මම රස්සාවකට ගියේ නෑ ගියේ සේවයට

කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
නොවැම්බර් 7, 2019

සතිස්චන්ද්‍ර එදිරිසිංහ.

තවත් මොන හැඳීන්වීම්ද? ඔහුගේ නම කියූ පමණින් වේදිකාව, සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි ඕනෑම වින්දනාත්මක මාධ්‍යයක රසිකයකුට මෙන්ම, හරවත් දේශන, පොතපත පරිශීලනය කරන්නනෙකුට ඒ ප්‍රමාණවත්ය. ඒ, අඩසියවසකටත් අධික කාලයක් ඔහු කලාව වෙනුවෙන් කළ කැපවීම, සුභාවිත රසවින්දනය වෙනුවෙන් කළ මෙහෙය නිසාය. එයින් නිමා නොකළ සිය මෙහෙවර තවත් ඔපවත් කරමින් ඔහු සුවඳ පද්ම නමින් කලාකරුවන් ඇගයීම සඳහාද සම්මාන උලෙළක්ද ඇරඹීය. කෙතරම් බාධක අවහිර මධ්‍යයේ වුවද නොකඩවා පවත්වාගෙන ආ එය ඔහු මෙවරත් සිය සෞඛ්‍ය තත්ත්වය දෙවැනි කොට පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබේ. වෘත්තිය, කලාව, පවුල් ජීවිතය සහ සමාජ සේවය වැනි පුරවැසියකු අතින් ඉටු විය යුතු සියලු අංශවල යුතුකම් ඉටු කීරීමට ඔහු සමත්වූයේ කෙසේද? සුව දුක් මෙන්ම සුවඳ පද්ම පිළිබඳ විමසන අතර සරසවියගේත් සියලු කලාලෝලීන්‌ගේත් ආසිරි රැගෙන සරසවිය අපි ඔහු මුණගැසීමට ගියෙමු.

අපි ආවේ දුක සැප බලන්නයි සම්මාන උලෙළ ගැන කතා කරන්නයි දෙකටම. ඔහු අසල අසුනක හරිබරි ගැසෙමින් මම කීවෙමි.

"හා... ඉස්සෙල්ල වචනේ දුකනේ... ඒක කියලා ඉමු. මේ දවස්වල පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. එහෙම කිව්වාම දුක ගැන ඇති."

ඔහු සිනාසෙමින් වෙළුම්පටිවලින් බැඳ ඇති පාදය පහසු ආකාරයකට සකසා ගත්තේය. ඒ සමඟම මෙසේ ද කීවේය.

"හැබැයි සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් කමක් තිබුණත් ගෙදර ඉඳගෙන හරි සුවඳ පද්ම සංවිධාන කටයුතු මෙහෙයවනවා. ඒ සඳහා මට අනුර වරාගොඩ, දීප්ති විජේතුංග, ෂෙල්ටන් කරුණානායක වගේම තවත් පිරිස සහාය වෙනවා. ඒ නිසා උත්සව කටයුතු සැලසුම් කළ ආකාරයටම කෙරෙනවා. මට හිතෙනවා මම රෝද පුටුවෙන් එතැනට යන නිසා වෙනදාට වඩා හොඳට ඒ කටයුතු කෙරිලා තියෙයි කියලා. මොකද මාව දැක්කා පොඩි අනුකම්පාවක් අනිත් අයට ඇති වෙලා වැඩිපුර කැපවෙන්න බලන නිසා හොඳම උත්සවේ මේක වෙයි කියලා"

ඔහු ධනාත්මක චින්තනය ලෙස වර්තමානයේ හඳුන්වන නමුදු බුදු දහමට අනුව නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදිමින් යහපත් අරමුණක් සාර්ථක කරගැනීම පිළිබඳ ලෝකයාට යළි සිහිපත් කරන දේශකයකු ලෙස එසේ අධිෂ්ඨානශීලීව කතා කිරීම අරුමයක් නොවේ. ඔහු මුළු ජීවිතයම ජය ගත්තේ ඒ අයුරිනි. එය ඔහුගේ වචනයෙන් මෙසේය.

