පෙම්වතිය දුරනම් ළංවෙන්න කියන්නෙ මගේ බිරිය

නීල පබළු අභිමන් ජනප්‍රිය නළු සුමිරන්
නොවැම්බර් 7, 2019

ඇත්ත නම යටපත් වෙලා නේද?

ඒකනෙ අයියේ සුමිරන් ගුණසේකරව අමතකයි. නීල පබළු නාට්‍යයේ අභිමන් තමයි දැන් මිනිස්සුන්ට මතක.

මේ සැරේ සුමති සම්මානවල ජනප්‍රියම නළුවා වුණෙත් ඒකනෙ?

ඒක තමයි මං හිතන්නේ මේක අභිමන්ට ලැබුණු සම්මානයක්. හිතුවෙම නැහැ නීල පබලු නිසා මේ වගේ සම්මානයක් ලැබේවි කියලා.

සම්මානයේ සතුට කොහොමද සැමරුවෙ?

ජනප්‍රියම නිළිය වුණෙත් නීල පබළු නාට්‍යයේ ඉන්න නයෝමි තක්ෂිලා. නීලපබළු අධ්‍යක්ෂ අපේ සඳුන් අයියා, සඳුන් රාජකරුණා අපි දෙන්නව ඩිනර් එකකට එක්කගෙන ගියා. ඒක ඉවර වෙලා එද්දී පාන්දර තුනට විතර ඇති. එතකම්ම මගෙයි වයිෆ්ගෙයි අම්මලා තාත්තලා ඇහැරගෙන හිටියා මං එනකම්. වයිෆ්ට එහෙම දරා ගන්න බැහැ. එයා ඇඬුවා.

ඔබ විවාහ වෙලා කියලා සඟවන්නේ නැහැ?

විවාහ වෙලා විතරක් නෙවෙයි මං දැන් පිය පදවියත් ලබන්න සූදානමින් මේ ඉන්නේ.

ඔබේ මේ විවෘතව කතා කිරීම ජනප්‍රියත්වයට බලපාන්නේ කොහොමද?

මං හිතන්නේ මං විවෘතව කතා කිරීම හින්දම තමයි ජනප්‍රිය. අපේ අය හිතාගෙන ඉන්නවා තරුණ නළුවකු හෝ නිළියක් විවාහ වුණාම ජනප්‍රියත්වය අඩු වෙනවා කියලා. ඒක මේ අපේ වගේ රටවල පවතින දෙයක් හැටියටයි මට හිතෙන්නේ. හැබැයි දැන් දැන් ඔය තත්ත්වය ටිකක් මගහැරිලා තියෙනවා. රසික රසිකාවන් ආසයි තමන්ගේ ප්‍රිය කරන උදවියගේ පවුලේ විස්තර දැනගන්න. විවෘතව කතා කිරීම නිසාම අපට ළෙංගතු වන්න පිරිසක් වෙනමම බලාගෙන ඉන්නවනෙ.

ඇතැම් කලාකරුවෝ කියනවා ඔවුන්ගේ ජීවිතයේ පෞද්ගලික දේවල් ප්‍රේක්ෂකයන් දැන ගත යුතු නැහැ කියලා?

ඒකත් ඔය කවුරු හරි හදපු මතයක් විතරයි. ඒ පස්සේ යන අයත් ඉන්නවා. මං හිතන්නේ විවෘත වීම තමයි වඩා වැදගත්.

ජනප්‍රිය නළුවා වුණායින් අනතුරුව ඔබ ලැබූ හොඳම ප්‍රතිචාරය මොකක්ද?

ප්‍රතිචාරයට වඩා ඒක මට අත්දැකීමක්. අමතකම නොවන අත්දැකීමක්. සම්මානය අරගෙන වේදිකාවේ ඉන්න කොට සුමනා අමරසිංහ මැඩම් වේදිකාවේ ඉඳගෙන මගෙත් එක්ක ෆොටෝ එකක් ගමුද ඇහැව්වා. ඇය වගේ කෙනෙක් මගෙත් එක්ක ෆොටෝ එකක් ගමු කිව්වා. මට කොච්චර ආඩම්බරයක්ද, ෆොටෝ එක ගන්න කොට කිව්වා ඔයා තමයි මගේ ආසම නළුවා කියලා. ඒ වචනයම ඇති.

