මගේ චිත්‍රපට පහන් සංවේගය හුදී ජන සඳහායි

මහාචාර්ය සුනිල් ආරියරත්න
ඔක්තෝබර් 17, 2019

 

අප්‍රේල් මස 21, පාස්කු දින සිදුවීමත් සමඟ බොහෝ කර්මාන්ත අඩපණ වූ බව අපට අමතක නැත. එය සිනමා කර්මාන්තයට ද පොදු වූ කරුණකි. එහෙත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය සිනමා පටය සිංහල සිනමාවේ අනාගතය තීරණය කරන හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැඳින්වූයේ මේ ව්‍යසනයට මුහුණ දෙමින් තිරගත වූ පළමු කෘතිය බැවිනි. ඔක්තෝබර් 14 වැනිදායින් ප්‍රදර්ශනය නිමා කළ විජයබා කොල්ලය පිළිබඳ අවසන් සටහන තබන්නට මහැදුරු ආරියරත්නයන් සරසවිය සමඟ මෙලෙස පැවසුවේය.

විජය බා කොල්ලය ගැන මම ඇත්තෙන්ම සතුටට පත් වෙනවා. රසික ප්‍රතිචාරය සියයට 100යි. විචාරක යහපත් ප්‍රතිචාරය සියයට 75යි. නිර්දය විචාර සියයට 25යි. අප්‍රේල් බෝම්බ ප්‍රහාරයත් සමඟ සමස්ත සිනමා කර්මාන්තයම විනාශ වුණා. ප්‍රදර්ශන මණ්ඩලවල ප්‍රදර්ශනයට නියමිතව තිබූ සියලු චිත්‍රපටකරුවන් කකුලක් පස්සට ගත්තා. ඉංග්‍රීසි චිත්‍රපට, දෙමළ චිත්‍රපට ක්‍රමයෙන් ශාලාවලට එන්න ගත්තත් සිංහල රසිකයන් එන බවක් පෙනුණේ නැහැ. අපි ඊඒපී සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කර තිබුණේ අගෝස්තු 01 චිත්‍රපටය තිරගත කරන්න. පසුව සංක්‍රාන්ති කාලයක් ආවා සිනමා කෘති චිත්‍රපට සංස්ථාව විසින් පවරගන්න. ඒ කාලෙත් සංස්ථාවේ සභාපතිනී අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය කීවා අපි සැලසුම් කළ දිනයටම චිත්‍රපටය පෙන්වමු කියලා. ඒ අතර නැවත වාරණ නියෝගයක් ආ නිසා යළිත් ඊඒපී සමාගමට කෘතිය අත්පත් වුණා. ඒ මොහොතේත් මෙහි නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයා කීවා මොනවා වුණත් අපි නියමිත දිනට චිත්‍රපටය ප්‍රදර්ශනය කරමු, මොකද මෙය සාර්ථක වුණොත් අපේ සිනමා කර්මාන්තයට ප්‍රතිශක්තීකරණයක් ලැබෙනවා කියලා.

මම විශේෂයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපටය ඊඒපී මණ්ඩලය චිත්‍රපටය බෙදා හරින අතර එන්එෆ්සී (රිත්මා), සීඊඑල්, එල්එෆ්ඩී, එම්පීඅයි වැනි සියලු මණ්ඩල නොමසුරුව තමන්ගේ සිනමා ශාලා ලබා දුන් නිසා ශාලා 80ක චිත්‍රපටය මුදා හරින්න පුළුවන් වුණා. දින 50ක් ඒ සියලුම ශාලාවල චිත්‍රපටය රඳවා ගැනීමට හැකි වුණා. මගේම චිත්‍රපටයකට වුණත් අනාගතේදී මේ තරම් ශාලා සංඛ්‍යාවක් ලැබෙයිද කියන එක සැක සහිතයි. චිත්‍රපටය ගලවන මොහොත වන වි‌ට ශාලා 58ක දින 75ක් ප්‍රදර්ශනය වී තිබෙනවා. අපි විජයබා කොල්ලය අගෝස්තු 01දා ප්‍රදර්ශනය නොකළා නම්, සමහර සිනමා ශාලා වැසී යාමේ තර්ජනයකට මුහුණ දී තිබුණා.

