මම කලාකාරිණියක් වුණේ වැරදි රටක

යශෝධා අන්තර්ජාතික සිනමා විනිශ්චය මණ්ඩලයක
ඔක්තෝබර් 17, 2019

ඇය කාලයක් පුංචි තිරයේ කඳුළු බින්දුව ලෙස රසිකයන් අතර ජනප්‍රිය වූවාය. තවත් වරෙක ඇය අහිංසා ලෙස ආලින්දයට පැමිණි අහිංසකාව වූවාය. රිදී තිරයේ විවිධ චරිත ඔස්සේ රසිකයන් පිනවූ ඇගේත් මගේත් හැඳුණුම්කමට මුල් හේතුව අපේ පාසලයි. අප පොඩි නංගිලාව සිටියදී ඇය රූපවාහිනියේ, සිනමාවේ මෙන්ම වේදීකාවේ අප දකින පාසලේ නම රැන්දූ ලොකු අක්කා කෙනෙකි. දෙවැනුව අග්නිදාහය චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වූ ඇය එහි නිෂ්පාදන කළමනාකාරිනිය වූ මට හමුවිය. එහෙත් සතර දෙනෙක් සෙන්පතියෝ, සීරජ ආදී ටෙලි නාට්‍යවලින් සහ සමනල සන්ධ්වනිය චිත්‍රපටයෙන් පසු ඇය අප දුටුවේ සුහානි රාත් සමඟ හින්දි ගී රැගෙන එනවිට පමණි. වසර හතක පමණ නිහැඬියාවට තිත තබමින් ඇය අද අප හමුවන්නේ අන්තර්ජාතික සිනමා උලෙළක විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙසය. ඒ අලුත් අත්දැකීම සහ පසුගිය නිහඬ සමයේ තොරතුරු පිළිබඳ ඇය සමඟ අපි මෙසේ පිළිසඳරක යෙදුණෙමු.

අපි මුලින්ම පටන් ගමු ඔබේ අලුත්ම අත්දැකීමෙන්?

හා.. ඒකේ නම Singapore South Asian International Film Festival.(සිංගප්පූරු දකුණු ආසියානු අන්තර්ජාතික සිනමා උලෙළ) මම හිතනවා එය මගේ සිනමා ජීවිතේ ලද විශාල ගෞරවයක් වගේම අපේ සිනමා කර්මාන්තයටත් විශාල ගෞරවයක්. මීට පෙර අන්තර්ජාතික මට්ටමේ උලෙළවල තරග සඳහා ඉදිරිපත් වුණත්, මේ තමයි මම ප්‍රථම වතාවට අන්තර්ජාතික ජූරි සභාවක් නියෝජනය කළ අවස්ථාව. ඒ රටේ තුන්වැනි වතාවටයි මේ උලෙළ පැවැත්වූයේ. ඔවුන් ලංකාවෙන් ඉල්ලා එවා තිබුණා අත්දැකීම් සහිත, අධ්‍යාපනික පසුබිමක් ඇති දැනට ක්‍රියාකාරීව සිටින නිළියක් නම් කරන්න කියලා දකුණු ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපති ඈෂ්ලි රත්නවිභූෂණ මහත්මයාගෙන්. මම ඔහුට ස්තූතිවන්ත වෙනවා මගේ නම යෝජනා කළාට. මෙය සිංගප්පූරුවේ පැවැත්වුණාට ඒ රටේ බොහෝ ඉන්දියානුවන් ජීවත්වන නිසා ක්‍රියාකාරීව කටයුතු කරන්නේ උතුරු ඉන්දියානුවන්. ඔවුන් මගේ ගැන සොයා බැලුවාම වඩාත් සතුටු වෙලා තිබෙනවා මම පශ්චාත් උපාධිය දක්වා හින්දි භාෂාව හදාරා තිබීම පිළිබඳව.

කොහොමද ඒ අත්දැකීම ඔබට දැනුණේ?

