සිනමාව ගැන හොඳ කතිකාවක් මුහුණු පොතේ ගොඩනඟනවා

ඔක්තෝබර් 24, 2019

ආනන්ද ගමගේ සිංහල සිනමාවට බෙහෙවින් ආදරය දක්වන්නෙකි. ඒ නිසාම ඔහු සිංහල සිනමාව වෙනුවෙන් වෙනම ෆේස්බුක් පිටුවක් විවෘත කළේය. ඒ 'අනන්දනීය සිංහල සිනමාව' යනුවෙනි. ඒ ෆේස්බුක් පිටුව වටා රසිකයෝ රැසක් ඒකරාශි වී සිටින අතර ඔහු ඇතුළු ඒ පිරිස ඒ මඟින් සිංහල සිනමාවේ නියැළුණු කලාකරුවන්ගේ සිතට මහත් ප්‍රබෝධයක් ගෙන එති. එමෙන්ම ඒ මඟින් ඔවුහු අනෙකුත් සුබ සාධන කටයුතුවල නියැළෙති.

ඔබ 'ආනන්දනීය සිංහල සිනමාව' ෆේස්බුක් පිටුව ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද?

මේ පිටුවෙන් මා බලාපොරොත්තු වුණේ සිංහල සිනමාව ගැන කතිකාවක් ඇති කිරීමයි. 1947 වසරේ පටන් 2019 වසර දක්වා කාලයේ පැමිණි සිනමාපට පිළිබඳයි ඒ කතිකාව අප ගෙන එන්නේ. මා වගේම සිංහල සිනමාවට ආදරය කරන දාහක තරම් පිරිසක් එහි සාමාජිකයන් වී සිටීම සතුටට කරුණක්. ඉන් දෙසීයක පිරිසක් හැමදාම පිටුවේ සම්බන්ධකම් පවත්වමින් එහා මෙහා සැරිසරන අයයි.

මේ පිටුවේ ඔබ රසිකයන්ට වෙන්වුණු වැඩසටහන් කිහිපයකුත් නිර්මාණය කර තිබෙනවා?

සඳුදා පටන් සිකුරාදා දින දක්වා හැමදාම හරියටම රාත්‍රි 10.00ට මෙහි සිටින රසිකයන්ගෙන් ප්‍රශ්නයක් විමසනවා. එහිදී සිංහල චිත්‍රපටයක රූප රාමුවක් පෙන්වමින් පළමුව විමසන ප්‍රශ්නය වන්නේ මේ රූප රාමුව කුමන චිත්‍රපටයක ද යන්නයි. එහි සිටින්නේ කවුරුන්ද යන්නත් විමසනවා. එය දෙවැනි ප්‍රශ්නයයි. එවැනි සරල ප්‍රශ්න කිහිපයක් මා විමසන්නේ හැමෝටම ජයග්‍රහණයක් දිනා ගැනීමට හා ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකියාවක් ලබා දීම සඳහායි. තුන්වැනි ප්‍රශ්නය වන්නේ ඒ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුරුද? යන්නයි. ඊළඟ ප්‍රශ්නය එහි නිෂ්පාදකවරයා කවුරුන් ද? යන්නයි. පස්වැනි ප්‍රශ්නය නම් මේ චිත්‍රපටය තිරගත වූ කාලවකවානුව ගැන ඇසීමයි. මේ ආකාරයටයි ප්‍රශ්න සකස්වන්නේ. එහි පළමු ප්‍රශ්නයට පිළිතුර දුන් පුද්ගලයා අප හඳුන්වන්නේ පුරෝගාමි ජයග්‍රාහකයා වශයෙන්. චිත්‍රපටයත් තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු ලබා දෙන්නාව හඳුන්වන්නේ ජයග්‍රාහකයා වශයෙන්. ප්‍රශ්න හතරකට පිළිතුරු දුන්නොත් සුපිරි ජයග්‍රාහකයා වශයෙනුත්, සියල්ලටම පිළිතුරු පැවැසුව හොත් පූර්ණ සුපිරි ජයග්‍රාහකයා ලෙසත් නම් කරමිනුයි ඒ වැඩසටහන නිර් මාණය වී ඇත්තේ. කොහොම වුණත් රාත්‍රි 10.00ට සුන්දර තරගයක් නිර්මාණය වෙනවා.

මේ මඟින් චිත්‍රපට රසිකයන් අතර කතිකාවක් ගොඩනැඟෙන්නේ කොහොම ද?