"අපි සුවඳ පද්ම එකෙන්ම පටන් ගමු. මේ උත්සවය සංවිධානය කරන්නේ මිහිඳු සංස්කෘතික පදනමෙන්. මම වාරිමාර්ග අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු උපදේශකවරයෙක් විදිහට 2009-2010 කාලේ කටයුතු කළා. මට පැවරිලා තිබුණා නිල්දියවර කෙත්යායට කියන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාකාරීව ගොවි ජනතාව සමඟ කටයුතු කරන්න. මට සංකල්පයක් මතු වුණා ගොවි ජනතාව පමණක් නොවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ම මේ පරිසරය සහ ජලයේ වටිනාකම පිළිබඳ දැනුම්වත් කළ යුතුයි කියලා. ජලය හා සම්බන්ධ පොත පත රාශියක් කියවමින් තොරතුරු රැස් කරන්න ගත්තා. වැව් අමුණු, පොකුණු, වාරි සංස්කෘතිය, විවිධ ආගම්වල ජලයට සලකන ආකාරය, ජල භාවිතය පිළිබඳ සෙවිය හැකි සෑම තොරතුරක්ම හෙව්වා. මහජනයා අතරට මෙය ගෙන යා යුත්තේ අඩි 3ක් පළල, අඩි 6ක් උස දැන්වීම් පුවරු 113ක් භාෂා තුනෙන්ම හදලා. ප්‍රදර්ශනයක් කරන්න හිතාගෙන ඉද්දි විෂයය භාර ඇමතිවරුන් මාරුවෙලා මගේ සේවා දිගුව නතර කළා. අලුත් ලේකම්වරයා මට හිරිහැර කරද්දි මම කෙළින්ම ගිහින් ඔහුට කීවා මම මේ ව්‍යාපෘතිය කරන්න ආසයි. මට සල්ලි එපා අනුග්‍රාහකයකු සොයාගන්නම් මට මේ සඳහා ඉඩ දෙන්න කියලා. ඒ ලේකම්වරයාගේ පිළිතුර කොහොමහරි ලියන්න. 'සතිස්චන්ද්‍ර මහත්තයා ඔය ගොවිජනතාව දැනුම්වත් කරන්න එපා. එතකොට අපට කරදරයි'. වෙන කිසිම ලේකම්වරයකු මෙහෙම කියන එකක් නැහැ. මම එළියට ආවා. මේ වැඩේ කොහොමද කරන්නේ කියලා කල්පනා කළා. ගීත නිර්මාණකරුවන්ගේ සංගමය -ඔස්කා සංවිධානයේ මම අධ්‍යක්ෂවරයෙක්. සභාපති ජයන්ත ධර්මදාස මහත්මයා. සනත් ජයසූරිය මහත්මයා තමන්ගේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉල්ලා අස්වුණාම පුරප්පාඩුව පිරවුණේ කිෂු ගෝමස් මහත්මයාගෙන්. එතකොට මම ඔහු අඳුනන්නෙ නැහැ. සංවිධානයේදී එකිනෙකා හඳුන්වාදීලා අඳුනගත්තාම ඔහු ම‌ට කියනවා 'ඔබතුමා මාව අඳුනන්නෙ නැති වුණාට මට නම් අමතක නොවන චරිතයක් ඔබ' කියලා."

පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ කටපාඩමින් කිව හැකි තරම් මතකයක් ඇති සතිස් මහතා එහි එන ආකාරයටම කතාව කීම රසවත්ය.

"ඒකේ අතීත කතාව මෙහෙමයි. මම මහවැලියේදි මගේ සංස්කෘතික බලකාය අරගෙන අපි ගම්උදාවට යනවා. මහවැලියෙන් එතැන හදනවා පන්දහසකට ඉඳගන්න පුළුවන් එළිමහන් රංගපීඨයක් හරියට පේරාදෙණියේ සරසවියේ වළ වගේ. දවස් එකොළහම ඒක බාරව කටයුතු කරන්නේ මම. දවසක් තරුණ කිෂූ ගෝමස් මගෙන් ඇවිත් වේදිකාවයි මයික්‍රෆෝනයයි ඉල්ලුවලු තමන්ගේ පැණි බිම ආයතනයේ ප්‍රවර්ධන වැඩකට. ආණ්ඩුවේ තැනක් නිසා මුලින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළාට මේ තරුණයාගේ උනන්දුව දැකලා මම කීවලු කමක් නෑ ඕන කෙංගෙඩියක් වුණාදෙන් ඔය ළමයා වැඩේ කරගන්නකො කියලා. වේදිකාවේ වහළක් මුකුත් නෑනේ. මට මතකයක් නම් නෑ. මේ තරුණයා කතා කරනකල්ම මම එයා‌ට කුඩේ අල්ලගෙන ඉඳලා. ඒක එයාට මතක තිබිලා. ඒ කතාව අහලා අපි ඔස්කා අධ්‍යක්ෂ හමුවෙන් විසිර ගියා.

