කෙටියෙන් පවසමි අනුහස් මහවලගේ කලා දිවියට 35 වසරයි

ඔක්තෝබර් 17, 2019

චිත්‍ර ශිල්පියකු, ඡායාරූප ශිල්පියකු, රූරටා සැලසුම් ශිල්පියකු මෙන්ම ලේඛකයකු ලෙසින් කටයුතු කරන අනුහස් මහවලගේ කලා ශිල්පියාගේ නිර්මාණ දිවියට වසර තිස් පහක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ කර්තව්‍යයන් දෙකක් ඔහු විසින් සංවිධානය කොට තිබේ. අනුහස්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් සහ ග්‍රන්ථ එළි දැක්වීමක් මෙම මාසයේදී සිදුවේ.

මං ක්ෂේත්‍රයට එන්නේ 1984 වසරේදී. කුමරි පත්තරේ රේඛා චිත්‍ර ශිල්පියකු හැටියට තමයි වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. යුවති යෙහෙළි සත්සර සහ ලේක්හවුස් ආයතනයේ මිහිර, නවයුගය, යොවුන් ජනතා ආදී පුවත්පත්වල රූ සටහන් ඇන්දා. සමහර පුවත්පත්වල ඔය මිහිර වගේ රූප සටහන් සමඟ විස්තරත් ලිව්වා. විචිත්‍ර පුවත්පතේ සහාය ලේඅවුට් ආර්ටිස්ට් වශයෙන් දිගු කලක් හිටියා. පසුකාලීනව ජාතික මට්ටමේ නිර්මාණවලට විශේෂයෙන් ග්‍රන්ථ සැලසුම් වගේ දේවල්වලට මං එකතු වුණා. ජනාධිපතිවරුන් සිවු දෙනෙකුගේ ප්‍රකාශන සහ ග්‍රන්ථ ගණනාවකටත් මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය වගේ ප්‍රධාන අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ජාතික වශයෙන් වැදගත් වන ග්‍රන්ථ රැසකට නිර්මාණකරණයෙන් සෘජුවම දායකත්වය සැපයුවා. 

එළඹෙන සතියේ පැවැත්වෙන ඔබේ ප්‍රධාන කාරිය වන ප්‍රදර්ශනය ගැන සඳහනක් කළොත්?

දිනය කිව්වොත් හරියටම මේ මස දහ නවය සහ විස්ස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදියි ප්‍රදර්ශනය පැවැත් වෙන්නේ. මගේ තිස්පස් වසරක නිර්මාණ ජීවිතයේ මං රැකගත් මුද්‍රත සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකි පුවත්පත්, ග්‍රන්ථ, සඟරා සහ පොත් කවර, පුවත්පත් දැන්වීම් වැනි ජාතික මට්ටමේ තේරා ගත් නිර්මාණ තමයි මෙයට ඇතුළත් වෙන්නේ. ඒවත් එක්ක පුවත්පත් සඟරාවල පළ වූ රේඛා චිත්‍ර, දිය සායම්, ඇක්‍රලික් පැන්සල් භාවිතයෙන් කළ සිතුවම් සියයක්, පුවත්පත් සඟරාවල මුල් කවර සැරසූ ඡායාරූප, සහ මං තැනූ මූර්ති ද ප්‍රදර්ශනය්දී නැරැඹිය හැකියි.

මෙය අධ්‍යාපන වටිනාකමකින් යුක්ත ප්‍රදර්ශනයක් නේද?

ඇත්තෙන්ම ඔව්. ප්‍රදර්ශනය සඳහා යුග දෙකක නිර්මාණ තියෙනවා. අද අපි ඉතාම ලෙහෙසියෙන් පරිගණක ආශ්‍රයෙන් රූ රටා අඳිනවා. ඒත් ඊට පෙර කාලවලදී මැෂින් අස්සෙ රිංගගෙන මේවා කරන්න කොච්චර නම් මැරුණද. අද යුගයේ බොහෝ දෙනෙක් ඒ ගැන දන්නෙවත් නැහැ. ඒ කාලේ නිර්මාණවලට ඡායාරූප යෙදුවේ කොහොමද, චිත්‍ර සටහන් යෙදුවෙ කොහොමද, ග්‍රැෆික් නිර්මාණවල මුල් අදියර සැකසූ අයුරු, ඒ සඳහා භාවිත කළ මෙවලම්, මුල් පිටපත්වල හැඩරුව සහ අවසන් මුද්‍රිත හැඩරුව, දල සැලසුම වැනි දෑ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අනූව දශකයේ පරිහරණය කළ අද භාවිතයෙන් ඉවත් වූ කම්පියුටර් මෙවලම් ආදියත් මෙහිදී නරඹන්නට පුළුවන්. මේවා මං හිතන්නේ නැහැ අද දරුවන් දැකලාවත් ඇති කියලා. මාධ්‍ය සහ නිර්මාණ කටයුතුවලට උනන්දු වන්නන්ට මේ පිළිබඳ හදාරන්නට කැමැති අයට මේක මහඟු අවස්ථාවක් වේවි. ප්‍රදර්ශනය නොමිලයේ ඕනෑම කෙනෙකුට විවෘතයි.

ඔබ එළිදක්වන ග්‍රන්ථය පිළිබඳවත් කියමු?

ග්‍රන්ථයේ නම ‘කෙටියෙන් පවසමි’. අප රටේ සිටින පුද්ගල චරිත කිහිපයක් යම් යම් තැන්වල මට කියපු දේවල් ඇතුළත් කරලා තමයි ග්‍රන්ථය සැකසුවේ. පුද්ගල නාමයන් පවා ඊට ඇතුළත් වෙනවා. ඔක්තෝබර් දහ අට සවස පදනම් ආයතනයේදීම තමයි ග්‍රන්ථය එළි දක්වන්නේ. ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආචාර්ය සරත් අමුණුගම සහභාගී වෙනවා. මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සේන නානායක්කාර, ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, සහ දිලිත් ජයවීර කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි. ග්‍රන්ථය එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රදර්ශනය විවෘත කිරීම ද සිදුවෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.