කොමඩි නැති චරිතවලට මම ලෝබයි

නොවැම්බර් 14, 2019

අපි ගැනත් සරසවියට ලියන්නකෝ. මගේ චිත්‍රපට දෙකක්කම මේ දවස්වල තිරගත වෙනවා.

ජීවන් හඳුන්නෙත්ති සරසවියේ කර්තෘතුමන්ට කියනු මට ඇසෙයි. ඊළඟට ඔහු පැමිණියේ මා අසලටය.

ඉතින් කොහොමද?

වෙනදා වගේම තමයි. මේ පේන්නේ නැද්ද . . .

සිය කෙසඟ සිරුර පෙන්වා ජීවන් කියයි. ඔහු කිව්වා වගේම එදා අප දුටු ජීවන් හඳුන්නෙත්තිගේ ශරීර ප්‍රමාණයහි කිසිදු වෙනසක් නැත. හඬෙහි ද එලෙසමය. ගතති ගුණහි ද වෙනසක් නැත.

මොකේද ජිවන් අයියා ඉන්නවා කිව්වේ?

ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් සහ ජය ශ්‍රී ඇමැතිතුමා කියන චිත්‍රපට දෙකේම ඉන්නවා. හොඳ චරිත මට ලැබුණා චිත්‍රපට දෙකේම.

කලාවට ඇවිල්ලා සෑහෙන්න කලක් ගත වෙලා නේද?

කීය ද කියන්න බලන්න.

ජීවන් මගෙන් විමසයි. මම සිනහසුණෙමි.

අවුරුදු තිස් පහයි. මට නෙවේ, මගේ කලා දිවියට.

කලාවට ඇවිත් කී වසරකට පසුව ද ඔබට ප්‍රධාන චරිතයක් ලැබුණේ?

වසර විස්සක් විතර ගියානේ. එතකම්ම කට්ට කෑවා. අපි ඉතින් ලස්සන නළුවො නෙවෙයිනෙ.

හනීෆා තමයි ඔබ ජනප්‍රිය කළේ?

පුංචි වීරයෝ නාට්‍යයේ තමයි හනීෆා හිටියේ. ඊට පස්සේ මගේ අම්මේ දිගටම කතා කළේ මුස්ලිම් චරිතලට. ටෙලි නාට්‍ය දෙකකයි චිත්‍රපට හතරකයි මුස්ලිම් චරිත කළා. මමම හිතලා මුස්ලිම් චරිත බාර ගත්තේ නැහැ. හැබැයි බිරිය කැමැතියි මං මුස්ලිම් චරිත කරනවට.

ජීවන් අයියා හරි ප්‍රසිද්ධයි ලණු දෙන්න . . .

ලණු දෙන්නටයි මිනිස්සු පිනවන්නයි ලිස්සලා යන්නයි පොඩි කාලේ ඉඳලම මං හරි දක්ෂයි. මං මරු කතාවක් කියන්නම් මේ වෙලාවේ. මට ඒක මතක් වුණා. මං පොඩි කාලේ යාළුවෙක් එක්ක බයිසිකලයක නැගලා රෑ පානේ ගමනක් ගියා. කිව්වට විශ්වාස කරන්න බයිසිකලයේ බ්‍රේක් නෑ. ලයිට් නෑ. එන ගමන් ලොකු පල්ලමක් සෙට් වුණා. ඉස්සරහට එනවා බීපු මිනිස්සු තුන් දෙනෙක්. අපි හැප්පුණා කියන්නකො ඔවුන්වත් පෙරළගෙන. මගේ යාළුවා තමයි බයිසිකලය පැදෙව්වේ. මිනිහගේ බෙල්ලෙන් අල්ලගෙන තඩිබාලා මිනිස්සු තුන් දෙනා මාව හෙව්වා. මං කළේ මොකක්ද දන්නවද තන තන තාන තනා කිය කියා නටන්න පටන් ගත්තා. මගේ නැටිල්ල දැකලා අර තුන්දෙනාගේ කේන්තිය බැස්සා. එයාලත් අත්පොඩි ගගහා මට නටන්න තාලේ ඇල්ලුවා. ඊට පස්සේ හිමිහිට යාළුවත් එක්ක මාරු වුණ. ඊළඟ කාරණය ලණු දීම. මට තුන් දෙනෙකුගේ කට හඬවල් හොඳටම අනුකරණය කරන්න පුළුවන්. එක් කෙනෙක් තමයි පණ්ඩිත් අමරදේවයාණන්. විජය නන්දසිරි සහ මහින්ද පතිරගේ තමයි අනෙක් දෙන්නා. මෙයාලා විදිහට කතා කරලා අනන්තවත් ලණු දීලා ඇති. බැනුම් අහලත් තියෙනවා. සමහරු ඉස්සරහ තියාගෙනම තමයි ලණු දෙන්නේ.

