කැලණි පාලමේ තාම ඉන්නේ මායි ගීතා කාන්තියි විතරයි

40 වසරක කැලණි පාලම ගැන රම්‍යා වනිගසේකරගේ සමරු සටහන්
ඔක්තෝබර් 24, 2019

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ යම් සන්දිස්ථානයක් ලෙස ‘කැලණි පාලම’ නම් කිරීම වරදක් නොවේ. කැලණි පාලම අවට වාසීන්ගේ ජීවිත අලළා ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් අතින් ලියැවුණු එක් නිර්මාණයක් වන ‘කැලණි පාලම’ට මේ වන විට වසර හතළිහකි. වර්තමානය වන විටත් බෙහෙවින් ක්‍රියාශීලි ලෙස වේදිකා චපරම්පරා කිහිපයකම රසවින්දනය පුළුල් කරන, එදා මෙන්ම වර්තමාන සමාජයේ යම් යම් දේ හාස්‍යයට ලක් කරන සර්වකාලීන නිර්මාණයකි. මේ කාරණය එක් නිමිත්තක් බවට පත් කර ගනිමින් ‘ආර්. ආර්. සමරකෝන් හා රම්‍යා වනිගසේකර සමඟ කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය’ මේ මස 26 වැනිදා සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පණීභාරත ශාලාවේදී පස්වරු 3. 30ට පැවැත්වෙයි. ඒ කාරණය නිමිති කරගනිමින් ආර්. ආර්. සමරකෝන්ගේ බිරිය රම්‍යා වනිගසේකර සමඟ කැලණි පාලම නාට්‍යයේ හා ආර්.ආර්. සමරකෝන්ගේ ජීවිතය පිළිබඳ සරසවියට කරන ලද සාකාච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

 

වස්සානයට පෑයූ සඳ ඈත අහසේ එබිකම් කරන්නේ හොරැහිනි. තරුරූන අහස්කුස ඒ මේ අත විසිර තිබෙන්නේ සඳට තනි රකින්නා සේය. සිමෙන්ති බංකුව මත අසුන්ගෙන සිටි රම්‍යා ඒ වප් සඳ දෙස ම බලා උන්නා ය. සඳ මත ඇඳුණේ ඔහුගේ රුව ය.

“බලන්න රම්‍යා අද අහසේ ලස්සන. හඳ මිදුලට ඇවිල්ලා නිසා තවත් ලස්සන වෙලා.”

ජීවත් ව සිටින කාලයේ නිවෙසේ ඉදිරිපස තිබෙන මේ සිමෙන්ති බංකුවේ අසුන්ගෙන ඔහු පවසන්නේ නිසංසල රාත්‍රියේ වූ සුන්දරත්වයෙන් වශිකෘතව ය. ඒ සුන්දරත්වය එදා මෙන් අදත් ඒ අයුරෙන් ම අවට වෙළාගෙන තිබුණ ද එහි මොකක් හෝ අඩුවක් ඇතැයි රම්‍යාට සිතේ. එහෙත් අඩුව රම්‍යාගේ සිතෙන් මකා දමන්න මෙන් ඔහු පිළිබඳ සිතිවිලි එකින් එක හදවතට ගලා එන්නේ ජල පහරක් වැටෙන විට නැඟෙන දිය බුබුළු සේ ක්ෂණයකින් ය.

අද මෙන්ම රම්‍යා වනිගසේකර පසුගිය දින කිහිපයේ මේ සිමෙන්ති බංකුවේ ඉඳ සිහිපත් කළේ සිය සැමියා පිළිබඳ ඒ අතීතයයි. ගිය වසරේද පැවැත්වීමට සිටි එහෙත් පැවැත්විය නොහැකි වූ ඒ කාර්යය සම්පූර්ණ කිරීමට ය ඈ මේ සැරැසෙන්නේ. ඒ නිසා නැඟෙන සියලු සිතිවිලි හමුවේ ඇය තව නොබෝ දිනකින් ඔහු නිමිති කරගනිමින් සිදු වන උදාර කටයුත්ත පිළිබඳ අප සමඟ සිහිපත් කළා ය.

