සුනිල්.ටී නැත්නම් සකී තවම නෑ

“සකී” හැදූ ඉන්දික වික්‍රමආරච්චි
ඔක්තෝබර් 31, 2019

කාටත් හොරෙන් සකී ඇවිත්

මිථ්‍යා අන්ධකාරයේ ගිලී විද්‍යාව සහ අවිද්‍යාව අතර සිර වූ මිනිසුන්ගේ කතාව රැගත් ‘සකී’ චිත්‍රපටය තිරගත වීම ඇරැඹුවේ ඉකුත් 18 වැනිදා. මේ වන විට චිත්‍රපට ශාලා කිහිපයක තිරගත වන ‘සකී’ චිත්‍රපටය තිරගත වීම ඇරැඹියේ මෙතෙක් චිත්‍රපටයක් තිරගත වීම ඇරැඹීමේ සම්ප්‍රදායික දහරාවෙන් බැහැරව වීම විශේෂත්වයක්. නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඉන්දික වික්‍රමආරච්චි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත.

චිත්‍රපට අධ්‍යක්ෂණයට නවකයකු වන ඔබ තම කුළුඳුල් මහජන ප්‍රදර්ශිත ‘සකී’ චිත්‍රපටය තිරගත කරන්නේද වෙනස් ආකාරයකට නේද?

ඔක්තෝබර් 18 වැනිදා තමයි ඉස්සෙල්ලාම මම මේ චිත්‍රපටය තිරගත කළේ. කටුබැද්ද මැක්ස් ලයිට්, පිළියන්දල ස්කයි ලයිට්, කළුතර මිනර්වා සිනමා ශාලාවල තමයි මුලින්ම මෙය තිරගත කළේ.

කිසිම ප්‍රචාරයක් නොමැතිව?

මම මගේ නිර්මාණය මෙරට සම්ප්‍රදායික ප්‍රදර්ශිත සිනමා දහරාවේ තිරගත කරන්න බොහෝ උත්සාහ ගත්ත කෙනෙක්. ඒත් ඒ අවස්ථාව මට උදා වුණේ නැහැ. උදා කරලා දුන්නෙත් නැහැ. ඒ නිසාම මට සුදුසුයි කියලා හිතෙන ක්‍රමයක් ඔස්සේ මගේ නිර්මාණය මම මහජන ප්‍රදර්ශනයට එක් කළා. ඒ වෙනස මට ඇති කරන්න උදව් කළේ එම්. පී. අයි. මණ්ඩලයේ සුනිල් ටී. මහත්තයා. එතුමා තමයි මට මේ ශක්තිමත් දෑත් දිගු කළේ.

සාම්ප්‍රදායික චිත්‍රපට ප්‍රදර්ශිත දහරාවට ඔබ අභියෝගයක් නෙවෙයිද ඉදිරිපත් කළේ?

මගේ මේ ‘සකී’ චිත්‍රපටය මේ රටේ අසීමිත ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් අනුමත කරපු චිත්‍රපටයක්. චිත්‍රපටයේ වැඩ ඉවර කරලා අවුරුදු ගාණක් මම බලන් හිටියා. චිත්‍රපට ප්‍රදර්ශිත මණ්ඩල කීපයකටම පෙන්නුවා. ඒත් ඒ අයගෙන් යහපත් ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. ඊ. ඒ. පී. මණ්ඩලයට චිත්‍රපටය පෙන්නුවා. ඒ අය කිව්වේ එයාලගේ හෝල්වල පෙන්වන කොලිටිය චිත්‍රපටයේ නැති නිසාත්, ජනප්‍රිය නළුවන් නිළියන් චිත්‍රපටයේ නැති නිසාත් චිත්‍රපටය ප්‍රදර්ශනයට භාර ගන්න බැහැ කියලයි.

ඔය විදියට කීප දෙනෙකුටම පෙන්නුවා කිසියම් හෝ මණ්ඩලයක මෙය පෙන්නා ගන්න. ඒත් ඒ අය සුබදායී පිළිතුරක් දුන්නේ නැහැ ඔවුන්ගේ කොලිටිය මේ චිත්‍රපටයේ නැහැ කියලා. අවසානයේ එම්. පී. අයි. මණ්ඩලයේ සුනිල් ටී. මහතා පොරොන්දු වුණා මේ චිත්‍රපටය හොඳ එකක්. මම මගේ සර්කිට් එකේ හෝල් ටික දෙන්නම් කියලා. ඔයා චිත්‍රපට සංස්ථාවෙන් අවශ්‍ය දේවල් සකස් කරගන්න කියලා. කවුරුවත් කැමැති වුණේ නැහැ චිත්‍රපට සංස්ථාවේ අණ පනත්වලින් එහාට යන්න.

