වුණත් බිය වෙන්න පුළුවන් කියන හැඟීම. රසන්ත අය්යටත් මේ තරම් හොඳට මේ ව්‍යාපෘතිය ඉවර කරන්න පුළුවන් වෙයි කියලා අදහසක් තිබුණේ නැහැ. හැබැයි එයාත් අද බොහොම සතුටින් ඉන්නේ. නිෂ්පාදකවරයා දෙන්න කැමැති වුණ පළියට මුදල් වියදම් කරන්න මම ලෑස්ති නැහැ. අපි දැනගන්න ඕනා ආපසු ලැබෙන මුදල කොපමණද කියලා. ඒක පොඩි ප්‍රමාණයක් නම් අපි දැනගන්න ඕනා ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කරගන්න විදිහේ නිර්මාණයක් කරන්න. අධ්‍යක්ෂවරයා පිළිබඳ විශ්වාසයක් ඇති කළොත් ප්‍රේක්ෂකයා අතර, චිත්‍රපටයට සෙනඟ ඉඳීයි. එතකොට අපට තවත් ලොකු නිෂ්පාදනයකට යන්න පුළුවන්. එහෙම නැතිව අත්‍යාවශ්‍ය නොවන අනවශ්‍ය වියදම් කරලා, ලාභයක් නැති වුණාම නිෂ්පාදකයා චිත්‍රපට තියා ටීවී එකක් දිහාවත් බලන්නේ නැහැ. ඒ නිසා අපි වැඩක් කරනකොට හොඳට ප්ලෑන් කරන්න ඕනේ. මිනිස්සුන්ට කන්න බොන්න නොදී ඉතුරු කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. ගුණාත්මක නිෂ්පාදනයකට යන්න ඕනේ නිෂ්පාදකයා රැකගෙන. රෂ් විශාල මුදලක් වියදම් කරලා හදපු චිත්‍රපටයක්. හැබැයි මම නිෂ්පාදකයාට තිබෙන අවදානම පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ. ඔහු දන්නවා හිතේ නිදහසේ ඉන්න පුළුවන් වන බව. ඉතින් ම‌ට සතුටුයි මම ක්ෂේත්‍රයට නිෂ්පාදකයෙක් ඉතුරු කළා කියන එක ගැන.

නළුවරණයේදී ඔබ තීන්දු ගත්තේ?

උද්දික තෝරාගන්න මුල්ම හේතුව මීට කලින් මේ වර්ගයේ කිසිම චරිතයක් කරලා නොතිබීම. හැබැයි මට ඒ සඳහා වටපිටාවෙන් ආපු විරෝධය වැඩියි. මොකද අපේ අය බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ දකින දේ පිළිගන්න. දැකලා නැති දෙයක් දිහා බලන්න බයයි. ඒක මගේ ආත්ම විශ්වාසය මත තීරණය කළ දෙයක්. අනෙක මේ චරිතයේ රඟපාන්න බොහෝදේවල් තියෙනවා. බාහිර ස්වරූපය වෙනස් කරන්න පුළුවන් කියන මතයේ මම දැඩිව හිටියා. මම හරි වාසනාවන්ත අධ්‍යක්ෂවරයෙක් කියලා හිතෙනවා. මොකද උද්දික අද මේ වනතුරුත් චිත්‍රපටය වෙනුවෙන් කැපවීමෙන් ඉන්නවා. අනෙක උද්දික කරපු චිත්‍රපට ඔක්කොම වගේ බ්ලොක් බස්ටර් මට්ටමට ගිහින් තියෙනවා. ඒ වගේම වෙනම පෞරුෂයක් තියාගෙන ඉන්න නළුවෙක්. මට දුන්න සහයෝගය උපරිමයි. ඉතින් මට හිතුණා ලංකාවට තව වීරයෙක් ගේන්න ඕනෙ කියලා.

