මගේ ප්‍රසංගය සිනමා මතක ආවර්ජනයක්...

නොවැම්බර් 7, 2019

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වූ “අඟුරු සිත්තම්”ටෙලි සිත්තම වර්ණවත් කරමින් ඉමහත් ජනාදරයට පත් වූ ඇය නමින් කාංචනමාලා මහවිතාන ය. ඇය විටෙක ගායිකාවකි. විටෙක නර්තන ශිල්පිනියකි. තවත් විටෙක රංගන ශිල්පිනියකි. වේදිකාව, පුංචි තිරය, සිනමාව ඇයට හොදින් හුරු පුරුදුය. ලේඛන කලාව කෙරෙහිද ඇගේ සිතෙහි ඇත්තේ ඉමහත් කැමැත්තකි. ඇගේ වචනයෙන් මේ සියල්ල ඇයට දෙවියන්ගෙන් ලැබුණු අපූර්ව දායාදයකි. මේ සියලුම කටයුතු මධ්‍යයේ ඇය අපූර්ව කටයුත්තකට සූදානමින් සිටින්නීය. ඒ ඇයගේ සජීවී ගී ප්‍රසංගය වෙනුවෙන්ය. සරසවියයේ මේ අවකාශය ඒ සොඳුරු කර්තව්‍යය වෙනුවෙනි.

ඔබේ ප්‍රසංගය 13 වන වරටත් පැවැත්වෙනවා?

මේක ඉතිහාසගත සිදුවීමක්. මම මේ ප්‍රසංගය අවුරුදු ගණනාවක සිට කරනු ලබන දෙයක්. මෙවරත් එය මේ මස 10 වැනි දින සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී මගේ සහෘදයන් වෙනුවෙන් තිළිණ වීමට නියමිතයි. ඇත්තටම “කාංචනමාලා ලයිව් ඉන් කොන්සර්ට්” තිළිණයක්ම පමණයි. මේ සඳහා කිසිදු මුදලක් මම අය කරන්නේ නැහැ. මම කතා කරන්නේ සිනමා සංගීතය ගැන. ඒ තුළින් සමාජයට මියුරු ගීත රසවින්දනයක් ලබාදීමත් සැබෑ රසය කෙරෙහි ඔවුනට මාවතක් විවිර කර දීමත් තමයි මගේ අරමුණ. අපේ ප්‍රවීණ කලාකරුවන්ටත් මෙය උපහාරයක් වේවි. මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න කියලා මගේ සිතට ශක්තිය ලබා දුන්නෙ මගේ දිවංගත ආදරණීය සැමියා සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ.

මේ තරම්ම ඔබ ගායනයට ළෙංගතු වුණේ කොහොමද?

මුල්කාලෙ මං වඩාත් දක්ෂ වුණේ සංගීතයට වඩා නර්තනයට. දැන්නම් මම වඩාත් කැමති ගායනයට. හැබැයි වේදිකාව මට විශේෂයි. මම වේදිකාවේ සිට ගී ගයනකොට සැමියා තමයි කීවේ ගී ගයන්නත් උත්සාහ කරන්න ඔයා ඒකට දක්ෂයි කියලා. ජනකවි, නාඩගම් ගීත, නූර්ති ගීත ගායනා කරනකොට ඔහු මගේ හැකියාව හඳුනා ගත්තා. ඔහුගේ චිත්‍රපට දෙකකත් මම ගී ගායනා කරලා තියෙනවා. මම ටෙලි නාට්‍ය කීපයකත් ගී ගැයුවා.

ඔබේ දක්ෂතාවයන් හඳුනාගත් ඔහුගැනත් මතක් කරමු.

මගේ සැමියාට පැරණි සිනමාවේ ඕනෑම තැනක් හොදට මතකයි.ඉස්සර මං ඔහුගෙන් ඒ පිළිබඳ කතාන්දර අහන්න ගොඩක් කැමතියි. මගේ සැමියා රුක්මණී දේවී මහත්මියගේ සිට මෑත කාලයේ උරේෂා රවිහාරි දක්වා ගායිකාවන්ගේ යුගය දක්වාම සංගීත ක්ෂේත්‍රයේ වැඩ කළා. සංගීතඥයෙක් වගේම ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඉස්සර මම හිතින් කඩන් වැටුණාම මගේ වාරුව වුණේ ඔහුයි. ඔහු නැති අඩුව සැබවින්ම ජීවිතේ හිස්තැනක්. නමුත් නැවතිලා බැහැනෙ ඉතිං. හැමදේම දරාගෙන ජීවිතේට සතුටින් මුහුණ දෙනවා. ඔහු වෙනුවෙන් මගේ අතින් නිර්මාණයන් පවා බිහිවුණා. “ප්‍රියයාණෙනි” බිහිවන්නේ ඔහු ජීවත්ව සිටි කාලයේ. පසුව “ඔහු නික්ම ගිය වගයි” කෘතිය නිර්මාණය වෙනවා. ශිල්පිනියක්වූ බිරිඳ විසින් ශිල්පියෙක් වු සැමියා වෙනුවෙන් නිරිමාණය කළ එකම නිර්මාණය මෙයයි. දෙදෙනාම ශිල්පීන් වීම විශේෂයි.