“කැලණි පාලම කියන්නේ අදටත් බොහෝ දෙනා බොහොම ආදරයෙන් නරඹන නාට්‍යයක්. නාට්‍ය යේ නිර්මාතෘ වුණු ආර්. ආර්. සමරකෝන් නම් මගේ සැමියා එය නිර්මාණය කරලා මුලින් ම වේදිකා ගත කරන්නේ 1978 වසරේ ඔක්තෝබර් 25 වැනිදා ලුම්බිණි රඟහලේ. 25, 26, 27 කියන දවස් තුනේ ම කැලණි පාලම එදා වේදිකා ගත වුණා. ඒ හැම දර්ශනයකටම කටකපලා ප්‍රේක්ෂකයන් සිටි බව මට මතකයි. ඒ ආව ගැම්ම තවමත් ඒ ආකාරයටම එහෙමමයි. ඒ නිසා ඒ ගැන තිබෙන්නේ මට සතුටක්. මේ වන විට ‘කැලණි පාලමට හතළිස් එක් වසරක්. එයට හතළිස් වසර වූයේ ගිය වසරේ. ඒ වසරේ මේ හතළිස් වසර සැමරීමට අප සූදානම් වී සිටියත් ඒ කටයුත්ත කර ගැනීමට නොහැකි වුණේ එකල තිබුණු රටේ දේශපාලන වාතවරණය නිසා. මෙවරත් එවන් දේශපාලන වාතාවරණයක් තිබුණත් මෙවර නම් කුමන හෝ ආකාරයෙන් එහි උපන්දිනයට අභිනන්දනයක් කරනවා කියන මතයේමයි මා සිටියේ. හතළිහ කියන්නේ යම් නිමිත්තක් නිසාත්, හතළිස් එක් වසර නොගෙනම හතළිස් වසර කියන අංකය භාවිත කරන්න අප තීරණය කළා.”

මේ ප්‍රධාන කාරණයට අමතරව අනුකාරණා කිහිපයක් ද මේ අභිනන්දන උලෙළට හේතු සාධක වී ඇත. ප්‍රධාන වශයෙන්ම මෙහි කතා නායකයා අප අතැර ගොස් මේ ගෙවී යන්නේ 9 වැනි වසර ය.

“‘කැලණි පාලම’ නිෂ්පාදනය කළ සමරකෝන් මහත්තයාගේ කලා දිවියට මේ වන විට වසර පනහක් සපිරෙනවා. ඒ වගේ ම ‘කැලණි පාලම’ නාට්‍ය යේ මැටිල්ඩා විදියට රඟපෑ මගේ කලා දිවියට වසර හතළිස් පහක්. මෙන්න මේ කියන කාරණා කිහිපය මූලික කරගනිමිනුයි මේ ‘ආර්. ආර්. සමරකෝන් හා රම්‍යා වනිගසේකර සමඟ කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය’ පැවැත්වෙන්නේ. එදිනට මුලසුන හොබවන්නේ ප්‍රවීණ රංගවේදියකු වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා. එයට අමතරව දේශන කිහිපයකුත් පැවැත්වීමට නියමිතයි. ඉන් එකක් පෙළ ගැසෙන්නේ ඔහුගේ නිර්මාණ අලළා. ආර්. ආර්. සමරකෝන් මහත්තයා රචනා කරලා තියෙන්නේ නාට්‍ය විතරක් නොවෙයි.

