ප්‍රදර්ශන අඩවියේ 48 අවුරුද්දක්

චිත්‍රපට සංස්ථාවේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරී කේ. ජී. විමලදාස මහතා
නොවැම්බර් 21, 2019

වසර 48 ක් පුරාවට ශ්‍රී ලාංකික සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අඛණ්ඩ අව්‍යාජ සේවයක් ඉටුකළ පුද්ගලයකු සොයා ගැනීමත් දුර්ලභ කර්තව්‍යයකි. එහෙත් එවැනි විරල පුද්ගලයන් ද අප සමාජයේ අදත් ජීවමාන වීම සැබැවින්ම ආඩම්බරයට කරුණකි. සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දිවි දෙවැනිකොට තම යුතුකම මනා ලෙස ඉටු කළ අතළොස්සක් පුද්ගලයන් අතරින් කෙනෙකි කේ. ජී. විමලදාස මහතා.

1944 දී අම්බලන්ගොඩදී උපත ලැබු විමලදාස මහතා ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. 1970 වසරේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහකාර කළමනාකරුවකු ලෙස රැකියාවට එක්වන විමලදාස මහතා 1971 දී උපාධිධාරි අභ්‍යාසලාභියකු ලෙසින් ජාතික චිත්‍රපට සංස්ථාවට එක් වනුයේ කළමනාකාර සහකාර ලෙසිනි. ඒ සිංහල සිනමාවේත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන ඩී. බී. නිහාල්සිංහ මහතාගේ තෝරා ගැනීමක් ලෙසිනි.

වසර 48 ක් පුරා දේශීය සිනමාව හා සිනමා කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් එක්කරලමින් අදත් ඔහු සිනමාව වෙනුවෙන් තම යුග මෙහෙවර ඉටු කරලනුයේ රැකියාවකට වඩා එහා ගිය සිනමාවට ඇති ආදරය නිසාය.

සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප කළ කාලය සුළු පටු නෙවෙයි?

සිනමාව වෙනුවෙන් වසර 48 ක් චිත්‍රපට සංස්ථාවේ පමණක් අවුරුදු 27 ක්. 1971 ජාතික චිත්‍රපට සංස්ථාවට එක් වන මම එයින් විශ්‍රාම යන්නේ 2001 වසරේ. ඊට පස්සේ මට ඊ. ඒ. පී. ප්‍රදර්ශන මණ්ඩලයේ චිත්‍රපට බෙදා හැරිම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙසින් වසර 18 ක් සේවය කරන්න ලැබුණා. දැන් මම මූවි වක්ස් ආයතනයේ කළමනාකරන උපදේශකයෙන් ලෙසින් කටයුතු කරනවා.

චිත්‍රපට සංස්ථාවේ ස්වර්ණමය යුගයේ සාමාජිකයෙක් ඔබ?

අවිවාදයෙන් කවුරුත් පිළිගන්න දෙයක් තමයි චිත්‍රපට සංස්ථාවේ ස්වර්ණමය යුගය ඩී. බී. නිහාල්සිංහයන් යටතේ චිත්‍රපට සංස්ථාව බැබළුණු කාලය. එතුමා පෞද්ගලිකව සොයා බලා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අවංක කාර්යශූර සේවක පිරිසක් තමයි ආයතනයට බඳවා ගත්තේ. ඒ පිරිස අතරට මටත් එක් වෙන්න වාසනාව උදා වුණා.

ඔබ මොන වගේ ක්‍රියා පිළිවෙතක්ද කර්මාන්තයේ උන්නතියට ග නු ලැබුවේ?

ඩී. බී. නිහාල්සිංහයන්ගේ නායකත්වය තුළ 1974 වසර වන විට රටේ ජනගහනයෙන් තුන් ගුණයක් චිත්‍රපට බලන තත්ත්වයට පත් වුණා. පෞද්ගලික අංශය සතුව තිබුණු චිත්‍රපට ඒකාධිකාරිය සංස්ථාව සතු කොට චිත්‍රපට සංරක්ෂණය කිරීම් කටයුතු ආරම්භ කළා. විදෙස් චිත්‍රපට ලංකාවට ගෙන්වීම හා ප්‍රදර්ශනය කිරීම චිත්‍රපට සංස්ථාව යටතට පත් කරනු ලැබුවා. යටගිය දවස හා දේශීය සිනමාවේ ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාවට නංවමින් චිත්‍රපට පෙන්වීම, දිවයිනෙන් බැහැරව අන්තර් ජාතික සිනමා උලෙළ සම්බන්ධීකරණ කරමින් සංවිධානය කරලීම, පැරැණි චිත්‍රපට ඡායාරූප සංරක්ෂණය කිරීම මෙන්ම චිත්‍රපට උපදේශක මණ්ඩලයේ ලේකම්වරයා ලෙසින් ද කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා.

