ඔබේ සිනා ළඟ නෙත නැවතුණ දා

ජගත් වික්‍රමසිංහ
ඔක්තෝබර් 24, 2019

ඔහුට සංගීත ක්ෂේත්‍රයේ අ යනු ආ යනු කියන්නට අමුතුවෙන් තක්සලාවකට යා යුතු වූයේ නැත. මව් කුසයේ සිටම සප්ත ස්වරය ඔහුට ඉතාම සමීප අත්දැකීමක් බවට පත් වූයේ මව සංගීත ගුරුවරියක වූ නිසාය. උත්පත්තියෙන් පසුවද ඔහු ගේ සිඟිති ඉරියව්වල සිට වැඩි විය දක්වාම සියලු සංවේදනයන් වැඩී වර්ධනය වූයේ සප්ත ස්වරයේ අරුමැසි අත්දැකීම් නිතර ශ්‍රවණය කරමිනි.මවත් පියාත් යන දෙදෙනාම සංගීත ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම ඔහු ගේ මේ ගමනට උත්පත්තියෙන් හිමි වූ ආශිර්වාදයක් විය.

වත්මනෙහි ඔහු සංගීත ක්ෂේත්‍රයේ ඉහළ හිනි පෙත්තටම ළඟා වූවෙකි. සංගීතඥයෙකු , සංගීත සංයෝජකයෙකු, ශබ්ද ඉංජිනේරුවෙකු, ගායකයෙකු , වාදකයෙකු, සංගීත ගුරුවරයෙකු ආදී වූ මෙකී නොකී භූමිකාවන් නිරූපණය කරමින් ක්ෂේත්‍ර යේ වැජඹෙන ඔහු විශාරද ජගත් වික්‍රමසිංහය.සංගීත ක්ෂේත්‍ර යේ පමණක් නොව එක්තරා යුගයක ඔහු ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වශයෙන්ද අපේ ආලින්දයට සම්ප්‍රාප්ත වූ හැටි තවමත් කාටත් අමතක නැතුව ඇති.

එදා මෙදාතුර ඔහු ගේ නිර්මාණ දිවිය තුළින් අපේ රටට තිළිණ වූ අපූරු නිර්මාණ රාශියකි. පසුගිය කාලය පුරා ඔහු එළිදැක්වූ නිර්මාණ ගොන්න තුළ බහුතරයක් වූයේ ළමයින් උදෙසා වූ නිර්මාණයන්ය.

‘‘ ඇත්තටම අද දවස වන විට නම් පෞද්ගලිකව අපේ නිර්මාණ පිළිබඳ සිතනවාට වඩා සමස්ත රටේම අනාගතය පිළිබඳ සිතිය යුතු කාලයකට අපි අවතීර්ණ වෙලා සිටිනවා.ඒ අතරම මගේ නිර්මාණ පැත්තට යොමු වුණොත් පසුගිය කාලය ඇතුළත මම නව නිර්මාණ රාශියක් එළිදැක්වූවා. ඒ අතරින් වැඩි නිර්මාණ ප්‍රමාණයකට පදනම් වුණේ අපේ රටේ දරුවන්. ළමයින් වෙනුවෙන් නිර්මාණ රාශියක් පසුගිය කාලය ඇතුළත මම එළි දැක්වූවා.අවුරුදු 04 ක් වැනි කාලයක් ඇතුළත ගීත 400 ක් වැනි ප්‍රමාණයක් මම දරුවන් වෙනුවෙන් එළි දක්වලා තියෙනවා. පසුගිය වසර හතර පහ තුළම හොඳම ළමා ගායකයා , ගායිකාව සඳහා වන රාජ්‍ය සම්මාන ලැබුණේ අපේ ‘‘ සිසු මිණි පවුර‘ ‘ වැඩසටහනේ හිටපු ළමයින්ට. මේ වැටසටහන පටන් ගත්තේ මම සහ මගේ හිත මිතුරෙකු වන ජගත් ගාමිණී මාවතගම සොයුරා. ‘‘ 

රටක අනාගතය රඳා පවතිනුයේ අපේ දූ දරුවන් මතය. ඔවුන්ට සුඛිත මුදිත අනාගතයක් නිර්මාණය කරදීම ට අවැසි මඟ පෙන්වීම සිදු කිරීම වැඩිහිටියන් වන සියලු දෙනා ගේම වගකීමකි. කලාකරුවෙකු මෙන්ම නිර්මාණ කරුවෙකු ලෙස ජගත් ඒ වෙනුවෙන් ඇප කැප වූයේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවය.රටේ බොහෝ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත් වූ කලාවට , ගායනයට , වාදනයට දක්ෂතා ඇති දූ දරුවන් ඒකරාශී කරමින් ඔහු ‘‘සිසුමිණි පවුර‘‘ ගොඩ නැගුවේ ඒ අභිලාෂයෙනි.

