කණාමැදිරි එළි දිලෙන කළුවරේ අමාවක සඳ අරන් එන අනුරාධා පෙරේරා

තාත්තගේ සින්දු කිව්වට කමක් නෑ විකෘති කරන්න එපා
ඔක්තෝබර් 3, 2019

‘මට නුඹ හිමි නැති බැව් 
සිත නෑ අදහන්නේ 
සිත හැඬුවා ඇති දැන් 
ඔබ නෑ යළි එන්නෙ’

ඇය එලෙස ඔබ වෙනුවෙන් ගැයුවා. ප්‍රබල ගායන පරපුරක තවත් එක් පුරුකක් වුවත් ඇය ගායනයේ යෙදුණේ ඉඳහිට. ගැයූ සංඛ්‍යාව ද ඇඟිලි ගැන කිව හැකියි. ඒවා සියල්ල එකිනෙක පරයමින් ජනප්‍රිය වුණේ ඇගේ හඬෙහි ඇති ළෙංගතුකම නිසාමයි.

අනුරාධා පෙරේරා.

මේ අටුවාටීකා ලිව්වේ ඇය වෙනුවෙන්. නැසීගිය ටී. ෂෙල්ටන් පෙරේරාගේ ආදරණීය දියණිය වූ ඇය මෙරට අතැර විදෙස් ගත වී සිටින්නේ වසර පහක පමණ සිටයි. ඒ අතරතුරදි වරින්වර අනුරාධා ලංකාවට පැමිණියා. ඇයගේ මේ හමුවත් සිදු වුණේ එවැනි මොහොතකදි.

අනුරාධා, වහං වෙලා හිටියට ඔබේ හඬ නම් නිතර දෙවේලේ ගුවන් විදුලිය ඔස්සේ ඇහෙනවා?

ඇත්ත, මං ගොඩක්ම කලඑළියට ආව ගායිකාවක් නෙවෙයිනෙ. මට නුඹ හිමි නැති, කනාමැදිරි එළි වගේ ගීත දැන් වුණත් ප්ලේ වෙනවනෙ. ඔය සිංදුවලට අමතරව සැරින් සැරේ ලංකාවට ආව වෙලාවලදි සිංදුවක් දෙකක් කරනවා. වැස්සෙ වෙලා, සැනසුමක් නම් වැනි ගීත අවුට් කළේ එහෙම ආව ගිය වෙලාවක. මේ සැරේ ඇවිත් කරපු සිංදුව විශේෂයි. ඒක ඔයාලටත් හොඳ ප්‍රවෘත්තියක් වේවි. දීපිකාගේ (දීපිකා ප්‍රියදර්ශනී) හස්බන්ඩ් චාමික කුමාර තමයි මගේ අලුත්ම සිංදුව ලිව්වේ. අමාවක සඳ කියලා තමයි සිංදුව තීම් කළේ. ඒකත් ලස්සන සිංදුවක් වේවි. ඒවා නෙවෙයි පරන සිංදුනෙ ඉල්ලන්නෙ.

ඇයි ඔබ විදෙස් ගත වුණේ? ඔබේ අක්මුල් තියෙන්නෙ මෙහෙ. අනික පියා සුප්‍රසිද්ධ ගායකයකු වෙලත්?

කාරණා කිහිපයක් තියෙනවා. එකක් මං සංචාරයට හරි ප්‍රියයි. ලෝකෙ රටවල ඇවිද්දා. බොරු සෝබනේට නෙවෙයි එහෙම කරන්නෙ. ඇත්තටම සංචාරය මගේ විනෝදාංශයක්. ඒකත් එක හේතුවක් වෙන්න ඇති කැනඩාව වගේ රටක මං නවතින්න . . . නේද . . . පුතාගෙ අධ්‍යාපන කටයුතුවලටත් මුල්තැන දෙන්න වුණා. පුතාට දැන් දහ හතක්. එයාගෙ ඉගෙනුම් ඔක්කොම වෙන්නෙ එහෙ.

තාත්තගේ ගීත ඔබේ හඬින් අහන්න රසික රසිකාවො කැමැති ඇති?

ඔව්. එහෙම ඉල්ලනවා. මිහිරැති වසන්ත කාලෙ සිංදුව අපිමචං එක්ක කිව්වෙත් ඒකයි.

තාත්තගෙ සිංදු වෙන අය කියනවා නම් අනන්තවත් ඇහිලා තියෙනවා?

