මම තවම පොඩි නළුවෙක් මචං

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
ඔක්තෝබර් 3, 2019

ඔබගේ පැමිණීම අපිට සතුටක්.
මම ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට කීවෙමි. 
ඔහු කතාව ඇරැඹීය. 
මං තවම පොඩි නළුවෙක්නෙ මචං. මමයි උඹලට ගෞරව කරන්න ඕන. අවුරුදු තුනක් දෙබස් නැතුව රඟපාලා, ඇක්ටිං එකේ රහ හොයාගෙන අනන්තවත් දුක් විඳලා අද මං පොඩි හරි තැනකට ඇවිල්ලා තියෙනවනෙ. ඒකනෙ උඹලම මට කතා කළේ. ඒක මට ගෞරවයක් මචං. බොහොම ස්තූතියි මට එන්න කිව්වට. මං වෙනුවෙන් සරසවිය මැද පිටුව වෙන් කෙරුවට.

* බඳින්න කෙනෙක් වෙනුවට සහකාරියක් හොයාගෙන පුංචි පවුලක් හදනවා 
* හුස්ම මගේ පට්ට ටර්නිං පොයින්ට් එකක් 
* මම මැටි නෙවෙයි වතුර
* මම සෝවාන් වෙච්ච මිනිහෙක් නොවෙයි 

අවුරුදු තුනක් දෙබස් නොකියා මොනවද කළේ?

අර දුර රූප මචං, ඈතින් ඇවිදන් යන ඒවා, පෙනී සිටින ඒවා තමයි කළේ. මේ වෙලාවෙ මරු කතාවක් මතක් වෙනවා. මං උඹට මේක කලිනුත් කියලා ඇති. මගේ පළවෙනි ටෙලි නාට්‍යය තිමිර. චරිත් කොතලාවල නාට්‍යය කළේ. මං ඒකේ උපරිම එක්ස්ට්‍රා චරිතයක් රඟපෑවේ. කොච්චර එක්ස්ට්‍රාද කියනවා නම් පිරිසක් මැද මගේ පිට විතරයි රූප රාමුවෙ තිබුණේ. වෙලාවට ඇඳගෙන හිටපු ටීෂර්ට් එකේ තඩි අංකයක් තිබුණා. එකෙන් තමයි ඒ පිට මගේ කියලා අඳුන ගත්තේ. මේ වෙලාවෙ මට දෙතුන් දෙනෙක්ව මතක් වෙනවා. ලියා ගනිං මචං මේ නම් ටික. එක් කෙනෙක් නාලන් මෙන්දිස්. ඔහු තමයි මට මුලින්ම දෙබස් තියෙන චරිතයක් දුන්නෙ. සුනන්ද සිල්වා ලියපු මලී නාට්‍යයේ තමයි නමක් තියෙන චරිතයක් ලැබුණේ. දැන් ඔය සිඳු එහෙම කරන තිළිණ බොරලැස්ස එතකොට ඒ. ඩී. ඔහු මට කතා කරලා කියනවා ඉසුරු අපි උඹව චරිතෙකට තෝර ගත්තා. උඹගෙ ෆ්‍රී දින කියපං කියලා. මං කිව්වා ඔක්කොම දින ෆ්‍රී කියලා. ඇයි ඉතින් හා හා පුරා කියලා නළුවකුගෙන් දින ඉල්ලපුවාම කොච්චර සතුටුද. 

අද වන කොට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ හොඳ නළුවෙක්?

උඹලා එහෙම කියනවා. මං අර කලින් කිව්වෙ තවම පොඩි නළුවෙක් මචං. රංගනය කියන්නේ මහ විශාල විද්‍යාවක්නෙ. විද්‍යාවක් වුණාම දවසින් දවස ඒක අප්ඩේට් වෙනවා. මං හිතනවා මං තවම රංගන චාරිකාව පටන් ගත්තා විතරයි. දැන් ඒක ඔහොම යනවා. ඒක අතරතුරදී විවිධ ස්ථාන, පුද්ගලයන් හමු වෙනවා. වන්දනා කළ යුතු තැන් දැක්කම ඒවත් වැඳ පුදා ගන්නවා. ඥාතීන් කවුරුවත් මේ ෆීල්ඩ් එකේ මගේ නැහැනෙ. එහෙම තියෙද්දිනෙ අද මං පුංචි තැනකට හරි ඇවිත් තියෙන්නෙ.

