දැවැන්ත චිත්‍රපට ගැන නැවත හිතන්න ඕනෑ

විජයබා කොල්ලය නිෂ්පාදනය කළ සම්මානනීය නිෂ්පාදක එච්.ඩී.ප්‍රේමසිරි
ඔක්තෝබර් 10, 2019

සරස්වතියත් ලක්ෂ්මියත් එකට සිටින්නේ නැතැයි පැරණි කියමනකි. එදා යුගයේ කොයි හැටි වෙතත් අද නම් සරස්වතියට පවතින්නට ලක්ෂ්මිය ඇසුරු කළ යුතුමය. ලක්ෂ්මියට සරස්වතිය ඇසුරු නොකළහොත් ඇය නිකම්ම නිකම් මෙලෝ රහක් නැති එකියක වන්නීය. මේ දෙදෙනාම සමීපව ඇසුරු ලැබූ කෙනෙකි. එච්.ඩී.ප්‍රේමසිරි. ඔහු පොත් හා සිනමාවට ඇති ඇල්ම නිසා සරස්වතිය ඇසුරු කරයි. පොත් ප්‍රකාශකයකු බැවිනුත් සිනමා නිෂ්පාදකයකු බැවිනුත් ලක්ෂ්මියත් ඇසුරු කරන බව පෙනෙන කරුණකි. මේ දිනවල තිර ගත වන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය චිත්‍රපටයේ නිෂ්පාදක ඔහුය. එමෙන්ම වසර ගණනාවකට පසු එළිදකින ඩබ්ලියු .ඒ .සිල්වා සූරීන්ගේ විජයබා කොල්ලය නවකතාවේ නවතම ප්‍රකාශක ද ඔහුය. ඔහු චිත්‍රපට නිෂ්පාදනයට යොමුවන්නේ 1982 වසරේ දී බිත්ති හතර චිත්‍රපටය සමඟය. සුගතපාල ද සිල්වා ගේ නවකතාවක් ඇසුරු කළ එය පරාක්‍රම ද සිල්වාගේ අධ්‍යක්ෂණයක් විය. දෙවැන්න ඔහු නිෂ්පාදනය කළේ රංජිත් කුරුප්පු සමගය. එය රංජිත් අධ්‍යක්ෂණය කළ පවන රළු විය චිත්‍රපටයයි. තෙවැන්න ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ආකාස කුසුම්ය. මාලනී ෆොන්සේකා ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ හොදම නිළියට හිමි රජත මයුර සම්මානය දිනා ගත්තේ එයින්ය. ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ සක්කාරං චිත්‍රපටයේ නිෂ්පාදක ද එච්.ඩී.ප්‍රේමසිරිය. එය චම්මින්ද වෙලගෙදර ගේ ඒ නමින් යුත් නවකතාව පාදක කොට ගෙන තැනුවකි. ප්‍රසන්න විතනගේ නිර්මාණය කරන ලද උසාවිය නිහඬයි චිත්‍රපටයේ ද නිෂ්පාදක එච්.ඩී.ප්‍රේමසිරිය. මහාචාර්ය සුනිල් ආරියරත්න තැනූ යශෝධරා ගිය වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපටයයි. එය නිෂ්පාදනය කරන ලද්දේ ද එච්.ඩී.ප්‍රේමසිරිය. සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව ඇසුරෙන් අශෝක හඳගම නිර්මාණය කළ චිත්‍රපටය ද එච්.ඩී.ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. නිල්මිණි සිගේරා එහි දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද්දාය. මහාචාර්ය සුනිල් ආරියරත්න නිෂ්පාදනය කළ කුස පබා, නිලේන්ද්‍ර දේශප්‍රිය නිර්මාණය කළ තණ්හා රතී රඟා, බෙනට් රත්නායක ගේ නෙලා, උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ සම නිෂ්පාදනයෙන් ද ඔහු සිනමාවට දායක විය. කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල සම අධ්‍යක්ෂණය කළ නිව්ස් පේපර් නමින් ළඟ දී තිර ගත වන චිත්‍රපටයේ සම නිෂ්පාදක ද ඔහුය. ප්‍රසන්න විතානගේ තැනූ ගාඩි ඔහුගේ මීළගට තිර ගත වීමට ඇති චිත්‍රපටයයි.

