කැටපත් පවුරක ලියැවුණු ගී මිහිර වසර 40 ක සංස්කරණ ඉතිහාසය

ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති
ඔක්තෝබර් 10, 2019

බුද්ධදාස ගලප්පත්ති හඳුන්වා දීමට හැකි ආකාර බොහෝය. කිවිඳකු, වේශ නිරූපණ ශිල්පියකු, මාධ්‍යවේදියකු, ගීත රචකයකු, රංගභූමි පාලක ආදී විශේෂණ ඒ අතරින් කිහිපයකි. මෙයටම එක් වූ තවත් විශේෂණයක් අද අපේ ප්‍රධාන මාතෘකාව වෙයි. ඒ සංස්කාරකවරයකු යන්නයි. වසර 40ක් පුරා ඔහුගේ සංස්කරණ දිවිය පිළිබඳ බුක්මාර්ක්හි සටහන් කිරීමට ආසන්නම නිමිත්ත වන්නේ 21 වැනි වරටත් පැවැත් වූ කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නන්ගේ නිර්මාණයන්ට දසවැනි වරටත් ඉඩදුන් කැටපත් පවුරේ සටහන් වූ කවි සංකල්පනා එක් කොට සංස්කරණය වූ කෘතියයි.

එයද කැටපත් පවුර නමින්ම මුද්‍රණය කොට නොමිලේ බෙදා දීම පොත් ප්‍රදර්ශනයේ සම්ප්‍රදායයි. 2009 වසරේ ඇරැඹුණු කැටපත් පවුරේ, 2010, 2017 සහ 2019 සංස්කරණ සිදුකෙරුණේ කිවිවර බුද්ධදාස ගලප්පත්ති අතිනි. ඒ පිළිබඳවත්, දශක හතරක ඔහුගේ සංස්කරණ අත්දැකීම් පිළිබඳවත් අදහස් මෙසේ සරසවියට ඔහු විස්තර කළේය...

අපි කතා කරමු කැටපත් පවුර ගැන?

ඔව්. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ 1998. ඒත් ඔවුන් කැටපත් පවුර පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ 2009 වසරේ. ප්‍රදර්ශනය නරඹන්න එන්නන්ට ඒ දින 10 ඇතුළත ඔවුන් ආරාධනා කරනවා, තමන්ගේ සිතට එන කවි සංකල්පනා ලියා යන්න කියලා. ඒකත් හරියට සීගිරි කැටපත් පවුර වගේමයි. සමහර විට මෙය පොත් ප්‍රදර්ශනය නරඹීම පිළිබඳ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙම්වතුන් ලෙස පැමිණ එහි අයිස්ක්‍රීම් එකක් කමින් කාලය ගත කරද්දි ඇති වුණු හැඟීමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් තමන්ගේ වෙනමම පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධයෙන් වන්නත් පුළුවන්. ඒකට සීමාවක් නැහැ. පොත් අලෙවි කරන අතරම ප්‍රදර්ශනය නරඹන අයගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දීම හොඳ ව්‍යාපෘතියක් ලෙසයි මම දකින්නේ. කවදාකවත් පුවත්පතකට හෝ වෙනත් ප්‍රකාශනයකට තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් නොකළ අයගේ කවි සංකල්පනා මෙහි ඇතුළත් වෙනවා. ඒ වගේම ප්‍රදර්ශනයට පැමිණි ප්‍රවීණ කිවි-කිවිඳීයන්ගේ කවිත් ඇතුළත් වෙනවා. ඒවා රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වගේ රටේ පිළිගත් කිවිවරයකු අතින් සංස්කරණය වූ පොතකට ඇතුළත් වෙනවා. 

මෙවර ඔබට තෝරාගන්න කවි කීයක් විතර කැටපත් පවුරේ ලියා තිබුණාද?

මේ මම කැටපත් පවුර සංස්කරණය කරන තුන්වැනි වතාව. මෙවර තමයි මට ලැබුණු කවි වැඩිම සංඛ්‍යාව තිබු‍ණේ. මෙවර දහසකට වැඩි කවි සංඛ්‍යාවක් අතරින් පිටු 168ක පොතකට කවි පන්ති 109ක් විතරයි මට තෝරාගන්න වුණේ. මම කවි සියල්ලම කියෙව්වා. ඒ අතරින් පාඨකයාට කුමක් හෝ රසයක් ගෙනෙන කවි පන්තියක් හෝ කල්පනාවක් හෝ තිබුණා නම් තෝරා ගත්තා. නොමිලේ දෙන නිසාත් එය විශාල වියදමක් නිසාත් අප ස්වයං පාලනයකට යා යුතුයි කවි සංඛ්‍යාව පිළිබඳ.