නවකතාත් ලියලා තියෙනවා. ඔහුගේ ඒ නිර්මාණවල රසාස්වාදනය කියන අංශය ගැන කතා කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා. ඒ වගේ ම සමරකෝන් මහත්තයාගේ සාමාන්‍ය ජීවිතය ගැන වගේ ම ‘කැලණි පාලම’ අලළා දේශනය කරන්නේ ප්‍රවීණ මාධ්‍ය වේදී සමන් අතාවුදහෙට්ටි මහතා. ඊළඟට ප්‍රසන්නජිත් අබේසූරිය මහත්තයාගේ සංස්කරණයෙන් යුතුව ‘ආර්. ආර්. සමරකෝන් හා රම්‍යා වනිගසේකර සමඟ කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය’ නමින් කෘතියක් එළිදැක්වීමට නියමිතයි. ඔහුගේ ජීවිත කතාව අලළා හා ඔහු පිළිබඳ ලිපි කිහිපයකුත්, මා ගැන ලිපි කිහිපයකුත් එහි සඳහන්. මේ පොත ලියලා තිබෙන්නේ ඉදිරියේදි ළමයින්ට පරිශීලනය කළ හැකි ග්‍රන්ථයක් ආකාරයෙන්. ඒ කටයුත්තට අමතරව 1978 වසරේ ‘කැලණි පාලම’ට සහභාගි වුණු ශිල්පීන් හා එහි පසුපස සිටි ශිල්පීන් සිහි කරමින් දැනට ජීවතුන් අතර සිටින, එහෙත් කලා කටයුතුවලට නිරත නොවන සියලු දෙනාටත්, මේ වන තෙක් එහි රඟපාන සියලු ශිල්පීන්ට හා අනෙක් ශිල්පීන්ටත් සම්මාන තිළිණයක් සිහිවටනයක් විදියට දෙන්න සමරකෝන් පදනමෙන් සූදානම් කරලා තිබෙනවා. එදිනට සමරකෝන් මහත්තයාගේ නාට්‍යවලින් තෝරා ගත් කොටස් කිහිපයකුත් රඟදැක්වීමට නියමිතයි. මේ සියලු දේ මා කරන්නේ සමරකෝන් මහත්තයාට කරන ගෞරවයක් ලෙසයි.”

78 වසරේ වේදිකා ගතවීම ඇරැඹුණු ‘කැලණි පාලම මේ වන විට පරම්පරා කිහිපයක්ම නැරැඹූ නාට්‍යයකි. ඉදිරියටත් පරම්පරා කිහිපයක්ම නරඹන නාට්‍යයක් වීම ද විශේෂයකි. මේ සුවිශේෂ බවට හේතුව හා එහි රහස කුමක්දැයි මම ඇගෙන් විමසීමි.

“ ඔහු මේ නිර්මාණයෙන් සාකච්ඡා කරන විෂයය, ඔහුගේ පදපෙරළිය, භාෂාව, ප්‍රේක්ෂකයන්ව ග්‍රහණයට ගන්නේ කෙසේද කියන කාරණා තවමත් එය වේදිකාවේ රැඳෙන්න හේතු කාරණා වන බවයි මට හැඟෙන්නේ. ඒ කාරණාවලට අමතරව මේ නාට්‍යයෙන් සමරකෝන් මහත්තයා කතා කරන්නේ අපට එදිනෙදා සමාජයේ දකින්න තිබෙන ප්‍රශ්න ගැනයි. ඔහුගේ විශ්වාසයක් තිබුණේ ඔහු කරන නිර්මාණවලින් කතා කරන්නේ සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන බවයි. ඒවා මුල් කරගෙන නාට්‍ය ස්වරූපයෙන් ඔහු ඒවා වේදිකාවට ගෙනාවා. ඒවා නැරැඹූ ප්‍රේක්ෂකයා තමන්ටම හිනා වෙන අවස්ථා තිබුණා. කැලණි පාලමේදි ඔහු දේශපාලනය කතා කළා. පුංචි මිනිහගේ ඉතා දරිද්‍ර ජීවිතය ගැන, ඔහුව ගසාගෙන කන්න එන දේශපාලනඥයන් ගැන, ආණ්ඩුවේ නිලධාරියා ගැන, පුංචි මිනිහාව ඇන්දවීම ගැනයි කතා කළේ. මුදල් ගසාකෑම, ඇන්ද වීම අපේ රටේ සමාජයේ කිසිම දවසක නොවෙනස් වන කාරණා ගැනයි ඔහු මේ නාට්‍ය යෙන් කතා කළේ. ඒවා බොහොම උපහාසාත්මක විදියටයි ඔහු වචනවලට නංවා ඇත්තේ. ඒ නිසා මේ නාට්‍යය නැරැඹූ ප්‍රේක්ෂකයා තමන්ට හිනා වුණා. ඒ නිසා මිනිසුන්ගේ මනස අලුත් කරන විදියට කතා කිරීමයි මේ තරම් දුරක් කැලණි පාලම නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර රැඳීමට හේතු වන්නේ.”