අසංකි ද සිල්වාට කලින් මම ඉන්දියානු නිළියන් දෙදෙනකුත් බැලුවා. ඒත් මට ඒක අපහසුවෙයි කියලා හිතුණා. අසංකිගේ එක පින්තූරයක් දැකලා තමයි දෙවැනි වතාවටත් මම අසංගිගේ ස්වරූපය වෙනස් කරන්න පුළුවන් කියලා හිතුණේ. හැබැයි තෝරගෙන රූපගතවීම් සඳහා කාලයක් ගිය නිසා අසංකිත් ටිකක් බය වුණා.

ඒ කියන්නේ ඔබ තරයේ විශ්වාස කරනවා රංගන ශිල්පීන්ගේ බාහිර ස්වරූප වෙනස් කළ හැකියි කියා?

ඔව්. අභව්‍ය නොවී කරන්න පුළුවන් අංගලක්ෂණ මුහුණේ එහෙම තියෙනවා කියලා හිතුණොත් මම ඒකට‌ යොමු වෙනවා. මොකද ආලෝකකරණයේදි එහෙම වඩාත් උචිත මුහුණුවල හැඩතල තිබෙනවා. ඒවත් හරියට බලපානවා පින්තූරයක් කරද්දි. හැබැයි අපි සියල්ල කළේ ස්වභාවික ලස්සන මතුකරන මේකප් ආදිය යොදාගෙනයි.

ඔබ යොදාගත් තාක්ෂණය?

අපි යොදා ගත්තේ ඇරි ඇලෙක්සා කැමරාව. බොලිවුඩ්වල වුණත් ඩිජිටල් තාක්ෂණයේ හොඳම කැමරාව හැටියට භාවිත කරන්නේ ඒක. ස්වභාවික ජීවගුණය තියාගෙන අපේ ඇහැට සෞම්‍ය පින්තූර හදන්න වගේම රූපරාමුවල ගැඹුර වඩා හොඳීන් උකහා ගන්න පුළුවන්. සිනමාකර්ෂණීයබව ගන්න උදව් කරනවා. තව ඩ්‍රෝන මඟින් ඉහළ තලයේ දර්ශන රූපගත කළා. අනෙක අපි යොදාගන්න වෘත්තිකයන් ගැනත් විශ්වාසය තබලා අපි එකිනෙකාගේ හැඟීම් හඳුනාගැනීම වගේම නිදහස දීමත් බලපානවා. අනෙක අපි දර්ශනතල සෙවීමේදි ඇහැට ප්‍රිය තැන් තෝරාගන්න උනන්දුවක් වුණා.

වෘත්තාන්ත චිත්‍රපටයකට යන්න කලින් ඔබට අධ්‍යක්ෂණය පිළිබඳ අත්දැකීම් තිබෙනවා?

මම 2007දි පළමුවෙනි ඒකාංගික ටෙලිනාට්‍යය කළා සච්චමාතා කියලා. රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට විශේෂ ජූරි සම්මානයක් ලැබෙනවා. පස්සේ බෞද්ධ කෙටි චිත්‍රපට උලෙළකදීත් එය ඇගයීමට ලක්වෙනවා. ඒ ව‌ගේ ඒකාංගික ටෙලි නාට්‍ය තුනකුත් එක කෙටිචිත්‍රපටයකුත් මම අධ්‍යක්ෂණය කළා. ඉතින් ඒ වගේ අත්දැකීමක් තිබීම හොඳයි. ඒ වගේම අවුරුදු ගාණක් වෙළෙඳ දැන්වීම්කරණයේ සිටීම නිසා කැමරාව පිළිබඳ එහෙම ලැබුණු අත්දැකීම් මට ලොකු පිටිවහලක් වුණා.

අද ක්ෂේත්‍රයට තරුණ අධ්‍යක්ෂවරුන් වේගයෙන් ඇදෙනවා?

