ගාඩි තිරගත වූ දාට මා ගැන කතා වේවි

ඩිනාරා පුංචිහේවා
ඔක්තෝබර් 10, 2019

ඩිනාරා ඔබට සුබ දවසක්.

ඔබ සියලු දෙනාටත් එලෙසම පතනවා. මේක තමයි මගේ පළමුවැනි ආර්ටිකල් එක.

දැන් ඔබ සිනමා නිළියක්?

ඉතාම වටින අවස්ථාවක් ලබමින් තමයි මං සිනමාවට එන්නෙ.

පළමුව ඔබ හසුරුවන්නේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්?

ඇත්තටම ඒක මං හිතපු නැති, අහම්බෙන් මට උදා වූ විරළ අවසථාවක්. ප්‍රසන්න සර් මාව චිත්‍රපටයට තෝරා ගත්ත එකම මට ඇති. ගාඩි චිත්‍රපටය තිරගත වුණායින් අනතුරුව චිත්‍රපටය ගැන වගේම මගේ චරිතය ගැනත් කතාබහට ලක්වේවි කියන නිහතමානි සතුටක් මට තියෙනවා.

ගාඩි සඳහා ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ගාඩි සඳහා නළුවරණයක් පැවැත්වුණා. ඒ සම්මුඛ පරීක්ෂණයට මමත් සහභාගි වුණා. පළමු සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරා ගෙන දෙවැනි එකට යොමු කළා. ඒකෙන් සමත් වුණායින් අනතුරුව තමයි කිව්වෙ මාව තෝර ගත්තා කියලා. මට පිටපත එහෙමත් ලැබුණා. අපි මාස අටක් පමණ චිත්‍රපටය වෙනුවෙන් රිහසල් කළා. බොහොම කැපවීමෙන් තමයි මේ චරිතය නිරූපණය කළේ.

ඔබට ලැබුණේ අභියෝගාත්මක චරිතයක්?

ඔව්. චරිතයේ නම ටිකිරි. ඇය ඉහළ පැළැන්තියේ තැනැත්තියක්. නොකළ වරදකට හසු වූ ඇය කුලහීන මිනිසුන් අතරට පිට මං කරනවා. ඒ රොඩී කුලයේ කාන්තාවන්ට උඩුකයට ඇඳුම් ඇඳීම තහනම්. එහෙම කළොත් දඬුවම් විඳින්න වෙනවා. මට ටිකිරි ගැන හෝ රඟපාන්න වන ඇතැම් දර්ශන ගැන ගැටලුවක් තිබුණේ නැහැ. ප්‍රසන්න සර් ඉතාම විශිෂ්ට අන්දමින් රූප රාමු කැමරාවට නඟා ගන්නවා කියලා මං දන්නවා. හැබැයි මට තිබුණු ගැටලුව තමයි 1815 වගේ කාලයක චරිතයක් 2019 දී මං රඟපාන්නේ කොහොමද කියන එක. මට දර්ශන තලයට ගියාම ඒ ගැටලුවත් විසඳුණා. ඒ මගේ චරිතය ගැන විනිශ්චයක් දෙන්න බැහැ. අර මං කලින් කිව්වා වගේ ප්‍රේක්ෂකයින් නරඹලා ටිකිරි ගැන ප්‍රතිචාර දක්වාවි.

ටිකිරි රොඩී කුලයට පිටමං කළායින් පසුව තිබෙන දර්ශන ටික ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඒ සඳහා බොහෝ දෘශ්‍ය ප්‍රයෝග භාවිත කළා. මේ වෙලාවේ මං විශේෂයෙන්ම මතක් කරන්න ඕන අංග රචනා ශිල්පියාව සහ කැමරා අධ්‍යක්ෂවරුන්ව. ඔවුන් ඉතා විශාල සහායක් මට දුන්නා චරිත නිරූපණය සඳහා.

ඔබ උපාධිධාරිනියක් කියන එක රහසක්?

මං අවශ්‍ය වුණොත් පමණයි ඒ සුදුසුකම ගැන කතා කරන්නේ. විශේෂයෙන්ම මේ වගේ සම්මුඛ සාකච්ඡාවල. මට නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධියක් තියෙනවා. ලන්ඩන් නගරයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් තමයි මං නාට්‍ය හා රංග කලාව හදාරලා උපාධිය ගත්තෙත්. මං ගුරුවරියක් ලෙසට ද වැඩ කටයුතු කරගෙන යනවා. රංගනයේදී යම් යම් අවස්ථාවලදී මං ඉගෙන ගත්තදේ වලින් ප්‍රයෝජන ගන්නවා.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නිර්මාණවල නළු නිළියන්ට ද සම්මාන ලැබුණා?

මට නම් සම්මාන ලැබුණත් එකයි නැතත් එකයි. ප්‍රසන්න සර්ගේ නිර්මාණයකට දායකවීමම මට සම්මානයක් ලැබුණා හා සමානයි.

ඔබ සිනමාවේ පමණක් රැඳීමට බලාපොරොත්තු වන රංගන ශිල්පිනියක්ද?

නැහැ. ටෙලි නාට්‍ය හෝ වේවා මියුසික් වීඩියෝ හෝ වේවා මට ලැබෙන චරිතය හොඳ නම් මං බාර ගන්නවා. අරවට විතරයි මේවට යන්නෙ නැහැ කියන මතයක මං නැහැ. නිර්මාණයේ ගුණාත්මකභාවය මත මං ඊට සහභාගි වෙනවා.

සිතාරාගෙ ගම?

මං කිරුළපන.

ඉගෙන ගත් පාසල?

ලේඩිස් කොලේජ්, කොළඹ.

රංගනයට අමතරව ඔබ සතු වෙනත් දස්කම් මොනවාද

මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර කලාවට මං ඉතාම ප්‍රියයි.

 

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.