මට විවාහ වෙන්න අදහසක් නැහැ

ප්‍රියංකා අබේගුණසේකර
නොවැම්බර් 7, 2019

ඇඟිලි සලකුණ වැඩසටහනින් රංගනයට පිවිසි ප්‍රියංකා අබේගුණසේකර මේ වන විට රාවණා, හේලංකඩ, බඹර වසන්තය ආදී ටෙලි නාට්‍යවලටත් දළදාගමනය, දුටුගැමුණු, අනගාරික ධර්මපාල, ඇහැලේපොළ වැනි චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වී ඇත. රංගනයට අමතරව තිර රචනයට ද යොමුව ඇති ඇය සිය කලා දිවිය පිළිබඳ මෙසේ අප හා පැවසුවාය.

 

ඔබේ විස්තර ටිකක් දැනගන්න කැමැතියි?

මම කුරුණෑගල ‘වැහැර’ ප්‍රදේශයේ ඉපදුණේ.

මගේ දෙමව්පියෝ රාජ්‍ය සේවකයින් නිසා මම පාසල් කිහිපයකට ගියා. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයටයි මුලින්ම ගියේ.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ ඇඟිලි සලකුණ වැඩසටහනින්?

ඔව්. ඒක හොඳ වාර්තාමය නාට්‍ය වැඩ සටහනක්. පසුකාලීනව එය වාරණයට ලක්වෙලා නැවතුනත් මම අදටත් සතුටු වෙනවා සමාජයට යම් පිණිවිඩයක් දෙන්න පුළුවන් වැඩ සටහනකින් මේ ක්ෂේත්‍රයට එන්න ලැබීම ගැන. මම මෙහි රඟපාන්න ආවේ අහම්බෙන්. අපේ නිවෙස ‘ඇඟිලි සලකුණ’ වැඩ සටහනේ රූගත කිරීමක් සඳහා වරක් තෝරාගෙන තිබුණා. ඒ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂක මාවෝ ලක්ෂිත අයියා මට එහි චරිතයක් නිරූපණයට අවස්ථාවක් ලබා දෙනවා. ‘ඇඟිලි සලකුණ’ වැඩසටහන ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් අය මාව දැන හඳුන ගත්තේ ඒකෙන්.

දෙමව්පියන් පවුලේ විස්තරත් කියමු?

අම්මා සුමනා දිසානායක. තාත්තා යසස් අබේගුණසේකර. තාත්ත නැති වෙලා අවුරුදු 16 ක් වෙනවා. මට මල්ලිලා හතර දෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. මල්ලී ‘ඇඟිලි සලකුණ’ වැඩසටහනේ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ප්‍රසාද් අබේගුණසේකර තමා එයාගේ නම.

ඔබ උපාධිධාරිණියක් නේද?

ඔව්. කැලණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය ලබා ගත්තේ. මම සුගත් සමරකෝන් මහතාගෙන් නාට්‍යය හා රංග කලාව පිළිබඳවත් ඉගෙන ගත්තා.

මම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සංවර්ධන නිලධාරිනියක් විදිහට සේවය කරනවා. විනෝදාංශයක් ලෙස තමයි මම කලා කටයුතුවල නිරත වන්නේ.

මම හැමවිටම හොඳ මට්ටමෙන් සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණවලට තමයි දායක වෙන්නේ.

මට විවාහ වෙන්න අදහසක් නෑ. ජීවිතයේ අධ්‍යාත්මික පැත්ත ගැන පොතපත කියවනවා. භාවනා කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ලොකු අනාගත බලාපොරොත්තුවක් නෑ. මේ දවස්වල ‘ධනාත්මක චින්තනය හා අධ්‍යාත්මය’ කියලා පොතක් ලියනවා. තවත් සත්‍ය කතාවක් ඇසුරින් තිර පිටපතක් ලියනවා ටෙලි නාට්‍යයකට. වස විස පරිහරණය හා රසකාරක ගැන සමාජය දැනුවත් කරන චිත්‍රපටයකට පිටපත ලිව්වා. ඒ චිත්‍රපටය කරලා ලොකු පණිවිඩයක් සමාජයට ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.