වසර 27 අඛණ්ඩ සේවාවකින් පසු ඔබ චිත්‍රපට සංස්ථාවෙන් සමු ගන්නවා?

2001 වසරේ ඒ සමුගැනීම සිද්ධ වෙනවා. ඒ වෙනකොට මම චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. සභාපති ධුරය හොබවමින් සිටියේ තිස්ස අබේසේකරයන්. ඩී. බී. නිහාල්සිංහයන්ගෙන් පසු නැවත චිත්‍රපට සංස්ථාවේ පුනර්ජීවයක් ලබමින් සිටියේ තිස්ස අබේසේකරයන්ගේ කාලයේ. මට මතකයි එතුමා මගේ විශ්‍රාම යාම සනිටුහන් කළේ ළඟදීම සොඳුරු භූමියෙන් සමු ගන්නවා. එහෙත් අපි මෙහෙ සිට කළ කී දෑ ගීතවත් වනු ඇත කියායි.

රජයේ සේවයෙන් විශ්‍රාම යන ඔබ සිනමාවට තිබූ ආදරය නිසාමද ඊ. ඒ. පී චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලය හා එක් වන්නේ?

සිනමාව කියන දේ මගේ ඇඟෙන් ඈත් කිරීම අපහසු කාර්යක් වුණා. ඊ. ඒ. පී. ප්‍රදර්ශන මණ්ඩලයේ හිමිකරුවා වූ අසංක එදිරිසිංහ මහතා මට ආරාධනා කළා ඔහුත් සමඟ එකතු වෙන්න කියලා. ඒ අනුව මම එහි බෙදා හැරීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙසින් පත්වීම් ලැබුවා.

ඊ. ඒ. පී. මණ්ඩලයේ සාර්ථක ගමනකට ඔබ ලොකු මෙහෙයක් සිද්ධ කරනවා?

මේ සමාගම තුළ මම අවුරුදු දහ අටක් සේවය කළා. මේ ප්‍රදර්ශන මණ්ඩලය සාර්ථක වෙන්න මගෙන් ලොකු සේවයක් සිද්ධ වුණා. මම මේ සමාගම තුළ මනා කළමනාකාරිත්වයක් ඇති කළා. චිත්‍රපට ප්‍රදර්ශකයා හා නිෂ්පාදකයා බේරාගන්න මම සැලසුම් සකස් කළා. ලංකාව පුරා ඇති සිනමා ශාලා සමඟ මා ගනුදෙනු කළා. එයින් එක් ක්‍රමයක් විදියට මම අනුගමනය කළේ අපේ මණ්ඩලයේ සියලු සිනමා ශාලාවල දවසේ ආදායම සෑම දිනකම රාත්‍රී 10.00 ට මම ලබාගෙන ඒ බව චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂක දැනුම්වත් කිරීම. මගේ මේ ක්‍රියා පිළිවෙත නිසා මම වගේම ඊ. ඒ. පී. සමාගමත් චිත්‍රපට නිෂ්පාදකයෝ අතර ජනප්‍රිය වුණා. විශ්වාසයක් ගොඩ නැගුණා. ඒ විශ්වාසය නිසාම අපේ සර්කිට් එකට චිත්‍රපට පෝලිමේ එන්න වුණා.

ඔබ ගනුදෙනු කළ අපූර්වතම ක්‍රියා පිළිවෙත ඔබගේම අදහසක්?

