මේ වස දීම පටන්ගත්තේ සොක්‍රටීස්ගෙන් කෙටි කතාවක් නිසා සිරබත් කෑ

ශක්තික සත්කුමාර
ඔක්තෝබර් 31, 2019

තම නිර්මාණයක් නිසා මාස හතරකට අධික කාලයක් සිරබත් කෑ ශක්තික සත්කුමාර සිය නවතම කෘතිය රැගෙන සරසවියට ගොඩවැදුණේය. සිරගත කළ කතාවක් ලෙස නම් කර ඇති එය බුක්මාක් වෙත ඉදිරිපත් කරමින් ඔහු නිර්මාණකරණය සම්බන්ධ තම නිදහස් අදහස් මෙසේ අප වෙත ප්‍රකාශ කළේය. කෙටි කතා සංග්‍රහ හතක්, කවි සංග්‍රහ පහක් සහ නවකතාවක් මෙන්ම විචාර ග්‍රන්ථ 11ක්, චරිත කතා දෙකක්, බෞද්ධ කෘති 3ක්, නාට්‍ය පිටපතක් සහ සංස්කරණ ඇතුළු විවිධ කෘති ලියා ඇති ඔහු වයඹ පළාත් අධ්‍යාපන නිපුණතා සම්මානය, වයඹ පළාත් සාහිත්‍ය සම්මාන, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ 50 වැනි ස්වර්ණ ජයන්ති සාහිත්‍ය සම්මානය ආදී සම්මානයන්ට පාත්‍ර වී ඇත.

සිරගත කළ කතාවක් කෙටිකතා සංග්‍රහය රචනා කරන්න හේතුව?

මම මුහුණු පොතට ලියුව අර්ධ කියන කෙටි කතාව වාරණය වෙලා මට සිරගත වෙන්න සිදු වුණානේ. කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවකු ලෙස සිටිය දින 130ක කාලය ගත කරගන්න තමයි මේ සිරගත කළ කතාවක් කෙටි කතා කීපය ලීවේ.

මුහුණු පොතේ අර්ධ වැනි කෙටිකතාවක් පළ කරන්න ඔබ සිතුවේ ඇයි?

ඒ කතාව ලියන්න විශේෂයෙන්ම හේතු වුණේ බුදුදහමේ මහායාන ආගම සහ ථෙරවාද ආගම පිළිබඳ මම ටිකක් හැදෑරීම. එවැනි කෘති ගොඩක් පළ වෙලා තිබෙනවා මීට පෙර. සිදුහත් චරිතය සහ යශෝධරා දේවිය සම්බන්ධ කතා ගත්තාම මාර්ටින් වික්‍රමසිංහගේ බවතරණය, ටෙනිසන් පෙරේරාගේ දැතිරෝදෙන් උපන් බුදුන්, කේ.කේ. සේනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව, භික්ෂූන් වහන්සේලා ගැන උපුල් ශාන්ත සන්නස්ගල ලියුව භික්ෂු පරිච්ඡේදය, කේ.කේ සමන්කුමාරගේ නේරංජනාවේ ස්නානය වගේ පොත් පෙළක්ම තිබෙනවා. මීට කලින් ඕනෙතරම් පොත් වාරණය වෙලාත් තිබෙනවා. දැතිරෝදෙන් උපන්බුදුන්, මේරි නම් වූ මරියා වගේ නිර්මාණ ආගමික අන්තවාදය හේතුවෙන් වාරණය වෙනවා.  ඒත් ලංකා ඉතිහාසයේ පළමුවරට නිර්මාණයක් අරබයා ලේඛකයකු අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම සිදුවන්නේ මාව.

එයින් ගම්‍ය වන්නේ අර සියලු නිර්මාණවලට වඩා ප්‍රශ්නයක් ඔබේ නිර්මාණයේ තිබෙන බවද?

