උග්‍රම ප්‍රශ්නේ තිර නාටක හිඟකම

ඔක්තෝබර් 31, 2019
උදයකාන්ත වර්ණසූරිය

 

ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් පසුගිය සිකුරාදා සිට ප්‍රදර්ශනය ඇරඹිණ. එය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ 24වැනි සිනමා නිර්මාණයයි. අප මෙතෙක් ඔහුගෙන් දුටු ශෛලීන්ට වඩා වෙනස් ආකාරයෙන් නිමවා ඇති මේ චිත්‍රපටය ජනාධිපතිවරණයක් අතළඟ තිබියදී ප්‍රදර්ශනය ඇරඹීම පිළිබඳ මෙන්ම වත්මන් සිනමා ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ අපි ඔහුගෙන් විමසුවෙමු.

 

 

ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් වගේ චිත්‍රපටයක් කරන්න ඔබ හිතුවේ ඇයි?

(සිනාසී) මේ දවස්වල තිබෙන දේශපාලන වාතාවරණය අරමුණු කරගෙන තමයි මේ චිත්‍රපටය කළේ. පිටපත ලියලා නම් ගොඩක් කල් වෙනවා. ඒත් සුදුසුම කාලය මේක කියලා හිතුණා. ඇත්තටම මෙයින් දේශපාලන වටපිටාව බහුලව කතාවෙනවා කීවට චිත්‍රපටයක් හැටියට පවුලේ හැමෝ‌ටම නරඹන්න පුළුවන් විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස තමයි මම හඳුන්වන්න කැමති. මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ අද රටේ යහපත් ජනාධිපතිවරයකු තෝරාගන්න සකස් කළ රියැලිටි වැඩසටහනක් ගැන. ඉතින් මෙහෙමනේ... අපි බෞද්ධ චිත්‍රපටයක් කරනකොට වෙසක් කාලේ අල්ලලා ප්‍රදර්ශනය කරනවා. ළමා චිත්‍රපටයක් නිවාඩු කාලේ ඉලක්ක කරනවා. ඒ වගේ දේශපාලනයට වැඩි බරක් තිබෙන මේ චිත්‍රපටයට සුදුසුම කාලේ මේ කාලේ තමයි.

 

චිත්‍රපටයේ තරගකරුවන්ගේ දේශනා කරන්නේ තමන්ගේ දේශපාලන දර්ශනය සහ සුදුසුකම් ගැන, ඉතින් කෙනකුට හිතෙන්න පුළුවන් මෙය කලදුටු කල වළ ඉහ ගන්න කළ වැඩක් කියලා?

නෑ. එහෙම එකක් නෙවෙයි මෙය. මම කොහෙත්ම මෙයින් වාණිජ අරමුණු ඉටු කරගන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ මූලික අරමුණ තිබුණේ හොඳ නිර්මාණයක් කිරීම. ඒවගේම මේ අවස්ථාවෙන් බැහැර වුණොත් මෙහි තිබෙන වටිනාකම අඩුවෙනවා. අනෙක මම මෙය කිසිම අපේක්ෂකයෙක් අරමුණු කරගෙන කළ එකක් නෙවෙයි. මම කිසිම දේශපාලන කඳවුරකට සම්බන්ධත් නැහැ. ඒ නිසා දේශපාලන වාසිගන්න අදහසකුත් මට නැහැ. ඉතින් මම ස්වාධීනව ඉදිරිපත් කළ චිත්‍රපටයක් ලෙස තමයි මෙය හඳුන්වන්න පුළුවන් වන්නේ. මම දේශපාලනඥයෙක් නෙවෙයි. මටත් නිකං කාලා බීලා ගෙදරට වෙලා ඉන්න තිබුණා. ඒත් මමත් දේශපාලනික සත්ත්වයෙක්නේ. ඒ නිසා මේ අප්‍රසන්න සමාජ වාතාවරණය දිහා බලන් ඉන්න බැරුවයි මේ චිත්‍රපටය කළේ.

 

මෙහි අධික නළුනිළි ගහනයක් ඉන්නවා. මම හිතන්නේ හැටක් විතර. ඉතා සුළු චරිතවලට පවා?