ඔබ සම්මානනීය වුණායින් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හැදුණු පෝස්ට්වල තිබුණා ජනප්‍රිය නළුවා වුණාට මෙයාලව අපි ජීිවිතේට දැකලා නැහැ කියලා?

මම නෙවෙයි අද කාලේ විජය කුමාරතුංග මහත්තයා සම්මාන ගත්තත් ඔය වගේම කියාවි. ඒක ලංකාවේ හැටිනෙ. ඔහොම වෙන්නේ මං හිතන විදිහට නළු නිළියො බෙදාගෙන ඉන්න නිසා. මට කැමැති අය වෙනත් නළුවන්ට ආස නැහැ. වෙනත් නළුවන්ට ආස අය මට කැමැති නැහැ. ඔය වෙලාවට මට සම්මාන හිමි වුණාම වෙනත් අයට කැමැති පිරිස උරණ වෙන්න පුළුවන්. සමහර විට මම නොවී වෙනත් නළුවකු සම්මානය ගත්තා නම් මට කැමැති පිරිස ඔය වගේ දේවල් කියාවි. ඔය රසික පිරිසට මම හරිම කැමැතියි. මොකද ඒ අය නිසා තමයි කලාවේ රඳා පැවැත්ම තියෙන්නේ. ඔය මාව දැකලා නැති අහලා නැහැ කියන අය ඉන්නවා නේද මාව දැක්කම ළඟට ඇවිත් අපූරුවට සේල්ෆි ගහනවා.

ඔබට නීල පබළු නාට්‍යයේ අභිමන්ව හිමි වන්නේ කොහොමද?

මගේ වෘත්තීය නිවේදනයනෙ. සිරසේ නිවේදන කටයුත්තකට මට ආරාධනා කළා චන්දන සූරියබණ්ඩාර මහත්මයා. ඒකට මං ගියා. ඒ අතරතුරදි මට ඔහු කිව්වා ලලිත් වසන්ත මුණ ගැහෙන්න කියලා නාට්‍යයක පොඩි චරිතයක් තියෙනවා කියලා. ලලිත් සර් තමයි නීල පබළු නිෂ්පාදක. මං එතකොට රැවුල ගොඩක් වවලා තිබුණේ. මාව කැඳෙව්වා ස්ක්‍රීන් ටෙස්ට් එකකට. පොඩි චරිතයක්නෙ තියෙන්නේ කියලා මමත් ගියා. ඒකට මුහුණ දීලා ගෙදර එද්දී විනාඩි දහයක් ඇතුළත අධ්‍යක්ෂ සඳුන් මට කතා කරනවා පොඩි පොඩි චරිත නෙවේ. උඹ මේන් රෝල් එකට තෝර ගත්තා. රැවුල කපන්න පුළුවන් ද කියලා. මං එතකොට රැවුලට පට්ට ලව්. අවුරුදු එක හමාරක් තිස්සෙයි මේක වැව්වේ. ගෙදර ගියාම ඒ අය කිව්වා රැවුල නම් කවදා වවන්න බැරිද නාට්‍යයක ප්‍රධාන චරිතයක් කියන්නේ දෙවතාවක් ලැබෙන්නේ නැති චාන්ස් එකක් කියලා. ඔහොම තමයි මං නීල පබළු අභිමන් වුණේ. මං එතකොට නාට්‍යවලින් ටිකක් ඈත් වෙලා හිටියේ. සුළඟ, රන් සමනලයෝ, පිපෙන මල් වගේ නාට්‍යවල රඟපෑවා. වසර හයකට විතර පස්සේ තමයි මෙහෙම රඟපාන්නේ.

බිරියගේ අකැමැත්තක් නැද්ද ඔබ පුංචි තිරයේ පෙම්වතා වීම පිළිබඳ?

කොහෙත්ම නැහැ. ඇය තමයි මෙහෙම හරි මාව චරිතවලට යවන්නේ. ලව් සීන් කරද්දි මං නිළියට දුර වැඩි නම් ඇය කියනවා අපෝ දුර වැඩියි. තව ළඟට වෙලා රඟපෑවා නම් හොඳයිනෙ කියලා.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.