ගෙදර ඇවිත් කල්පනා කරද්දි මට හිතෙනවා මේ මනුස්සයා හොඳ කෙනෙක්. මගේ ව්‍යාපෘතිය ගැන කියන්න ඕනෙ කියල. ඊළඟ සභාවාරෙදි මම මගේ සිහිනය ගැන කීවා. අධ්‍යාපන කටයුත්තක් නම් උදවු කරන්න පුළුවන් වෙයි කියලා මට ආයතනයට ඇවිත් හමුවෙන්න කීවා. මම යද්දි ඒ වෙනුවෙන් ශ්‍රවණාගාරය සකස් කරලා. මගේ ව්‍යාපෘතිය ඉදිරිපත් කරන්න කීවා. විනාඩි හතයි. මිලියන තුනහමාරක් අනුමත වුණා. මම පස්වනක් ප්‍රීතියට පත්වුණා. ඒත් පුද්ගලයකුට මුදල් දෙන්න බැරි නිසා සංවිධානයක් අවශ්‍යයි කීවා. මම ගෙදර ආවා. නමක් ගැන හිතුවා. අපේ වාරි සංස්කෘති ආදියේ සියල්ලට මුල මිහිඳු හිමියන්. නමත් හොඳයි ගණත් හොඳයි 'මිහිඳු සංස්කෘතික පදනම' ලියාපදිංචි කළා. මේ පදනමේ අරමුණු තුනයි. එක, සාරධර්ම අධ්‍යාපනය- ආකල්පමය සංවර්ධනය, ධනාත්මක චින්තනය. දෙක, පරිසරය සුරැකීම. තුන, කෘතවේදීත්වය."

පළමුවැනි අරමුණ සාක්ශාත් කරන්නේ සතිස් මහත්තයාමය. ඒ ඔහු‌ගේ දේශන සහ පොත් ඇසුරිනි. මේ වනවිට මිහිඳු සංස්කෘතික පදනමෙන් ඔහු ලියූ උපදේශාත්මක ග්‍රන්ථ 18ක් සහ ළමා පොත් 8ක් නිකුත් කර ඇත. පරිසර අරමුණ කරා ඔවුන් ළඟා වූයේ ව්‍යර්ථ වූ ප්‍රදර්ශනයට යළි පණදීමෙනි. මඩකලපුව, යාපනය, වවුනියාව, තිස්සමහාරාමය, කුරුණෑගල ආදී ප්‍රධාන නගර 25ක වසර දෙකක් පුරා ප්‍රදර්ශනය සහ දැනුම්වත් කිරිමේ දේශන පැවැත්විණි. කෘතවේදීත්වය පළ කෙරුණේ ඒ අතරතුරය.