“ ඈත පළාත්වල ඉන්න ඒ දරුවන්ගේ දක්ෂතා දකිනවිට වෙලාවකට අපට හිතා ගන්නවත් බෑ මේ තරම් දක්ෂ දරුවෝ ඉන්නවාද කියලා.අපි දැනට දරුවෝ දහසකට ආසන්න පිරිසක් සොයාගෙන තිබෙනවා.මේ කාර්යයට අමතරව පසුගිය කාලයේ විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන් රුසක් වෙනුවෙන් ගීත ගණනාවක්ම මම නිර්මාණය කළා. ඒ අතරම ළමා වැඩසටහන් කීපයකම විනිශ්චය මණ්ඩලයේත් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.රූ පවාහිනී වෙළෙඳ වැඩසටහන් රැසක් සඳහා පසුගිය කාලයේ සංගීත සංයෝජනයෙන් දායක වුණා.‘‘

ජගත් ගේ ආකර්ෂණීය ගී හඩට ප්‍රේම කරන්නෝ රාශියකි ඔහු මේ ක්ෂේත්‍රයට පැමිණි දා සිටම ගීත ලෝලීන් වෙනුවෙන් ඉදිරිපත් කළ ගීත මෙන්ම ගායන විලාසයේ සුවිශේෂීත්වය එකී ආශක්ත බවට හේතුවක් විය.ඔහු ගේ ගීත ශ්‍රවණයට ප්‍රිය කරන්නෝ මෙරට මෙන්ම විදේශයන්හි පදිංචි වී සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් අතරද වෙති. මේ නිසාම ඔවුන් වෙනුවෙන් නිතර නිතර විදේශ සංචාරයන්ට එක්වීම ඔහු ගේ ජීවිතයේ සුපුරුදු දෙයක් බවට පත්විය.

“ මම පසුගිය මාසයේත් විදේශ සංචාරයක යෙදිලා ඉඳලයි ලංකාවට ආවේ. මේ අවුරුද්දේ ඉදිරි මාස කීපය ඇතුළත සංචාර කීපයකටම සම්බන්ධ වීමට නියමිතයි.මේ මාසේ නැවත වතාවක් නවසීලන්තයට යන්න වෙලා තිබෙනවා . ඒ වගේ ම අවුරුද්ද අවසානයේ ඇමරිකාව , කැනඩාව සහ එංගලන්තයේ සංචාර කිහිපයකටම සම්බන්ධ වෙන්න තියෙනවා.කැනඩාවේ සහ ඇමරිකාවේ ප්‍රසංගවලට අමතරව එහි පැවැත්වෙන ‘බොස්ටන් ලංකා’ කියන රියැලිටි වැඩසටහනේ විනිශ්චය කටයුතු සඳහාත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.මෙහි මුල්වට කිහිපයේම තරග විනිශ්චයන් සිද්ධ වුණේ ‘චරණ’ ටීවී හරහා මෙහේ ඉඳගෙනමයි. ඉදිරියට සම්බන්ධ වෙන්න හදන්නේ එහි අවසන් වටයේ තරග විනිශ්චයන් සඳහායි . මේ සඳහා මමත් ඉන්දිකා උපමාලිත් එහේ යන්න සූදානමින් සිටිනවා.

මේ සියලු කරුණු කාරණා මධ්‍යයේ ජීවිතයේ තමන් අතින් ඉටුවිය යුතු යුතුකම් වගකීම් පැහැර නොහැර ඉටු කරන්නටත් ජගත් හැම විටම උත්සාහ දරන්නේය. කොයි තරම් කාර්යය බහුල වුවද පවුලේ කටයුතු සොයා බලන්නට දවසේ කුමන හෝ වේලාවක් ඔහුට ඉතිරිව තිබේ.