මම එහෙම කළේ කිසියම් අපූර්වත්වයක් කෘතියට ගේන්නයි. අනෙක ආධුනික අය පුරුදු පුහුණු කරලා ගන්න තරම් මිඩංගු කරන්න මට කාලයක් තිබුණේ නැහැ. මොකද ජනාධිපතිවරණයට කලින් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ ඉලක්කයත් එක්ක අපට කාලය සීමා වුණා. අනෙක මම සිනමා ක්ෂේත්‍රයේ දිගු කාලයක් පුරා කෘති 23ක් නිර්මාණය කරලා තිබුණු අත්දැකීම් සහ නළු නිළියන් මා ගැනත්, මට ඔවුන් ගැනත් තිබුණු අවබෝධය නිසා මම කළ ආරාධනය බොහොම කැමැත්තෙන් පිළිගන්න ඔවුන් ඉදිරිපත් වුණා. මේ හේතු වගේම මට තිබුණු ආසාවකුත් නිසා තමයි නළු නිළියන් රැසක් සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටය කළේ.

 

මෙහි දර්ශනතල ඉතා සීමිතයි?

ඔව්. මොකද ඒ කතා තේමාවේ අන්තර්ගතය තුළම තියෙන දෙයක් එය. රියැලිටි ෂෝ එකක් නිසා මට වැඩිපුර ගන්න තිබුණේ ඒ වේදිකාව. ඊට අමතරව දර්ශනතල යොදා ගත්තා වුණත් කතාවේ ආකෘතිය ඉල්ලන ආකාරය සැලකුවාම සීමිත දර්ශනතල තමයි යොදාගන්න සිදුවන්නේ. ඒක මේ ලාබෙට කරපු වැඩක් එහෙම නෙවෙයි හොඳේ. කතාව තුළ තිබුණු කාරණයක් විතරයි.

 

මට දැනුණා මෙය වේදිකා නාට්‍යයක ස්වභාවය වැඩි වශයෙන් උසුලන ගතියක්?

ඒකටත් හේතුව මේ කතාවේ අන්තර්ගතයේ ඇති කාරණය තමයි. රියැලිටි වැඩසටහනේ තරගකරුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නාට්‍යානුසාරයෙන් විවිධ දේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා තමයි මෙය සම්ප්‍රදායානුකූල සෞන්දර්යාත්මක සිනමා නිර්මාණයකට එහා ගිය කෘතියක් කියලා මම හඳුන්වන්න කැමැති. මෙය වෙනමම ඉදිරිපත් කිරීමක්. ඒ නාට්‍යානුසාරී ගතිය මම හිතාමතා කළ දේකට වඩා මේ චිත්‍රපටයේ අන්තර්ගතය තුළින්ම ගොඩනැඟෙන දෙයක්. ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් මගේ අනෙක් සෞන්දර්යාත්මක චිත්‍රපටවලට වඩා වෙනස්.

 

ඒ නිසා උදයකාන්ත ශෛලිය දුරස්වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම මේ කතාවේ චරිත සහ දෙබස් තමයි ප්‍රධාන වෙලා තිබෙන්නේ. රියැලිටි ෂෝ එකේ තරගකරුවන්ට නටන්න ගයන්න දෙයක් නෑනේ. තමන් ජනාධිපති වෙන්න සුදුසු මොකද කියලා කියන්නනේ තියෙන්නේ. ඉතින් දේශපාලනඥයකුගේ පෞද්ගලික ජීවිතය අලළා සෞන්දර්යාත්මක ගුණයෙන් යුතු නිර්මාණයක් කරනවාට වඩා මෙය වෙනස්. එයින් කියැවෙන්නේ මම දිගටම මේ වගේ චිත්‍රපට කරනවා කියලා නෙවෙයි.