මේ කවි තෝරද්දි ඔබට සාමාන්‍ය කාව්‍ය තරගයකදී මෙන් නිර්ණායක යොදාගන්න පුළුවන්ද?

බැහැ. ඒක වැරැදියිනේ. මේවා ලියන්නේ සාමාන්‍ය ජනතාව නිසා අපට ව්‍යංගය, ධ්වනිය වගේ වෘත්තීය මට්ටමේ කවීන්ගේ නිර්මාණ තෝරන ඒ මිනුම් යොදාගන්න බැහැ. කවියක් හැටියට කියෙව්වාම රසයක් ගෙනෙනවාද කියන කාරණය පමණයි සැලකුවේ. සීගිරියේත් කවි ලීවේ, ස්ත්‍රී, පුරුෂ, රාජ, සාමාන්‍ය, ගිහි, පැවිදි ආදී වෙනසක් නැතිව විවිධ පුද්ගලයන්. මේ කැටපත් පවුරෙත් කවි ලියන්නේ ගෘහණියන්, පාසල් සිසු සිසුවියන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, තරුණ තරුණියන්, වැඩිහිටියන්, ප්‍රවීණ කවීන්, පැවිද්දන් ආදි සියලු සියලු දෙනා. සිංහල දෙමළ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් මේවා ඉදිරිපත් වෙලා තිබුණා. පාසල් ළමයින් සමහර විට අනාගත කවියකුගේ අංකුර පෙන්වන අවස්ථා තිබුණා. ඉතින් මේ පොදු තත්ත්වය නිසා කිසිවකුට ප්‍රමුඛතාවක් නොදී රසයම පමණයි බැලුවේ. ඒ නිසා සමහර විට එකම ලේඛකයාගේ නිර්මාණ දෙකක් තේරුණු අවස්ථාත් තිබුණා. සමහර කවිවල නම සඳහන් නොවුණු නිසා කර්තෘ අඥාත කවිත් මේ පොතේ ඇතුළත් වෙනවා.

මේ පොදු ජනතාව අතර හොඳ කවීන් සිටිනවාද?

මගේ තක්සේරුව අනුව නම් ප්‍රවීණයන් මට්ටමටම තියන්න පුළුවන් නිර්මාණ මේ වර වගේම පසුගිය වාර කීපයේමත් දකින්න තිබුණා. උදාහරණයක් ලෙස තැන්නේ හාමුදුරුවන්ගේ මේ කවිය බලන්න.

නේරංජනාවෙන් මෙහා නවතින්න 
බෝගහකට වුණත් එපා පිටදෙන්න 
බවුන් වැඩුවට කමක් නෑ එපා නොකා ඉන්න 
බුදු වුණත් මට ඕනි ඔයා ළග ඉන්න 
රම්‍ය සුරම්‍ය සුබ මාලිගා අත්හැර 
එච්චර දුරයන්නේ බෝරිංද කිඹුල්වත්පුර 
හොයනවා උණුහුමක් රාහුලත් ඇස් ඇර 
කිරි හැංගිලා දුකට කඳුළු එයි පියයුර‍ 
හිටියට ඔයාට අන්තක් පුරයක් 
මටයි රාහුලටයි ඔයා මහමෙරක්  
බුදු නොවී නැද්ද ගොඩයන වෙන මඟක් 
නැත්නම් මාත් එක්කන් යන්නකෝ සිදුහත්

ප්‍රවීණයන්ට තමන්ගේ කවිකම්වලට අවස්ථාව තිබෙන නිසා මේ පොතට ඒවා ඇතුළත්වීම නවකයන්ට අවස්ථාව අඩුවීමක් වෙයිද?