අම්මෝ ගොඩක් අය කියනවා. අපේ තාත්තලා ඔය සිංදු කිව්වෙ සිංදු හැදුවෙ බොහොම මහන්සි වෙලා. කට්ටියක් එකතු වෙලා සාකච්ඡා කරනවා. සිංදු ලියන කෙනා පද හදනවා. තාත්තා මියුසික් කරනවා. තාත්තගෙ සිංදු ගොඩක එයාමනෙ මියුසික් හදා ගත්තේ. හරිම පරිස්සමින්, බොහොම ආදරයෙන් හදපු සිංදු ඕවා. ඒවා එයාලා සල්ලි හොයන්න හදපුවා නෙවෙයි. මිහිරි සිංදුවක් ගැයුවම ඒක අහල දහස් ගනණකගේ හිත් සැනහෙනවා කියලා ඔවුන් දැනගෙන හිටියා. එහෙම නිර්මාණයක් පසුව කවුරු කිව්වත් අපි විරුද්ධ නොවුණේ ඒකයි. ඕන කෙනෙක් තාත්තගෙ සිංදු කියන්න. කමක් නැහැ. හැබැයි විකෘති කරන්න එපා.

ෂෙල්ටන්ගෙ හොඳම යාළුවා මිල්ටන් (පෙරේරා) කියලා පැරැන්නන් කියනවා?

තාත්තගෙ පණසරි මිත්‍රයා තමයි මිල්ටන් අංකල්. අපේ ගෙදර නිතරම එනවා. ඇවිත් ෂෙලා කියලා තමයි තාත්තට කතා කරන්නෙ. තාත්තා මිලා කියලා කියන්නෙ ඔහුට. ෂෙලයි මිලයි කතා කරන දේවල් හරිම සුන්දරයි. ඉතින් ඒ වගේ කාලයක් ඒ වගේ මිනිස්සු ආයෙ උපදින එකක් නැහැ.

තාත්තගෙ සිංදු අතරින් ඔබ වඩාත්ම ප්‍රිය?

බුදුනේ, මිහිරැති වසන්ත කාලෙ වගේ සිංදුවලට හරිම ආසයි. නිතර අහනවා. කියා ගන්න බැරි මොකක්දෝ දුකක් දැනෙනවා ඒවා අහද්දි. 

ඔබේ අයියා සතිශ්ව මේ මොහොතෙ මතක් නොකළොත් අඩුවක් වේවි?

(පහළට දැමූ දිගු සුසුමකින් පසුව අනුරාධා පිළිතුරු දෙයි)

අයියා නැති වෙලා අවුරුදු හතක්. පොඩි කාලෙ ඉඳලා අපි දෙන්නා යාළුවො වගේ හිටියෙ. මගේ හස්බන්ඩ් ටැමිල් කෙනෙක්. අපි දෙන්නා බඳින්න යද්දි ආව ප්‍රශ්නවලට සතිශ් අයියා තමයි ගොඩක් කතා කළේ. අදටත් හිතාගන්න බැහැ අයියා නැහැ කියලා. එච්චරටම හොඳ කෙනෙක් එයා. වසරක් පාසා ඔහු මතක් කරමින් පිං පැමිණවීම් කරනවා. අපිට අයියා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයිනෙ.

අනුරාධාට මොනවද කියන්න තියෙන්නෙ නව පරපුරේ ගායක ගායිකාවන් ගැන?

ඉතා හොඳ දක්ෂයෝ ඉන්නවා. හුඟක් හොඳ අය. නමුත් ඔවුන් ගයන බොහෝ ගීතවල පදමාලාව තමයි ගැටලුවකට තියෙන්නෙ. සිංදුවක් ගයන්න කලින් ඒකේ පදමාලාව ගැන මීට වඩා සැලකිලිමත් වුණොත් වඩා හොඳ නිර්මාණ බිහිිවේවි.

අනුරාධා සහ අප අතර වූ කතාබහ නිමා වුණා. අවසනදි ඇයගේ තවත් රසාලිප්ත ගීයක් සනිටුහන් කරන්නට අදහස් කළා. අනුරාධා එය ගැයුවේ දමිල තනුවකට අනුව.

‘කාලෙ ළඟයි මධු වසන්තේ 
කල ගෙවිලා ගිම්හානයේ 
මාලේ ගොතා පිළිගන්නෙමි 
තරුවැල් බැඳ සරසන්නෙමි...'

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.