ජගත් තිදරු පියෙකි.ඔහු ගේ වැඩිමල් පුතා තිදස් වික්‍රමසිංහ දැන් උසස් අධ්‍යාපනයට සූදානම් වන්නෙකි. දෙවැනි දියණිය සිරිනි සුහන්සා අපොස සාපෙළ විභාගයට සූදානම් වන්නීය.බාලම දියණිය අසිනි ආශ්චර්යා තවමත් හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.ඔහු ගේ දයාබර බිරිය ගයානි මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ගුරුවරියකි.

“ ඇත්තටම කිවුවොත් මගේ කාර්ය බහුල දිවියත් එක්ක , ගෙදොර දොර වැඩ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඉඩක් නෑ.ඒ සියලු දේම හොඳීන් බලා කියා ගන්නේ ගයනි තමයි.ඇයත් පසුගිය කාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධි දෙකකට අධ්‍යයන කටයුතු වල නිරත වුණා. පාසලේ රාජකාරිත්, ඇගේ අධ්‍යාපන කටයුතුත්, දරුවන්ගේ කටයුතුත් කරන ගමන් තමයි ඇය මගේ කලා ජීවිතේටත් නිබඳ සහායක් වෙන්නේ. අපි පවුලක් වශයෙන් මේ හැම දෙයක්ම බෙදා හදා ගෙන කර ගන්නවා.

පුතා දැන් සූදානම් වෙන්නේ විදේශයක උසස් අධ්‍යාපන කටයුතු වල නිරතවෙන්න. එයාට හොඳ ගායන හැකියාවකුත් තියෙනවා. මෑතකදි අපි දෙන්නා ‘ලෙය සහ ලය’ වැඩසටහනටත් සම්බන්ධ වෙලා ගීත ගායනා කළා.තුනවෙනි වතාවටත් මම සංගීත අධ්‍යක්ෂණය කළ රයිගම් ටෙලි සම්මාන උලෙළේදීත් මමයි පුතයි දෙන්නම ගීත දෙකක් ගායනා කළා.එයාට සින්දු කියන්න පුළුවන් වුණාට මම එයාට ඒකම කරන්න කියලා බල කරන්නේ නෑ.මට පේන විදියට එයාට තියෙන දක්ෂතාවයන් වෙනස්.එයා ඒ පැත්තට ගියාවේ කියලා මට හිතෙනවා.සංගීතය එයා අමතර දෙයක් හැටියට කරයි.මම වුණත් ඒ කාලේ ඉගෙන ගත්තේ ගණිත විෂයන්නේ. ඉංජිනේරුවෙක් වෙන අතරේ තමයි මම සංගීතය පැත්තට යොමු වෙන්නේ.මේ විෂය මගේ වෘත්තීය ජීවිතය කරගන්නේ ඒ පිළිබඳ බොහෝ හැදෑරීම් කළාට පස්සේ.තාක්ෂණික සංගීතය කියන පැත්ත ලංකාවේ තිබුණේ නෑ. මම පිට රටවල්වලට ගිහිල්ලා, ලොව පුරා ඇවිදලා තමයි. ඒ දැනුම ලබා ගත්තේ.අමරදේව සර් එක්ක තමයි මම මුලින්ම ගියේ.එහෙම ගිහින් වෙන ශිල්පියෙක් කරන දේට එහා ගිය දෙයක් මම කළා.මම ගණිත විෂයයන් කරල තිබුණ නිසා ඒක මට පහසුවක් වුණා.ශබ්ද ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මගේ තිබුණ අවබෝධය හා උනන්දුව නිසා මම බොහොම දේවල් ඉගෙන ගත්තා. 

ඉගෙන ගන්නා කිසිදෙයක් කෙදිනකවත් අපතේ යන්නේ නැත.එසේම ජගත් විසින් ඉගෙන ගත් දේ ඔහු කෙදිනකවත් අපතේ යැවිවේද නැත. විදේශ රටවලින් අපහසුවෙන් අමාරුවෙන් ඉගෙන ගත් දේ ඔහු පෙරළා මෙරට විශ්ව විද්‍යාලයන්හි ඉගෙන ගන්නා දූ දරුවන්ට ප්‍රදානය කරන්නේය.