මහැදුරුතුමා එසේ විස්තර කරන විට මට නිතැතින්ම නැඟුණු පැනය නිර්දය විචාර සියයට 25 පිළිබඳ ඔහු සිතන ආකාරයයි.

ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වුණේ මේ චිත්‍රපටයේ විජයබා කොල්ලය නෑ, ඉතිහාසය නෑ. කියන දෙයයි. ඇත්තටම මේ අය නවකතාව මතකයේ පමණක් තියෙන ඊයේ පෙරේදා නොකියවූ අය කියලයි මට හිතෙන්නේ. විජයබා කොල්ලයේ පරිච්ඡේද 42ක් තිබෙනවා. එයින් 12-13 පරිච්ඡේදවල විජයබා රජු ඉන්නවා. 14-15 කුමාරවරු ඉන්නවා. යුද්ධය සඳහා කැප කරන්නේ 34-35 පර්ච්ඡේද දෙකයි. විජයබා කොල්ලය කියන අරගලය තිබෙන්නේ 41 වැනි පරිච්ඡේදයෙන් භාගයක් හා 42පරිච්ඡේදයේ පමණයි. ඉතින් පරිච්ඡේද 42න් හතහමාරක පමණයි විජයබා කොල්ලය තිබෙන්නේ. මේ චෝදනාව මට විතරක් නෙවෙයි ඩබ්ල්යු. ඒ. සිල්වාටත් ආවා. සරත්චන්ද්‍ර වික්‍රමසූරිය කීවේ මෙය ඓතිහාසික ගණයටවත් සැලකිය නොහැකි, ඓතිහාසිකත්වය ආලේපයක් හැටියටයි තියෙන නවකතාවක් කියලයි. ඇත්තෙන්ම ඩබ්ල්යු. ඒ. සිල්වා‌ගේ දෛවයෝගය, කැලෑහඳ, විජයබා කොල්ලය, හඳපාන වැනි සියල්ල ඇත්තටම සුන්දර ප්‍රේම වෘත්තාන්ත. අවුරුදු 80ට පස්සේ මේ කතාව කියවනකො‌ට ඔහුගේ ඓතිහාසික මෙන්ම හොඳම නවකතාව, වඩාත් ප්‍රශස්තම ප්‍රේම වෘත්තාන්තය, සියයට සියයක් නිවැරැදි ඓතිහාසික දත්ත ඇත්තේ විජයබා කොල්ලයේ. 

මම හිතන්නේ පෝල් ඊ. පීරිස්ගේ පෘතුගීසින් ගැන ලියවුණු කෘතිය පරිශීලනය කරලා තිබෙනවා ඩබ්ල්යු. ඒ. සිල්වා. ඒත් කොයි තරම් නිර්දය විදිහට මේ කෘතියට පහරදුන්නාද කීවොත් මෙය විශ්වවිද්‍යාල සහ අපොස සාමාන්‍ය පෙළ නිර්දිෂ්ට කෘතියක් වන විට අතිරේක පොත් රාශියක් නිකුත් වුණා. ඉන් එකක් තමයි විජයබා කොල්ලය විවරණය සරත්චන්ද්‍ර වික්‍රමසූරියගේ. ඒ පොතේ එක තැනක තිබෙනවා විජයබා කොල්ලය ඉතා පහත් ගණයේ නවකතාවකි කියලා. මට හිතාගන්න බෑ මොනතරම් සාහසික ප්‍රකාශයක්ද කියලා විජයබා කොල්ලයට පහත් කියන විශේෂණ පදය යෙදීම. එදිරිවීර සරච්චන්ද්‍ර වුණත් ඩබ්ල්යු. ඒ. සිල්වාගේ නවකතා විවේචනය කළ හැටි සාහසික වැඩියි. ඒත් නවකතාව වටා විශාල පාඨක සංඛ්‍යාවක් එකතු කළේ ඩබ්ල්යූ. ඒ. සිල්වාය කියන දේ සරච්චන්ද්‍රට වුණත් අර අතරතුර පිළිගන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ලේඛකයා අතිශය අසාධාරණයට ලක්වෙච්ච සූර ලේඛකයෙක් කියන දෙයයි මගේ විනිශ්චය.

