අක්කා නිසා නෙවෙයි මං රඟපාන්න ආවේ

ඔක්තෝබර් 31, 2019

ඇගේ නම ආරම්භ වන්නේ කාංචනා ලෙසිනි. එහෙයින් හිත මිතුරියන් ඇය ඇමතුවේ කාංචනා නාමය කෙටි කර කාන් යන නමිනි. පසුකාලීනව ඇය ඒ වචන දෙක එකතු කොට කාංචනා කාන් යනුවෙන් තමන්ව හඳුන්වාදීමට පටන් ගත්තීය. එහෙයින් අප රංගන ක්ෂේත්‍රයේ ද දැන් කාන් කෙනෙකු සිටියි.

කාංචනා නර්තනයට උපන් හපනියකි. පසුකාලීනව මෝස්තර නිරූපණයට ද යොමු වූවාය. රංගනයට පිවිසුණේ ඉන් අනතුරුවය. ඉකුත් දා විකාශය නිමාව දුටු නිරාවරණ නාට්‍යයේ වත්සලාගේ චරිතයෙන් කාංචනා වඩාත් ජනප්‍රිය නිළියක් බවට පත් විය. ඇය ප්‍රකට නිළියකගේ නැඟණියක යන වග මේ කතාව අතරතුරදී හෙළිදරව් කළාය.

කොහොමද කාංචනා? 

ගොඩාක් හොඳින් කාලය ගෙවනවා.

කොහොමද වත්සලාට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. වත්සලා කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක්. විවිධ කාලවලදී විවිධ මානසික මට්ටම්වල ජීවත් වෙන කෙනෙක්. බොහෝ දේවල් හදාගෙන තමයි මං මේ චරිතය නිරූපණය කළේ. මේ වෙලාවේ මතක් කරන්න ඕන මට වත්සලා චරිතය බාර දුන් අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු මහත්මයාව. මාව විශ්වාස කරලා ලබා දුන් චරිතය වඩාත් හොඳින් නිරූපණය කළා කියලා හිතනවා.

කාංචනා රංගනයට පිවිසුණේ?

මේක මට පොඩි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. මං හරි ආසම නිළියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇය රඟපාපු නිර්මාණ ඉතාම ආසාවෙන් රස වින්දා. මං එහෙම කළේ මමත් කවදා හරි නිළියක් වෙනවා කියන මතයෙන් හිටපු නිසා. මුලින්ම නර්තනය හැදෑරුවා. ඊට පස්සේ යූත් සෙන්ටර් එකේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඔය කාලෙදි රූප රැජන තරගාවලි කිහිපයකටත් ගියා. ඒවායින් ජයග්‍රහණයන් ලබලා තියෙනවා. මගේ පළමු චිත්‍රපටය සූර්යා. පළමුවැනි නාට්‍යය දාස්පෙතියා. වඩාත් මිනිසුන් අතරට ගියේ නිරාවරණ නාට්‍යයෙන්.

රංගනය ඉගෙන ගෙන පැමිණීම තුළින් මොන වගේ උදව්වක් ද ඔබට ලැබුණේ ඔබේ රංගන කටයුතුවලට?

මං ඉගෙන ගත්තු සමහර දේවල් ප්‍රායෝගිකව රඟපාද්දී ඒ ඒ තැන්වලට ඇප්ලයි කර ගත්තා. ඒක විශාල පහසුවක් වුණා චරිතය හරි හැටි නිරූපණය කරන්න. ඒ වගේම දවස ගානේ මං දේවල් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ප්‍රවීණයන්ගෙන්. දර්ශනයක් රූපගත කිරීමකට සහභාගි වෙනවා කියන්නේ තවත් අත්දැකීමක් අපිට එකතු වෙනවා කියන එකනෙ. රංගනය ඉගෙන ගෙන පැමිණීම අති විශාල උදව්වක් වුණා මගේ ගමන යන්න. අනෙක හිතන තරම් ලෙහෙසිත් නැහැ මේ වෘත්තිය. නිකම්ම දෙබස් කීම රංගනය නෙවෙයිනෙ.

රංගන ක්ෂේත්‍රයේ ඔබේ අරමුණ? 

මට යම් දක්ෂතාවයක් තියෙනවා. ඒ ඔස්සේ චරිතාංග නිළියක් වීම තමයි මගේ එකම අපේක්ෂාව කියලා මට කියන්න පුළුවන්.

ඔබ වඩාත් ගැළපෙන්නේ සිනමාවට ද ටෙලි නාට්‍යවලටද?

ඒක තිරණය කරන්න ඕන මං හිතන්නේ අධ්‍යක්ෂවරයා. මාව සිනමාවට ගැළපෙනවා නම් අධ්‍යක්ෂවරු ඒවට කතා කරයි. ටෙලිවලට ගැළපෙනවා නම් ඒකත් එහෙමනෙ.

කාංචනාට කිසියම් නිර්මාණයක් නරඹද්දී හිතිලා තියෙනවද මේ අධ්‍යක්ෂවරයා යටතේ රඟපාන්න ඇත්නම් කියලා?

ඔව්. නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නිර්මාණ බලද්දී මට හිතෙනවා ඔහුගේ නිර්මාණයකට එකතු වෙන්න ඇත්නම් කියලා. 

ඔබ රඟපාන්නේ තෝරා බේරාගෙනද?

එහෙම තෝරා බේරාගෙන රඟපාන්න බැහැ අපේ වගේ ක්ෂේත්‍රයක් තුළ . හැබැයි ලැබෙන සෑම ආරාධනයකටමත් හා කියන්න බැහැනෙ. හැබැයි මෙතෙක් කතා කරපු නිර්මාණවල චරිතයන් මට ගැළපෙන ඒවා.

කාංචනාගේ පදිංචිය කොහේද?

නුගේගොඩ.

ඉගෙන ගත්තු පාසල?

ගල්කිස්ස බොදු කාන්තා විදුහල.

ඔබේ සොහොයුරිය ගැන සඳහන් කරන්න දැන් වෙලාව?

මගේ අක්කා මනීෂා නාමල්ගම. අක්කා නිසා නෙවෙයි මම රඟපාන්න ආවේ. ඇය මගේ ගමනට බලපෑම් කරන්නේ නැහැ. මං මගේ විදිහට ගමනක් යනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.