 

මේ දින කීපය තුළ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මිශ්‍ර ප්‍රතිචාර තමයි තිබෙන්නේ. රෝස වසන්නතය, රන්දිය දහර වගේ මගේ චිත්‍රප‌ට බැලූ අය මොකක්ද මේ උදයකාන්ත කරලා තියෙන්නේ කියලා හිතනවා ඇති. ඒත් දේශපාලනය ගැන උනන්දුවක් ඇති අයට මේ කතාව අපූරු අත්දැකීමක්. ඇත්තෙන්ම මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මගේ කලින් චිත්‍රපට වගේ සෞන්දර්යාත්මක දෙයක් මෙයින් බලාපොරොත්තු වෙන්න එපා, ඊට වඩා ගැඹුරු දේශපාලන දැක්මක් මෙයින් ඉදිරිපත් කරන්නේ. ඒත් චිත්‍රපටයක් නිසා මම පුළුවන් තරම් මෙය විනෝදාත්මක තලයේ තියාගන්න උත්සාහ කළා.

 

රටේ ලොකු අර්බුදයක් තිබෙනවා චිත්‍රපට ප්‍රදර්ශනයට නිදහස් කරගැනීම සම්බන්ධව. ඒ අතර ඔබේ මේ කෘතිය හදිසියේ රිලීස් වුණේ කොහොමද?

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වුණු පිළිවෙළට චිත්‍රපට ප්‍රදර්ශනය විය යුතුයි කියලා නීතියක් තවම නැහැ. අපි අවුරුද්දක් තිස්සේ දන්නවා මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් එන බව. ඉතින් මම ඊ.ඒ.පී මණ්ඩලය සමඟ කතා කළා ජනාධිපතිවරණය සම්බන්ධ කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඔවුන් මුලින් කැමැත්ත දුන්නත් චිත්‍රපටය නිම කරලා අවසාන මොහොතට ආවාම මට අවස්ථාව නොදී හැරියා. සමහර විට මෙහි දේශපාලන දර්ශනය පිළිබඳ යම් විරෝධයක් තිබුණද දන්නෙත් නැහැ. පසුව සී.ඊ.එල් මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ පද්මරාජ් මහත්මයා සහ බෙදාහැරීම් විධායක නිලධාරී තුසිත අල්විස් මහත්මයා මට ශාලා 50ක් ලබා දුන්නා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. මම චිත්‍රපටයක් කළාම එය සාර්ථකව තිරගත වෙයි කියන විශ්වාසයකුත් සිනමාහල් හිමියන්ට තිබීම මෙයට බලපෑවා කියලා හිතනවා. මේ චිත්‍රපටයට විශාල මුදලක් වැය කළා. ලංකාවේ ප්‍රථම වරට කැමරා තුනකින් රූපගත කිරීම් කළා. ප්‍රවීණ කැමරා ශිල්පී ජයනාත් ගුණවර්ධන ප්‍රමුඛව අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ කේ. ඩී. දයානන්ද කැමරා ශිල්පීන් සමඟ. ඩිල් ෆිල්ම්ස් ආයතනයේ ප්‍රවීණ් ජයරත්නගේ සහාය නිසා තමයි මේ චිත්‍රපටයේ ගුණාත්මකබවත් රැකගෙන කඩිනමින් පසු නිෂ්පාදන කටයුතු කරගන්න පුළුවන් වුණේ. මේ චිත්‍රපටයට මුහුරත් උලෙළක් නැහැ. රූපගත කිරීම් අවසන් කළා කියලා පැක්අප් පාටියක් නැහැ. මංගල දර්ශනය කියලා උත්සවාකාරයෙන් ප්‍රදර්ශනය ආරම්භ කළෙත් නැහැ. එහෙම අමුතු විදිහට කළ එකක්.

 

අද රටේ තිබෙන බෙදාහැරීමේ අර්බුදය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තෙන්ම මගේ චිත්‍රපටය නිදහස් වුණාට රටේ චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධ විශාල අර්බුදයක් තිබෙනවා තමයි. එයට වෙනම ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනෙ. අද වනවිට ඊ සිනමා ක්‍රමවේදය නිසා චිත්‍රපට බෙදාහැරීම අවුල් සහගත තත්ත්වයක තිබෙන්නේ. එකම නගරයේ සිනමා ශාලා දෙකතුනම එකම චිත්‍රපටය පෙන්වනවා. ඒ නිසා නිෂ්පාදකවරයාට චිත්‍රපට නිකුත් කිරිමේදී අධික වියදමක් දරන්න සිදුවෙනවා. එය හොඳ දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඇත්තෙන්ම යම් ක්‍රමවේදයක් සකස් කරනවා නම් එයට ශාලා හිමියන් පමණක් නොවේ නිෂ්පාදකවරුනුත් සම්බන්ධ කරගෙන අදහස් විමසිය යුතුයි.