අවුරුදු 80ක් පැරැණි නව කතාවක් ලංකාවේ සිනමා රසිකයන් මේ විදිහට වැලඳගත්තේ ඇයි කියලා අපේ ශිල්ප හරඹ පැත්තකට දාලා හිතුවොත්, විශේෂයෙන්ම රසිකයන් බැලුවේ විජයබා කොල්ලයේ එන කතන්දරය, ප්‍රේම වෘත්තාන්තය. එහෙම හිතද්දි අද ලියැවෙන නවකතා තව අවුරුදු 80න් චිත්‍රපට හදන්න තෝරා ගනීද? ඒවා රසිකයන් රසවිඳීන්න පිළිගනීද කියන අසාමාන්‍ය අපභ්‍රංශයක් මගේ හිතේ ගොඩනැඟෙනවා.

යහපත් ප්‍රතිචාර ගැන වගේම පාස්කු සිදුවීමෙන් පසු නිර්භයව ප්‍රදර්ශනයට ඉදිරිපත් වන්න හේතු දැනගන්නත් අපි කැමැතියි?

සමහරු තිස්ස අබේසේකරයන්ගේ තිරපිටපත පිළිබඳ දැක්වූ විස්මය මටත් විස්මයක්. මොකද ඔවුන් හිතුවේ තිස්ස ලියාතිබෙන්නේ නිධානය, විරාගය වගේ තිරනාටක පමණයි කියායි. ඒත් ඔහු 1979 පොඩි මල්ලි, 1994 අහස්මාළිගා, 2007 උප්පලවණ්ණා, 2012 කුසපබා, 2019 විජයබා කොල්ලය කියන පිටපත් 5ක් මගේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ලියා තිබෙනවා. බොහෝ දෙනා නොදන්නවා වුණාට, තිස්ස අබේසේකගේ චින්‍තනය කුසපබා ලියන කාලය වනවිට වෙනස්වෙලා තිබුණා කියන්න හොඳම උදාහරණය තමයි ඔහු චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටින කාලයේ චෝල මණ්ඩලයේ සිනමා සිත්තම් උලෙළ නමින් චින්තාමනී ඇතුළු නිර්මාණ රැගත් දකුණු ඉන්දියානු සිනමා උලෙළක් පැවැත්වුවා. එහිදී ඔහු කියන්නෙ, '1962 දී බටහිර සම්භාව්‍ය චිත්‍රපට ඔළුවේ තියාගෙන හිටි මා ඇතුළු මගේ සගයන් සිවාජි ගනේෂන් රඟපෑ නවයතාම්බුලම් ප්‍රදර්ශනය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වා හූ කිව්වා. එහෙව් මම තමයි අද මේ දකුණු ඉන්දියානු චිත්‍රපට උලෙළ සංවිධානය කරන්නේ' කියලා. ඔහුගේම වචනයෙන් ඉතිරි කොටස කීවොත්, 'අප එතරම් කණපිට පෙරළුණේ මන්දැයි කෙනකු ප්‍රශ්න කිරීම සාධාරණයි. අපි ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියට හෝ ඒ පන්තියේ අධිකාරියට ගොදුරු වී, හිතාමතා ආරූඪ කරගත් බුද්ධිමානයක් නිසා පොදුජන සංස්කෘතික මූලාශ්‍රයන්ගෙන් ඈත් වී චින්තාමනී හෝ චන්ද්‍රලේඛා වැනි දෙමළ චිත්‍රපට අප රට සාමාන්‍ය ජනයා අතර අසීමිත ලෙස ජනප්‍රිය වූයේ ඇයි, ජනප්‍රිය සිනමාව පහත් යැයි අප හෙළා දුටුවේ අප ඔවුනට වඩා ඉහළ තලයක සිටි සුපිරි ජනකොටසක් යැයි සිතීමට අපට අනුබල දුනනේ මාන්නයද? වට්ටෝරු යන පදයෙන් අප හැඳීන් වූ එම චිත්‍රපටවලට පිටුපසින් වූ සන්නිවේදන ශක්තිය මැදහත් සිතින් විමසා බලන්නට අපට බාධා කළේ ඒ මානසිකත්වයයි.'