‘මනරංජන වැඩවර්ජන’ කියන චූලා කාරියවසම් කළ පසු නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය වන ගුණවතීගේ චරිතය රඟපෑ රම්‍යා වනිගසේකර නම් තරුණිය දුටු ආර්. ආර්. සමරකෝන් තම කැලණි පාලමේ මැටිල්ඩාට සුදුස්සිය වන්නේ ඈ බව කල්පනා කළේ ය.

“ඒ අදහස නිසාමයි මට කැලණි පාලමේ මැටිල්ඩාගේ චරිතය ලැබෙන්නේ. මා ඒ වන විට අවුරුදු විසි අටක තරුණියක්. ඒත් මැටිල්ඩා කියන්නේ වියපත් ගැහැනියකගේ චරිතයක්. ඒ චරිතය වියපත් වුණත් මා කිසිම දවසක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ ලැබුණු අභියෝගය මා භාර ගත්තා.”

රම්‍යා වනිගසේකර ‘කැලණි පාලම ආරම්භයේදීත් මැටිල්ඩාම ය. අද වන විට වසර හතළිහක් ගත වී ඇති ද අදටත් ඈ එහි මැටිල්ඩාම ය.

“ඒක පුදුම වාසනාවක්. මා එලෙස එදා ඒ අභියෝගය භාර ගත් නිසයි අදත් ඒ චරිතයම මට රඟපාන්න හැකියාව ලැබුණේ. මොකද අද ළමයි නම් එවැනි චරිත ප්‍රතික්ෂේප කරනවා. ඒත් මා එහෙම කළේ නැහැ. මේ චරිතය ගැන කියලා මිනිස්සු පුදුමයට පත් වෙනවා. ඒක ඇත්තම මගේ සෞඛ්‍ය පැත්තෙන් මට ලැබුණු ලොකු වාසනාවක්. මා හිතන්නේ එදා ඒ චරිතයට කළ සාධාරණත්වය නිසාම බවයි අදටත් සාර්ථක රංගන ශිල්පිනියක් ලෙස ඒ චරිතයේ වේදිකාවේ රැඳී සිටින්න මට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ චරිතයට මා දක්වන කැපවීම හා ආදරය, සෙනෙහසයි එහි මා තවමත් රඳා පවත්වන්නේ. ඒක මට කොහොන්දෝ ලැබුණු වාසනාවක්.”

රම්‍යා වනිගසේකර යන නම වඩාත් ශ්‍රාවකයන්ට සමීප වූයේ ගුවන්විදුලියේ වෙළෙඳ සේවයෙනි. “මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි” යන වචන කිහිපය ඇසෙන විට ම අද ප්‍රවෘත්ති කියන්න සිටින්නේ රම්‍යා නම් ප්‍රවෘත්ති නිවේදිකාව බව එකල අපි දනිමු. ඒ තරමටම ඇගේ හඬ එකල සිටියන්නට හුරුපුරුදු ස්වරයකි. ඒ ඈය මේ මැටිල්ඩා වූයේ.

“එවැනි අනන්‍යතාවක් අපට එකල තිබුණා. මා ගුවන්විදුලියේ රැකියාව කිරීමට පෙරයි කැලණි පාලමට රංගනයෙන් සහභාගි වන්නේ. ඒ කාලයේ මා ඉපදුණු කොටියා කුඹුර