ඒක හොඳයි. මොකද පරම්පරාවෙන් පරම්පරාවට ඒ බැට්න් එක අරගෙන රිලේ එක දුවන්න ඕනේ. මම කියන්නෙ නැහැ තරුණයන් විතරයි හොඳ චිත්‍රපට කරන්නේ කියලා. යෂ් චොප්රා වයසට ගිහින් කොයිතරම් ආදරණීය චිත්‍රපට කළාද? ඒත් අලුත් අයගේ සිතුම් පැතුම් ගත්තත් සමාජයේ ආකල්ප නව තාක්ෂණය හොඳීන් අඳුනනවා කියලා මට හිතෙනවා. එහෙම නැතත් තමන් යාවත්කාලීන වෙනවා නම් ලොකු ප්‍රශ්නයක් වන්නේ නැහැ. අද තරුණ පරපුර සජීවීකරණ තාක්ෂණයට එහෙම බොහොම බරයි.

RUSH ප්‍රදර්ශනය ගැනත් අපි කතා කරමු?

ඇත්තෙන්ම චිත්‍රපටයක් හදලා ප්‍රදර්ශනය කිරීම තමයි ලොකුම ප්‍රශ්නය. මොකද පෝලිම් ගැහිලාද නැද්ද, ශාලා වැහිලාද නිසි කළමනාකරණයක් නැද්ද කියන ඒ සියල්ල චිත්‍රපට සංස්ථාවත් එක්ක අපි සියලුදෙනා එකතුවෙලා කල්ලිවාදයකින් හෝ පෞද්ගලික ලාබ ප්‍රයෝජන හෝ මතිමතාන්තර ගැන නොහිතා පොදු හැඟීමකින් කරන්න වෙනවා. නව සභාපතිනියගේ දැක්ම තරමක් වෙනස් තැනක තිබෙන්නේ, ප්‍රායෝගිකත්වය පිළිබඳ පොඩි පොඩි ප්‍රශ්න තිබෙනවා. ඒත් පිල් බෙදිලා ඉන්නවාට වඩා කර්මාන්තයක් විදිහට ඉදිරියට යන්න ක්‍රමයක් හදාගන්න ඕනා. මට ඔක්තෝබර් 03 වැනිදා ඉඳන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා කියද්දි එතැන තියෙන්නේ චිත්‍රපටයේ තිබුණු බර නිසාම ඇති වුණු ජයග්‍රහණයක්. ඒත් ඒ සඳහා ලොකු පරිශ්‍රමයක් දරන්න සිදුවෙලා තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපට දහස් ගණනක් හැදුණත් රිලීස් ඩේට් එක කලින්ම තීරණය කරලයි වැඩ පටන්ගන්නේ. පෝලිම් මුකුත් නැහැ. තරගයක් තිබෙනවා තමයි. ඒත් ශාලා තිබෙනවා ඔක්කොම හොඳට වෙනවා. මට රිලීස් ඩේට් එක දීලත් ආපහු නතර කළා. ඒ ගැන පොඩි කනගාටුවකුත් තිබෙනවා. අපි පුරවැසියන් හැටියට රටට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා හිතන්න ඕනේ. අපි වෘත්තීය මට්ටමෙන් තරගයක් තියාගත්තට කමක් නැහැ. අනෙක් පෞද්ගලික දේවල්වලට තරගයක් අවශ්‍ය නැහැ. මට සමහර දේවල්වලදි හොඳීන් ප්‍රතිචාර දක්වන්න පුළුවන් වුණාට තවත් දේවල්වලදි එක්තරා විදිහකට ප්‍රතිචාර දක්වන්නත් වුණා. අපි වඩා හොඳට ඉන්න හැදුවත් අපට ගහනවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාවක ඉන්න වෙනවා.

රෂ්ට පසුව?