 

මේ වෙද්දි ඉදිරිපත් කර තිබෙන බව කියන ක්‍රමවේදය?

ඒ ක්‍රමවේදයෙත් ගැටලු තිබෙනවා. අපි ක්‍රමවේද කීපයක් ඉදිරිපත් කළා ඒත් එකක්වත් සාර්ථක වුණේ නැහැ. අලුත් ක්‍රමය අනුව ගහලා 100කට පමණ චිත්‍රපටය ලබා දෙන්න ඕනේ. එය නිෂ්පාදකයාට දරන්න අපහසු වියදමක්. අනෙක සුදුසු තත්ත්වයේ පවතින ශාලා තිබෙන්නේ 30-40ක් පමණ තමයි. අනෙක නවක සිනමාකරුවන්ට තමයි මෙහි විශාලම ප්‍රශ්නය තිබෙන්නේ. ඒත් ප්‍රදර්ශක මණ්ඩල සහ ශාලා හිමියන් දකිනවා නම් යම් චිත්‍රපටයක් රසික ආකර්ෂණයට පත්වෙවි කියා ඒවාට අවස්ථාව දෙන්න ඔවුන් කැමැතියි. රෂ් නවකයකුගේ චිත්‍රපටයක් වුණත් මණ්ඩලවලින් බාරගත්තේ ඒ නිසා. හැබැයි හැම නවකයකුගේම හැම චිත්‍රපටයකම ගුණාත්මක නැහැ. ඒවගේ අවස්ථාවල ප්‍රශ්නයක් මතු වෙනවා. සමහර චිත්‍රපට තිබෙනවා ඒවා චිත්‍රපට නෙවෙයි. පසුගිය කාලේ ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට 100ක් පමණ බලලා ඉන් 18ක් පමණ තෝරාගෙන තිබෙනවා ප්‍රදර්ශනයට සුදුසුයි කියලා. මම හිතන්නේ ඒක හොඳයි. මොකද කරන්නං වාලේ චිත්‍රපට කරන්න ගිහින් තමයි අද මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙන්නේ. අපි සුපර්මාකට් එකට දාන භාණ්ඩයක වුණත් ගුණාත්මක බවක් තියෙන්න ඕනෙනේ.

 

සමහරුන්ට අවශ්‍ය ශාලාවක ප්‍රදර්ශනය කරලා චිත්‍රපයක් බවට හංවඩුව ගහගහන්න විතරයි. මේ තත්ත්වය කොහොමද කර්මාන්තයට බලපාන්නේ?

ඔව් ඉතින් පහුගිය කාලේ අපි දැක්කා චිත්‍රපටයක් කියලා ලේබල් ගහලා ඩීවීඩී විකුණගෙන යනවා වෙනම ව්‍යාපාරයක් විදිහට. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. සංස්ථාව මැදිහත් වෙලා එය නතර කළ යුතුයි. මම කියන්නේ ඩීවීඩී අලෙවි කිරීම නෙවෙයි. දුර්වල නිර්මාණ ශාලාවල ප්‍රදර්ශනයට ඉඩ දිය යුතු නැහැ ගුණාත්මක මට්ටමින් අඩුනම්. ඇත්තටම චිත්‍රපටයකට අදාළ වන්නේ නිර්මාණාත්මක හැකියාව. එය කරන කැමරාව මොකක්ද කියන දේ දෙවැනි කාරණයක්. ඇත්තම කතාව නම් මේ වගේ කරන අය සිනමා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිය යුතුත් නැහැ. ඩිස්පැන්සරියක බෙහෙත් කලවම් කළාට වෛද්‍යවරයකු වෙන්නෙ නැහැ වගේ තමයි සිනමා අධ්‍යක්ෂණය කියන දෙයත් විශාල හැදෑරීමක් සහ ප්‍රායෝගික අත්දැකීම් සහිතව කළ යුතු දෙයක්. නිකම්ම දර්ශන ටිකක් පූට්ටු කළාට අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ නැහැ. හොර අධ්‍යක්ෂවරු නිසා තමයි අද ක්ෂේත්‍රය විශාල වශයෙන් හෑල්ලුවීමකට ලක්වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුයි.