ඉතින් තිස්ස 2012 වන විට කොහොම වෙනස් වී ඉන්න ඇත්ද? කුසපබා ලීවේ රූපගත කිරීම්වලට අවුරුදු හයකටත් කලින්. විජයබා කොල්ලය ලීවේ ඉන් පස්සේ. දෙබස් ටික ලියන්න කලින් ඔහු ජීවතුන් අතරින් වෙන් වුණා. ඒත් තිස්ස‌ගේ තිරපිටපත අපට හොඳ සාධකයක් වුණා.

පාස්කු සිදුවීමෙන් පසු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න නිෂ්පාදක ප්‍රේමසිරි මහත්මයාටත් මටත් විශ්වාසයක් තිබුණා රසිකයන් ගැන. මොකද කුසපබා චිත්‍රපටයෙන් පස්සේ මම හදාගෙන එන්නේ හුදී ජන පහන් සංවේගය සඳහා චිත්‍රපට පෙළක්. ඒ නිසා මේ දක්වා මම ගොඩනඟාගත් සිනමා රසිකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් බෝම්බ අවදානම නොතකා මෙය බලන්න එයි කියන විශ්වාසය මට තිබුණා. අනෙක් සාධකය ඩබ්ල්යු.ඒ සිල්වාගේ රසිකයන්, හේමාල් රණසිංහගේ තරු ගුණය. චන්න දේශප්‍රියගේ කැමරාව, රෝහණ වීරසිංහගේ සංගීතය ඇතුළු අංග රසික ආකර්ශනය දිනා ගනී කියන විශ්වාසය මට තිබුණා. ප්‍රේමසිරි වගේ නිෂ්පාදකයකු සිනමාවේ නාමයෙන් මේ අවදානම බාරගන්න සූදානම් වීම විශේෂම සාධකයක්. ජනාධිපතිතුමා කොළඹ නගරයේ අඳුරු කළ සිනමා ශාලාවක චිත්‍රපටයක් පැය දෙකක් පුරා නරඹන්න මංගල දර්ශනය සඳහා පැමිණීමත් අවදානම තුරන් වූ බවට පණිවිඩය ජනතාවට හෙළි කරන්න හේතු වුණා.

මේ චිත්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක්, එහෙත් නිෂ්පාදක ප්‍රේමසිරි මහත්මයා සරසවියටම කීවා යළි දැවැන්ත නිෂ්පාදන කිරීමට පෙර කීපවතාවක් සිතන්න වෙනවා කියලා?

චිත්‍රපටයට විශාල මුදලක් වැය කළා. එයට ඩීවීඩී පට සඳහාත්, පියෝ ටීවී, නෙට්ෆ්ලික්ස් වගේ ආයතනවලිනුත් විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ සියල්ල අවසානයේ නිෂ්පාදනය සඳහා වගේම ප්‍රචාරණය සඳහා වැය කළ මුදල පියවාගන්න ලැබේය කියන විශ්වාසය තිබෙනවා. මෙය වටින්නේ මට පමණක් නෙවෙයි. මේ රටේ සමස්ත සිනමා කර්මාන්තයට. මොකද ප්‍රේමසිරි මහතා මේ වසරෙම නිෂ්පාදනය කළ අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා, නෙලා සහ වස්සානයේ සඳ චිත්‍රපටවල සම නිෂ්පාදකවරයා, ඉදිරියේදී තිරගතවීමට නියමිත ගාඩි හා ද නිවුස් පේපර් චිත්‍රපටවල සම නිෂ්පාදකවරයා. අද නිෂ්පාදකවරුන්ගේ හිඟයක් තිබෙනවා. බොහෝ නිෂ්පාදකවරුන්ට එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පසු ප්‍රවේශපත්‍රයක් ගෙන චිත්‍රපටයක් නරඹන්නවත් අකමැති තරමට සිනමාව එපාවෙලා. ඒ නිසා මෙවැනි නිෂ්පාදකවරුන් අප රැකගත යුතුයි.