එය හරිම වැදගත්. මම ලංකාවේ විනිශ්චය මණ්ඩලයක් නියෝජනය කළාට අන්තර්ජාතික අත්දැකීමක් තිබුණේ නැහැ. මා එක්ක සිටි අනෙක් පස් දෙනා සුහාසිනී මනිරත්නම්, ඇය මනිරත්නම් අධ්‍යක්ෂවරයාගේ බිරිය වන්න කලින් සිටමත් සුප්‍රසිද්ධ සිනමා නිළියක්. අධ්‍යක්ෂවරියක්. මම ඇයගේ රසිකාවක්. ඇගේ සින්දු භෛරවී ලංකාවෙත් බොහොම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. රාජීව් මෙනන් කියන්නේ බොම්බෙ ඒ වගේම රෝජා, ගුරු වගේ මනිරත්නම්ගේ චිත්‍රපටවලට පවා සම්බන්ධ වුණු පළපුරුදු කැමරා ශිල්පියෙක්. හොංකොං රටෙන් හිටියා රොජර් ගාෂියා කියලා සුප්‍රසිද්ධ අන්තර්ජාතික සිනමා උලෙළ සංවිධායකවරයෙක්. පකිස්තානු සිනමාවේදිනියක් හිටියා සබීහා සුමත්, ඉරාණ ජාතික රසූල් සන්ද්‍රමන්නි නම් සිනමාකරු සහභාගී වෙලා හිටියා. ඒ හැමෝම සිනමාකරුවන් වීම විශේෂත්වයක් මොකද සමහර උලෙළවල වෙනත් ක්ෂේත්‍රවල අයත් දකින්න ලැබෙනවා. ඒ ව‌ගේම හරිම සුහද, අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් බහුල වැඩිහිටි අය. මම කීවාම අපේ කර්මාන්තය ඔයාලාට සාපේක්ෂව හරිම කුඩායි, පුංචි සිනමාවකින් පළමුවෙනි වතාවට නියෝජනය කරන්නේ, ඒ නිසා මට සහාය දක්වන්න කියලා, අපේ ජූරියේ සභාපති ලෙස සිටි රොජර් ගාෂියා කීවේ ඔබේ කුසලතාව සහ අත්දැකීම්, අධ්‍යාපන පසුබිම හැර කර්මාන්තයේ විශාලත්වය බලපාන්නේ නැහැ. කවදාවත් අන් අයට සාපේක්ෂව තමන්ගේ දක්ෂකම අවතක්සේරු කරන්න එපා. ඔබ හිතන්නෙත් අපි වගේමයි කියලා. ඉතින් ඔවුන්ගේ ඒ නිහතමානී බව වගේම කතා කළ දේවල්ම ඇති ලෝකයේ සිනමාකරුවන් හැමෝම එකම පවුලක කියන්න. මොකද අපි හැමෝම කතා කළේ එකම භාෂාවක්; ඒ සිනමා භාෂාව.

උලෙළට සහභාගී වූ චිත්‍රපට පිළිබඳ ඔබේ දැක්ම?

තරගකාරී අංශයෙන් චිත්‍රපට 14ක් තිබුණා. ඉන් ජයග්‍රහණය කළේ මරාටි චිත්‍රපටයක්. අමතරව හින්දි, මළයාලම්, දමිළ, කන්නරා, ඉරාන්, බූතාන්, සිංහල වගේ දකුණු ආසියාවම නියෝජනය වන චිත්‍රපට තිබුණා. පාංශූ අපේ රට නියෝජනය කළා. මෙවර ජූරිය පැහැදිලි මතයන්වල හිටියා. සංවිධායකවරුන් කීවා ඔවුන් කටයුතු කළ හොඳම ජූරිය අපි කියලා. සියලු දෙනා සිනමාකරුවන් සහ ප්‍රායෝගිකව සිනමාවේ නියැලෙන්නන් නිසා චිත්‍රපට කියවීම, අන්තර්ගතය උකහා ගැනීම ආදිය හරි පහසු වුණා. දකුණු ආසියාව අපට සම්පූර්ණයෙන් ආගන්තුක කලාපයක් නෙවෙයි. යම් යම් දේවල් අප හා සමානයි. මම මුලින් හිතුවේ හොංකොං, පකිස්තානය, ඉරාණය වගේ රටවල අයගේ මතයන් වෙනස් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. සියලු රටවල්වල සිනමාවට පිළියම් කරන ආකාරය එකයි.

ලංකාවේ සිනමා සම්මාන උලෙළ හා සලකද්දි වෙනස?