චිත්‍රපට සංස්ථාව සමඟ ඔබ මේ ගැන කතා කළේ නැද්ද?

මම ඔවුන් සමඟ කතා කළා. එයාලගේ සංස්ථා මණ්ඩලයේවත් පෙන්වන්න එයාලට භාර ගන්න බැහැ කිව්වා. අවසානයේ ඔවුන් මට කිව්වා ඔයා පෙන්න ගන්න හෝල් හොයා ගන්න කියලා. ඒ අනුව තමයි මම සුනිල් ටී. මහත්තයා හමු වුණේ. එතුමාගේ එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලා දහයක් තියෙනවා. ඒ දහයේ මට පෙන්න ගන්න අවස්ථාව දෙන්න කැමැති වුණා.

සංස්ථාව පැත්තෙන් ප්‍රතිචාරය කොයි වගේ වුණාද?

සංස්ථා මණ්ඩලයේ බෙදා හැරීම් භාරව ඉන්න මහත්තයා තරයේ මගේ ඉල්ලීමට විරෝධය ප්‍රකාශ කළා. මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළොත් නඩු මාර්ගයට අවතීර්ණ වෙනවා ආයතනයේ පනත උල්ලංඝනය කළා කියලා. මට කලින් කියනවා චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගන්න හෝල් හොයා ගන්න කියලා. හෝල් ලැබුණාම පනත උල්ලංඝනය කරනවා කියලා ඒක නවත්වන්න හදනවා.

ඉන්දික මෙය ඔබගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය නොවේද?

මීට කලින් මම කෙටි චිත්‍රපට කරලා තියෙනවා. 2012 වසරේ චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙල සඳහා මම ‘රන්ඩෝට රන්’ නමින් කෙටි චිත්‍රපටයක් කළා. ඒක එම චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය වුණා.

1998 දී මම ‘එරඩු’ කියලා විනාඩි 50 ක චිත්‍රපටයක් කළා. මෙහි හේමසිරි ලියනගේ, අරුණ ගම්මුනේ, චමීකා අලුත්ගේ රංගනයෙන් දායක වෙනවා. මම මේ චිත්‍රපටය ප්‍රසන්න විතානගේ මහතාට පෙන්නුවා. එතුමා මට කිව්වා ඉන්දික මම කැමැතියි මේ චිත්‍රපටයට. ඔබ මේ චිත්‍රපටයේ ජීවිත ස්පර්ශ කරන විධියට මම ගෙඩක් කැමැතියි කියලත් කිව්වා. ඒ චිත්‍රපටය ස්විස්ටර්ලන්තයේ ෆී බුක් චිත්‍රපට උලෙළටත් ඉදිරිපත් කළා. යූ ටියුබ් එකේ වුණත් අද මේ චිත්‍රපටය බලන්න පුළුවන්. මේක කළු සුදු චිත්‍රපටයක්.

ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්?

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ තමයි මම ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ.

ඔබ අතින් වේදිකා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණ බිහි වෙනවා.

‘කිරි සුවඳ’ නමින් මම ඒකාංගික ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ඒත් අනුග්‍රාහකයකු නෙැමැති නිසා පෙන්න ගන්න බැරි වුණා. 1998 දී රජයේ චිත්‍රපට අංශයට මම හිරු උදා වෙලා නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළ සඳහා ඇමැතිතුමා, රසදුන නමින් වේදිකා නිර්මාණ කළා. ප්‍රසිද්ධ වේදිකා නිර්මාණයක් ලෙස මම මිස් ලංකා වේදිකා නාට්‍ය නිර්මාණය කළා. මෙහි ජගත් චමිල, මේනක රාජපක්ෂ, ජානකී හිල්, මධුශාන් හත්ලහවත්ත, මිහිරි ප්‍රියංගනී රංගනයෙන් එක් වෙනවා.