පැරැණි සිනමා ගීතම මේ සඳහා ඔබ තෝරා ගන්නේ විශේෂ හේතුවක් ඇතිවද?

පැරණි සිනමාවට මම ගොඩක් ලැදියි.ඒ වගේම තමයි වර්තමානයේ මිනිසුන්ට අපේ සැබෑ රසය අමතක වෙලා. බොහෝ අය සංගීතය කියලා විඳින්නේ සංගීතය නෙමෙයි.සැබෑ සංගීතයට හැකියි ව්‍යාධී වූ අපේ මනස සුවපත් කරන්නට. පැරැණි සිනමා ගීත ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන්ද පොහොසත්. මගේ තෝරා ගැනීමට හේතුව එයයි.දුරස් වී තිබෙන මේ රසය ආවර්ජනය කරන්නට සුදුසුම දේ තමයි අපේ පැරණි සිනමාව. මම මේ සඳහා තෝරා ගත්තෙ ඉතාමත් විරල ගීත. සිංහල, හින්දි, දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම ගී ඇතුළත්. මම ප්‍රසංගයක එකම ගීතය දෙවරක් ගයන්නේ නැහැ. ඉතින් ආරාධනා කරනවා එදාට ඇවිත් සැනසිල්ලෙ සින්දු අහන්න.

වර්තමාන සිනමාව හා සිනමා සංගීතය ගැනත් ඔබට අදහසක් ඇති?

අපිට මුලදි ඉතා රසවත් සිනමා ඉතිහාසයක් තිබුණා. එහි සංගීතයත් අපව අමන්දානන්දයට පත් කළා. හියුගො ප්‍රනාන්දු වැනි ශිල්පීන් මෙහිදී අමතක කළ නොහැකියි. දැන් අපිට එහෙම දේවල් නෑ. වටිනාකම එන්න එන්නම අඩු වෙලා. නමුත් කිව යුතුයි අතළොස්සක් ඉන්නවා මෙහි වටිනාකම් සුරකින්න. සුනිල් ආරියරත්නයන් මෙහිදී විශේෂයි. ඔහුගේ විජයබා කොල්ලය, කුස පබා වැනි චිත්‍රපටවල අපූර්ව විචිත්‍රත්වයක් තිබුණා.“පහ සමත්” චිත්‍රපටයේද කලා අධ්‍යක්ෂණය අති විශිෂ්ටයි. සිනමා හැගිම් උද්දීපනය කරගෙන නරඹන්නට හැකි සිනමා පට නව පරපුරෙන් බිහිවෙනවා අඩුයි. ඒ ගැන කණගාටුයි. සිනමා ගීතය ගැන කතා කළොත් ජෝතිපාල මහත්මයාට එහා ගිය ගායකයෙක් නැහැ පැරණි සිනමා ගීතයේ රසවින්දනයට. ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි ශිල්පිනියන්ට සම කරන්න පිරිස් නැහැ. නමුත් උරේෂා රවිහාරි, උමාරියා සිංහවංශ, නිරෝෂා විරාජිනී වැනි ශිල්පිනියන් කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකියි. වර්තමානයේ මෙවැනි සුළු පිරිසක් මෙය අල්ලාගෙන සිටිනවා. ඔවුන්ට හති වැටුණොත් අනාගතය ඛේදවාචකයක්.

මෙවර ප්‍රසංගය වෙනදාට වඩා විශේෂයිද?

මෙවර ප්‍රසංගය මට සුවිශේෂියි. මගේ පුංචි මිණිපිරිය ආයු වෛධූර්යා මා සමග ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි. ඇයට තවම අවුරුදු තුනයි. මා මෙවර ප්‍රසංගයේදී දරු නැළවිලි ගී 6ක් පමණ තෝරාගෙන තිබෙනවා. එය විචිත්‍රවත් කිරීමට ඇය මා සමග එක් වෙනවා.

ඔබේ විශේෂ ආරාධනයෙන් එදින සන්ධ්‍යාව හැඩ කරන්නට ඔබ සමග එකතු වන පිරිස?

