පොඩි කාලේ විඳපු දුක් මගේ ජීවිතයට පන්නරයක්

නොවැම්බර් 14, 2019

 

මගේ තාත්තා මේසන් බාස් කෙනෙක්. ඔහු උපයන මුදල මදි වන හින්දා අම්මා හැමදාම පාන්දර නැගිටලා ඉඳියප්පන් තම්බලා කඩවල්වලට දැම්මා. එහෙම දුප්පත් පවුලක මං හැදුණේ. නමුත් ඉගෙනීම් කටයුතු අතපසු කර ගත්තේ නැහැ.

 

ඔබේ සම්පූර්ණ නම?

තරින්දි අනුරාධිකා ප්‍රනාන්දු.

පාවිච්චි කරන්නේ?

තරින්දි ප්‍රනාන්දු කියලා.

තරින්දි රංගනයෙන් දායක වූ ප්‍රථම නිර්මාණය මොකක්ද?

ඒක චිත්‍රපටයක්. බරතලි කියලා. තවම රිලීස් වුණේ නැහැ ඒක. රිලීස් වුණ ප්‍රථම චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්. පැහැසරා නාට්‍යයෙන් තමයි මිනිස්සු අතරේ මං ජනප්‍රිය වුණේ.

ඔබේ පෙට් නේම් එක?

තරී කියලා තමයි යාළුවො කියන්නේ.

ඔබ ආසද ඒ නමට?

ඔව්. ආසයි.

ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්හි ඔබ ගැබිණි මවක්?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අයියා රඟපාන්නේ එහි තරගකරුවකු හැටියට. මං ඔහුගේ බිරිය. මං සැමියාට වඩා හාත්පසින්ම වෙනස්. ඔහු තරගාවලිය හරහා සිස්ටම් වෙනස් කරන්න හදන කෙනෙක්. නමුත් මගේ චරිතයට අවශ්‍ය තරගාවලියෙන් හම්බු

 

වෙන කාර් එක මොන වගේද, ඒකෙන් යන්නේ මොන ගමන්ද කියලා හිතන එක. ගොඩක් ලෞකිකත්වයට බරයි.

 

ඔබගේ වයසේ බොහෝ නිළියන් සිනමාපටයක පෙම්වතියගේ චරිතය හැර ඔවැනි චරිත බාර ගන්නවා අඩුයි?

රංගන කාර්යය ඇතුළේ එහෙම වෙන්න බැහැ. මේ වගේ චරිතයක් ලැබුණම ආවට ගියාට නෙවෙයි හිතලා රඟපාන්න ඕන. ඒකට පෙර සූදානමක් අවශ්‍යයි. මං ප්‍රවීණයන්ගෙන් විශේෂයෙන් රම්‍යා වනිගසේකර, මාධනි මල්වත්තගේ යන අයගෙන් ඉගෙන ගත්තු දෙයක් තමයි චරිතයක් ලැබුණාම පෙර සූදානම් වීම. එහෙම සූදානමකින් යුතුව කරන්න ලැබෙන චරිත ප්‍රතික්ෂේප කිරීම එක්තරා අන්දමකින් තමන්ට කර ගන්නා වූ හානියක් හැටියටයි මං දකින්නේ.

ඔබ ගැන බොහෝ දෙනෙක් නොදන්නා රහසක් හෙළි කළොත්?

මං හරිම හරිම හරිම හැඟුම්බර කෙනෙක්. ඒක මගේ අතිශය සමීපතමයෝ හැර වෙන අය දන්නේ නැහැ. හැබැයි මං යාළුවො අතරේ ඉන්නේ පොර වගේ. කිසිම සංවේදිකමක් නැති කෙනෙකු කියලා හිතෙනවා ඇති. ඒත් හිත යටින් ඊට හාත්පසින්ම වෙනස්.

නිතර මතකයට නැඟෙන ජීවිතේ වරද්ද ගත්තු අවස්ථාවක් තිබේද?

ඇත්තටම එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක වැරදීමක් නෙවෙයි. අර අපිට හිතෙන්නේ මෙහෙම කරන්න තිබුණනෙ කියලා. මගේ අම්මා කාලෙකට ඉහතදී නැති වුණා. ඇයට කැන්සර් එකක් වැලඳිලා තිබුණේ. මට නිතරම හිතෙනවා මට ඇය තව ටික කාලයක් හරි ජීවත් කරවන්න තිබුණනේ කියලා.

 

ඔබ අද ඉන්න තැන ගැන සතුටුද?

ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. අන්ත දිළිඳු පවුලක ඉපදිලා ජීවිතේ නොසෑහෙන්න දුක් විඳලා තමයි මේ තත්ත්වෙට අද මං ආවේ.

සමහරු තමන්ගේ දුප්පත්කම සඟවනවා?

මං කිසි දවසක එහෙම කරන්නේ නැහැ. මගේ තාත්තා මේසන් බාස් කෙනෙක්. ඔහු උපයන මුදල මදි වන හින්දා අම්මා හැමදාම පාන්දර නැගිටලා ඉඳියප්පන් තම්බලා කඩවල්වලට දැම්මා. එහෙම දුප්පත් පවුලක මං හැදුණේ. නමුත් ඉගෙනීම් කටයුතු අතපසු කර ගත්තේ නැහැ. මගේ අක්කා අද බැංකුවක ඉහළ නිලයක් දරනවා. මමත් යම් ස්ථාවර තැනක ඉන්නවා. පොඩි කාලේ විඳි සෑම දුකක්ම මං ජීවිතයට පන්නරයක් කර ගත්තා.

තරින්දිගේ හිත බියපත් කරවන්නට සමත් වන්නේ මොන වගේ දේවල්වලටද?

ගැඹුරු වතුරටයි අලියන්ටයි මං හරි බයයි. අලියො පහර දිලා සහ ගැඹුරු වතුරට වැටිලා මාව මැරෙනවා මං හීනෙන් දැකලා තියෙනවා. සත්තු වත්තකට ගියත් අලියෝ බලන්න යන්නේ තව කාව හරි එක්ක.

ඔබ හීන විශ්වාස කරනවාද?

හීන විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි දකින හීන හිත් තුළ තැන්පත් වෙලා තියෙනවානේ. එතකොට හීනවල දැකපු දේවල් ඇත්තට දකිනකොට තිගැස්මක් වෙනවා.

තරින්දි මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

පෙම්වතා ගැන විස්තර කියන්න පුළුවන්ද?

තවම බැහැ. ඉදිරියේදී කියන්නම්. ලබන වසරේදී මගේ ජීිවිතයේ වෙනසක් වේවි කියලා දැනට කියන්න පුළුවන්.

ඔබේ විවාහය?

ඉදිරියේදී කියන්නම්.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.