ප්‍රේමසිරි මහත්මයා දැවැන්ත චිත්‍රපට පිළිබඳ එවැනි අදහසක් දක්වන්න හේතුව චිත්‍රපට ශාලාවල ආදායමෙන් පමණක් සම්පූර්ණ පිරිවැය ආවරණය කරගන්න නොහැකි වීමයි. අපට එසේ වන්න හේතුව අර අවදානමේ එක් ලක්ෂණයක් හැටියටද කියා හිතෙනවා. ඒත් අපෙන් පසුව එන චිත්‍රපටවලට එවැනි තත්ත්වයක් උද්ගත නොවන ලෙසයි මගේ ඒකායන ප්‍රාර්ථනය. චිත්‍රපට නරඹන රසිකයන් පිරිසක් විජයබා කොල්ලය නැරඹුවේ නැද්ද යන සැකය අපට තිබෙනවා. මොකද යශෝධරා චිත්‍රපටය සිනමා ශාලාවල දසලක්ෂයකට අධික පිරිසක් නරඹා තිබීම සහ අදායම් වාර්තාව ලක්ෂ දෙදහස ඉක්මවූවා. ඒ නරඹන්නන්ට මොකද වුණේ?

චිත්‍රපට සංස්ථාවට සහ මණ්ඩලවලට එකමුතුකමෙන් යුතුව අදාළ චිත්‍රපට නිශ්චිත දිනයක ප්‍රදර්ශනයට කටයුතු කරන්න බැරිවී තිබෙන්නේ ඇයි?

හරිනම් චිත්‍රපට හරි දවසට පෙන්වන්න පුළුවන්. කොහොමත් චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ අවිධිමත්භාවයක් තිබෙනවා. එය ඇති වන්නේ අපි අතීතයේ බෙදාහැරීම සමඟ නූතන බෙදාහැරීම සසඳන නිසා. චිත්‍රපට සංස්ථාව ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයෙන් අනුමත සියලුම චිත්‍රපට පෙන්වනවා. ඒත් පෞද්ගලික අංශය ඒ චිත්‍රපට සියල්ල බෙදාහරින්න බැඳීලා නැහැ. ඔවුන් කරන්නේ තමන්ගේ රුචිය අනුව තෝරාගත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම. වාණිජමය වශයෙන් වඩාත් සාර්ථක වෙතැයි සිතෙන චිත්‍රපටයක් ඇස ගැසුණොත් ඔවුන්ගේ පෝලිමේම ඉදිරියට ගේන්න ඔවුන් කටයුතු කරනවා. සිනමා මණ්ඩල කියන්නේ වෙළෙඳ ආයතන. ඔවුන් පවතින්නේ ඉල්ලුමට අනුව සැපයුම න්‍යායෙන්. ඒ නිසා දින නියම කිරීම පිළිබඳ ගැටලු එන්නේ නැහැ. නියම ක්‍රමයට නම් සම්ප්‍රවර්තන මුදල (හෝලඩ්ඕවර් ෆිගර්) අඩුනම් සිනමා ශාලාවලින් චිත්‍රපට ගලවා දමනවා. දැන් ඒ නීතිය එතරම් ක්‍රියාත්මක නැහැ. හේතුව ඇතැම් චිත්‍රපටවල පළමු දිනයේ සිටම ඒ මුදල ප්‍රමාණවත් නොවීම. කොහොම වුණත් චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් මේ මණ්ඩල සියල්ල චිත්‍රපට සංස්ථාව සමඟ එකතුව සමාලෝචනය කළ යුතුයි. නව සභාපතිනිය දක්ෂ නිලධාරිනියක් බවයි මගේ පෞද්ගලික හැඟීම. අවුරුදු හතරහාමාරක් අභාවප්‍රාප්තව තිබුණු සංස්ථාව මළවුන්ගෙන් අවදි කළේ ඇයයි. වසර හතරහමාරකට පෙර මැය පත් වී ආවානම් අද සිංහල සිනමාවේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නට තිබුණා යැයි මම විශ්වාස කරනවා.

 

අපේ රටේ සිනමා සංස්කෘතියක් නැති නිසයි සිනමාව කඩාවැටෙන්නේ කියා සමහරු කියනවා?