සකී චිත්‍රපටය තුළින් ඔබ සමාජ ගත කරන්න උත්සාහ කළේ මොන වගේ පණිවිඩයක්ද?

මිථ්‍යාව තුළ එල්බ සිටින පිරිසකගේ ඛේදවාචකය තමයි මම මේ සකී තුළින් කියන්න උත්සාහ කළේ. ඒක තවත් විධියකින් කිව්වොත් අවිද්‍යාව විනිවිද දකින්න දරන උත්සාහයක් මම සමාජ ගත කරන්න තමයි මේ චිත්‍රපට නිර්මාණය කළේ.

සකී චිත්‍රපටය නිර්මාණයේදී ඔබට ලැබුණු අභියෝග කොයි ආකාරයෙන්ද ජය ගත්තේ?

මේ චිත්‍රපටය මම කරන්න පටන් ගත්තෙම ස්ක්‍රිප්ට් එකේ ඉඳලම ලියන්න ගත්තෙත් සීමා දමාගෙන. චිත්‍රපටය රූපගත කරන්න මට ගියේ හරියටම සතියක්. රන්මිහිතැන්නේ දවස් පහකුත් තව දවස් දෙකක් කළුතරත් ෂූටින් කළා. මේ චිත්‍රපටයේ රඟපාන සියළු නළුවෝ නිළියෝ නවකයෝ. කවුරුවත් ඒ වෙන කොට කැමරාවක් ඉදිරියේ රඟපාලා තිබුණේ නැහැ. ඒ සියලු දෙනාට මේක අලුත් අත්දැකීමක්.

සුනිල් ටී. මහත්තයා එම්. පී. අයි. මණ්ඩලයේ ශාලා ටික නොදෙන්න ඔබේ ‘සකී’ තවමත් රිල් එක තුළ?

ඔව්. අද වෙන කොට චිත්‍රපට කරලා මණ්ඩලයක් නැතිව පෙන්න ගන්න බැරුව ප්‍රතික්ෂේප කරපු චිත්‍රපට විතරක් 86 ක් විතර තියෙනවා. හැබැයි මේ සියලු චිත්‍රපට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රදර්ශනයට අනුමත වූ චිත්‍රපට. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රදර්ශන මණ්ඩලවල ඉන්න කමිටු සාමාජිකයෝ තෘප්තිමත් නොවීම. කමිටු සාමාජිකයෝ තෘප්තිමත් නම් ඕන මල ජරාවකට සර්කිට් තිියෙනවා.

තිර රචනය වගේම අධ්‍යක්ෂණය ඔබේම වූ මෙම සකී නිර්මාණය නිෂ්පාදනය කළේ කිහිප දෙනෙකුගේ එකතුවෙන්ද?

ඔව්. මගේ මේ චිත්‍රපටය සඳහා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලැබුණේ 2016 වසරේ. මගේ යාළුවෝ හතර දෙනෙක් තමයි මුදල් යෙදෙව්වේ සමගි චිත්‍රපට නමින්.

පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලබන ‘සකී’ ඔබ ඉදිරියටත් තිරගත කරනවාද?

එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලා දහයේම මම මේ චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට සිනමා ශාලා තුනක තිරගත වන චිත්‍රපටය ඊළඟට මම මේ මණ්ඩලයේම තවත් සිනමා ශාලා තුනක තිරගත කිරීම අරඹනවා ඒ ඒ ශාලා අවට ජනතාව දැනුවත් කරමින්. මොකද මම හොඳ නිර්මාණයක් කරලා අත පිහදා ගන්න කොහෙත්ම කැමති නැහැ.

අංක 04, ගම් සභා නිවාස, නාගොඩ, බෝඹුවල, කළුතර ලිපිනයට හෝ 0718348503 අංකයට ඇමතුමක් දෙමින් ‘සකී’ නැරැඹූ සිනමා ප්‍රේක්ෂකයන්ට එහි ගුණ දොස් පවසා සිටින ලෙස ද ඉන්දික වික්‍රමාරච්චි සඳහන් කර සිටියේ එම දිරි ගැන්වීම තමන්ට ලොකු දිරිය ශක්තියක් බවය.

චන්දන දයාසිරිවර්ධන 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.