පූජා උමාශංකර් මගේ හිතවතිය මෙවරත් මගේ ආරාධනයෙන් ප්‍රසංගයට සහභාගී වෙනවා. මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මහාචාර්ය පැට්‍රික් රත්නායක, සනත් ගුණතිලක, සුමනා අමරසේන, ශ්‍රියානි අමරසේන ඇතුළු මගේ සහෝදර කලා ශිල්පීන් රැසක් මා සමග එකතුවෙනවා. මෙහිදී මගේ හිතවත් පැට්‍රික් රත්නායකයන් කියු දෙයක් මට සිහිපත් වෙනවා. “කාංචනමාලා හැම අවුරුද්දෙම සංගීත දානයක් දෙනවා” කියලයි ඔහු කියන්නෙ.

මේ තරම් දැවැන්ත කර්තව්‍යයක් පිටුපස ඔබට සහයෝගය දෙන පිරිසකුත් ඇති?

මෙවර සංගීතයෙන් දායක වන්නේ යුද හමුදා පෙරදිග තූර්ය වාදක මණ්ඩලයේ මේජර් ජයරත්න ඇතුළු පිරිසයි. නර්තන නිර්මාණය මගේ දියණිය චමත්කා වීණාවි ලියනගේ සමග “නිර්මාණී” සංගීත පදනම.නර්තනය නිර්මාණය වන්නේ නිහාල් පෙරේරා නර්තන ආචාර්යවරයාගේ දායකත්වයත්යෙන්. වසර ගණනාවක සිට මෙය මෙහෙයවන්නේ ජනප්‍රිය කලාකරු රුවන් වික්‍රමසිංහ. ඒ වගේම වජිර එදිරිමාන්න, මයික් ප්‍රනාන්දු, සමන් ප්‍රියංකර නම්මුනිගේ, රමේෂ් උවයිස්, රංග සොයිසා, උපසේන සුභසිංහ, ඩබ්ලිව් ඩී අමරවර්ධන ඇතුළු පිරිස ඔවුන්ගේ සහයෝගය මට ලබාදෙනවා. මේ සියල්ලන්ගේ එකතුවෙන් එදින වර්ණවත් වේවි.

ඔබේ වර්තමාන කලා කටයුතු ගැනත් අපි දැනගන්නට කැමතියි.

මේ දවස්වල විකාශනය වන රන්බැදි මිනිස්සු, කුමී, අමුතු රසිකයා, පියවර ටෙලිනාට්‍ය සඳහා රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම අල්ලපු ගෙදර වේදිකා නාට්‍යය මේ දිනවල වේදිකාගත වෙනවා. ඉදිරියේදි හොඳ නිර්මාණවලට දායකවෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

කලාවට ලැදි ඔබත් සමග කලාවට හිතැති පවුලකුත් ඇති?

ඇත්තෙන්ම මගේ පවුල කලාවට බොහොම සමීපයි. මගේ මහත්තයා ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි ලියනගේ. පුතා බුද්ධික සහන්. ඔහු බෞද්ධයා රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතතු කරනවා. ලේලි සිතුවිලි සිතාරා. ඇය රූපවාහිනී නිවේදිකාවක්. මගේ දුව චමත්තා වීණාවි. ඇය නර්තන ශිල්පිනියක්. මගේ පුංචි මිණිපිරිය ආයු වෛධූර්යා.ඇයත් කලාවට හපනියක්. මේ හැමෝගෙන්ම මට ලැබෙන සහයෝගය ඉහළයි.

ඔබ ගැනත් කෙටියෙන් කියමු.

අසාධාරණය මට පෙන්නන්න බැහැ .මට තරහ ගියාට තරහ තියෙන්නෙ පොඩි වෙලාවයි. කොයිතරම් කාර්යබහුල වුනත් මම හැමවෙලේම සතුටින් ඉන්න උත්සාහ කරනවා.කොළඹ මහ නගර සභාවේ නාගරික ලේකම් දෙපාර්තමේන්තුවේ කළමණාකාර සහකාරවරියක් ලෙසත් කටයුතු කරනවා. සැමියා අහිමි වුනත් මම ජීවන අභියෝගවලට නොබියව මුහුණ දෙන කෙනෙක්. ඔහුගේ මතකය මට ශක්තියක්.බුදු දහම ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. මම සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයි.

සරසවියේ සහෘද හිතවතුන්ට පණිවිඩයක් දෙනවානම්?

අනුන්ට ඊර්ෂ්‍යා නොකර ජීවත් වෙන්න කියලයි මම සමාජයෙන් ඉල්ලා සිටින්නෙ. එයින් පිරිහෙන්නෙ තමන්මයි. කාන්තාවන්ට විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා ඔබ ලස්සනට ඉන්න. අභියෝගවලට මුහුණ දෙන්න කාන්තාවක් වීම ගැටලුවක් කරගන්න එපා. ඔබ හිතින් ශක්තිමත් නම් එහි ප්‍රතිඵලත් බොහෝ සුන්දර වේවි.

ඉනුෂි මධුෂිකා නවරත්න 
ප්‍රදීෂා ගයන්තිකා 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.