ඩොක්ටර් අනුරාධිට

මං සාධාරණය ඉටු කළා
ඔක්තෝබර් 17, 2019
හිරුෂි වසුන්දරා

දිග නමක් ඇති ටෙලි සිතුවමක් මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. පාවෙලා වලාකුළේ ඒවිද අම්මා තමයි ඒ නාට්‍යය. එහි අනුරාධි නැමැති වෛද්‍යවරියව අප සරසවියට කැඳෙව්වා. ඒ බෙහෙතක් හේතක් ගැන අහගන්න නෙවෙයි, ඇයගේ තතු විත්ති ඔබ වෙත ගෙන එන්න. හිරුෂි වසුන්දරා තමයි ඇයගේ සැබෑ ජීවිතයේ නම. දෙරණ නාළිකාවේම විකාශය වූ පොහොය ටෙලි කථාංග කිහිපයකදී හිරුෂි සිය දස්කම් ප්‍රකට කළා. ඇය මේ වන විට ජනප්‍රිය නිළියක් ලෙස ඩොක්ටර් අනුරාධිට ලැබෙන ප්‍රතිචාර සමඟ ජීවිතය ගෙවනවා. හිරුෂිගේ මුල්ම පුවත්පත් ලිපිය පළ වුණෙත් සරසවියේ. ඒ පිළිබඳත් ඇය මතක් කළේ බොහොම කෘතවේදීත්වයෙණි.

 

 

 

හිරුෂි, ඔබට කොහොමද ඩොක්ටර් අනුරාධි වෙන්නට වරම් ලැබෙන්නේ?

මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ දිලුක ප්‍රසාද් ගුණතිලක අයියා. මං ඔහුගේ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ දැන හැඳුනුම්කම ඔස්සේ තමයි මට චරිතයට කතා කරන්නේ. දිලුක අයියගේ නාට්‍යවල අමුතු රටාවක් තියෙනවා. ඔහු ඔහුගේම ශෛලියකින් තමයි ඩිරෙක්ට් කරන්නේ.

අනුරාධි හරිම සංවේදී චරිතයක්?

ඇත්තටම ඒ සංවේදිකම නිසාම තමයි මං මේ චරිතය බාරගන්න පෙලඹෙන්නේ. කතාව පුරාම ඇය අහිංසකයි. දරවන්ට හරි ආදරෙයි. ළෙංගතුයි. ඔය වගේ චරිත කරන්න මං හරිම ආසයි. මං විශ්වාස කරනවා ඩොක්ටර් අනුරාධිට මං සාධාරණයක් කළා කියල. තව දෙයක් කියන්න ඕන ඩොක්ටර් අනුරාධි වගේම මමත් දරුවන්ට හරිම ළෙංගතු කෙනෙක්. ඔය වගේ ගතිපැවතුම් නිසා ඩොක්ටර් අනුරාධි තුළ මමත් චුට්ටක් ඉන්නවා.

ඩොක්ටර් අනුරාධි ඔබ තවත් ජනප්‍රිය කළා කියලා කිව්වොත්?

ඇත්තම තමයි. නාට්‍ය විකාශය වෙලා මගේ චරිතය ආව වෙලාවෙ ඉඳලා පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මං නිළියක් කියලා හිතාගෙන සාමාන්‍ය ජීවිතේ ගෙවන කෙනෙක් නෙවෙයි. පාරේ එළියට බැහැලා සාමාන්‍ය ගැහැනු ළමයකු විදිහට මං මගේ වැඩ කටයුත කර ගන්නවා. ඩොක්ටර් අනුරාධි නිසා මට ඔය වගේ ප්‍රසිද්ධ තැන්වලට ගියාම ඔවුන් මාව බාර ගන්නේ දැන් නිළියක් විදිහට. ඒ අය දක්වන සෙනෙහසට මං ලෝබකමක් දක්වනවා. වෙනදාට වඩා මිනිස්සු ඇවිත් කතාබහ කළත් මං මගේ සුපුරුදු ජීවන රටාව වෙනස් කළේ නැහැ. ජනප්‍රිය වුණත් මං තවම හිටපු හිරුෂි වසුන්දරාම තමයි. ඩොක්ටර් අනුරාධි කියන්නේ මතක හිටින චරිතයක් වුණා. ඒ වගේ තරුණ වෛද්‍යවරියකගේ චරිතයක් මෑතකදී නිර්මාණයක හිටියේ නැහනෙ. ඒකත් හේතුවක් වෙන්න ඇති මාව ජනප්‍රිය වෙන්න.

ඔබ කියන විදියට චරිත ජනප්‍රිය වෙන්න තරම් අද හැදෙන ටෙලි නාට්‍ය මිනිස්සු බලනවද?

හැම නාට්‍යකම නෙවෙයි, ඉඳහිට මේ වගේ චරිත ජනප්‍රිය වෙන්නට පුළුවන්. ඇත්තටම අද කාලේ මිනිස්සු නාට්‍ය බලන්නේ එක්කෝ ආහාර ගන්න ගමන්, තව පිරිසක් කාලය ගෙවා දමන්න බලනවා. ඒ අතරේ නරඹන්නන්ට ඇතැම් චරිත මතක තියෙනවා. අපේ රටේ එහෙම වුණාට ඉන්දියාව වගේ රටවල ෆෑන්ස්ලා වැටිලා නැහැ. එයාලා තමන්ගේ නිර්මාණ කරන්නේ ෆෑන්ස්ලව ඇද බැඳ තබාගන්න පුළුවන් හැටියට. අපේ වගේ ඔහේ නිර්මාණ දිහා බලාගෙන ඉන්නේ නැහැ එයාලගේ ෆෑන්ස්ලා. ඔතන තමයි වෙනස.

හිරුෂිට තවමත් දොර විවරව තිබෙන්නේ දෙරණ නාළිකාවේ පමණද?

දැනට දෙරණ නාළිකාවේ නිර්මාණවලට පමණයි දායක වුණේ. නමුත් එහෙම කොටු වෙලා නැහැ. වෙනත් නාළිකාවක නිර්මාණයකට කතා කළොත් යනවා. දෙරණ තමයි මට ගොඩක් උදවු කරපු චැනල් එක. මගේ දක්ෂතාවයන් හඳුනා ගත්තේ දෙරණ. මේ වගේ නිර්මාණකරණයේ යෙදෙන්න තමයි මං ආස. එක දිගට නාට්‍ය ගොඩක් බාරගන්න ආස නැහැ. නිදහස ගොඩක් මට වටිනවා.

ඔබ නීතිඥවරියක වෙන්නත් බලාපොරොත්තු වෙනවා නේද?

ඔව් මං දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්.

හිරුෂි තවම තනිකඩයි?

තවම ප්‍රේමවන්තියක් නෙවෙයි. හැබැයි ප්‍රේමය නොහඳුනන කෙනෙකුත් නෙවෙයි.

හිරුෂිට සම්මාන ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?

එහෙම විශේෂ දෙයක් නැහැ කියන්න. සම්මාන ලැබුණොත් ලැබෙයිනෙ. මිනිස්සුන්ගේ ආදරය සහ මගේ නිදහස තමයි මට වඩා වටින්නේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.