නෑ. ඊට වඩා සමාජයේ ආගමික අන්තවාදය අද පැතිරිලා තිබෙනවා කියන එක කියලයි මම හිතන්නේ. බව තරණයට විවේචන විචාර එනවා. භික්ෂූන්වහන්සේලා මැදිහත් වෙනවා. සංවාදයක් ඇතිවෙනවා. පසුකාලීනව දැතිරෝදෙන් උපන් බුදුන් සහ මේරි නම් වූ මරියා වාරණය වෙනවා. ඒත් ඊටත් වඩා ආගමික අන්තවාදය උඩුදුවලා තිබෙන නිසානේ නිර්මාණකරුවා සිරගත වන්නේ නේද?

ආගම දහම කියන්නේ බොහොම සංවේදී මාතෘකාවක්. තමන් නිර්මාණයක් කිරීමේදී ආගමික සංවේදීතාවට එය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතු ආකාරය ඔබ දකින්නේ කොහොමද?

මමත් සිංහල, බෞද්ධයෙක්. ඒ නිසා ආගම දහම කියන්නේ තවකෙනෙකුට සංවේදී දෙයක් කියලා වෙන් කරන්න බැහැ. මම ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගමික දෙයක් ලියන්න ගියානම් තමයි ගැටලුව. සමාජයේ යන රටාවටම ලේඛකයා ලිවිය යුතුයි කියලා දෙයක් නැහැ. නිර්මාණකරුවෙක් කියන්නේ පවතින රටාව වෙනස් විදිහකට දකින කෙනෙක්. බුද්ධාගමට ප්‍රභේද ගොඩක් තිබෙනවා. වෛතුල්‍යවාදය වගේ. ලෝකයේ වෙන වෙන රටවල ගත්තාමත් බුදු දහම වෙනස්. ලංකාවේ වුණත් ථෙරවාදී කීවාට නිකායන්ම කීයක් තිබෙනවාද? ඒ නිසා සමස්තය ගැන ලේඛකයකුට, නිර්මාණකරුවකුට වෙනස් විදිහට හිතන්න පුළුවන්. නිර්මාණකරුවකු සිතිය යුත්තේ මෙසේයි කියලා කිසි කෙනකුට කියන්න අයිතියක් නැහැ. උදාහරණයකට රයිට්ස් සහෝදරයන් සැලකුවාම, ඔවුන්ගේ පියා පූජකවරයෙක්. එක සාකච්ඡාවකදි ඒ පූජකවරයාම කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ මවලා දැන් උපරිම තැනට ගෙනත් තිබෙන්නේ. තාක්ෂණය ආදි හැම අතින්ම දියුණු කරලා තියෙන්නේ කියලා. එතකොට එතන සිටි එක මනුස්සයෙක් කියනවා ඒත් පූජකතුමනි අපට තවම අහසින් යන්න බැරි වුණානේ කියලා. එතකොට පූජකවරයා කියනවා හා..හා.. ඔයවගේ කතා කියන්න එපා උඩින් යනවා වගේ දේවල් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි කියලා. ඒත් ඒ පූජකයාගේම පුතුන් දෙදෙනා ගුවන් යානය නිපදවනවා. ඉතින් ඔවුන්ගේ තාත්තාට සහ ඒ යුගයේ මතවාදයට අනුව උඩින් යන එක ගැන සිතීම පවා පාපයක්. වෙනස් විදිහට ගිහින් තමයි බුදුදහමත් බිහිවන්නේ. ඉතින් ලෝකේ පවතින දේවල්, සමාජ මතයන්වලට ආලම්වලට විරෝධය, විවේචන එල්ල කරන වෙනස් විදිහට හිතන මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරන්නේ. කාර්ල් මාක්ස්, ලෙනින්ලා ගත්තත් වෙනත් චින්තකයන්, නිර්මාණකරුවන්, තස්ලිමා නස්ලීන්ලා, සල්මන් රුෂ්ඩිලා බිහිවන්නේ පැවතුණු අන්තවාදී ආගම් හා මතවාදවලට විරුද්ධව ගිහින් තමයි නිර්මාණ, දර්ශන, චින්තනයන් බිහි කළේ. කාගේ හෝ හිත රිදෙනවා කියලා නිර්මාණ සීමා කරන්න බැහැ. අනෙක යමෙකුට හිතෙන දෙයින් හෝ ලියන දෙයින් තව කෙනකුට ගැටලුවක් ඇති නොවනවා නම් ප්‍රශ්නයක් නෑනේ. මට කෙනකුට පහර දෙන්න හිතුණා කියලා ලීවට මම එය ක්‍රියාවට නඟන්නෙ නැත්නම්, නීතිමය වශයෙන් කොටු කිරීම් නීති පනවන්න බැහැ. කෙනකුගේ සිතිවිලි, ප්‍රකාශනයේ නිදහස කොහොමද ආගමකින් හෝ සංස්කෘතියකින් පාලනය කරන්නේ කියන දේ ගැන නැවත හිතන්න වෙනවා.