සිනමාව හා සාහිත්‍යය මේ දෙක අතරින් ඔබ වඩාත් ඇලුම් කරන්නේ කුමකටද?

පැහැදිලිවම මා වඩා ආදරය කරන්නේ පොතට. චිත්‍රපට කරන්නනේ ආසාවට.

ඔබ සිනමා කෘතියක් හදන්න සැලසුම් කරන්නේ කොහොමද ?

මගේ මුල්ම නිෂ්පාදනය බිත්ති හතර චිත්‍රපටය නිපදවන්නට මා ඉදිරිපත් වුණේ අහම්බයක් හැටියට. ඒ 1978 විතර. තිර ගත වුණේ 1982 විතර. අප මුලින් නිපදවන්නට ගත්තේ රාජා ටී.බස්නායකගේ නවකතාවක් රෝහණ වෙත්තසිංහත් එයට සම්බන්ධයි. දැන් මට ඒ නවකතාවේ නම මතක නැහැ. කොහොම උණත් චිත්‍රපටය කෙරුණේ නැහැ. ඒ දවස්වල මා කලාපෙළට සම්බන්ධව කටයුතු කළා. එහි දී මුණ ගැසුණ පරාක්‍රම ද සිල්වා සහ පී.යූ.ඩී.පෙරේරාගේ ඉල්ලිම මත මා බිත්ති හතර චිත්‍රපටයේ නිෂ්පාදනයට එකතු වුණා. ඔවුන් ඒ අවදියේ මහරගම අපේ සරසවි පොත්හලට එනවා. ඒ පොත තෝරා ගත්තේ ගොඩක් අය හොඳයි කිව්ව නිසා. පවන රළු විය චිත්‍රපටය තනන්න රංජිත් ජර්මනියෙන් මුදලක් ගෙනාවා. ඩොයිෂ් මාක් හැත්තෑ පන් දාහක් විතර. මා එයට දායක වුණේ සම නිෂ්පාදක හැටියට. කාලයේ හැටියට මා එයට ලොකු මුදලක් යෙදෙව්වා. හැබැයි ඒ චිත්‍රපට වලින් මට ලාභයක් ලැබුණේ නැහැ.

එහෙත් ඔබ සිනමාවෙන් අයින් වුණේ නැහැ?

එයට පස්සේ මම ටික කාලයක් චිත්‍රපට නිපදවන්න ගියේ නැහැ. මට පසුව වුවමනා වුණා ප්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවකු සමඟ චිත්‍රපටයක් හදන්න. කොහොම වුණත් ප්‍රසන්න මට ආකාස කුසුම් කතාව ගෙනාවාම මම එයට කැමැති වුණා. මේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන දිනුවා. මාලිනී ෆොන්සේකාට හොඳම නිළියට හිමි සම්මානය පවා දිනා දුන්නා එය මටත් නිෂ්පාදක හැටියට ලොකු ශක්තියක් වුණා.

පළපුරුදු නිෂ්පාදකයකු හැටියට දැන් ඔබට අපේ සිනමාව පෙනෙන්නේ කොහොමද ?

විශාල චිත්‍රපට කරලා දැන් ගොඩවෙන්න අමාරුයි වගේ. ඒකට හේතුව අපේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඇකිලීමයි. එය එදා ඉඳන් චිත්‍රපට තිර ගත කළ වකවානු බලද්දි පෙනෙන ලකුණක්. මුල් මාසයේ දැනෙන ප්‍රේක්ෂක ආකර්ෂණය දෙවැනි මාසයේ නැහැ. දැන් විදෙස් චිත්‍රපට පවා මෙහි තිර ගත කරන කොට එහෙමයි. සතියයි නැත්නම් දෙකයි.

සිනමා ශාලා ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වුණත් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි වෙලා.

ඔව්. ඒ බලන්නේ සිනමාශාලවල නෙමෙයි.

එය විශාල වෙළෙඳ පොළක් ? ඒ ගැන අවධානය යොමු නොවන්නේ ඇයි ? අපේ නිෂ්පාදකවරු හැමවිටම සිනමා ශාලාවෙන් යැපෙන්න පුරුදු වෙලා ?