මට නම් හිතෙන්නේ සිනමා සංස්කෘතියක් ඇතිවන්න ඉස්සෙල්ලාම හොඳ චිත්‍රපට හැදෙන්න ඕනෙ. විජයබා කොල්ලයට සෙනඟ සීමා වුණේ බෝම්බ‌ය නිසා සිදු වූ තාවකාලික දෙයක් නිසාම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් සිනමා රසිකයන් ලක්ෂ 20ක් 30ක් අපට ඕනේ. ඒ තරමට රසික සංඛ්‍යාව වැඩි කරගන්න හොඳ සිනමා කෘති අප ලබා දිය යුතුයි. නැත්නම් කොහොමද සිනමා මණ්ඩල, ශාලා පවතින්නේ. ලංකාවේ ෂැංග්‍රිලා හෝටලයේ සිට විවිධ සුපිරි හෝටල් ආදියේ සිනමා ශාලා තැනිලා තිබෙනවා. ස්කෝප් සිනමා ශාලා සංකීර්ණයේ සිංහල චිත්‍රපට සඳහා ශාලාවක් වෙන් කිරීමට අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම ඊඒපී මණ්ඩලයේ ජීවක පල්ලේගම මහත්මය‌ත් රාජගිරියේ අලුතෙන් තැනූ සැවෝයි ශාලාවේ සිංහල චිත්‍රපට සඳහා දර්ශන වාරයක් වෙන් කර තිබෙනවා. මම පෞද්ගලිකව ඉල්ලීමක් කළා ඉම්පාලා රාජගිරියේ ඉවත් වූ නිසා මේ සිනමා ශාලාව සම්පූර්ණයෙන් සිංහල චිත්‍රපට සඳහා වෙන් කරන්න කියලත්. අනෙක අනුර ජසෙන්තුලියනගේ ඉදි කරන සියලුම සිනමා ශාලා සිංහල චිත්‍රපට වෙනුවෙන් වෙන්වන්නේ. එය හොඳ ප්‍රවණතාවක්. නැත්නම් ඒ සිනමා ශාලාවලින් සිංහල සිනමාවට සිදුවුණු සේවයක් නැතිව යනවා.

ඉතින් සිනමා අධ්‍යක්ෂවරුන් ලෙස අපට කරන්න තියෙන්නේ රසිකයන් ආකර්ෂණය වන චිත්‍රපට තැනීම. එයයි මූලික පියවර. සිනමා රසිකයන් නැතිව සිනමා සංස්කෘතියක් නැහැ. මෙය අපට සසඳන්න වන්නේ දෙමළ සිනමා සංස්කෘතියත් එක්ක. මම තමිල්නාඩු ප්‍රාන්තයේදීත්, යාපනයේ සිටි අවුරුදු පහක කාලයේදීත් එය සියැසින් දැනගත්තා, ඒ වගේම මරදානේ සිනෙසිටි ශාලාවේත් අදටත් පොල්ගහලා, කෙහෙල්ගස් තොරන් බැඳලා දුම් අල්ලලා චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නේ. ඉතින් අපිත් සිහින මවන් ඉන්නවා කෙහෙල්ගස් තොරන් බැන්දේ නැතත් ඒ වගේ සිනමා රසිකයන් ආලෝලනය කරන සිනමා සංස්කෘතියක් කවදා හෝ උදාවේවා කියලා. එහි ප්‍රථම පියවර තමයි සිනමා රසිකයන්.

එසේ කියූ මහැදුරාණන් හදිසියේ මතක් වූ කරුණක් ද මෙලෙස දැක්වීය.

මේ කතාවට අදාළ නැති වුණත්, ලංකාවේ හින්දි චිත්‍රපටවලට අත්ව ඇති ඉරණම ගැන මම කියන්න ඕනෙ. ඉංග්‍රීසි, දෙමළ චිත්‍රපට ආනයනය කළත් අද එකම එක හින්දි චිත්‍රපටයක්වත් ආනයනය නොවන මට්ටමට ඇවිත්. කවුරුහරි සමීක්ෂණයක් කරනවා නම් හොඳයි මොකක්ද මේ චිත්‍රපටවලට වුණේ කියලා. හින්දි චිත්‍රපටවල තැන යම් මට්ටමකට කොලිවුඩ් චිත්‍රපට අත් කරගෙන තිබෙන බව පේනවා. ඒ තත්ත්වය තෙළිඟු සිනමාවටවත් ලැබී නෑ. මොකද බාහු බලී වගේ චිත්‍රපටයකට පවා ලොකු රසික ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. දෙමළ සිනමාව සම්පූර්ණයෙන්ම වගේ රැඳී තිබෙන්නේ තරු සංකල්පය මත. තරු කියන්නෙත් නළුවන්. නිළියන් නැහැ. රජිනිකාන්ත්, කමලා හසන්ගේ ඉඳලා, සූර්යා, ධනුෂ්, විජය වගේ අය දක්වා නළුවන් වෙනුවෙන් තමයි දෙමළ රසිකයන් යන්නෙ. නිළියන් සමහර විට අලුත්ම අය.

