විවිධ චරිත රඟපාන්නයි මට ඕනෑ

සේවියර් කනිෂ්ක
ඔක්තෝබර් 17, 2019

පාංශු වෙනුවෙන් අන්තර්ජාතික සම්මානය දිනුවේ ඔහුයි

නළුවකු කියූ සැණින් මැවෙන සම්මත ස්වරූපය ඔහුට නොවීය. එහෙත් මේ කෙසඟ සිරුරකින් හෙබි තරුණයා සම්මානනීය රංගන ශිල්පියෙකි. එමෙන්ම ඔහුගේ වෘත්තීය ද රංගනයයි. කෙටි කලක් තුළදී මතක හිටින චරිත කිහිපයක් නිරූපණය කළ ඔහු චරිත පිපාසාවෙන් පෙළෙන නළුවන් ගොන්නෙහි සිටියි. රංගනයට අවැසි රූපයම පමණක් නොව හැකියාව ඔස්සේ ද සම්මානනීය නළුවකු විය හැකි යැයි ඔප්පු කරන ලද ඔහු නමින් සේවියර් කනිෂ්කය. පාංශු චිත්‍රපටයේ කළ රංගනය උදෙසා අන්තර් ජාතික සම්මානයකින් ඔහු පිදුම් ලැබීය. සේවියර් අප විශේෂයෙන් කැඳවනු ලැබුවේද ඒ වෙනුවෙනි.

සේවියර්, මේ කතාව ආරම්භ කරමු ඔබේ ඒ සම්මානයෙන්ම?

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටය වෙනුවෙන් ඇමරිකාවේ ගෝල්ඩන් ඩෝර් සිනමා සම්මාන උලෙළේ හොඳම සහය නළුවා හැටියටයි මට සම්මානය ලැබුණේ. පාංශු අධ්‍යක්ෂවරයගේ දෙවැනි සිනමාපටය. ඔහු ඊට කලින් සයපෙති කුසුම චිත්‍රපටය තමයි නිර්මාණය කළේ. පාංශු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බබා නෝනා කියල තමන්ගේ පුතුට සිදු වූ අසාධාරණයක් සාධාරණයක් කර ගැනීමට දඟලන කෙනෙක්. මට තිබුණේ ඇගේ ඥාති පුත්‍රයකු හැටියට රඟපාන්න. ඒ චරිතය දේශපාලනය ගැන හරි අවබෝධයක් නැති චරිතයක්. ඔහු දේශපාලනය ගැන ඉගෙන ගැනීමක් කළා පමණයි දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔන්න ඔය චරිතය වෙනුවෙන් තමයි මට සම්මානය ලැබුණේ. මුලදි මට ලොකු සතුටක් දැනුණේ නැහැ සම්මාන ගත්තට. හැබැයි සෝෂල් මීඩියා හරහා විස්තරේ දාලා ඒකට ලැබුණු කමෙන්ට් එක්ක හිතට සතුටක් ආවා.

ඔබ ඔබේ රංගන ගමන පටන් ගන්නේ කොතැනින්ද?

සෝමලතා සුබසිංහ මහත්මියගේ ප්ලේ හවුස් ආයතනයට මං සම්බන්ධ වෙනවා දෙදහස් එකොළහේ විතර. නළුවකු ලෙසින් හැසිරෙනවට වඩා මං එතැන ඉන්නේ නාට්‍ය කරන අයට උදවු දෙන වගේ වැඩ කරන්න. එම ආයනයෙන් කරපු හිම කුමාරි නාට්‍යයට රංගනයෙන් එකතු වෙනවා. ඒ මොහොතේ ඉඳන් මේ දක්වා මම ඔවුන් කළ වේදිකා නාට්‍යවල ඉන්නවා, රඟපානවා. ලක්මිණ අමරදේවගේ ඉස්කෝලෙ කාලෙ තමයි මගෙ පළමු ටෙලි නාට්‍යය. ග්‍රැහම්බෙල්වත් හිතුවද, බොහිමියානුවා, සහෝදරයා, කූඹියෝ, වීරයා ගෙදර ඇවිත්, තනමල්විල කොල්ලෙක් මං රඟපාන්න ගිය ටෙලි නාට්‍ය. බොහීමියානුවා නාට්‍යයේ මං ඉතාම සුළු කොටසකට හිටියේ. ඒකෙ ගැහැනු ළමයා තමන්ගේ අතීත පෙම්වතා ගැන නිතරම ස්මරණය කරනවා. නාට්‍ය පුරා මතක් කළත් ඒ කොල්ලව පෙන්වන්නේ එකම එක තැනකදි. මං කළේ ඒ චරිතය. විකාශය වූ ප්‍රමාණය ස්වල්ප වුණත් බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරමින් අදහස් දැක් වූවා.