ඔව්. ඒ ගැන අපේ තවමත් දැඩි අවධානයක් යොමු වුණේ නැහැ. තවමත් අපේ රටින් නෙට්ෆ්ලෙක්ස් මගින් මිළ දී ගත්තේ ඇගේ ඇස අග පමණයි. එබදු ජාත්‍යන්තර වෙළෙඳ පොළක් තිබුණත් තවමත් අප දැඩි අවධානයක් යොමු නොකළ බව ඇත්තයි.

යශෝධරා සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කරන්නට හැකි වුනා ?

ඔවි සතියක් පෙන්වනවා. ඒ එය බෞද්ධ තේමාවක් නිසා.

එහෙත් අපේ චිත්‍රපට ප්‍රමාණවත් ආකාරයෙන් විවෘත වෙළෙඳ පොළට එක් වන්නේ නැහැ. එය විශාල වෙළෙඳ පොළක්. එමෙන්ම එය ජය ගන්න උත්සාහ කරන්නේ නැත්තේ?

දැන් යශෝධරා වගේ චිත්‍රපට අප විදෙස් රටවල උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියාවේ දී පෙන්වද්දී විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එයට සහභාගි වෙනවා. ඒ ගැන කතා වෙනවා. විජයබා කොල්ලය වුණත් මෙරට සිනමාශාලාවල නරඹද්දී එහෙම කතා වෙනවා. දැන් විජයබා කොල්ලය එක් අන්තර්ජාල සමාගමක් මගින් ඉල්ලා සිටියා. එය සැලකිය යුතු මුදලක් වුවත් එය ගෙදරට වී හුදකලාව නරඹනවා විතරයි. තනියෙන් විඳීන සිනමාවක්. කතා බහක් ඇති වන්නේ නැහැ. මා හිතන්නේ සිනමාව කියන්නේ ඒක නෙමෙයි. සමහරවිට අපි පරණ මිනිස්සු නිසා වෙන්ඩැති. තවමත් චිත්‍රපට රස විඳීන්න පුළුවන් සිනමා ශාලාවේ විතරයි කියලා මම හිතනවා.

එහෙත් එයට වර්තමාන සිනමා ශාලා හා අලුත් ප්‍රෙක්ෂකයන් සූදානම්ද ?

ඔව්. එහෙම ගැටලුවක් තියෙනවා.මම අපේ මහාචාර්යතුමන් එක්කත් ඒ ගැන කතා කළා. ඉසස්රහට චිත්‍රපට හදන විට අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ කියලා. ලොකු බජට් සහිත සිනමාවට ගිහින් ශාලාවලින් ආදායම් උපයන්න අසීරුවීම ගැන. වියදම් කරලා චිත්‍රපට හදලා ටිකක් අසීරු වෙයි කියන එකයි මගේ අදහස.

ඔබ විජයබා කොල්ලය චිත්‍රපටයට දායක වුණේ එම නවකතාවට කැමැති නිසාද ?

අප පාසල් අවධියේ විජයබා කොල්ලය අපේ සිත් ගත් නවකතාවක් වුණා. හැබැයි එය නිෂ්පාදනය කිරීමේ අදහසක් තිබුණේ නැහැ. ඒ අදහස ගෙනාවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. එතුමන්ගේ දක්ෂතා මා දැන ගත්තේ කුස පබා චිත්‍රපටය සමග. ඒ නිසා මා නොපැකිළවම එතුමාට උදව්වක් හැටියට චිත්‍රපටය නිපදවන්න කැමැති වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න චිත්‍රපටය පටන් ගත් දවසේ ඉඳන් එය තිර ගතවී ඉවර වනතුරුම ඔහු එයට දායක ව කටයුතු කරනවා. ප්‍රසන්න විතානගේත් එහෙමයි. දැන් සමහර නළු නිළියන් චිත්‍රපටය හැදුවායින් පසුසේ දැක ගන්නත් නැහැ.

ඇත්තටම විජයබා කොල්ලය චිත්‍රපටය ගැන අදහස කුමක්ද?

මම නිෂ්පාදක හැටියට නොවෙයි.රසිකයකු හැටියටත් කැමැතියි. ඒ චිත්‍රපටය නැරඹූ හැම කෙනාම මට බෙහෙවින් ප්‍රශංසා කළා. මම ඒ ගැන ආඩම්බර වෙනවා


අර්ජුන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.