යළිත් අපේ කතාබහට හැරුණෙමු. මේ වසරේ වුණත් සැලකිය යුතු චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය වුණා. ඒත් ස'ර්?

වැඩේ තියෙන්නේ ප්‍රමිතියක් නැතිකමනේ. මම විශ්වාස කරනදේ තමයි අපට ලෝකයට යා හැක්කේ සම්භාව්‍ය චිත්‍රපටවලින්. මොකද ලෝකයේ වාණිජ චිත්‍රපටවලට වියදම් කරන මුදල් සම්භාරයෙන් දශමයෙන් කොටසක්වත් අපේ වාණිජ චිත්‍රපටයකට වියදම් කරන්නේ නැහැ. ඒ නිසා නිසැකයෙන්ම අපට විදේශීය වෙළෙඳපොළත් සමඟ තරග කරන්න බැහැ. සම්භාව්‍ය සිනමාවට නිවැරැදි අර්ථකථනයක් තනාගෙන තියෙනවා. ඒ නිසා හැදෙන චිත්‍රපට දහයෙන් එකක් හෝ හොඳ සම්භාව්‍ය එකක් වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ වාණිජ සිනමාවේ. හැදෙන චිත්‍රපට 25ටවත් එකක් හොඳ ප්‍රමිතියේ රසිකයන් නරඹන චිත්‍රපට බවට පත්වන්නේ නැහැ.

ලක්ෂ 60-70 කරන චිත්‍රපට, චිත්‍රපට වන්නේ නැහැ. කොච්චර අඩු වියදම් වුණත් චිත්‍රපටයක් හදන්න නම් ලක්ෂ 200ක්වත් වියදම් වනවාමයි. දුරකථන ආදියෙන් චිත්‍රපට කරන්න පුළුවන් නම් ඇයි තවතවත් වැඩිදියුණු කළ සිනමා කැමරා ආදිය ලෝකේ හැදෙන්නේ. මාස හයකට වරක්වත් අලුත් ඩිජිටල් සිනමා කැමරා යාවත්කාලීන වෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ වෙනස. අතදැකීම් ලබා ගන්න කළාට කමක් නැහැ. ඒවා ප්‍රධාන ධාරාවේ සිනමා ශාලාවල පෙන්වන එකයි ප්‍රශ්නය. ඒවා පර්යේෂණාත්මක කෘති. ඉස්සර චිත්‍රපට සංස්ථාවෙන් හොඳ ප්‍රමිතියක් ඇති කළා. අලුත් සභාපතිනිය යළි ඒ තත්ත්වය ඇති කරන්න උත්සාහ කළත් ක්‍රියාත්මක වෙනවද මම දන්නේ නැහැ. මම අධ්‍යක්ෂවරයෙක් වුණෙත් විභාගෙකට ලියලා.