මම දෙරණ සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ දෙවතාවක් කටයුතු කළා. අන්තර්ජාතික සිනමා උලෙළක නිර්ණායක වෙනස් කියලා මට හිතෙනවා. මොකද මට අත්දැකීම් නොතිබුණාට අන්තර්ජාතික උලෙළක මම රූපණය ඉගෙනගත් කෙනකු ලෙස ඒ ඔස්සේ තමයි කෙනකුගේ ඉදිරිපත් කිරීම, චිත්‍රපටයේ වෙනත් අනුශාංගිකාංග හෝ මනින්නේ. අපේ රටේ සෝමරත්න දිසානායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ අය අන්තර්ජාතික මට්ටමේ ජූරි අත්දැකීම් සහිත අය. ඒ වුණත් මේ රටේදි අපි ගැටෙන මතවාද වෙනස්. මොකද අපි ජාතක කලා අහන ජාතියක්නේ. කතන්දර කලාවට බොහොම සමීපයි. එළියට පෙනෙන නාටකීය ස්වභාවයන්, ගැටුම් බොහෝමයක් තිබෙනවා ඒවා කෙනකුගේ හිත්ගන්නවා. ඒත් සමහරවිට ඇතුළාන්තයෙන් ඇතිවන යටිපෙළේ අදහස එළි දැක්වීම ගැන හිතනවා අඩුයි. ඒත් අසීරුම කටයුත්ත තමයි එවැනි අභ්‍යන්තරික හැඟීම් ප්‍රේක්ෂකයාට දැනවීම. ඒ විනිශ්චය මණ්ඩලයේදී මට නිර්ණායක කියලා දුන්නෙත් නැහැ. ඒත් හැම චිත්‍රපටයක් අවසානයේදී ම අපි කතාබහ කරද්දි ඔවුන් කී දේම තමයි මමත් කියා තිබුණේ. ඒක මට හරි සතුටක්. ඒ වගේම කණගාටුවට කරුණ තමයි ශ්‍රී ලාංකිකයන් හරියට ජීවත් වෙනවා ඒ රටේ. අපි මහජනතාවත් එක්කයි චිත්‍රපට බලන්නේ. ඉරාණ, සිංගප්පූරු, ඉන්දියානු ආදී විවිධ අය රාශියක් ඒ කෘති නැරඹීමට පැමිණ තිබුණා. ඒත් ලාංකිකයන් කිසි කෙනෙක් හිටියේ නැහැ. ජූරි සමාජිකාවන් ලෙස සිටි මම වෙනුවෙන් සමනළ සන්ධ්වනියත් සුහාසිනීගේ සින්දු භෛරවීත් ජූරියට ගෞරව කිරීමක් ලෙස ප්‍රදර්ශනය කළා. වෙනත් ජාතිකයන් අපේ චිත්‍රපට වගේම හින්දි දෙමළ බෙංගාලි ඕනෙම චිත්‍රපටයක් සඳහා පිරුණට ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්වත් ආවේ නැහැ. හැබැයි චිත්‍රපටය නැරඹුවට පස්සේ ඒ අය මාව අමුත්තෙක් වුණේ නැහැ. විදේශිකයන්ගේ ප්‍රතිචාර ඉතාම ඉහළ මට්ටමින් තිබුණා. ඔවුන් ඇසුවේ තරගකාරී මට්ටමට ඇරෙන්න අපේ චිත්‍රපට සිංගප්පූරුව වැනි රටවල ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවලටවත් දකින්න නොලැබෙන්නේ ඇයි කියලා.