සිනමාව වැටිලා-වැටිලා කීවට, වර්තමානයේ චිත්‍රපටත් සෑහෙන හැදෙනවානේ?

මේ වෙලාවේ චිත්‍රපට කර්මාන්තය කිසියම් අවදානමක තිබෙන බව එයින් අපට බැහැර කරන්න බැහැ. අපි කොහොම හරි චිත්‍රපටයක් හදලා ප්‍රදර්ශනයට යොමු කළත් ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අද චිත්‍රපටයක් නැරඹීම කියන්නේ බොහොම සරල දෙයක් බවට පත්වෙලා අලුත් තාක්ෂණය නිසා. ජංගම දුරකථනයෙන් වගේම අන්තර්ජාලය ඔස්සේ ඕනෑම චිත්‍රපටයක් බලන්න පුළුවන් තැනට කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ප්‍රේක්ෂකයන් ශාලාවට ගෙන්වා ගැනීම හරි අමාරු කාර්යයක් වුණත් සිංහල චිත්‍රපට බලන්න කිසියම් ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා. එදා නම් කුමක් හෝ චිත්‍රපටයක් කීවාම බලන්න රසිකයන් ආවත් අද ප්‍රේක්ෂකයන් අද්දා ගැනීමට නම් විශාල අමුත්තක් ඒ නිර්මාණයේ දක්න‌ට ලැබෙන්න ඕනෙ. තමන් මුහුණ දීපු ප්‍රශ්නයක් මොකක්හරි චිත්‍රපටයක් බවට පත් කරලා හැමෝම ඇවිත් බලපල්ලා කීවට කවුරුත් එන්නේ නැහැ. මුළු මහත් සමාජයටම දැනෙන දෙයක් අමුත්තක් චිත්‍රපටයට තිබිය යුතුමයි. එය ලොකු අභියෝගයක්. එයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දුන්නොත් විතරයි. ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්වලත් මම උත්සාහ කළේ ඒ වෙනස ඇති කරන්න.

 

අපි බලාපොරොත්තු වුණේ ගින්දරී 3 ඔබ ඉදිරිපත් කරයි කියලා?

අද චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන එක දැවැන්ත ආයෝජනයක්. ව්‍යාපාරික කටයුත්තක්. ගින්දරී 1 සහ 2 ලැබූ සාර්ථකත්වයත් මට බලපෑවා ගින්දරී 3 නිෂ්පාදනය කරන්න. ප්‍රේක්ෂකයන්ගේ විශාල ඉල්ලීමකුත් තිබුණා ඒ ගැන. ලබන වසර මුල වෙද්දි ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙනවා. දැන් සියලු කටයුතු කරලා අවසන් චිත්‍රපටයේ. පරිගණක සජීවීකරණ කටයුතු විශාල වශයෙන් තිබුණු චිත්‍රපටයක් ගින්දරී3. ඒවාට සෑහෙන කාලයක් ගියා. මම හිතන විදිහට ලංකාවේ මෙතෙක් නිර්මාණය වුණු චිත්‍රපට අතරින් වැඩිම පරිගණක සජීවීකරණ කටයුතු ඇතුළත් චිත්‍රපටය වන්නත් පුළුවන් මෙය. පබෝදා සන්දීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිත රඟපානවා. තවත් යක්ෂණියන් තුනදෙනෙක් අලුතෙන් එකතු වෙනවා. චූලක්ෂිත් ප්‍රධාන යක්ෂ චරිතයක් රඟපානවා.

ප්‍රේක්ෂකයන් බොහෝ විට ස්වාභාවිකත්වයෙන් මිදුණු කතාවලට කැමැති කුමක් නිසා කියලාද ඔබ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සිතන්නේ?