මේ සිදුවීම නිසා ඔබ කියන්නේ බෞද්ධ අන්තවාදයක් රටේ ඇති බවද? 

ඔව්. මගේ කෙටි කතාවට ඔය දේ සිදු වන්නේ බෞද්ධ අන්තවාදය නිසා. මේරි නම් වූ මරියා තහනම් වන්නේ ක්‍රිස්තියානි අන්තවාදය නිසා. තස්ලිමාට ගැටලුව එන්නේ ඉස්ලාම් අන්තවාදය නිසා. මම අර්ධ කියන කෙටි කතා සංග්‍රහයම මුද්‍රණය කරන්න දුන්නා. ආගමික අන්තවාදයන් කොහොම හරි රජය සමඟ බද්ධවීම් තිබෙනවා. ඒ පැවැත්ම තහවුරු කර ගැනීමට අන්තවාදයන් කෙසේ හෝ ක්‍රියා කරනවා. එය සොක්‍රටීස්ට වහදීමේ සිට මේ දක්වාම ක්‍රියාත්මක වෙලා මට වගේම මගෙන් පසුවත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙනවා. අනෙක ලංකාවේ සාහිත්‍යයට බුදුදහමෙන් පෝෂණය ලැබුණා යන්න එක පැත්තකින් සත්‍යයක් වුණත් බුදු දහමෙන් මේරට සාහිත්‍යයට බලහත්කාරකමකුත් වෙලා තිබෙනවා. දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය සියබස්ලකර බවට පත්වද්දි පෙදෙන් බුදු සිරිත ආදී වශයෙන් කියා තිබෙන්නේ පද්‍යයෙන් නම් බුද්ධ චරිතය විතරමයි කියලයි. ඒ කියන්නෙ අනුරාධපුර යුගයේ සිට බලහත්කාරකමක් කෙරෙන්නේ. ඊට පස්සේ සිවුරු හල පුද්ගලයන් අතට පන්හිඳ මහනුවර යුගයේ පත් වුණාම තමයි එය වෙනස් වන්නේ. මාල කාව්‍යය ලියැවෙනකල්ම බුදුගුණ විතරයිනේ ලියැවෙන්නේ. ඒ බලහත්කාරය අදටත් පවත්වාගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා. ඉන් පිටපනින නිර්මාණ ගැන ඔවුන්ගේ තිබෙන්නේ චෝදනා හා ගල්මුල් පමණයි.

මුහුණුපොතේ ලියන සමහර අය ගැන සමහරුන්ගේ මතය වන්නේ ඔවුන් කාඩ්බෝඩ් වීරයන් බවයි?