මේ දවස්වල ඔබ ඉන්න ක්ෂේත්‍ර්යේ වගේම ඉන් පරිබාහිරවත් පිරිස අතර කතාබහට ලක් වන චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒක එක්තරා අන්දමක ආන්දෝලනාත්මක කතා පුවතක් චිත්‍රපටයේ නම හුස්ම. මං හිතනවා ඉසුරුගෙ ජීවිතයේ මේ ගත්තෙ ටර්නිං පොයින්ට් එකක් කියලා?

ඔව්. උඹ හරි මචං. මේක පට්ට ටර්නිං පොයින්ට් එකක්. මං මෙච්චර කල් චිත්‍රපට දොළහක් කළානෙ. තුනක් එළියට ආවා. එත් මේ වගේ එකක් මේ වගේ චරිතයක් කළේ මුල් වතාවට. මගේ කැරැක්ටර් එකේ නම රුවන්. පුදුමාකාර විදිහේ අභියෝගාත්මක චරිතයක්. අනික මට රඟපාන්න තියෙන්නෙ හොඳම නළුවා වෙච්ච නළුවො දෙන්නෙක් එක්ක. එකෙක් පුබ්බා. අපේ පුබුදු. අනිකා දස්සා. දසුන් පතිරණ. ධාවන ශූරයකුට සුපිරි පදක්කම් දිනපු දෙන්නෙක් දෙපැත්තෙ ඉද්දි කොච්චර ගටක් එනවද, මටත් එහෙමයි දැනුණෙ. උන් දෙන්නා ප්ලේ කරද්දී මට නිකම් ඉන්න බැහැනෙ. එතකොට මං ෆේල් වෙනවා. එකම කාමරයක ඇතුළේ දවස් පහළොවක් එක දිගට අපි ෂූටිං කළා. බලන කෙනාට ඒකාකාරී වෙන්නත් බැහැනෙ මචං. වැඩේ ගොඩ දැම්මා කියලා හිතනවා.

හුස්ම පිටපත කියවද්දී මොකද හිතුණේ?

චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්. මිනිහා බයිස්කෝප් කාරයෙක්නෙ. එහෙම තමයි ලේබල් වැදිලා තිබුණේ. මං පිටපත කියෙව්වා. ගත්තා අනිත් අතට කෝල් එකක්. “සුදේශ් අයියෙ මේක ඔයාද කරන්නෙ” “ ඔව් මං තමයි, ඇයි මොකද කියලා ඇහැව්වා. මං කිව්වා “පිටපත නම් මරු හැබැයි මේක මේ විදිහටම කළොත් අපි හැමෝම ගොඩ කිව්වා. සුදේශ් අයියා වැඩේ පටන් ගත්තට පස්සේ රහ දැනෙන්නම තමන්ගේ භූමිකාවේ වගකීම අකුරටම කළා. ආ . . . මේ කතාවත් අහපංකෝ. මං සුදේශ් අයියගෙන් අරම ඇහැව්වට පස්සෙ තව දවසක ආයේ මට දැනගන්න ඕන වුණා කවුද මේකෙ කැමරාමන් කියලා. මොකද මචං මේකෙ ඈංගල් සුපිරියටම තියෙන්න ඕන. සුදේශ් අයියගෙන්ම කෝල් කරලා ඇහැව්වා කවුද මේකෙ කැමරා ඩිරෙක්ටර් කියලා. “ගාමිණි මොරගොල්ලාගම තමයි” සුදේශ් අයියා කියපු නම. සුදේශ් අයියගේ චිත්‍රපටවල දිගටම කැමරා කළේ ඔහු. “මිනිහට පුළුවන් වෙයිද මේක කරන්න” මං ඒ විදහට අහපුවම ඇයි . . . උඹ හිතනවද මට මේ වගේ වැඩ බැහැ කියලා” පැත්තකින් එහෙම ඇහැව්වා. බැලින්නම් සුදේශ් අයියා ලවුස්පීකර්දාලා කතා කරලා තියෙන්නේ. ගාමිණී අයියා එහා පැත්තේ ඉඳලා. මං ඔහුට පැහැදිලි කළා මං එහෙම අහපු හේතුව. අද වෙන කොට චිත්‍රපටය බලද්දි දෙන්නා කොච්චර වැඩ පෙන්නලා තියෙනවද කියලා පේනවා.

රුවන්ගේ චරිතය බාරගන්න දෙගිඩියාවක් තිබුණේ නැද්ද?

රංගනයේදී මට සීමා මායිම් නැහැ. ලංකාව වගේ රටක චිත්‍රපටයක කලිසම ගලවනව කියන්නේ ඒක පට්ටම අවුල් වැඩක්නෙ. ඒක මං කළා. අවුලක් නැහැ.