අපි ලෝක සිනමාව ගත්තත් වැඩිම ආදායම් ලබන්නේ බැට්මෑන්, හැරිපොටර් වගේ ෆැන්ටසි කතා. ප්‍රේක්ෂකයන් කැමැතියි සාමාන්‍ය ජීවිතයෙන් ඔබ්බට ගිහින් ජීවත් වෙන්න. ඒ වගේම සිනමාවට අද නව තාක්ෂණය නිසා හැකියාව ලැබී තිබෙනවා ඒ වගේ නිර්මාණ මවන්න. යථාර්ථයෙන් ඔබ්බට ගිහින් මායාමය ලෝකයක ඉන්න ප්‍රේක්ෂකයන්ට ඇති කැමැත්ත නිර්මාණකරුවන් අවබෝධ කරගෙන තිබෙනවා.

 

ගින්දරි 3න් පස්සේ?

කොස්තාපල් පුඤ්ඤසෝම 2 ත් ගිනි අවි සහ ගිනි කෙළි 2 ත් ලබන අවුරුද්දේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඇයි ඔබ නවතම නිර්මාණයකට නොගොස් දෙවැනි කොටස්වලට වැඩි අවධානය යොමු කරන්නේ?

අලුත් චිත්‍රපටවලට වඩා කළ චිත්‍රපටයක දෙවැනි කොටසක අවදානම ටිකක් අඩුයි. එහෙම කියලා ඒවාම කරන්නේ නැහැ. අලුත් ඒවාටත් යනවා. ඒත් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමකුත් තිබෙන නිසා තමයි දෙවැනි කොටස්වලට යොමු වෙන්නේ.

 

ඔබ නිරන්තර ඔබේම තිරරචනාවලට සීමා වෙනවා?

ඔව්. ඒකට හේතුව මම ලියද්දි මගේ හිතේ රූප රාමු මැවිලා ඉවරයිනේ. ඒක රූපගත කිරිමේදී පහසුවක්. ඒ කියලා වෙන කෙනකුගේ හොඳ, ඇඟට දැනෙන තිරපිටපතක් ලැබුණොත් නොකර ඉන්නෙ නැහැ මම. ඒත් ඇත්තටම ලංකාවේ තිබෙන උග්‍රම ප්‍රශ්නය තමයි තිර රචකයන් හිඟකම. ටෙලි නාට්‍ය ලියනවා වගේ ලේසි වැඩක් නෙවෙයි පැය දෙකකට ගොනු කරලා චිත්‍රපට පිටපතක් ලියනවා කියන එක. අද අපේ බොහෝ චිත්‍රපට අසාර්ථක වෙලා තිබෙන්නේ පිටපත්වල දුර්වලතාවය නිසා. විශේෂයෙන් විනෝදාත්මක චිත්‍රපටවල අපි කොයි තරම් සින්දු, ෆයිට් දැම්මත් වැඩක් නැහැ පිටපත ප්‍රබල නැත්නම්. ඇත්තෙන්ම කලාත්මක සිනමාවට රජයේ අතහිත මීට වඩා ලැබෙන්න ඕනා. ඒ වෙනුවෙන් රජය පෙනී සිටින්න ඕනා. අපි දකිනවා කලාත්මක චිත්‍රපට කරලා වේදනාවෙන් පසුවන අධ්‍යක්ෂවරුන්. මම නම් කලාත්මක සිනමාව කියලා සම්මාන ගන්න වගේ දේවල් ගැන බලාපොරොත්තුවක් නැහැ. රන්දිය දහර, ලේ කිරි කඳුළු, මධුර චාරිකා වගේ කලාත්මක පැත්තට බර වුණු මගේ චිත්‍රපට හැමදාම වාණිජමය අතින් පාඩුයි. ඉතින් හැමදාමත් පාඩු ලබන්න බෑනේ. අනෙක කලාත්මක සිනමාවට පමණක් යොමු වුණොත් මගේ මේ ගමන් මගේ වැඩිදුරක් යන්න ලැබෙන එකක් නැහැ. වාණිජ හෝ කලාත්මක කුමක් වුවත් ගුණාත්මක චිත්‍රපට කරලා මගේ ආසාව සන්සිඳුවා ගෙන තෘප්තියක් ලබන්නයි මම චිත්‍රපට කරන්නේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.