ප්‍රශ්නවලට පිළිතුර ලබාදීම පමණක් නොවෙයි එතැනදි සිදු වන්නේ. ඒ ඒ නිර්මාණ නැරැඹූ බොහෝ දෙනා ඒ නිර්මාණය පිළිබඳ ඔවුන්ගේ ළඟ එකතු වුණු අත්දැකීම් ඒත් සමඟම ලියනවා. ඒකේ කැමරා අධ්‍යක්ෂ, එහි රඟපෑව අනෙක් ශිල්පීන්, කොයිතරම් කාලයක් තිරගත වුණා ද?, ඒ නිර්මාණය ජනප්‍රිය වුණා ද? එහෙනම් ඒ ඇයි? ආදි වශයෙන් ඒ නිර්මාණය ගැන විවිධ දේ ගැන කිව යුතු සියලු දේ ගැන සියල්ලන්ගෙන් එළියට පැමිණෙනවා. ඒ මඟිනුයි යම් කතිකාවක් සියල්ලන් අතර ගොඩනැඟෙන්නේ. ඒ විතරක් නොවෙයි සෙනසුරාදා හා ඉරිදා කියන දවස් දෙකේ අපි නිකම් ඉන්නේ නැහැ. කොහෙන් හෝ සොයාගෙන නිර්මාණයක් ගැන හොඳ විචාරයක්, ඒ නිර්මාණ පිළිබඳ ලියැවුණු හොඳ ලිපියක් පළ කිරීමත් කරනවා. මෙවැනි කටයුතු නිසා බොහෝ දෙනා ඒ වා කියවලා විවිධ දැනුම් ලබා ගන්නවා පමණක් නොවෙයි, විවිධ සංවාදත් ඒ මඟින් මේ පිටුවේ ඇති වෙනවා.

ෆේස් බුක් පිටුවට එකතු වුණු පිරිස සමඟ ඔබ කලාකරුවන්ගේ සැපදුක් සොයන්න යෑම වගකීමක් ලෙස කරන කාර්යයක් ලෙසයි පෙනෙන්නේ?

මුලින්ම අප දහදෙනකු එකතු වී බලන්න ගියේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතාවයි. මගේ රසිකයන් පිරිසක් ඇවිත් කියමින් ඔහු බොහොම සතුටට පත් වුණා. එතුමාගේ දුක සැප සොයා බලමින් මුදල් පරිත්‍යාගයක් සිදු කරන්නත් අපට හැකි වුණා. ඒ වගේම එතුමාගේ ඡායාරූපයකුත් ලබා දුන්නා. ඊළඟට පිවිසියේ අප විල්සන් කරූ රංගන ශිල්පියාව බලන්නයි. එදා නම් අප සමඟ සහභාගි වුණු පිරිස දෙගුණයක් වුණා. ඔහුට පසුව අප බලන්න ගියේ සුමින්ද සිරිසේනවයි. ජානක ඉලුක්කුඹුර, වසන්ත සනත්, ලලිත් රත්නායක ඇතුළු චිත්‍ර ශිල්පියෝ පස්දෙනකු පමණ අපත් සමඟ ඉන්නවා. ඔවුන් තමයි කලාකරුවන්ගේ රූපය චිත්‍රයට නංවා ඔවුන්ට ලබා දීමට සහයෝගය දක්වන්නේ. ඒ වගේ මෙහි සිටින පිරිස විවිධ විදියටයි මේ කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ. ඔවුන්ගේ ශ්‍රමයෙන් හා මුදලින් වගේම සහභාගිවීමෙන්. මේ සියලුදෙනාගේ සහයෝගයෙන් ඉදිරියේදී කලාකරුවන් රැසකගේ දුක සැප සොයන්නයි අප බලාපොරොත්තු වන්නේ.

ඔබ ඇතුළු පිරිස කරන මේ කටයුත්තට අමතරව කරන සුබ සාධන වැඩසටහන මොනවා ද?

මා රැකියාව කරන්නේ අංගොඩ මානසික රෝහලේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ වෝඩ් මාස්ටර් කෙනකු විදියට. පළමුවැනි වාට්ටුව භාරව ඉන්නේ මමයි. මා අපේ රෝගීන්ට හොඳ පුනරුත්ථාපන වැඩසටහන් කරනවා. ඒ මේ ආනන්දනීය සිංහල සිනමාවේ පිරිස මඟිනුයි. ගීත ගැයීමේ වැඩසටහනකුයි පළමුව කළේ. කෑම වේලක් හා ඇඳුම් පරිත්‍යාගයකුත් සිදු කළා. පසුව එයටත් වඩා විහිදුණු පිරිසකට අප වැඩසටහනක් කළා. ඒ වැසටහනට නළු නිළියන්, ආරාධිත අමුත්තන් ඇතුළු මානසික රෝගීන් දෙසීයක් පමණ සහභාගි වුණා. එවැනි වැඩසටහන් රැසක් මේ වන විට අප ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කටයුතුවලට ක්ෂේත්‍ර යේ නළු නිළියන් රැසක් උදව් කරනවා. විශේෂයෙන් ඔවුන්ගේ ශ්‍රමදාකත්වයෙන්. ඒ ඔවුන් මේ වැඩසටහන් ගැන පැහැදී ඇති නිසයි.

ඔබ හොඳ චිත්‍රපට රසිකයෙක්?

මගේ ගම රාජගිරියයි. ඒ කාලයේ මා එන එන හැම චිත්‍රපටයක්ම නරඹනවා. සමහර දවසට පාසල් නොගිහින් චිත්‍රපට නැරැඹුව දවස් පවා තිබුණා. වැඩිපුරම යන්නේ රිට්ස් එකට හා ලිඩෝ එකට. මා චිත්‍රපට නැරැඹීම ආරම්භ කරන්නේ 77 වසරේ පටන්. ඒ කාලයේ චිත්‍රපට ගැන තොරතුරු මට අදත් කටපාඩම්.

ටෙනිසන් එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.