"පොත් පත් කීපයක් ලියලා ජෝන් ද සිල්වා සමරු රඟහලේ එළිදැක්වීමේ උත්සවයක් පවත්වද්දි මම කල්පනා කළා වැඩේ විවිධත්වයක් තිබුණොත් හොඳ නිසා කලා ක්ෂේත්‍රයේ දෙතුන්දෙනකුට සම්මානයක් දුන්නොත් ආලෝකයක් ලැබෙයි නේද කියලා. මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ගේ ප්‍රධානත්වයෙන් මුල් වර සිට මේ දක්වා පවත්වන උත්සවයේ පළමුවතාවට සුවඳ පද්ම සම්මාන පිදුවේ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග, ආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ කියන තිදෙනාට. දෙවැනි වතාව වෙද්දි ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දස දෙනකුට සම්මාන දෙන්න තීරණය කළාම එය පිරිපුන් උලෙළක් බවට පත් වුණා. තුන්වැනි වතාව වෙද්දි තව සල්ලි ටිකක් හොයාගෙන සම්මාන 16ක් කළා. ඒ වගේම හිතුණ ජාතික තලයේ ශිල්පීන් අගයන අතර කිසිම දවසක සම්මාන නොලබන, රෝගී තත්ත්වයේ පසුවන අසරණ කලාකරුවන් දසදෙනෙක් පිළිබඳවත් අවධානය යොමු කළොත් හොඳයි කියලා. යටි හිතින් හිතා ගත්තා රුපියල් දහදාහ ගාණේ තිලිණ දෙනවාමයි කියලා. සල්ලි තිබුණේ නැහැ. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තකට උදව් කළා ඔය අතරෙ. ඒ දෙමව්පියන් වගේම ඔවුන්ගේ පිටරට නෑදෑයින් මගෙන් අහනවා තෑගි මොනවද ඕනෙ කියලා. මම මුකුත් එපා කීවා. පස්සේ ඒ අය කල්පනා කරලා පදනමට උදව්වක් කරන්නද ඇහුවා. මම කීවා ඒකට කමක් නෑ, පුළුවන් නම් දහදාහේ තෑග්ගකට අනුග්‍රහය දක්වන්න කියලා. පැරීසියේ ඉන්න එයාලගේ නෑදෑයා දහදෙනාටම අනුග්‍රහය දක්වන්න කැමැති වුණා. ඉතින් තවත් අය උදවු කරන නිසා මම තෑගි සංඛ්‍යාව 20ක් කළා. ඒ උදවු නුදුන්නත් උත්සවේ කරන්න පුළුවන් තැනට සංවිධානය ගෙනාවා."

ඔහු කතාව මදකට නතර කර අප දෙස බැලුවේය. සුහදශීලී අවධාරණයක් කළේය.

"මම මේ මගේ හොරණෑව ගහගන්නවා කියලා හිතන්න එපා. මට රටට යමක් කියන්න ඕනේ. තව කෙනකුට ආදර්ශයක් දෙන්න ඕනෙ. කෙනෙකුට යමක් කරන්න අවශ්‍ය නම් ඒ දේ කරන්න පුළුවන් කියලා හිතන්න ඕනෙ. පස්සගහන්න නරකයි. මේ වතාවේ පවත්වන්නේ අටවැනි උපහාර උලෙළ. හැබැයි දහවෙනි සංවත්සරය නිසා ඒ වෙනුවෙන් විශේෂයක් කරන්න ඕනෙනෙ. කලා කරුවෙක් රටට සේවය කරනවා. ඔහුගේ බිරිය ඔහුට සේවය කරනවා. උදාහරණයකට මට මගේ බිරිය නැත්නම් මේ දේවල් කරගන්න අපහසුයි. මගේ දැවැන්ත හෙවණැල්ල. සෑම සාර්ථක මිනිසකු පිටුපසම තවත් ධෛර්යවන්ත සාර්ථක ගැහැනියක් ඉන්නවා කියන්නේ ඒකයි. සමහරුන්ට නැති වෙන්න පුළුවන් ඒත් අපට ඉන්නවා. ඒක වාසනාවක්. ඉතින් ඔවුන්ට කෘතගුණ සලකන්න හිතුවා."

ඔහු එසේ කියන විටත් එදිරිසිංහ මහත්මිය ඔහු වෙනුවෙන් අවශ්‍ය තවත් කටයුතු සම්පාදනයට ගෙතුළට ගොසිනි. ඇයට එය ඇසුණා නම් කොපමණ චිත්තප්‍රීතියක් දැනේදැයි මට සිතිනි. ඔහු දිගටම කියයි.