නහැ. මම දකින්නේ එහෙම නෙවෙයි. ප්‍රවීණයෙකු වුණත් ඔතනට ඇවිත් බංකුවක් උඩ වාඩිවෙලා කවියක් ලියන්නේ එයා කවියට තිබෙන ආරරේ නිසානේ. කවි කමට ප්‍රවීණද ආධුනිකද කියන එක අදාළ කරගන්නවාට වඩා මම දකින්නේ කවියට තිබෙන ලාලසාව නොඅඩුව තිබීම ගැනයි. මේ පොතේ ප්‍රතිශතය ගත්තොත් සියයට 80-90ක්ම තිබෙන්නේ ආධුනිකයන්ගේ කවි. අනෙක ඒ අයටත් හොඳයි තමන්ගේ කවි නිර්මාණ ප්‍රවීණයන්ගේ කවි සමඟ එකට පොතක මුද්‍රණය වී තිබීම. යමුනා මාලිනී, කරුණාරත්න අමරසිංහ වගේ අය සමඟ නවකයන්ගේ කවිත් තිබෙනවා. ඒ වගේම ප්‍රවීණයන්ට ලියන්න එපා කියල නීතියකුත් නැහැ. අනෙක ප්‍රවීණයන්ගේ කවි ප්‍රතික්ෂේප වුණු අවස්ථාත් තිබෙනවා.

ඔබ කැටපත් පවුරේ කවි ලියා තිබෙනවාද?

කවදාවත් නැහැ. වෙන කිවිවරුන් සංස්කරණය කරන අවස්ථාවලදිවත් ලියා නැහැ. මගේ ප්‍රතිපත්තියක් තිබෙනවා. මම සින්දු තෝරන අවස්ථාවල මගේ ගීත තෝරන්නේ නැහැ. මගේ සංස්කරණවලට මගේ ගද්‍ය පද්‍ය අතුළත් කරන්නේ නැහැ. මම කියන වචනය අයින් කරලා තමයි මම කතා කරන්නේ.

හොඳයි, ඔබ සංස්කරණයට යොමු වීමේ ආරම්භය ගැන මතක් කළොත්?

මම සංස්කරණයට යොමු වුණේ 1967 පමණ. ඒකත් අහම්බයකින්. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරෙදි මහා ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සඟරාවට සංස්කාරකවරු පත් වන්නේ ඡන්දයෙන්. සභාපති රංජිත් හෙට්ටිආරච්චි, ලේකම් ලෙනාඩ් අල්ගම. ඔවුන් දිගු නිවාඩුවකට ගමේ ගිහින්. මම දීපානි මුද්‍රණාලය අවට පදිංචි. සංගමේට සම්බන්ධ නැහැ. හැබැයි මම ලියනවා කියනවා කියලා කට්ටිය දන්නවා. නිවාඩුව ඉවර වෙද්දිම සඟරාව දෙන්න ඕනෙ නිසා මට කීවා සංස්කරණය කරලා දෙන්න කියලා. මුල් සංස්කාරකවරු අවශ්‍ය ලිපි ආදිය තෝරලා තිබුණා. මට තිබුණේ ඉතිරි කොටස කරන්න. මට මුල්ම අත්දැකීම ලැබෙන්නේ එයින්. මුද්‍රණාලයක කටයුතු කරන්නේ කොහොමද කියන දේ මම ඉගෙන ගත්තේ එයින්. ඒත් සඟරාව මුද්‍රණයේදී මගේ නම සහාය සංස්කාරක කියලා ඔවුන් යෙදුවා. ඒ තමයි මම සංස්කාරකවරයකු විදිහට ජනගත වුණු මුල්ම අවස්ථාව. ඒ එක්කම විශ්වවිද්‍යාලයේම නාට්‍ය පර්ෂදයේ සංස්කාරකවරයෙක් වුණා. ඒක නිල තනතුරක්. ඒත් ඒකෙන් සඟරාවක් පළ වුණේ නැහැ.

ඊට පස්සේ?