නළුවකු යැයි සම්මත කර ගත් පෙනුමක් ඔබට නැහැ?

නළු පෙනුම නේද? පෙනුම ඇති නළුවො සහ පෙනුම නැති නළුවො කියලා දෙගොල්ලොම ඉන්නවනෙ. චරිත බෙදී යන්නේ ඒ අනුව. මම කරන චරිත මට ගැළපෙනවා. ඒ මගේ පෙනුම නිසා.

ඔබ රඟපාන්නේ එක්තරා නිර්මාණකරුවන් කොට්ඨාසයක් එක්ක පමණද? ඒ බවක් පෙනෙන නිසයි එහෙම ඇහැව්වේ?

මං හිතන්නේ මං රැඳෙන්නේ වේදිකාවෙන් ආව නළු නිළියන් එක්ක. ඔවුන් හා සමානව තියලා ඔවුන් රඟපාන නිර්මාණවලට මටත් කතා කරනවා. නැතුව මං විසින් මාපකයක් සදාගෙන නැහැ මේ මේ නිර්මාණකරුවන් එක්ක පමණයි රඟපාන්නෙ කියලා.

ඔබ ප්‍රතික්ෂේප කළ නිර්මාණ තිබෙනවාද?

ඔව් තියෙනවා. එක්තරා නිර්මාණයකට මට කතා කළා. එතනට ගියාට පස්සේ තමයි දන්නේ මට තියෙන්නේ ලිංගික විපර්යාසයකට ලක් වෙච්ච අයකුගේ චරිතයක් කරන්න. ඒක හාස්‍යෝත්පාදක චරිතයක්. මටත් ඉන්නවා එවැනි යාළුවො. මං කොහොමද ඒ චරිතය හරහා ඔවුන්ව හෑල්ලුවට ලක් කරලා ඔවුන්ව මුණ ගැහිලා කතා කරන්නේ. හිමීට නොකියා කාවවත් අමනාප කරගන්නේ නැතුව ඒ චරිතය මඟ හැරියා. 

ඔබේ වෘත්තීය නළුකම?

ඔව්.

හරි අපහසුයි නේද වෘත්තීය නළුවකු විදිහට ලංකාව වගේ රටක ස්ථාවර වෙන්න?

මං වෘත්තීය නළුවෙක්. මට වෙන වෘත්තීන් කරන ගමන් මේක කරන්න බැහැ. වෘත්තීය නළුවකු විදිහට ජීවත් වෙන්න අමාරුයි. මගේ අම්මා තාත්තා, නැදෑයෝ, හිත මිතුරන් මේ අය මං ගැන හොයා බලනවා.

ඔබ අසම්මත තරුණයෙක්ද?

ඒකට කොහොමද උත්තර දෙන්නෙ. මෙහෙම කියමුකො අසම්මත ද නැද්ද කියන්න දන්නේ නැහැ. හිතට එකඟව මං වැඩ කරනවා. නමුත් නිර්මාණ කරද්දි මට අකැමැති සිද්ධීන් මට රඟපාලා පෙන්වන්න වෙනවනෙ. ඒක වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි. ඒවා හැබෑ ජීවිතයේ කරන්නේ නැහැ.

ගෙදරින් කියන්නේ නැද්ද ඔය නළුකම අතහැරලා වෙනින් රස්සාවක් හොයා ගන්න කියලා?

ගෙදරින් මුකුත්ම කියන්නේ නැහැ. මං කිව්වා තාත්තට මං විදෙස් රටකින් සම්මානයක් ගත්තා කියලා. අහ් . . . ගත්තද කියලා කිව්වා විතරයි. එයාලට ඒවා වැදගත් නැහැ. නිතරම අහන්නේ උඹ කෑවද බිව්වද, සතුටින් ද ඉන්නේ කියලා. මං සතුටින් නම් ඉන්නේ එයාලට ඒ ඇති.

ඔබේ අදහස කවදා හරි හොඳම නළුවා වෙන්නද?

හොඳම නළුකම නෙවෙයි, විවිධ චරිත කරන්නයි මට අවශ්‍ය. වෙන කිසිම වෘත්තියක බැහැ තමන්ට වෙන චරිතයකට පණ දෙන්න. තමා වෙනත් කෙනෙකු වෙන්නට බැහැනෙ. නළුකමේ විතරයි ඒක පුළුවන්. එහෙම චරිත කරන්න තමයි මට අවශ්‍ය.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.