අද අපේ සිනමාවේ අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

අද ලෝකයේ ඕනෑම චිත්‍රපටයක් නැරඹීමේ හැකියාව නව තාක්ෂණය මඟින් අපට සපයා දී තිබෙනවා. ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන් සන්සන්දනය කරනවා අපි හදන චිත්‍රපට. 80 දශකයේ රාමුවෙන් රාමුව කොපි කරලා චිත්‍රපට හදන ප්‍රවණතාවක් ආවා. ඉතින් කවුරුත් මුල්කෘතිය තියෙද්දි කොපියක් බලන්න කැමති වන්නේ නැහැ. ඒ වගේම ඒ හා සමාන උසස් තාක්ෂණික මට්ටමකින් ඒවා නිෂ්පාදනය වුණෙත් නැහැ. තිබුණු ජනවාර්ගික ප්‍රශ්නය වගේම මේ දේවලුත් බලපෑවා සිනමාවේ කඩා වැටීමට. අද ලෝකය පුරාම චිත්‍රපට එකවර චිත්‍රපට ප්‍රදර්ශනය වනවා. ඉතින් ඒ මට්ටමින් අපේ නිර්මාණ බිහි නොවුණොත් මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකයන් ඒවා වැලඳ ගනී කියලා. මොකද අපේ රටේ කුසලතාව, නිර්මාණකරුවන් ඉන්නවා, තරුණ දක්ෂ නළුනිළියන් වගේ සියලු පහසුකම් තිබෙනවා. අද චිත්‍රපටයක් හදනවාට වඩා එය ප්‍රදර්ශනය සඳහා නිදහස් කරගැනීම තරම් දුකක් නැහැ. අද තරුණ සිනමාකරුවන් රැල්ලක් ඉන්නවා තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න බැරුව. මේ තත්ත්වය හරි මඟකට ගෙනාවේ නැත්නම් ඉදිරියට ලොකූ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. සමහරු චිත්‍රපටය තියාගෙන ඉන්න බැරිකමට ගැප් රිලීස් කරනවා. එහෙම චිත්‍රපටවලින් මුදල් උපයන්නත් බැහැ, කර්මාන්තයක් විදිහට ගොඩනැඟෙන්නෙත් නෑ.

මෙයට යෝජනා කරන විසඳුම?

ඉස්සර තිරපිටපතේ සිටම වර්ගීකරණයක් තිබුණා. තිරනාටකය කියන්නේ මූලික පදනම. එයින් අපට තීරණය කරන්න පුළුවන් මොන ගණයටද මේ චිත්‍රපටය අයත් වන්නේ කියලා. එහෙම නිර්ණායකයක් ආපසු එන්න ඕනෙ. පස්වැනි මණ්ඩලේ එද්දි අපි දන්නවා ඒක සම්භාව්‍ය චිත්‍රපටයක් කියලා. හතරවැනි මණ්ඩලෙන් නම් මැද මාවතේ. තුන්වැනි මණ්ඩලෙන් නම් රසිකයන් දන්නවා විනෝදාත්මක චිත්‍රපටයක් බව. එතකොට හැමෝටම ඉඩක් තිබෙනවා. එහෙම නැතිව මට පුළුවන්කාරකමක් තිබුණා කියලා මගේ චිත්‍රපටය මුලින් පෙන්වාගන්න එක නෙවෙයි විය යුත්තේ. ප්‍රදර්ශනයට දින තීරණය වෙන්නේ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු දවසේ ඉඳලා. ඒ නිර්ණායක ඔස්සේ යනවා නම් පෝලිම පනින්නේ නැහැ. ප්‍රේක්ෂකයාටත් විවිධ චිත්‍රපට තිබෙනවාතමන්ගේ කැමැත්ත අනුව බලන්න. අනෙක තිරපිටපතෙන්ම චිත්‍රපටය ප්‍රතික්ෂේප වෙනවා නම් නිරපරාදෙ නිෂ්පාදකවරුන්ගේ සල්ලි නාස්ති වෙන්නේ නැහැනේ. ඒකම තමයි රූපවාහිනී මාධ්‍යය ගැනත් කියන්න තියෙන්නේ. යම් රටක විනෝදාස්වාද ව්‍යාපාරය ගොඩනැඟෙන්න නම් හැමෝටම ගැළපෙන ආකාරයෙන් නිර්මාණය වෙන්න ඕනෙ. සිනමාව කියන්නේ රටක සංස්කෘතිය නියෝජනය වන කලා මාධ්‍යයක්.

කවුද පෙරමුණ ගන්න ඕනේ?