මං හිතන්නෙ ඔබට ඔවැනි චරිත නිවී සැනසිල්ලෙ බාර ගන්න පුළුවන් තවම විවාහ වී නැති නිසා?

හරියට හරි මචං. මං බැඳලා හිටියා නම් වයිෆ්ව නියෝජනය කරන්න වෙනවා. දරුවො හිටිය නම් ඒකම තමයි. වයිෆ්ට කියයි අන්න උඹේ මිනිහා චිත්‍රපටයක කලිසම ගැලෙව්වා කියලා. දරුවන්ට කියයි අන්න උඹලගෙ තාත්තා ගලෝනවනෙ කලිසම . . . ෂිඞ කොච්චර කැතද කියලා. එහෙම මට නැහැනෙ මචං. මේ වෙලාවෙ මගේ ගෙදර උදවියව මං ටිකක් මතක් කරනවා. කමක් නැහැනෙ. මගේ අම්මා, තාත්තා, අයියා. එයාලා චිත්‍රපටය බැලුවා. කිසිම දෝෂාරෝපණයක් නැහැ. තාත්තට පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද. අර මං චිත්‍රපටයෙදි මැරෙනවනෙ. තාත්තට ඒක දරා ගන්න බැහැ. තාත්තා මං වගේ නෙවෙයි, හරිම අහිංසකයි.

හුස්ම චිත්‍රපටය නරඹපු උදවිය ඔබේ වෙනත් නිර්මාණයකදී නොදැක්වූවාට වඩා වැඩි ප්‍රතිචාරයක් ඔබ වෙත පිරිනමනවා ඇති?

ඒකත් මරු මචං. චිත්‍රපටයේ මංගල දර්ශනය දවසෙ ඒක බලලා සංගීතා අක්කා ආවා මං ගාවට. මං එයගෙ සියත නාළිකාවෙ වැඩ සටහනක් කරනවනෙ. සංගීත අක්කා කිව්වා “ආයෙ එහෙම චැනල් එක පැත්තෙ පස් පාගන්න එපා” කියලා. එච්චරටම ඇයට චරිතය දැනිලා. සේමිණි ඉද්දමල්ගොඩ අක්කා ඇවිත් මගේ ඔළුව අල්ලලා හෙල්ලුවා. එච්චරට සතුටුයි. ප්‍රවීණ උදවිය අපේ මහාචාර්ය සුනිල් ආරියරත්න සර්, රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා ගොඩක් මාව වර්ණනා කළා. චිත්‍රපටයේදි මං කොකේන් පාවිච්චි කරන දර්ශන තියෙනවා. ඒවත් කට්ටියට වැදිලා. හැමෝටම ප්‍රශ්නෙ මං කොකේන් ෆෝන් එක උඩ තියාගෙන පාවිච්චි කරන විදිහ දන්නෙ කොහොමද කියලා. ඒක ආගන්තුක දර්ශනයක්. කොකේන් එහෙම තියාගෙන පාවිච්චි කරන්නෙ එක්ස්පර්ට් අය. මං ඔය චරිතය ලැබෙද්දි අධ්‍යයනයක යෙදුණා. මං විතරක් නෙවෙයි පුබ්බා, දස්සා දෙන්නමත් එහෙමයි. ඔය වගේ ඉතා සියුම් තැන් අල්ල ගත්තෙ.

චිත්‍රපටය තුළ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන දර්ශන වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද. කොල්ලො තුන් දෙනා විශේෂයෙන්ම ඔබේ චරිතය චණ්ඩිකම් පාන්නෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කළාට පස්සෙ. ඒක වැරදි පූර්වාදර්ශයක් නොවේද?

මේකනෙ මචං කතාව. දෙවැනි ලෝක යුද්ධය කාලෙදි තමයි සෙබළුන්ට කොකේන් පාවිච්චි කරන්න දුන්නෙ. ඒක කෙටිකාලීන උත්තේජකයක්. මූණෙ සමහර තැන් හිරි වැටෙනවා කොකේන් ගත්තම. ඒකනෙ නහයෙන් නිතර හුස්ම ඉහළට අදින්නෙ. නහය නැහැ වගේ දැනෙනවා. රුවන් කොකේන් අරන් මොකද කරන්නෙ. ඌ තනිකර පිස්සු කෙළිනවා. යාළුවව මරනවා. කෙටියෙන්ම ඌ දන්නෑ මේ මොනවද කරන්නෙ කියලා. පියවි සිහියට එද්දි වෙලා තියෙන්න ඕන දේවල් සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඌ දුක්වෙනවා. එතකොට වැඩක් නෑ මචං. අන්න ඒකයි. බලපං එතනින්ම මොන තරම් දේවල් කියවෙනවද කියලා. මෝචරියට අපි තුන් දෙනා යාමත් මැරිච්ච නිළිය එතන සිටීමත් වෙනම කතාවක්නෙ. මෝචරියට යන මළකඳට හුස්ම එනවා. පණපිටින් යන අපි තුන් දෙනා හුස්ම නැතුව යනවා.