එෆ්ඩී 87 (ෆිල්ම් ඩිරෙක්ටර්) තමයි නිහාල්සිංහ මහත්මයා මට දුන්නු අංකය. ප්‍රශ්නපත්තරයටත් උත්තර ලීවා කෙටි චිත්‍රපටයකුත් හැදුවා සරාගී කියලා 1970. දැන් හදන්නන්වාලේ චිත්‍රපට හදනවා ශාලාවක පෙන්වලා චිත්‍රපටයක් කියලා බෞතිස්ම කරනවා. ඊටපස්සේ ඩීවීඩී අයිතිය අඩු මුදලකට විකුණනවා. හැබැයි දැන් ඒ උපක්‍රමයත් වැරදිලා. හොඳම උදාහරණය මම කළ පත්තිනි ඩීවීඩී අයිතිය ලක්ෂ 90ට දෙද්දී, යශෝධරා ඩීවීඩී වාර්තාගතව ලක්ෂ දෙකක් අලෙවි වෙද්දි, මෑතක බෞතිස්ම කළ චිත්‍රපටයක ඩීවීඩී අයිතිය ලක්ෂ 7ට ලබා දීමයි. ඔතනදි ඇත්තටම සිද්ධ වෙන්නේ කවුරුහරි අධ්‍යක්ෂවරයෙක් හොඳ චිත්‍රපටයක් හදලා වදෙන් පොරෙන් රසිකයන් ශාලාවලට ගෙන්වා ගන්නවා. ඊටපස්සේ තව අධ්‍යක්ෂවරු පස්දෙනෙක් තඹ දොයිතුවක් වටින්නෙ නැති චිත්‍රපට කරලා ඒ රසිකයන් නැති කරනවා. ඒකම තමයි නිෂ්පාදකවරුන්ටත් සිදුවෙන්නේ. මේ විදිහට සිනමාවට ගොඩ ඒමක් නැහැ. ප්‍රශ්නය පැහැදිලියි. උත්තරය තමයි හොයන්න ඕනෙ. කවුරුන් හෝ දැඩි නීති රීති ගෙනත් මේ තත්ත්වය පාලනය කරන්න ඕනෙ.

සමහරු චෝදනා කරනවා පිටරට නළු නිළියන් අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව දීම, විදේශ චිත්‍රපට ආදියට මුදල් අය නොකර අපේ දර්ශනතල භාවිතයට ඉඩ දීම මේ තත්ත්වය උග්‍ර කරනවා කියලා?

මම නම් කියන්නේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය එක්ක බලද්දි ඕවා ප්‍රශ්න නෙවෙයි. අද වෙළෙඳ දැන්වීම්වලට කොයි තරම් ඉන්දියානු අධ්‍යක්ෂවරු ගෙන්වනවාද? ඇත්තෙන්ම මම යශෝධරා වෙනුවෙන් විදෙස් නළුනිලියන් යුගලක් ගෙනාවාට පස්සෙ කිසිම චිත්‍රපටයකට මේ වනතුරු කිසිම පිටරට නළුවෙක් නිළියක් ලංකාවට ගෙන්වලා නෑ. ඒවත් වෘත්තියමය ගැටලු තමයි. ඒත් ඒවා ගැන හොයන්නේ නැත්තේ ප්‍රධාන ප්‍රශ්නය වෙන තැනක නිසයි. නිහාල්සිංහ මහත්මයාගේ කාලේ කීවානේ තිරපිටපත අපට දෙන්න අනුමත කරන තිරනාටකයට තමයි බැංකු ණය අනුමත කරන්නේ, ප්‍රදර්ශනයට ගන්නේ කියලා. හින්දි කොපි කරන්න බැහැ. තමන්ට අවශ්‍ය නම් ඒවා කරන්න පුළුවන් සංස්ථාවෙන් ප්‍රදර්ශනයට බැඳීමක් නැහැ. චිත්‍රපටි කරන්න එපා කීවොත් මානව හිමිකම් උල්ලංඝනය වන නිසා ප්‍රමිතිය රකින්න සීමා පැනවුවේ එහෙමයි. මේ සියල්ලටම විසඳුම් තිබුණා. ඒවා හෙව්වා. අගමැතිවරයාට, ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. ක්‍රියාත්මක වුණේ නැහැ. කවුරුන් හෝ ඉදිරියට එන ආණ්ඩුවක් ඒ යෝජනාවලිය ක්‍රියාත්මක කළොත් අපේ සිනමාවත් රැකෙයි, සිනමා සංස්කෘතියත් හැදෙයි.

විජයබා කොල්ලයෙන් පස්සේ?

මම අනිවාර්යයෙන් නූතන චිත්‍රපට කරන්නේ නැහැ. ඒ නිසා ඊළඟ එකත් ඓතිහාසික කතාවක් වගේම දැවැන්ත චිත්‍රපටයක් ම වෙයි.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.