ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ

හොඳ චරිතවලට
ඔක්තෝබර් 10, 2019
හරිඳු වරුණ පෙරේරා

 

හරිඳු වරුණ පෙරේරාගේ මුහුණ ඔබට නෙත ගැටෙද්දී මේ අර දුෂ්ට නළුවනෙ කියන සිතුවිල්ල නොඅනුමානවම සිතට නැඟෙනවා. ඒ ඔහු වැඩිපුරම නිරූපණය කළේ එවන් වූ චරිත නිසා. අද වන විට හරිඳු ඒ මඟෙන් තරමක් බැහැර වෙලා වෙනස් වෙන්නට උත්සාහ කරමින් සිටිනවා. එය කොතෙක් දුරට සාර්ථක ද යන්න විනිශ්චය කිරීම ඔබට බාරයි. මේ හරිඳුගේ පියා අප සිනමාවට ඉතා අනභිභවනීය මෙහෙවරක් කළ එල්. එම්. පෙරේරා යන වග ද මේ මොහොතේ මා මතක් කර දෙනවා.

 

 

හරිඳු, මොකද මේ ඔබට එක පාරටම වුණේ?

මම හිතනවා මං දුෂ්ට, සැර පරුෂ චරිත කළා වැඩියි කියලා. එතනදි මං යම් සීමාවක හිර වුණා. මගේ හැකියාව එකම තැනක කොටු වෙලා එකම දේ තමයි හැමදාම ඉදිරිපත් කළේ. ඇයි ඉතින් ලැබුණෙ එකම වගේ චරිතනෙ. මං මගේ සීමාවෙන් පිට පැන්නා. හාත්පසින්ම වෙනස් චරිත කිහිපයක් කළා. විශේෂයෙන් භික්ෂු චරිත හතරක්ම කළා. මිණිගංදෑල, සක්කාරං, ඉන්දීවරී සහ කෙම්මුර කලුවර කියන නාට්‍ය හතරෙම මං හාමුදුරුවෝ. ඊට අමතරව නීල පබළු, ඩයරිය වගේ නාට්‍යවලත් රඟපෑවා.

ඔබගේ හැකියාවෙන් තවමත් ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ කියලා හිතනවද?

ඔව්. හැබැයි මෑතකාලීනව නම් ඔය තත්ත්වය ටිකක් අඩු වුණා. හැකියාවකුත් තියාගෙන ඇයි මං ඒක අපතේ යවන්නෙ.

ඔබ භාවනා කටයුතුත් කරනවා නේද?

තවමත් භාවනාවේ යෙදෙනවා. අවුරුදු පහක් එක දිගට භාවනා කළා. මස් මාළු, බිත්තර මුකුත්ම කෑවෙ නැහැ. දවසකට වේලක් හෝ දෙවේලක් තමයි ආහාර පවා ගන්නේ. හිත ගොඩක් සන්සුන් කරගෙන ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් මේ ගෙවන්නේ භාවනවා නිසයි.

ඔබ ප්‍රසිද්ධයි අසාධාරණට විරුද්ධව කතා කරන කෙනෙක් හැටියට. ඒක ඔබට අවාසියක් නෙවේද?

ගොඩක් අවාසියි. එහෙම කියලා වැරැද්ද පෙනි පෙනී කට වහගෙන ඉන්න බැහැනෙ. එහෙම බොරුවට බටර් ගාන්න මං ආස නැහැ. වැරැද්ද නම් වැරැද්ද. අසාධාරණයට විරුද්ධව කතා කරලා, ඒවා විවේචනය කරලා අනන්තවත් දේවල් නැති වෙලා තියෙනවා. ඒත් මං පුරුද්ද අත හරින්නෙ නැහැ.

නළුවකු හැටියට ජනප්‍රියතාවය කොහොමද ඔබට දැනේනේ ?

මං හිතනවා මං ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කෙනෙක්. ඔය දෙකම මට තියෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ හොඳ චරිත කළාම. දුෂ්ට වෙලා ප්‍රසිද්ධ වෙන්න ලෙහෙසියි.

හරිඳු කලාවට ඇවිත් කොපමණ කල්ද?

අවුරුදු තිහක් විතර.

මේ කාලය තුළ ලබාගත් අත්දැකීම් එක්ක නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද? ඔබේ පියා ද රඟපෑවා පමණක් නොව අධ්‍යක්ෂණයට ද යොමු වුණා?

අවුරුදු තිහක් කිව්වෙ රංගන ජීවිතයනෙ. අපි පොඩි කාලෙත් කලාව, කලාකරුවන් දැක දැක හැදුණ වැඩුණ අය. දණ ගෑවෙත් ෆිල්ම් පොජෙක්ටර් අස්සෙනෙ. හැම දේටම වෙලාවක් තියෙනවා. මං හිතනවා මේ නිර්මාණකරුවෙක් වෙන්න සුදුසු යුගයක් නෙවෙයි. කරනවා නම් හරි වැඩක් කරන්න ඕන. අපේ තාත්තලා හොඳ නිර්මාණය කළා. ඒ ඒ කාලෙට ගැළපෙන්න. මේ තාත්තලගේ යුගය නෙවෙයිනෙ. ඒ නිසා නිර්මාණයක් කරනවා නම් මේ කාලෙට ගැළපෙන දෙයක් තමයි කරන්නේ.

කලාවේ නියැළීම මූල්‍යමය අතින් ඔබට වාසිදායකද?

කොහෙත්ම නැහැ. අපේ රටේ කලාව කරලා ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද. මුදල් ලැබෙනවත් හොරයිනෙ. මං ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒක නිසා බයක් නැතුව කලාවේ ජීවිතය ගත කරන්න පුළුවන්. මුදල් පසුපස නොයා රඟපාන්න හැකි හේතුවත් ඒකනෙ.

ඔබ ගායනයෙනුත් ප්‍රේක්ෂකයන් පිනවූවා?

ඔව්. දැනට ෂෝස්වලට යනවා. තාත්තත් සින්දු කිව්වනෙ. තාත්තා කියපු සින්දුම මං කියන්නේ නැහැ. මම දැනට මගේම කියලා සිංදු හතරක් විතර කරලා තියෙන්නේ. ඒවත් ප්‍රසංග වේදිකාවේ කියනවා. ඉල්ලීම පරිදි වෙනත් අයගේ සින්දුත් කියනවා.

 

මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

ලයිෆ් ටයිම් රඟපෑමම තමයි. හැබැයි ඒක කරන්නෙ ලෝභකම නිසා නෙවෙයි. ලැබෙනවා කරනවා. එච්චරයි. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයින්වත් මතක් කරන්න කැමැතියි. මගේ පියාණන්ට ආදරය කරපු බොහෝ දෙනෙක් මටත් ආදරෙයි. තාත්තගෙ නාමය ආරක්ෂා කර ගනිමින් මේ ගමන යනවා. ඔහු කරපු දේවල් නම් අපිට කරන්න බැහැ. චිත්‍රපට සංස්ථාව හදන්නත් මුල් තැන ගත්තෙත් ඔහුනෙ. තාත්තා වගේම මැරෙනකම්ම කලාවේ ඉන්නයි බලාපොරොත්තුව.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.