‘‘ මම විශ්වාස කරනවා මේ ගමනේ මුල් මට පිහිටන්න ඇත්තේ අපේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි කියලා.අපේ ගෙදර හතර දෙනාගෙන් මේ පැත්තට වැඩියෙන්ම නැඹුරු වුණු කෙනා මම.මම ගායෙකුයෙකු වෙන්නත් කලින් තමයි සංගීතඥයෙකු වෙන්නේ.‘

ජගත් තුළ පවතින්නාවූ ගායකයාට ශ්‍රාවකයා බෙහෙවින් පෙම් බඳීන්නේය.එයට විශේෂම හේතුව වන්නේ ඔහුගේ ගායන ශෛලියේ ඇති විචිත්‍රවත් සුපැහැදිලි බවය.

“ ඔබේ සිනාළඟ නෙත නැවතුණු දා 
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා 
ප්‍රේමය හැඳීන්නෙමි. 
මේ ලෝ තලයේ

ඔහු ප්‍රේමය ගැන ගැයුවේය.එහි පවත්නා ආදරණීය හඩ පෞරුෂය මෙරට තරුණ හදවත් තුළට ප්‍රේමයේ ආස්වාදනීය බව සේම ප්‍රේමයේ විරහව ද රුගෙන ආවේය.

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ  
අතීතයේ බැඳී පෙම් සිතුවම් 
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ 
මකා දමා දෙසිතක සටහන්......

ජගත් සිය ගමන් මගේ ආරම්භයේ සිටම සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.ඔහු ගේ සුගායනීය හඩ පෞරුෂයසේම, ඔහු ගායනා කරනු ලබන ගීතයේ අර්ථාන්විත බව පිළිබඳවද හෙතෙම බෙහෙවින් කල්පනාකාරී වූයේය.අර්ථ පූර්ණ ගී සමුදායක හිමිකරුවෙකු වන්නට ඔහුට හැකිවූයේ ඒ තෝරා බේරා ගැනීමට ඔහු තුළ වූ උනන්දුව නිසාමය.

පෙම්වන්තයින් සේ සිනාසී 
හමුවීලා වෙන්වී හඩා 
ආයෙත් ඉතින්- ප්‍රේමේ නමින් 
සෝ ගී ගයන්නෑ ඉතින්

සංගීතඥයෙකු වශයෙන් ජගත් තුළ තිබෙන්නා වූ ස්වර ඥානය ඔහු ගේ ගායන දිවිය ඔපවත් කළා සේම ඔහු විසින් විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන් උදෙසා නිර්මාණය කරන ලද අපූරු ගී තනු ඒ හැකියාව තවදුරටත් ප්‍රකට කරන්නේය.

“ මම බටහිර සංගීතය වගේම දේශීය සංගීතයත් ප්‍රගුණ කළා.මම හිතනවා හැමදේම ඉගෙන ගන්න එක ජීවත්වීම පහසු කරනවා කියලා. අනෙක් පැත්තෙන් කවදහරි දවසක ප්‍රයෝජනවත් වෙනවා. මම ඉගෙන ගත් දේ පෙරලා මේ සමාජයටම දෙනවා කියන සතුට මට තියෙනවා.

මගේ තාත්තාගේ සමකාලීන මිතුරෝ තමයි ආචාර්ය අමරදේවයන්, සරත් දසනායකයන්, සෝමදාස ඇල්විටිගල, කේමදාස මාස්ටර්, ලයනල් අල්ගම ශූරීන් වැනි සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයන්.මේ අය නිතර දෙවේලේ අපේ ගෙදරට ආව ගිය අය.මේ අයත් එක්ක වැඩ කරන්න මට භාග්‍යය ලැබුණා.මේ අය විශාල ගැඹුරු ළිං වගේ. දැනුම අසීමිතයි. මේ ඇසුර හරහා මට දේශාභිමානය, ජාතිකත්වය, සංස්කෘතිය, සදාචාරය වැනි සංගීත ක්ෂේත්‍ර යෙන් බැහැර වූ විෂය කරුණු රාශියක්ද හඳුනා ගන්න ලැබුණා.

ජගත් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළම පුද්ගලයන්ගේ ඇසුර සමීපයෙන් ලැබීමට පින් කළ කෙනෙක්.ඒ තුළින් ඔහු ලබා ගත් දැනුම අසීමිතය. අත්දැකීම් අසීමිතය. අද මේ සියලු දැනුම එක්තැන් කරමින් ඔහු නව ලොවකට නව නිර්මාණ බිහි කරන්නේය. ඒ නිර්මාණ ඒ තරම් රසවත්. ඒ තරම් හරවත් වන්නේ ඔහු ශක්තිමත් මුල් සහිතව මේ පොළව මත පැළවී සිටින නිසාවෙනි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.