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ 1969දි මම අංගරචනා ශිල්පියා, රංගභූමි පාලකයා විදිහට කටයුතු කළා. මනමේවලින් පටන්ගෙන එතුමාගේ සියලුම නිෂ්පාදනවල පාහේ සමරු කලාප සංස්කරණය පැවරුණේ මට. සරච්චන්ද්‍ර සර්ගේ සිංහබාහු නාට්‍යයේ 150 දර්ශනය, බෙන් සිරිමාන්න අනුස්මරණ කලාපය වගේ විශේෂ අවස්ථාවල පළ කළ සඟරාවල සංස්කරණය මට පැවරුණා. සරච්චන්ද්‍ර සර්ගේ රංග පත්‍රිකා සංස්කරණය කරනවා කියන එකම ලොකු භාග්‍යයක්. සර් එක්ක සංස්කරණය කරනවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙවේනේ. ඒ අවස්ථාව හරි විරලයි. ඊළඟට 1971 වෙද්දි සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සමඟ මම කළ කවි පොත තමයි නිර්මාණකරුවකු ලෙසත්, සංස්කාරකවරයකු ලෙසත් මට ලැබුණු අත්දැකීම. ඒ පොත මුද්‍රණයෙදි මට රැලෙක්ස් රණසිංහ, එඩ්වින් හේවාකපුගේ, සෝමපාල හේවාකපුගේ වගේ දැවැන්තයන් සමඟ කටයුතු කරන්න ලැබුණා. ඔවුන් මට පිටු සැලසුම, මුද්‍රණය, සංස්කරණය ගැන බොහෝ දේ කියලා දුන්නා.ජනමාධ්‍යයට සම්බන්ධව ගත්තොත් පුවත්පත් කීපයක කවි පිටු කීපයක සංස්කරණ කටයුතු මට පැවරුණා. පුවත්පතකට සම්බන්ධ දිගුම සංස්කරණය වන්නේ කව් මුතු මිණි නමින් වන ඉරිදා පුවත්පතක කවි පිටුව. ඒ සංස්කරණයේ විශේෂත්වය වන්නේ පුවත්පතේ දේශපාලනය කුමක් වුවත් එයින් වියුක්තව මට කවි පිටුව කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම ආධුනික කවි කිවිඳීයන්ගේ හැකියාවන් ඔප් නංවන්න දීප ව්‍යාප්ත කවි තරගාවලි දෙකක් ඒ කවි පිටුව මඟින් පවත්වන්න කටයුතු කළා. අපට සිටි විශිෂ්ටතම කවියකු හා මාධ්‍යවේදියකු වන දයාසේන ගුණසිංහ අනුස්මරණ කාව්‍ය තරගයක් ඒ පුවත්පත සමඟ එක්ව පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන්න පුළුවන් වුණා. ඒ සඳහා එච්. ඩී. ප්‍රේමසිරි, ප්‍රේම් දිසානායක සහ අතුල ජයකොඩි යන ප්‍රකාශකයන් සහයෝගය දීමත් බොහෝ වටිනවා. පුස්තකාල සේවා හා ප්‍රලේඛන ආයතනයේ ප්‍රලේඛා සඟරාවේ මුල්ම සංස්කාරකවරයා ලෙස මහාචාර්ය සෝමරත්න බාලසූරිය තෝරාගත්තේ මාවයි. ඉන් පස්සේ අපේ විවිධ කලාකරුවන් වෙනුවෙන් කළ සංග්‍රහ කීපයක සංස්කරණයට සම්බන්ධ වුණා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වෙනුවෙන් කළ මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා පොත වෙනුවෙන් සංස්කරණ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ කොෆි ටේබල් බුක් එක - දීපිකා ප්‍රියදර්ශනී -ගීතය නම් දීපයෙන් පියදසුන් මවන්නී: මම බොහොම ආසාවෙන් සංස්කරණය කළ පොතක්. ඒ වගේම සුප්පාදේවී, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ සිංහයාගේ බිරිඳගේ චරිතය නිරූපණය කරන මාලිනී රණසිංහ රංගන ශිල්පිනියගේ ජීවිත කතාව ඇතුළත් පොත සංස්කරණයත් මම බොහොම සතුටින් කළා. ඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ විශේෂ කලාපය 2009, තෛ‍්‍රමාසිකය වගේම එදා සිට අද දක්වා ඒ සංස්කාරක මණ්ඩලවල සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවූ අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි කතා, පද්‍ය හා ගේය කාව්‍ය ඇතුළත් කවිතා වැඩසටහනට අදාළ ග්‍රන්ථ දෙකේම සංස්කාරක ලෙස කටයුතු කළා.

මේ අත්දැකීම් අනුව යම් කෘතියක් සංස්කරණයේදී ඇති අභියෝග මොනවාද?