"ඉතින් මම හිතුවා පණ්ඩිත් අමරදේව, ඔස්ටින් මුණසිංහ, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, ආර්. ආර්. සමරකෝන්, සුගතපාල ද සිල්වා, ගුණදාස කපුගේ, රෝහණ දන්දෙණිය, තිස්ස අබේසේකර, ප්‍රේම කීර්ති ද අල්විස් වගේ කලාකරුවන්ගේ බිරින්දෑවරු සහ බිරියත් නැති අයගේ දුව පුතා අගයන්න. ඒ අයට රුපියල් විසිපන් දහස ගාණේ තෑගි දෙන්න. ජාතික තලයේ අයට දැන් මුල්‍ය ත්‍යාග නොදෙන්නේ මුල් අයට නොදීපු නිසා අසාධාරණයක් වන නිසායි. නැත්නම් අපේ පදනම ඒ සඳහාත් දැන් ශක්තිමත්. අවුරුදු හයක් මගේ තනිකර මහන්සියෙන් මේ කටයුත්ත කළාට ගිය අවුරුද්දේ මම රටේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් එක්ක ගිවිසුමකට අත්සන් කළා ඔවුන්ගේ සන්නාම තානාපති හැටියට කටයුතු කරන්න. ඔවුන්ගෙන් මට හිමිවෙන්න තිබෙන ප්‍රතිලාභවලින් විශාල කොටසක් අඩු කරලා වසර තුනක් පදනමේ අනුග්‍රාහකත්වය වෙනුවෙන් යොදවා ගන්න මට පුළුවන් වුණා. වියදමෙන් තුනෙන් දෙකක් එයින් ලැබෙනවා. මම ඉතිරි කොටසට වඩා මුදලක් හොයලා පදනමේ තැන්පත් කරනවා. අනේ සතිස් අය්යේ බෙහෙත් ගන්න විදිහක් නෑ එහෙම කියන අයට, ශල්‍ය කර්මවලට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අපි පුළුපුළුවන් විදිහට ආධාර කරනවා. මගේ සල්ලි නෙවෙයි මගේ සාක්කුවට එන්නත් එපා මගේ සාක්කුවෙන් යන්නත් එපා. ඒවා පදනමේ අරමුදල්. අටවැනි උපහාර සම්මාන උලෙළ 10 වැනිදා ඉරිදා පස්වරු 3.00ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මේකෙ අපේ පවුලෙ ගතියකුත් ටිකක් තියෙනවා. සුනිල් එදිරිසිංහ මල්ලි විතරක් නෙවෙයි එයාගෙ දුව සංඛනිත් මේ වර ගුණසේන ගලප්පත්තිට කරන ගෞරවයක් වශයෙන් මූදු පුත්තු නාට්‍යයේ මූදු පතුලේ යට ඉඳලා ගීය ගයනවා. මිත්‍ර කපුගේ තාත්තා වෙනුවෙන් ගීයක් ගයනවා. ජගත් වික්‍රමසිංහගෙන් අපි ඉල්ලුවා පණ්ඩිත් අමරදේවයන්ගේ ගීයක් ගයන්න කියලා. නිරෝෂා විරාජිනී ඔස්ටින් මුණසිංහ සංගීතවත් කළ ඇයගේ ගීයක් ගයනවා උපහාරයක් විදිහට. සංගීතය මෙහෙයවන්නේ ජයන්ත රත්නායක. නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහගෙන්."

මේ උලෙළ කලාකරුවෙක් කලාකරුවන් පිරිවරාගෙන කලාකරුවන්ට සම්මාන දෙන උත්සවයක්. මෙය බොහොම ‌ගෞරවණීය තත්ත්වයට මේ කාලය තුළ මම ගොඩනඟාගෙන ආවා. ඒකේ රහස මොකක්ද දන්නවාද? මිනිස්සු හිතන් ඉන්නවා මිනිස්සුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. ඒත් මිනිස්සුන්ට කරන්න තියෙන්නේ එක වැඩයි. ඒ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි."

ඔහු වසර 32ක් රජයේ ආයතන තුනක සේවය කළ පළපුරුද්දෙන් එසේ පවසයි. ලංගමය, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඔහු සේවය කළ ආයතනයි.

"මම කිසිම දවසක රස්සාවට ගියේ නෑ. ගියේ සේවයට." ඔහු කියන්නේ අභිමානය මුසු හැඟීමෙනි. එසේම ඔහු බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරන්නෙකි.