මම හිතන්නේ නළු නිළියන් සහ කර්මාන්තයේ නියැළෙන සියලු දෙනා මේ සටනේ එදා ඉඳන්ම හිටියා. අපට චිත්‍රපට සංස්ථාවක් තියෙන්නේ ඇයි? සිනමා කර්මාන්තයේ නියැළෙන්නන්ගේ සහ කර්මාන්තයේ අභිවෘද්ධිය ඇති කිරීමට. අපේ රටේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා විවිධ මත අනුව පැති ගන්නවා. ඒ මොන මතවාද තිබුණත් අපි එකමුතුව හිටියොත් විතරයි කර්මාන්තයේ පවතින තත්ත්වයන්ට මුහුණ දිය හැකි වන්නේ. සමහර චිත්‍රපට තිබෙනවා මුදා හරින දිනය ප්‍රසිද්ධ කළාට පසුවත් වෙනත් අයගේ සිවිල්බලය යොදවලා චිත්‍රපටය දුවවන නිසා ප්‍රදර්ශනය කල් දාන්න සිදුවන. එහෙම වෙන්න බැහැ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයකට වගේම අද අලුතින් ක්ෂේත්‍රයට අවතීර්ණ වන අධ්‍යක්ෂවරයා‌ගේ චිත්‍රපටයටත් එක හා සමානව කර්මාන්තය තුළ සලකන්න පුළුවන් වෙන්න ඕනා. ඔවුන්ගේ සිනමා දැක්ම වෙනස්වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්.

අනෙක කුඩා කර්මාන්තයක් ලෙස අපි ඉදිරියට යන්න ඕනෙ කොහොමද කියන දේ ගැන අපේ පරම්පරාවේ නව සිනමාකරුවන් සියලුදෙනා එකතුවෙලා ප්‍රතිපත්ති මාලා සකස්කරලා දුන්නා. මේ රටේ කමිස මහලා විකුණන අයටත් ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒත් සිනමා කර්මාන්තයට එහෙම දෙයක් අදටත් නැහැ. එවකට සභාපතිව සිටි ජයන්ත ධර්මදාස මහතා හරහා ඒ ලියකියවිලි ඉහළට ගියා. ඉහළ එක්තරා තැනකින් ඒවා හැමදාම නතර වුණා. ලංකාවට ඉතාම ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් එය. අපි ඔස්ට්‍රේලියාව වගේ රට 

විශාල වුණත් සිනමා කර්මාන්තය කුඩාවට කෙරෙන අයගේ ප්‍රතිපත්තිවලිනුත් අවබෝධයක් ලබලයි එය ඉදිරිපත් කළේ. මට මතකයි 1991 මම මළයාලම් චිත්‍රපටයක රඟපාන්න තෝරාගත් මොහොතෙ ඒ අධ්‍යක්ෂවරයාට මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගන්න කඩුලු ගණනාවක් පනින්න සිදු වුණා. නළුනිළි සංසදයෙන් අවසර ගන්න වුණා. වෙන රටකින් නිළියක් ගෙනාවට මුදලක් ගෙවන්න වුණා. ඒ ගෙවන්නේ කාටවත් නෙවෙයි ඒ රටේ කර්මාන්තය වෙනුවෙන්. අපටත් ඒ ප්‍රතිපත්ති මාලාවට අනුව කටයුතු කරනවා නම් විදේශ චිත්‍රපට රූගත කරනවා නම්, හවුල් නිෂ්පාදන කරනවා නම් ආදි සියල්ලට ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම අපට පේනවා අලුත් නළුනිළියන් එනවා. පාට සුදුයි රඟපාන්න බැහැ. ඉතින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන අයට රංගන පාසලක් තිබුණා නම් එයින් එළියට එද්දි රංගනය කියන්නේ මොකක්ද එහි සංයමය, විනය, වගකීම මොකක්ද කියන එක ඉගෙන ගෙන එන්න පුළුවන්. අද සමහරු තමන්ගේ මූලික අරමුණ හඳුනගෙන නැති බවක් පේනවා. පිටරටවල සෑම ශිල්පියකුම පාහේ හොඳ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය. එහෙම වුණොත් අරයගේ මෙයාගේ ඇඳුණුම්කම්වලට එන අයට ඉඩක් නැති වෙනවා. ක්ෂේත්‍රය ඇතුළේ ඉතාම හොඳ විනයක් ඇති වෙනවා. මම අලුත් අයට මුකුත් නොකියන්නේ පවතින තත්ත්වය මතයි ඔවුන් කටයුතු කරන්නේ. අපි අසුබවාදීව මුකුත් හිතන්නේ නැහැ. මේ සියල්ල විසඳෙනවා ප්‍රතිපත්ති මාලාව එනවා නම්. අදටත් විනෝදාස්වාද ව්‍යාපාරය මේ රටේ ලියාපදිංචි ව්‍යාපාරයක් නෙවෙයි.