මෙහිදී අසංක එදිරිසිංහ මහතා මා ගැන පූර්ණ විශ්වාසයක් තබලා මට වගකීමක් භාර කළා. මම ඒ දේ අකුරටම ඉෂ්ට කළා. තිර රචනාවල යෝග්‍යතාවය පරීක්ෂා කිරීම නිපදවන ලද චිත්‍රපට ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් සිනමා ශාලාවල ප්‍රදර්ශනය සඳහා තෝරා ගැනීමේ කමිටු සාමාජිකයකු ලෙසින් ද මම කටයුතු කළා.

සිනමා ශාලා සහ ඔබ ගනුදෙනු කළ ආකාරය කොයි වගේද?

නිෂ්පාදකට අධ්‍යක්ෂකට සිනමා ශාලා ලබා දීම, ඔවුනගේ චිත්‍රපට බොහෝ කාලයක් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට අවකාශ සලසා දීම, චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම, සිනමා ශාලාවලින් අය විය යුතු මුදල් මණ්ඩලයටත් මණ්ඩලය හරහා චිත්‍රපට නිෂ්පාදකයා වෙත ලබාදීමේ පිළිවෙතක් මම විශ්වාසවන්ත අයුරින් ඉටු කළා.

ඊ. ඒ. පී. මණ්ඩලයේ අස්ථානගත වූ චිත්‍රපට පවා ඔබගේ උත්සාහයෙන් සොයා ගන්නවා?

දුලීකා, කපටිකම චිත්‍රපට දෙක මට සොයාගන්න පුළුවන් වුණා. පිරිමියෙක් නිසා චිත්‍රපටය සොයා ගන්න අපහසු වුණා.

ඔබගේ අවංක සේවය හා කැපවීම සම්මානීය අයුරින් අගැයීමට පවා ලක් වෙනවා?

දේශීය සිනමාව හා සිනමා කර්මාන්තය නඟා සිටුවීම සඳහා කළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන කලා භූෂණ සම්මානය 2013 වසරේදී මට හිමි වුණා. සිංහල සිනමාවේ අභිවෘද්ධිය හා චිත්‍රපට සංරක්ෂණය කිරීම පිළිබඳ දැක් වූ පූර්ණ දායකත්වය වෙනුවෙන් ජාතික සම්මාන සරසවි උපාධි ආයතනය පිරිනැමූ දේශමාන්‍ය සම්මානය 2011 වසරේදී මට හිමි වුණා.

ඊ. ඒ. පී.මණ්ලයෙන් සමුගැනීමත් සමඟ ඔබ නැවත එවැනිම චිත්‍රපට මණ්ඩලයක සුපුරුදු ගමනට එක්වනවා.

ඊ. ඒ. පී. මණ්ඩලය හිමිකරුවන්ගෙන් ගිලිහීයාමත් සමඟ මට එයින් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම එම්. පී. අයි. මණ්ඩලයේ විධායක නිලධාරියෙක් හා අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවයට එක්වුණා. එහිදී ඇති වූ අධිකරණමය ක්‍රියා මාර්ගයක් හේතුවෙන් එහි තීන්දුව ලැබෙනතුරු දැනට බලාසිටින අතරේ මූවි වක්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුර ජසෙන්තුලියන කළමනාකරන අධ්‍යක්ෂවරයාගේ උපදේශකයෙක් ලෙසින් චිත‍්‍රපට ආනයනය පිළිබඳ මේ දවස්වල කටයුතු කරමින් ඉන්නවා.

වසර 48 ක් පුරාවට සිනමාව උදෙසා සක්‍රිය සේවයේ නියුතු වන ඔබ රාජකාරිමය ජීවිතය දෙස ආපසු හැරී බැලීමෙදී මොනවගේ හැඟීමක් ද ඇති වන්නේ?

මා තුළ පසුතැවීමක් නෑ. මගේ හිතට එකඟව මම කර්මාන්තයේ උන්නතියට සේවයක් කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාව පැත්තෙන් 1977 පසු සිදු වන විවෘත ආර්ථික ක්‍රමයත් සමඟ සංස්ථාව දේශපාලනීකරණය වීමත් සමඟ දැඩි සේ ජරාජීර්ණ වෙනවා. චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ වර්ධනයක් ඇති වුණේ නැහැ. නිලධාරිවාදය පුද්ගලික න්‍යාය ආදී කරුණු තුළ අනාගතය ගැන තැකීමක් නොකළ නිසා කර්මාන්තය පැත්තෙන් සංස්ථාව ලොකු අගාධයකට තල්ලු වුණා. ආයතනික පැත්තෙන් පාලකයන් මොන දේ කලත් පුද්ගලිකව මම තෘප්තිමත් වෙනවා දේශීය සිනමාවට, සිනමා කර්මාන්තයට මගෙන් විශාල සේවයක් වුණා කියලා.