ප්‍රධානම දේ තමන් සංස්කරණයට සම්බන්ධ වන කෘතියේ ලිපි සොයා ගැනීම. කවිතා හෝ කැටපත් පවුර වගේ කෘතිවලට ලිපි, නිර්මාණ තිබෙනවා. ඒත් සිනමා සම්මාන උලෙළ වගේ එකකදි ලිපි ලබාගත යුත්තේ කෙබඳු අයගෙන් ද, ඒ අයට විෂයය තිබෙන ප්‍රාමාණික දැනුම, කාලීන මාතෘකා සැපයීම වගේ දේවල් පිළිබඳ අවබෝධයක් සංස්කාරකට තිබිය යුතුයි. මම ක්ෂේත්‍ර සියල්ලම වගේ ආශ්‍රය කරන නිසාත් ඒ ඒ ක්ෂේත්‍රවල මිතුරන් සිටින නිසාත් එය විශාල අභියෝගයක් වෙන්නේ නැහැ. ඒ වගේම මම යමක් බාරගත්තොත් එය පිළිවෙළකට නිර්මාණශීලීව කරයි කියන විශ්වාසය බොහෝදෙනා අතර තිබෙනවා. ඉතින් ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර අතර පිරිස් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීම වැදගත් වෙනවා.

කෘතියක් සම්පාදනයේදී අනවශ්‍ය යැයි ඔබ සිතන කොටස් ඉවත් කිරීමත් පරෙස්සම් විය යුතු කරුණක්?

ඔව්. ඒකත් තරමක් අභියෝගාත්මකයි. දීපිකාගේ පොත කරද්දි යම් ලිපියක් ඇතුළත් කරන්න දීපිකාට අවශ්‍ය වුණා. මම එයට විරුද්ධ වෙලා කීවා එය ඇතුළත් කරනවා නම් මම සංස්කාරකධුරයෙන් ඉවත් වෙනවා කියලා. මොකද ඒ ලිපිය අනෙක් ලිපිවලට ගැළපෙන්නේ නැහැ. සුප්පාදේවි පොතේදි මාලිනී අක්කා බොහෝ දිගු ලිපි ඉදිරිපත් කර තිබුණා. සමහර දේවල් පුනරුච්චාරණය වෙනවා. ඉතින් පොතේ පිටු ප්‍රමාණය සහ මුද්‍රණ වියදම සලකා මට ඇගේ රංගනය හා ජීවිතය තීන්දු ගන්න සිදු වුණා. ලිපි ටිකක් මුද්‍රණාලයට ගිහින් දීලා පසුදා ගිහින් ඒක අරන් එන එක නෙවෙයි සංස්කරණය කියන්නේ. අනෙක මම සංස්කරණය සමඟ පිටු සැලසුමත් ආසාවෙන් කරන නිසා ඒ කෘතිය මුද්‍රණයෙන් පිටවන තුරුම මම ඒ සමඟ ඉන්නවා. රැලෙක්ස් රණසිංහගෙන් ඒ සඳහා මම ලැබූ අත්දැකීම් මට බොහෝ වැදගත් වුණා. රජයේ ආයතන සඳහා කටයුතු කරද්දි දුෂ්කරතා වැඩියි. ඒත් ඒවා මැඩගෙන තමන්ගේ කටයුත්ත හරියට කරන්න ආත්මශක්තියක් ඕනෑ. උදාහරණයක් ලෙස ගාමිණි වේරගම, ධර්මසේන පතිරාජ වගේ අයගේ ලිපි ඉවත් කරන්න කීවාට ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒ වෙලාවට මම කොන්දක් ඇතුව කියනවා මාව සංස්කරණයෙන් ඉවත් කරන්න කියලා.

ඔබේ නිර්මාණ කටයුතු?

මේ වසරේ සංස්කරණ කටයුතු නිසා මගේ නිර්මාණ කටයුතු තරමක් අතපහු වුණා වගේ දැනෙනවා. ඒත් එහෙම බැහැ මට කියන්න තියෙන දේවල් කවි මඟින් මම කියනවා. මේ වසරේ මගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස කවි පොතක් එළි දකීවි.

වසර 40ක් මේ කටයුතු කිරීමෙන් ඔබට ලැබෙන හැඟීම?

මගේ මුල්ම ප්‍රකාශන මාධ්‍යය කවිය නිසා මම දිගටම කාව්‍යකරණයේ යෙදෙනවා. මොන අභියෝග, අපහසුතා තිබුණත් සංස්කරණය කිරීමෙනුත් මම පුදුම තෘප්තියක් ලබනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.