ලණු දෙන්න ගිහින් ඇස් රතු වුණු අවස්ථා නැතිද?

ජීවන් ජීවන්ටම ලණුවක් දුන්නා. මේ ජීවන් කතා කළේ ජීවන් කුමාරතුංගට. ඔහුට විජය නන්දසිරි කතා කරලා ගෙට ගෙවදින උත්සවයකට එන්න කිව්වා. මේක මං දැනගෙන එවලේ ඉඳලා විජය වගේ කතා කර කර සැරින් සැරේ ගෙට ගෙවදින උත්සවය ගැන මතක් කළා. ජිවන්ට මේක කරදරයක් වුණා. අන්තිමේ දැනගත්තා මෙහෙම කතා කළේ මං කියලා. ජීවන් හිතුවා මුලින්ම විජයගෙන් ආව ඇමතුමත් මං ලබා දුන්නු එකක් කියලා එහෙම හිතාගෙන ඔහු විජයගේ ගෙට ගෙවදින උත්සවයට ගියේ නැහැ. විජය එදා ජීවන්ව බලාපොරොත්තුවෙන් ඉඳලා. ඇත්තටම ජිවන් නාව කාරණය දැනගෙන විජය මට හොඳටම දොස් කිව්වා.

ඔබ සංගීතඥයකු වශයෙන් ද කටයුතු කරනවා?

සංගීතයට ළැදි වුණේ පියාගේ මඟ පෙන්වීම යටතේ. දන්න කාලේ ඉඳලම අමරදේව මහත්තයාගේ සිංදු තමයි කියන්නේ. මට බොහොම හොඳින් එතුමාගේ ගීත කියන්න පුළුවන්. එක්තරා ජනාධිපති සම්මාන උලෙළකදී මට එතුමත් එක්ක ගයන්න පවා අවස්ථාව ලැබුණා. මං ප්‍රසංගවල සංගීත අධ්‍යක්ෂණය කරනවා. මටම කියලා බෑන්ඩ් එකකුත් තියෙනවානේ. ඉදිරියේදී වෙනස් ප්‍රසංගයක් කරන්නත්. බලාපොරොත්තු වෙනවා.

ඒ පිළිබඳ කෙටි විස්තරයක් කියන්න පුළුවන්ද?

කැලිප්සෝ සංගීත ශෛලිය භාවිත කරමින් තමයි එම ප්‍රසංගය කරන්නේ. මං හිතන්නේ දැනට ඒ වගේ ෂෝ එකක් කරලා නැහැ ලංකාවේ. ඒක අපේ පේ‍්‍රක්ෂකයන්ට වෙනම අත්දැකීමක් වේවි.

කොමඩි චරිතවල කොටු වෙලා ඉන්නද අපේක්ෂාව?

නැහැ. ඒත් ලැබෙන්නේ ඒවනේ. උදයකාන්ත මහත්මයා මට ඔහුගේ දිය යට ගින්දර චිතපටයේ ලබා දුන්න චරිතයක් මෝචරි සේවකයකු හැටියට. ඒක කොමඩි චරිතයක් නෙවෙයි. මාව විශ්වාස කරලා ලබා දුන්නු ඒ අවස්ථාවෙන් මං උපරිම ප්‍රයෝජන ගත්තා. ඉදිරියේදිත් එහෙමයි. වෙනස් චරිත ලැබුණොත් ලෝබකමින් රඟපනාවා.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.