මම වැඩක් කරන්න ගත්තාම ඒ වෙනුවෙන් සම්පූර්ණ කැපවෙනවා. ඒක මම කාටවත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. අපි විසින්ම නැති කරගෙන තිබෙන වෘත්තීය ගරුත්වය ආපසු ගේන්නයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා මගේ නළුනිළියන්ගෙන් පවා ඒ වෙනුවෙන් කැප වෙන්න කියලා මම පෞද්ගලිකව ඉල්ලලා තියෙන්නේ. ඔවුන් අඳීන පලඳීන විදිහ, සමාජයේ පෙනී සිටින විදිහ, අඩුම ගානේ බීලා වාහන පදවන්නත් එපා කියලයි මම ඉල්ලලා තියෙන්නේ. මොකද සුළු දෙයක් වුණත් ඒකෙන් ශිල්පියාගේ අවස්ථාව මඟහැරෙන්න වගේම චිත්‍රපටයට බලපාන්නත් තිබෙන හැකියාව වැඩියි. රෂ් මංගල දැක්මට සහභාගී වෙන්න ඉල්ලීම් කරලා තිබෙන පිරිස දැක්කාම මට හිතාගන්න බැහැ. සිනමාව කියන මඟුල් ගෙදර මනමාලයන් සහ මනමාලියන් වෙන්න ඕනේ නළුනිළියන්. ක්ෂේත්‍රයට කිසිම සම්බන්ධයක් නැති අය එනකල් ඔවුන් රස්තියාදු කරන්න මම කැමති නැහැ. අපි ශාරුක් ඛාන් ගැන කතා කරනවා නම් ඔහු කළ කැපකිරීම සහ එතැනට ගිය ක්‍රමවේදය පවා අපි හිතන්න ඕනෙ. අපේ රටේ මාසගාණක ප්‍රශ්නයක් තිබිලා විජයබා කොල්ලය ඇවිත් ආපහු හදල දුන්නු පිටියේ තමයි අපි දුවන්නේ. ඉතින් ඒ බැට්න් එක අරගෙන මම දුවන්නේ සුනිල් සර්ගේ (මහාචාර්ය සුනිල් ආරියරත්න) ආශිර්වාදයත් එක්ක. ඉතින් මම උත්සාහ කරන්නේ තියෙන ප්‍රශ්න විසඳගෙන යන්න. මම ලබන වේතනයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් විදිහට තමයි ඊළඟ ව්‍යාපෘතියක් වෙනුවෙන් මම අත තියන්නේ.

රෂ් ඛේදාන්තයක් කරන්නත් තිබුණා. ඒත් ඔබ එය සුඛාන්තයක් කළා. ඇයි?

ලංකාවේ මගේ අත්දැකීම අනුව අපේ රටේ මිනිස්සු හරිම සංවේදියි. වීරයෙකුගේ අවසානය දකින්න කැමති නැහැ. දුකක් තියාගෙන ගෙදර යන්න ආසා නැහැ. සිනමාත්මක චිත්‍රපටයක් කියන්නේ මට පෞද්ගලික දෙයක්. ඒත් පොදු ජනතාව හිතන්නේ වෙනස් විදිහට. හොරෙක්ට හොරෙක් කියලා දිගටම හංවඩු ගහනවාට වඩා එක වතාවක් සමාව දීලා සුබවාදී පැත්තට ගන්න පුළුවන් නම් ඒ ගැන අහන තව දෙතුන්දෙනෙක් හරි හැදෙන්න බලයි. රෂ්ටත් එහෙමයි. එයාගෙ අඩුපාඩුවට සමාව ලැබිලා හොඳ අතට හැරෙනවා දැක්කාම ඒ ආදර්ශය තව හතරපස්දෙනකුවත් ගනී. අනෙක ලංකාවේ බිහිවුණ බොහෝමයක් චිත්‍රපට සුඛාන්ත.

ඒ කියන්නේ ඔබ යළි සිනමාවට වීරයෙක් ගේනවා?

අනිවාර්යයෙන්ම. ඒ වෙනුවෙන් ශිල්පීනුත් පෞද්ගලික කැපකිරීමක් කරන්න වෙනවා. කොතරම් සමාජයට ආවරණය නිරාවරණය වෙනවාද? කරන වැඩ මොනවාද? ගාමිණි (ෆොන්සේකා) මහත්තයා කළ විදිහක් තියෙනවානේ. අලුත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගන්න නව තාක්ෂණය මුසුවුණ අලුත් ක්‍රමවේදයකට යන්නත් ඕනේ. මම හිතනවා ප්‍රේක්ෂකයන් ආයෙත් ආදරය කරන වීරයෙක් බිහිවෙයි කියලා. ඒ ගැන අපි සුබවාදීව සිතීමයි වැදගත්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.