"අපි බෞද්ධයෝ හැටියට ප්‍රගුණ කළ යුතු කාරණා හතරක් තිබෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හැමකෙනෙකු වගේම මගේ ළඟත් තිබෙන ලෝභ දෝස මෝහ කියන කරුණු පුළුවන් තරම් යටපත් කරලා අර හතර උඩට අරගෙන ජීවත් වෙන්න බලනවා. ඒ නිසා තමයි කලාකරුවා මානව දයාවේ සංකේතයක් වෙන්න ඕනේ කියන්නේ. මම මගේ ළඟ ඉන්න භෞතික සත්ත්වයා පෝෂණය කළේ පැවැත්මට විතරයි. වැඩිපුර කළේ ආධ්‍යාත්මික සත්ත්වයා පෝෂණය කළ එක. මුදිතා ගුණය කියන්නේ මේකයි. අපි කෙනකු‌ට යමක් දෙන්න ඕනේ පින් බලාගෙන නෙවෙයි. එය කළ යුතු දෙයක් විදිහටයි. අපි ඒ දෙන දෙයින් ඒ කෙනා සතුටට පත්වෙනවා දැකලා මම සතුටට පත්වෙනවා. අන්න ඒකයි පරම ධනය. සන්තුට්ඨී පරමං ධනං. කොහොමද මේ වගේ සිතිවිලි මගේ හිතට ආවේ. අපේ තාත්තා රජයේ නිලධාරියෙක්. ආණ්ඩුවෙන් හම්බවෙන පඩියෙන් අරපරිස්සමෙන් අපි අටදෙනයි අම්මයි පෝෂණය කරමින් පවුල් ජීවිතයක් ගත කළා විතරක් නෙවෙයි හැම අවුරුද්දෙම සිංහල අවුරුදු උත්සවයක් පවත්වනවා. ධනවත් මිනිස්සු ඇසුරු කළාට ඒ පස්සේ ගියේ නැහැ. ඔවුන්ට උපදෙස් දුන්නා. ඔවුන්ගෙන් යමක් ලැබෙනවා නම් එය දුප්පතුන්ට බෙදා දුන්නා මිස තමන්ගේ අතට ගත්තේ නැහැ. මම යන්නෙත් ඒ පාරේ. හැබැයි ඒක මෙතන මළකඩ තියාගෙන කරන්න බැහැ."

ඔහු තම පපුවට අත තබා පෙන්වයි.

"මගේ දරුවන් තිදෙනාම විවාහකයි. දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. එක්කෙනෙක් මෙහෙ ව්‍යාපාරයක් කරනවා. මමයි බිරිය ශ්‍රියායි විතරයි ගෙදර ඉන්නේ. ලොකු පුතා උදය ශෂික, දුව ශෂිණි, පොඩි පුතා උදාර අසංග. දුවයි පොඩි පුතයි තමයි ඕස්ට්‍රේලියාවේ. දැන් අපට මුණුපුරෝ හතක් ඉන්නවා. ලොකු පුතාගේ දෙන්නයි. රවිඳු පංචාල් එදිරිසිංහ, දුව තුෂිනි. දුවට දූලාම දෙන්නයි, නේහා, චේතා. පොඩි පුතාගේ පුතා සිනෙත්, දූලා දෙන්නා සිනොලි, සිනෙදි. ලොකු මුණුපුරා ඒ රටේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ. දුවගේ දුව විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා. ඒ අයත් බණ දහම් දන්නවා. මුදල් අවශ්‍ය පමණට තිබුණට ධර්මිෂ්ඨව ජීවත් වෙනවා."

ඔහු ජංගම දුරකථනයෙන් අපට දරුමුණුපුරන්ගේ ඡායාරූප පෙන්වමින් කියයි.

"හැබැයි මම මේවා වැඩිය ඔළුවට ගන්නේ නැහැ. මොකද කොයිතරම් දේවල් තිබුණත් චුති සිත පිරිසුදුව තියන්න ඕනේ."

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සමඟ කතාබහක් රංගනය ගැන නොඅසා නිම කිරීම අසාධාරණය. ඒ නිසාම මම මුලින් රූපවාහිනිය පිළිබඳ විමසුවෙමි.