හුස්ම චිත්‍රපටියේ ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කොතැනටද?

උඹට මතකද අර දස්සා මාවයි පුබුදුවයි අරගෙන යනවා මුලින්ම නිළිය පෙන්වන්න. එතකොට ඌ මාර විදිහට ෆීලිං එකක් ඇති කරන කතා කියනවා. නිළියකගේ නිරුවතක් බලන්න පට්ට ත්‍රිල් එකෙන් එතනට ගිහින් දස්සා මිනිය වහලා තිබුණු රෙද්ද අයින් කරනවා. එතන ඉන්නේ නිළිය නෙවෙයි, කුණුවෙලා පණුවො ගහපු මිනියක්. අන්න ඒ දර්ශනයට මං මාර ආසයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ රංගන රීතිය මොකක්ද? ඔබ ඔබටම වෙන් කර ගත්තු අනන්‍යතාවයක් ඇති?

රංගනය කියන්නේ සොබාවිකත් නෙවෙයි අතිශෝක්තියත් නෙවෙයි. මං ඉන්නෙ ඔය දෙක අතර. මං ඒකෙන් අදහස් කරන්නෙ නැහැ මං අධි රංගනයක් කරන්නෙ නැහැ කියලා. අධ්‍යක්ෂවරයෙක් කිව්වොත් මං අධි රංගනයක නියැළෙනවා. එතකොට මගෙ රීතිය මමම බිඳ ගන්නවා. මං කියන්නෙ රංගන ශිල්පියෙකු හෝ ශිල්පිණියක් නියුට්‍රල් වෙන්න ඕන. තවත් විදිහකින් කිව්වොත් වතුර වගේ. අධ්‍යක්ෂවරයා ඕන විදිහට අපිට පාට යොදයි. එතකොට අපි ඒ ඒ පාටට ඉන්න ඕන. අධ්‍යක්ෂවරයා නිල්පාට දැම්මම අපි නිල්පාට වෙනවා. රතු පාට දැම්මම රතු වෙනවා. වතුර වගේ නැතුව වෙනත් පාටක් දාගෙන රඟපාන්න ගියොත් ඩිරෙක්ටර් දාන පාටයි තමන්ගෙ පාටයි මික්ස් වෙලා වෙන කලර් එකක් එළියට එනවා. එතකොට වැඩක් නැහනෙ.

රංගන ශිල්පියා මැටි පිඬක් වෙන්න ඕන කියන කතාවට ඔබ එකඟ නැද්ද?

මැටිවලට වර්ණයක් තියෙනවනෙ මචං. මං මැට්ටෙක් නෙවෙයි. මං ඒකයි වතුර උදාහරණයට ගත්තෙ. වතුරට පාටක් නැහැනෙ.

ටෙලි නාට්‍ය නිසා බොහෝ නළුවන් එකම තැනකට කොටු වුණා. එහෙම නොවන්න ඉසුරු මොන වගේ ක්‍රියා මාර්ග ද අනුගමනය කරන්නෙ? 

හරි ලෙහෙසියි. චරිතයට සාධරණයක් කරනවා. ඒකනෙ සඳ හැංගිලා නාට්‍යයේ චරිතය ගැන හැමෝම කතා වෙන්නෙ. නෝ පාර්කිං එකේ වුණත් එහෙමනෙ. ඇයි අපි කරන දේවල්වල සියුම් තැන් මිනිස්සුනට මතක හිටිනවා. ඒකනෙ වෙන්න ඕන.

හුස්ම චිත්‍රපටය හරහා තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන නළුවගෙ හැබෑ දස්කම් සමහරු දක්කෙ. ඒ කියන්නෙ ඔබ මීට ප්‍රථම කළ දේවල් වැඩක් නැහැ කියන එකද?