ඔබ දිගු කාලයක් නිහඬයි?

ඇත්ත. අද වෙද්දි මම අවුරුදු හතකින් චිත්‍රපටයක රඟපාලා නැහැ. රූපවාහිනියේ වසර පහකින් නැහැ. වෛෂ්ණාවී රූපගත කළේ 2012 වසරේ. ප්‍රදර්ශන ගැටලු නිසා ගිය වසරේ තිරගත වුණාට. ඉතින් ඒක හරිම කණගාටුදායක තත්ත්වයක් විදිහටයි දැනෙන්නේ. මට නිතර හිතෙන්නේ වැරැදි රටකයි කලාකාරිනියක් වෙලා ඉපදුණේ කියලා. ඒත් අපි තවමත් වේදිකාවේ සහ රූපණය පිළිබඳ ඉගැන්වීම් කටයුතුවල යෙදිලා සිටින නිසා නිතර අභ්‍යාසවල නිරත වෙනවා. ඒත් ශිල්පියකුගේ සතුට තිබෙන්නෙ එතැන නෙවෙයි. අවුරුදු හතක් කියන්නේ කෙනකුගේ ජීවිතයේ වටිනාම කාලයක්. මම අද ඉන්නේ වසර 33ක් රංගනයේ යෙදුණ ශිල්පිනියක් විදිහට හොඳම වයසේ, ඉදිරියට වගේම පසුපසටත් යන්න පුළුවන් සංක්‍රාන්ති අවදියක. මේ වයස පැනපු ගමන් ඒක ආයේ කවදාවත් එන්නේ නැහැ. වෙනත් රටවල නම් වශයෙන් කීවොත්, නිකොල් කිඩ්මන්ට, මෙරින් ස්ට්‍රීට්ට, රිචඩ් ගියර්ට, ජැක් නිකල්සන්ට චිත්‍රපට විශේෂයෙන් ලියැවෙනවා. ඉතින් ජීවිතේ අත්දැකීම් එක්ක එන හොඳම යුගයේදී ඒවා විදහා දක්වන්න අපට නිර්මාණ නැහැ. ඉතින් මේ කර්මාන්තය පුංචි වන්න හේතු අපි කතා කළා. ඒත් අපි එකමුතු වෙනවා නම් අපේ සිනමා කර්මාන්තය විශාල කරගන්න බැරිකමක් නැහැ.

ඉදිරියේදී ඔබේ රසික රසිකාවන්ට සතුටු විය හැකි ආරංචියක් තිබෙනවාද?

රූපවාහිනියේ එක නාට්‍යයක් තිබෙනවා රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ තණමල්විල කොල්ලෙක් මේ අවුරුද්දේ අග විකාශය වන්න නියමිතයි. ලබන අවුරුද්දේ නම් නිර්මාණ කීපයකටම දායකවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. වසර හතකට පස්සේ ලබන වසර හොඳ වෙයි කියලා හිතෙනවා. සමහර ඒවා මේ වසරේ කරන්න හිටියත් රටේ වාතාවරණය නිසා කල් ගියා. අවුරුද්දේ මුලින්ම තිබෙන්නේ බන්දුල නානායක්කාරවසම්ගේ ප්‍රථම නිර්මාණය වන විරාගරාගය. සෝමරත්න දිසානායක සහ අනුරුද්ධ ජයසිංහ චිත්‍රපට දෙකකට කතා කර තිබෙනවා. ඒවයේ වෙනස් රංගනයක් දකින්න ලැබේවි. තවත් නිර්මාණ කීපයක් ගැන තවම තීරණ ගෙන නැහැ. සනත් අබේසේකරගේ ගුත්තිල සිනමා පටය ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. දිගින් දිගටම අවරගණයේ රූපවාහිනී නිර්මාණ එන නිසා ඒවාට සම්බන්ධ වෙන්න අදහසක් නෑ. ඉස්සර මට මතකයි දූ දරුවෝ, නෑදෑයෝ, සත්පුර වැසියෝ රඟපාද්දි මෙගා කීවේ ඒ කොටස් 100 ටෙලි නාට්‍යවලට. හැම ඉරිදාම රූපවාහිනියේ ඉන්නවා කියලා දෝෂාරෝපණ අහන්නත් වුණා. හැබැයි අපි ඒවා කළේ තිරපිටපත ලියලා, චරිතය මොනවද කියලා තේරුම් අරගෙන. ඒවා ඔස්සේ තමයි ප්‍රේක්ෂකයන් මාව වැලඳගත්තේ. ඒ ආශීර්වාදයෙන් තමයි අදත් මගේ ජනප්‍රියත්වය පවතින්නේ. ඒ එක්කම මම සිනමාවටත් සම්බන්ධ නිසා ජනතාවට විවිධ දේ දකින්න ලැබුණා. මම මේ අවරුදු 33ට චිත්‍රපට 18ක පමණයි රඟපාලා තියෙන්නේ. ඒත් ඒවා මිනිසුන්ගේ මතකයේ රැඳුණා. හොඳ දෙයක් කළාම ඒවා යුග ගණනාවක් පවතිනවා.