"දැන් ඒ තිරය පුංචි වැඩියි. අපට රිංගන්න බැහැ. හැමදෙයක්ම වගේ ඒකත් පිරිහිලා. අපට කතා කරනවා සමහර නාට්‍යවලට. පිටපත ඉල්ලුවට දෙන්නේ නැහැ. හොඳ රංගන ශිල්පියකුට හෝම්වර්ක් තියෙනවා. පිටපත අධ්‍යයනය කරලා ගිහින් තමයි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ කරන්නේ. එදා තිබුණේ සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු විතරනේ. අද ඒකට ටෙලි කම්කරුත් එකතුවෙලා. මම කම්කරුවෙක් නෙවෙයි කලාකරුවෙක්. නමේ සිංහ කෑල්ලක් උත්පත්තියෙන්ම ඇවිත් තිබෙන නිසා සිංහයන් තණකොළ කන්නේ නැහැ වගේ බාල නිර්මාණවලට එකතුවෙන්නේ නැහැ."

ඔහු අපට සිනා නංවමින් කියයි.

ළඟදි ගුත්තිල චිත්‍රපටයේ අන්ධ මව්පියන් විදිහට රඟපෑවා. ඒ ගැන නම් හිතට දුකක් නෑ. ඒ හැර සිනමාව ගැන මම කතා නොකරන්නේ කවුද හරි නෙවෙයි මොකක්ද හරි කියලා තේරුම්ගන්න බොහෝ දෙනෙක්ට අද බැරි වෙලා තියෙන නිසා. ඒකට සිනමා ඉතිහාසය හරියට දැනගන්න."

ඉදිරිය ගැනද ඔහු ධනාත්මක අයුරින් කීවේ අප සමඟ සාකච්ඡාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුහුණුවන සිසුවියන් දෙදෙනා - ඉනුෂි මධුෂිකා සහ ප්‍රදීෂා ගයන්තිකා දෙස බලමිනි.

"මගේ පාදයේ සිදුවීම ගැන කිසිම කණස්සල්ලක්, විස්සෝපයක් නැහැ. මම මේ අපහසු ගතිය දුරු වුණාම තව ධාර්මික පොත් කීපයක් ලියන්න ඉන්නේ. පොත් කියවන්න කියවන්න තමයි ලියන්න හිතෙන්නේ. ලියද්දි ලියද්දි තවතව කියවන්න ආසා හිතෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනා. නවීන පන්නයට අඳීන්න පලඳීන්න කන්න බොන්න, හොඳ කාර් ගෙවල්, කසාදයක් ළමයි මේ සියල්ල ලබන්න. හැබැයි ඇතුළ හදාගන්න. මුළු බුදු දහමම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන ඇතුළේ. හේතුඵල වාදය කියන ඔය ධර්මය ක්‍රම තුනකට දේශනා කරනවා. ආර්ය සත්‍ය ක්‍රමය, පටිච්ච සමුප්පාදය සහ පට්ඨාන. මුල් ක්‍රමයේ හැම දුකටම හේතුව තණ්හාව කියලා තියෙනවා. මට මේ දේ වුණෙත් තණ්හාව නිසා. ඇයි? මගේ උත්සවේ තියෙනවා. ඒ ගැන තණ්හාවෙන් තුවාලේ දෙවැනි තැනට දැම්මා. හේතුව ඵලය. මේ දේවල් අවබෝධ කරගත්තාම ජීවිතය සරල වෙනවා. ඔයාලාගේ ලස්සන ජීවිත තවත් ලස්සන වෙනවා. ජනප්‍රියත්වය ලබන අය ඕන තරම් ඉන්නවා. ඒත් ගෞරවය ලබන පිරිස අඩුයි. ඒකට දැනුම ඕනා. උගත්කම නෙවෙයි ප්‍රඥාව. උගතා තමන්ට වැඩ කරගන්නවා. ප්‍රඥාවන්තයා ලෝකෙට වැඩ කරනවා. දැනුම වඩා ගන්න. යහපත් චරිතයෙන් බලයක් එනවා. ඒවගේම නම්‍යශීලී බවෙන් ඒ බලය වැඩි වෙනවා. වැදගත්කම එයට එක් වුණාම ආකර්ෂණීය පුද්ගලයෙක් වෙලා පිදුම් ලබනවා."

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.