චිත්‍රපටවල රඟපෑවත් මං හිතන්නෙ ඒව එතරම් අවධානයට ලක් වෙන්නට නැතුව ඇති. මං දන්නෑ මචං ඒකට හේතුව මොකක්ද කියලා. හැබැයි රබර් බෝලේ යට ගහගෙන ඉන්න හැමදාම බැහැ. ඒක කොයි වෙලාවේ හරි එළියට එනවාමයි. දැන් උදාහරණයකට ගනින් හේමාල්ව. ප්‍රවේගයෙන් තමයි ඌ අප්වෙලා අවේ. එතකම් හේමාල් රඟපෑවෙ නැද්ද. නැහැ හිටිය. ප්‍රවේගය තමයි ඌගෙ ටර්නිං පොයින්ට් එක වුණේ. මගෙත් එහෙම වෙන්න ඇති. හුස්ම ආවා විතරයි අර මොකක්දෝ පුපුරලා ගියා වගේ තමයි.

ඔබට පහුගිය කලෙ නානාප්‍රකාර ගොසිප් හැදුණා. මොකද එහෙම වුණේ. ඔබ දැන් ජනප්‍රිය නිසාද?

වෙන්න ඇති. ඉස්සර මට කාර් එක නවත්තලා පාරෙ ඕන තැනක මුත්‍රා කරන්න පුළුවන්. දැන් කළොත් ඒක ගොසිප් එකක්. ඉස්සර මං ඕන ලදරමක් ඇන්දා. දැන් එහෙම කළොත් ෆැෂන් එකක්. ඒක මං දැනගෙන ඉන්න ඕන. හැබැයි මං කියන්නෙ මං සෝවාන් වෙච්ච මිනිහෙක් නෙවෙයි. මට මගෙ කියලා නිදහසක් තියෙනවා. මං කරන්නෙ නැත්තෙ නීතියෙන් එපා කියන එක පමණයි. මං ඉරි කපලා, බීලා, රතු සිග්නල් වැටෙද්දි වාහන එලවලා නැහැ. නමුත් මං කැමැති කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න මට බැරිකමක් නැහැනෙ. නීති පිළිපදිනවා. එච්චරයිනෙ වෙන්න ඕන. මටත් ගොසිප් හැදුණා. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ මගෙ හිතාදර ජ්‍යෙෂ්ඨයා මහේන්ද්‍ර පෙරේරා කියපු දෙයක්. ගමනක් යද්දි මිනිස්සු ගල් ගහයි, බල්ලො බුරයි. ඒව දිහා බල බල හිටියොත් ගමන යන්න වෙන්නෙ නැහැ. ජරා ගොඩවලුත් තියෙනවනෙ ගමනක් යනකොට. ඒවට පයින් ගගහා හිටියොත් කකුල් හෝද හෝද ඉන්නත් වෙනවා. හොඳම වැඩේ ඒවා මඟහැරලා යන එක.

නිර්මාණකරුවකු විදිහට ඔබව ඉදිරියේදී දකින්නට ලැබෙයිද?

කවදාවත් නැහැ. මට බැහැ බං අධ්‍යක්ෂණය කරන්න. ස්ක්‍රිප්ට් ලියන්නත් බැහැ. හැබැයි කවදා හරි නිෂ්පාදකවරයෙක් නම් වෙන්න හිතක් තියෙනවා. චිත්‍රපටයක් තමයි කරනවා නම් කරන්නේ.

ඇහැව්වොත් කියන්නෙ ඔබේ විවාහය ලබන අවුරුද්දෙ වෙනවා කියලා. මේ අවුරුද්දත් දැන් ගෙවිලා ඉවරයි?

බඳිනවා කියන සංල්පයට වඩා පවුලක් කියන වචනයට මං හරි ආසයි. අපි බිහි වන්නෙ ඒ පවුලක් නිසානෙ. හැමදාම මං කියන්නෙ ඔබ කියපු දේ තමයි. ලබන අවුරුද්දේ බඳිනවා. මට අවශ්‍ය සහකාරියක්. ඇය සමඟ හොඳ පවුලක් හදනවා. පවුලක් වෙලා ජීවිතයක් බිහි කළේ නැත්නම් මං හිතන විදිහට අපි මේ ලෝකෙන් මැරෙන්නෙ ලොකු වැරැද්දක් කරපු අය විදිහට. මේ ලෝකෙ පැවැත්මට දෙයක් අපි කරලා නැහැ. දරුවෙක් හදලා නැහැ. එහෙම නොවී බඳින්න කෙනෙක් වෙනුවට සහකාරියක් හොයාගෙන පුංචි පවුලක් හදනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.