සමහර නළුනිළියන් කාලයත් සමඟ එක්කෝ තමන් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරගන්නවා. නැත්නම් අධ්‍යක්ෂණයට පිවිසෙනවා?

නිෂ්පාදනයට නොබසින්න හේතුව මේ රටේ සිනමාව කර්මාන්තයක් ලෙස හොඳ තත්ත්වයක නැති වීම. වැට උඩ තියෙන කර්මාන්තයකට බැහැලා මට කොට උඩ යන්න අවශ්‍ය නැහැ. අධ්‍යක්ෂණයට නොබහින්නේ එය ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මට රඟපාන්න අවශ්‍යයි කියලා මම අධ්‍යක්ෂණයට ගියොත් එය මෝඩකමක් වේවි. මොකද මම අදටත් කණගාටුවෙන් කියන්නේ මගේ දක්ෂතාවලින් ක්ෂේත්‍ර දෙකම තවමත් හරියට ප්‍රයෝජන අරගෙන නැහැ කියලයි. චිත්‍රපටවල නම් යම් පමණකට හෝ මගේ හැකියාවන් විදහා පාන්න අවස්ථාව ලැබුණා. ඒත් ටෙලි නාට්‍යවල තවමත් නැහැ. ඉතින් ඒ රඟපෑමේ උණ තවම ඇඟ ඇතුළේ තියෙනවා. එනිසා මට වෙන දෙයකට අතගහන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂණයට බහිනව නම් එයට අවශ්‍ය දැනුම සම්පූර්ණ කරගන්න වෙනවා. මොකද සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය. ඒ සඳහා මම තව පෝෂණය විය යුතුයි. අත්දැකීම් පමණක් මදි.

ඔබ ලියන කියන කෙනෙක් නිසා ඒ අතින් යමක් කරන්න අදහසක් තියෙනවාද?

ඔව්. මට හුඟක් අය ආරාධනා කළා පිටපත් රචනයට එලැඹෙන්න කියලා. සිනමාවට හා රූපවාහිනියට ලිවීම වෙනස්. ඒ නිසා ඒවාත් අධ්‍යයනය කරන්න ඕනේ. මගේ කවි සංකල්පනා ආදිය නම් පොතක් හැටියට එළි දක්වන්න හිතාගෙන ඉන්නවා. මොකද ඒවා මුද්‍රණයෙන් පිට වුණාම කොහොම හරි පවතීවිනේ... මම අන්තර්ජාතික චිත්‍රපට ගණනාවක රඟපෑවේ මගේ හින්දි භාෂා දැනුම නිසා. රංගන පාසලක් ඇති කිරීමේ අදහසකුත් තිබෙනවා. ඒත් එය අඩුම වශයෙන් ඉන්දියාවේ පාසලක් සමඟවත් සම්බන්ධ වෙලා වටිනාකමක් ඇති විදිහට. එයට රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. මේ සියල්ලට අපි එකට එක්වෙමු කියන ඉල්ලීමයි මට කරන්න තියෙන්නේ. ඒ මොන දේ කළත් මගේ ඇඟට කා වැදිලා තිබෙන රංගනය මගේ ජීවිතෙන් කවදාවත් ඈත් වන්නේ නැහැ.

 

 

තිලක් පෙරේරා

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.