ප්‍රදේශයේ කැලණි පාලම වගේ පරිසරයක් තිබුණේ නැහැ. එහෙත් සමරකෝන් මහත්තයාගේ පෙළෙහි තිබුණු සාර බව හා ඔහු අපව මෙහෙය වූ සූර භාවය නිසයි අප ඒ චරිත හිතේ ඇඳ ගන්නේ. ඒ වගේ ම ඔහු අපව පෙළට තියාගෙන අපේ එකිනෙකාගේ චරිත එකින් එක විග්‍රහ කළා. මේ නිසයි ඒ චරිත ගැන අපට වැටහීමක් ඇති වුණේ. ඒ වගේම ඔහුට අවශ්‍ය විදියටම පෙළ කියැවිය යුතුයි. නැත්නම් යළි යළිත් ඒ චරිතය ලවා ඔහු පෙළ කියවනවා. ඔහු සමඟ ජීවිතය ගෙවුණු කාලයේ මා දැක්ක දෙයක් නම් ඔහුටම වෙන්වුණු අපූරු රිද්මයක් ඔහු සතුව තිබුණා. ඒ රිද්මයටයි ඔහු යමක් පිටපතේ ලියන්නේ. එය හරියට මුතු මාලයක් වගේ. හැම චරිතයක්ම එක හා සමානයි කියන අදහසේ ඉඳලයි ඔහු ඒ චරිත ගොඩනැඟුවේ. අනෙක් කාරණය නම් තමන්ගේ චරිතය හොඳට පාඩම් විය යුතුයි. ඉන් පස්සෙයි පිටපත කොටස් වශයෙන් වේදිකාවේ එලන්නේ. නළු නිළියන් ස්ථාන ගත කරමින් මුළු නාට්‍යයම පිළිවෙළට නිර්මාණය කරනවා. එවැනි කැප කිරීමක් කරන්න සෑම ශිල්පියකුටම පුළුවන් විය යුතුයි. දැන් වාගේ ආවට ගියාවට බැහැ. මොකද මට දවසක් මතකයි ඔහු මෙහෙම පැවසුවා. “ඔය එස්.එල්.බී.සී. එකේ වාගේ ඇවිදලා බැහැ රම්‍යා. ඔය චරිතයට ගමන් තාලයක් හොයා ගන්න ඕන. ඔය චරිතයට පණ දෙන්න ඕන. ඒ නිසා ඔහොම ඇවිදලා බැහැ. ඒ නිසා ඔහු කියන විදියට අප චරිතය ගොඩනැඟුවා. චරිතය හොඳට කළාට පස්සේ ඔහු අපට සුබ පැතුවා. ඒ මඟින් ඔහු තරම් සතුටු වුණු කෙනකු නැතිතරම්. ශිල්පින්ගේ දක්ෂතා හොරා ගන්න, ග්‍රහණය කර ගන්න ඔහු තරම් දක්ෂයකු නැති බවයි මට අද සිතන විට හැඟෙන්නේ.”

‘කැලණි පාලම වැනි නාට්‍යයක් මේ දක්වා පැවැතීමට හේතුව වන්න ඇත්තේ මෙවැනි කැප කිරීම් නිසාමදෝ වන්න ඇතැයි අපට හැඟෙන්නේ එවිට ය.

“දැන් ඇත්තෙන්ම නාට්‍යයක් පුහුණු වෙන්න ගන්න කාලය එහෙම නොවෙයි. දීර්ඝ කාලයක් පූර්ව පුහුණු වීම් කරනවා. නාට්‍ය පෙළ ගැන සාකච්ඡා කරනවා. ඒ පරිසරය, චරිත ගැන බොහොම අඩුයි. සුමාන දෙකෙන් නාට්‍යයක් එළියට එනවා. ඒ කාලයේ දැනුම්වත් වෙමිනුයි චරිත ගොඩනැඟුණේ. ඒ නිර්මාණවලට සර්වකාලීන පැවැත්මක් ඇති වෙන්නත් හේතුවක් වන්නේ ඒ කාරණයයි. අනෙක් කාරණය ඒ කාලයේ නාට්‍ය ශිල්පීන්ට ස්ථිර රස්සාවක් තිබුණා. අමතර දෙයක් ලෙසයි ඔවුන් නාට්‍ය කලාවේ නියැළුණේ. සම්පූර්ණ පරිබාහිර දෙයක් විදියටයි ඔවුන් මෙහි නියැළුණේ. ඒ වගේම බොහොම ආසාවෙනුයි ඔවුන් නිර්මාණවලට සහභාගි වුණේ. ජේ. එච් ජයවර්ධන, සිරිල් ධර්මවර්ධන වගේ ශිල්පීන් හොඳ රැකියා කළා. ඒනිසා දෝ ඒ අයට නාට්‍ය කලාවේ රැඳීලා ඉන්න පුළුවන් වුණා.”

‘කැලණි පාලම’ නාට්‍යයට ගෙවී ගිය වසර හතළිහක කාලයේ පැමිණි රංගන ශිල්පීන් රැසකි. ආරම්භයේ සිටි ඔවුන්ගෙන් අද සිටින්නේ කිහිපදෙනකු පමණක් යැයි හැඟෙන්නේ ඉන් මුල් දර්ශනයක් නැරැඹීමට ද මට ද අවස්ථාව ලැබුණු නිසා ය.