වික්‍රමසිංහ උපන්දා සිට පොතේ අවසානයට පේරාදෙණි සාහිත්‍යය ගැන කතාකරනවා. ගුණදාස අමරසේකරගේ සහ සරච්චන්ද්‍රගේ නවකතා ගැන කියන්නේ 1960 දශකය වෙද්දි විශ්වවිද්‍යාලවලට යන අය ඒවායින් එළියට ඇවිත් මනස්පුතුන් ඉන්නේ කියලා පහරදෙනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අපි විශ්වවිද්‍යාලයේ ගියාට අපි වෙනස් විදිහට හිතන්නේ කියලා කියන්න. ඒ වගේ තමයි මේකත්. මුහුණු පොතේ ලියන අයම එයින් එළියට ඇවිත් කියනවා ෆේස්බුක් එකේ ලියන අයට කිසි හැදෑරීමක් නැහැ කියලා. ඒක සාමාන්‍යයෙන් එදා සමාජයේ වගේම අද සමාජයෙත් තිබෙනවා. හැටේ දශකයේ සහ අද එය ඉදිරිපත් වන ස්වභාවය පමණයි වෙනස්.

සිරගත කළ කතාවක් පොත කියවන්නෙකුට වැඩිවශයෙන් හමුවන්නේ ඛේදාන්ත, සමස්ත සමාජයම මේතරම්ම අසුබවාදීද?

සුබවාදී හෝ අසුබවාදී වන්නේ තමන් හිතන විදිහ අනුව. විරාගය උදාහරණයට ගත්තොත් අපට කියන්න පුළුවන් අසුබවාදී ඛේදවාචකයක් කියලා. ඒත් කෙනකුට තර්ක කරන්න පුළුවන් ඒ සමාජ ක්‍රමය ඇතුළේ සුබවාදීව ඉදිරියට ගිය චරිතය කවුද කියලා. සමස්ත ගෝලීයකරණ සමාජය තුළ ධනපති රාජ්‍යයන් තුළ මිනිස්සු ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ. ඒ තුළ සුබවාදයක් තිබෙනවා නම් ඒ අපි හිතාගන්න එකක් විතරයි. සමස්තයම ඇත්තටම ඛේදවාචකයක් විතරයි. ක්‍රමය වෙනස් නොකර සුබවාදයකට යන්න බැහැ. මගේ අත්දැකීම්, අවබෝධය සහ දැක්ම කියන සියලු කාරණා අනුව මම හිතන්නේ නැහැ කවුරුත් ජයග්‍රහණය කරා යයි කියලා. අපි සියලුදෙනාම ගොදුරු බවට පත්වෙලා. මම ආගමික අන්තවාදයේ ගොදුරක්. ඔබ තවත් දෙයක ගොදුරක් වෙලා ඇති. තවත් අය තවත් දේවල්වල ගොදුරු වෙලා ඇති. ඒ ක්‍රමය වෙනස් කරන්නේ එක්කෝ පූර්ණ ධනවාදයක් හෝ සමාජවාදයක් විය හැකියි. ආගම්වලින් එය කරන්න බැහැ. මොකද ආගම් කරලා තියෙන්නේම පවතින රාජ්‍යය නඩත්තු කරන එක විතරයි. නැතිව මිනිස්සු හෝ සමාජය හෝ රටක් හැදීම සිදුවෙලා නැහැ. ආගම් නිසා කොයිතරම් විනාශ කිරීම් සිදුවෙලා තිබෙනවාද? කුරුස යුද්ධය, හිට්ලර්ගේ ක්‍රියාවන්, පසුගිය අප්‍රේල්21 සිදුවීම පවා ආගම් නිසා වුණු දේවල්. ආගම් නිසා රටවල් විනාශ වෙනවා. දේශපාලනික වෙනසකින් පමණයි රටක් හැදෙන්නෙ. හැබැයි පූර්ණ ධනවාදයක් හෝ සමාජවාදයක් නැතිව දෝලනය වන අපේ වගේ රටවල තිබෙන්නේ ආගමික සහ ජාතික අන්තවාදය පමණයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.