රෂ් රසිකයන් කීවේ

හින්දි චිත්‍රපටයක් වගේ කියලා
ඔක්තෝබර් 24, 2019

 

රෂ් චිත්‍රපටය සමඟින් අප සිනමාවට එක් වූ නවතම තාරකාව ඇයයි. ඒ සොඳුරු රුවැත්තිය නමින් අසංකි ද සිල්වාය

 

 අසංකි, ඔබ ප්‍රධාන චරිතය මැවූ රෂ් සිනමාපටය මේ දිනවලදී තිරගත වෙනවා. මොන වගේ අදහස් උදහස් ද ඔබ වෙත ගලා එන්නේ?

ඉතාම හොඳ ප්‍රතිචාර තමයි ලැබෙමින් පවතින්නේ. සාමානන්‍යයෙන් චිත්‍රපට නරඹන්නේ නැති පිරිස් මට පෞද්ගලිකව කියලා තියෙනවා රෂ් චිත්‍රපටය නම් අපි අනිවාර්යයෙන්ම බලනවා කියලා. චිත්‍රපටය නරඹපු අය කිව්වේ එයාලට හරියට හින්දි චිත්‍රපටයක් බැලුවා හා සමානව දනෙනවා කියලා.

 

 චිත්‍රපටය තිරගත වනතුරු ඔබ යම් තැති ගැන්මකින් ඉන්න ඇති. මොකද ඔබේ පළමු චිත්‍රපටය රෂ් නිසා?

ඇත්තෙන්ම එහෙම හිටියා. තිරගත වනතුරු හිතේ පුංචි බයක් තිබුණ. ඒක එවලෙ ඇති වෙච්ච එකක් නෙවෙයි. චිත්‍රපටයේ තිර පිටපත ලැබුණු වෙලාවෙම ඇති වෙච්ච එකක්. ප්‍රධානම හේතුව මේකේ ඉන්න නළු නිළියෝ. සනත් ගුණතිලක, ලකී ඩයස්, උද්දික, සාරංග වගේ අය එක්ක බලපුවාම මං හොඳටම අලුත්. මං එතනදි හිතුවා උද්දික ළඟටම වගේ බැරි වුණත් ඊට ටිකක් කිට්ටුවෙන් හරි මං රඟපාන්න ඕන කියලා. තව අවස්ථාවකදි මං අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහගෙන් අහනවා මං චිත්‍රපටයෙන් අයින් වෙන්නද කියලා. මං මගේ පැත්තෙන් හිතලා එහෙම කිව්වේ. ඔහු ඔහුගේ කෝණයෙන් බැලුවේ. ඔහු හිතුවා නිෂ්පාදනය පැත්තෙන් මට අසාධාරණයක් වෙලා කියලා. මං හිතුවේ මං නිසා චිත්‍රපටය අවුල් වේවි කියලා. පස්සේ මං ඒක මහේෂ් අයියට කිව්වා. නෑ මේකට ඔයාවම තමයි ඕන කියලා අධ්‍යක්ෂවරයා කිව්වා. ඒ විශ්වාසයෙන් තමයි වැඩ කළේ.

 

 චිත්‍රපටය රූප ගත කිරීම් සිදු කරන අතරතුරදී ඔබට නමක් පටබැඳුණලු නේද?

ඔව්. දිග නංගි තමයි හදපු නම. ඔය කොල්ලො සෙට් එක ඉන්නවා නේද. එයාලා තමයි ඔය කාඩ් එක මට ගැහැව්වේ.

 

 අසංකිගේ උස?

අඩි පහයි අඟල් අටයි.

 

 ඔය උස නිසා ඔබට වාසි අවාසි දෙකම සිදුවනවා?

වාසි තමයි ගොඩක් වෙලාවට සිදු වුණේ. මගේ උස නිසා නිරූපණ කටයුතුවලටදී ඇතැම් විට මට අවාසියක් සිද්ධ වෙන්නත් පුළුවන්. මගේ උසට නළුවො නැති වෙනකොට ඇතැම් නිර්මාණවලින් මට අයින් වෙන්න සිදු වේවි.

 

 රෂ් චිත්‍රපටයේ ඔබ ආසම තැන?

අර ෆයිනස් ගස් තියෙන ලොකේෂන් එකේ කරපු ෂූට් එක අමතක වෙන්නේ නැහැ. පිටපත අතට ගත්තම මං වැඩිපුරම බය වුණේ ඒ දර්ශනය පිළිබඳ.

 

 රෂ් සමඟ තවත් චිත්‍රපටයක් චිත්‍රපට ශාලාවන්හි තිරගත වෙනවා. ඒ තමයි හුස්ම. අසංකි හුස්ම චිත්‍රපටය නැරඹුවාද?

තවම නැහැ.

 

 ඒ චිත්‍රපටයේ චමත්කා කරන චරිතය ඔබට ලැබුණා නම්?

මම රඟපාන එකක් නැහැ. මම මේ චමත්කාව පහළට දාලා කතා කරනවා නෙවෙයි. මට ඒ චරිතය කරන්න බැහැ. සමහරු ඉන්නවා අභියෝගාත්මක චරිත කරන්න ආසයි. තාමත් මම එතැන නෙවෙයි ඉන්නේ.

 

 අසංකි හිතන විදිහට ආදරය වගේ කාරණාවක් කොහොමද රංගනය නැමැති වෘත්තීය ජීවිතයට බල පාන්නේ?

ඒක තීරණය වෙන්නේ හමුවෙන සහකරුවා එක්ක. නිළියක් වුණාම තේරුම් ගන්න ඕන තමන්ට ගැළපෙන හරි සහකරුවා තෝරා ගන්න. එහෙම හොඳ කෙනෙක් ලැබුණොත් වෘත්තීය ජීවිතයට පහසුවක් වෙනවා.

 

 අසංකි තවම පෙම්වතියක් නෙවෙයි?

ඔව්.

 නමුත් කලින් පෙම්වතියක්ව ඉන්න ඇති?

ඒකටත් ඔව් කියලා තමයි කියන්න තියෙන්නේ.

 

 ඒ ආදරේ බිඳුණේ කොහොමද. අසංකිගෙ රංගන ජීවිතයට ඔහු තහංචි දැම්මද?

නැහැ. එහෙම දෙයක් නෙවෙයි වුණේ. මං ගොඩක් කේන්දර විශ්වාස කරන කෙනෙක්. ඔහුත් එහෙමයි. අපි දෙන්නගෙ කේන්දර බලපුවාම ගොඩක් කාරණා ගැළපුණේ නැහැ. එහෙම වුණා කියලා අපි වෙන් වුණේ නැහැ. කාලයක් ආශ්‍රය කරලා බැලුවා. එතකොට අර කේන්දරවල කියපු අඩුපාඩු මතුවෙන්න ගත්තා. අපි කතාබහ කරලා කාගෙවත් හිතේ වෛරයක්, තරහවත් ඉතුරු නොකොට වෙන් වෙන්න තීරණය කළා.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.