“මේ නාට්‍යයේ එදා පටන්ම සිටි පරණම රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් මෙහි තවමත් රැඳී සිටින්නේ මමත්, ගීතා කාන්ති ජයකොඩිත් විතරයි. එහෙත් සරණපාල ජයසූරිය, සැම්සන් ගොමස්, නීල් අලස්, පද්මිණී දිවිතුරුගම, මැණිකේ අත්තනායක කියන නාට්‍යය ආරම්භයේ සිටි ශිල්පීන් හා ශිල්පිනියන් අද ‘කැලණි පාලම’ට රංගනයෙන් එකතු වන්නේ නැහැ.” ඒත් ඒ චරිතයම කරන්නේ මා පමණයි. එහි රඟ පෑ එල්සන් දිවිතුරුගම, රත්නසිරි ලියනගොඩ, ජේ.එච්. ජයවර්ධන, සිරිල් ධර්මවර්ධන, හේමදාස වික්‍රමආරච්චි, රාජේන්ද්‍ර තලේසිංහ, සිරිල් වෙඩික්කාර යන මහත්වරු අද වන විට ජීවිතෙන් සමුගෙන ගිහින්. මගේ මහත්තයත් ඇතුළුව.

මෙවැනි පසුබිමක් තිබුණු ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යය පුහුණු වීම් අතර හා නාට්‍යය දර්ශනවලදී නොයෙක් කරදර හිරිහැරවලටද මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වූ අවස්ථා ද ඕනෑ තරම් ය.

“ඒකාලයේ අපි කැලණි පාලමත් එක්ක රට වටා ගියා. ඒ දවසේ කැලණි පාලම වේදිකා ගතවුණේ කහටගස්දිගිලියේ ගම් ප්‍ර දේශයේ. එහිදි අප එන බව ඒ ගම් වාසීන් ව දැනුවත් කරලා තිබුණා. ඒ නිසා ගම්වාසීන් ඒ ප්‍රදේශයේ හදන තල, මුං, රටකජු ඇතුළු විවිධ කෑම වර්ග අපට මිලදී ගන්න ගෙනැවිත් තිබුණා. එතැනදි අපිත් මුදල් දෙන්න පෙර ඒ මලුවලින් අපට ඕන ඒවා අරගෙන වාහනයේ එක එක තැන්වල බැඳලත් තිබ්බා. ඒ පළමු දර්ශනයෙන් පසුව මුදල් ගෙවන්නයි. ඒත් සිද්ධ වුණේ පුදුම දෙයක්. සංවිධායක සල්ලිත් අරගෙන පැනලා ගිහින්. අවසානයේ අපට සිදු වුණේ ඒ ගත්ත බඩු යළිත් ඔවුන්ටම දෙන්නයි. අවසානයේ බස්එක ගෙනෙන්නවත් සල්ලි තිබුණේ නැහැ. එහි සිටි සමරකෝන්ගේ යහළුවකුයි අවසානයේ අපට සියලු කටයුතුවලට එන්නට පිහිට වුණේ.”

එවැනි අකරතැබ්බ රැසක් සමඟ ගෙවුණු කැලණි පාලම මෙතෙක් පැමිණියේ සේද මාවතක නොවේ. කටුකොහොලින් පිරුණු මාවතක ය. ඒත් අදත් කැලණි පාලම වේදිකා ගත වෙයි. එහෙත් ඒ නැව රැගෙන කප්පිත්තා අද ජීවතුන් අතරවත් නැත. මේ සිහිපත් කරන්නේ ඔහුව ය. ඔහුගේ කලා ජීවිතයි. එන්න, ඔබත් මෙහි පැමිණ ඔහුගේ කලා ජීවිතයට සෙවණැල්ල සේ සිටි ඇයට සුබ පතන්න එකතු වන්න. අපි ඔබට ආරාධනා කරමු.

.

Comments

Asokaa (තහවුරු වී නොමැත)
Great Voice for News. Even today can remember it was of how respectful....
සෙන, 10/26/2019 - 15:26

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.