සේවා කාලය තුළ විශේෂයෙන් ඊ. ඒ. පී. මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරුවකු ලෙස රාජකාරි කිරීමේදී වාර්තාගත සංධිස්ථානයක් ඔබ පසුකරනවා?

අවුරුදු 67 ක් වන දේශීය සිනමා ඉතිහාසයේ එක් දින වැඩිම ආදායම ලැබුවේත් එක් දින වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් චිත්‍රපටය නැරැඹුවේත් මගේ කාලවකවානුවේ. ඒ ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වූ සිරිපැරකුම් චිත්‍රපටය. තිරගත වී තෙවන සතියේ ඉරිදා දිනක එක් දින ආදායම වුණා රුපියල් ලක්ෂ 66 ක්. මේ මණ්ඩලයේම තිරගත වූ සූරිය අරණ චිත්‍රපටය විතරක් බැලුවා ලක්ෂ 32 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක්. ඊ. ඒ. පී. මණ්ඩලයේ මගේ අවසන් දායකත්වය ලැබුණේ යශෝධරා චිත්‍රපටයට.

ඔබගේ සේවා කාලය තුළ විදෙස් චිත්‍රපට උලෙළ නියෝජනය කළා?

1999 දී කේරල චිත්‍රපට උලෙළ මා නියෝජනය කළ විදෙස් චිත්‍රපට උලෙළ අතරින් මට සුවිශේෂයි. දෙවියන් උපත ලැබූ දේශය ලෙසින් තමයි ඔවුන් එය හඳුන් වන්නේ. චිත්‍රපට ක්ෂේත්‍රයේ වියතුන් සියල්ලෝම පාහේ මෙම උලෙළට එක් වුණා. එහිදී ලැබූ අත්දැකීම මෙපමණ යැයි කියන්න බැහැ.

සිනමා ක්ෂේත්‍රයේ අදත් විරාජමානව කටයුතුවල නියැළෙන ඔබට මේතාක් දිගු ගමනට ආශිර්වාදාත්මක සෙවණැලි වුණේ මොන වගේ පුද්ගලයන්ද?

ඩී. බී. නිහාල්සිංහ, තිස්ස අබේසේකර, අසංක එදිරිසිංහ. මේ තිදෙනාම මගේ සාර්ථක ගමනේ නියමුවන්. මේ තිදෙනාගෙන් මම ඉගෙන ගත් දේ බොහෝයි. මේ තිදෙනාත් මාව හොඳට හඳුනාගෙන තිබුණා. මම යම් තීරණයක් ගත්තොත් එය ක්‍රියාවට නං වන්නෙත් හොඳට නිරීක්ෂණය කරලා බව ඔවුන් හොඳින් දැන හිටියා වගේම මම ගන්න තීරණයක් ආයේ වෙනස් කරන්නෙත් නෑ කියන දේ ඔවුන් දැන සිටියා. ඒ නිවැරැදි තීන්දු තීරණයක නෙවෙනස් මතයක මම කටයුතු කළ නිසා තමයි අදත් මම මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ.

විවිධ වූ තීන්දු තීරණ මත වගේම එකිනෙකා පරයා පවසන මත දැක්වීම් මත අද වනවිට විශාල කඩා වැටීමකට ලක්ව ඇති අපේ දේශීය සිනමාව ගැන අත්දැකීම් බහුල නිලධාරියෙකු ලෙස ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?

අද තරුණ චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු හිටියත් ඔවුන්ව එළියට එන්න මාවතක් නැහැ. චිත්‍රපට නිෂ්පාදකයෝ අසරණ වෙලා. මම කියන්නේ අද තියෙන මණ්ඩල පහ මීට වඩා වැඩිවිය යුතුයි. තව තවත් ව්‍යාප්්ත විය යුතුයි කියලා. චිත්‍රපට බෙදා හැරීම පූර්ණ අධීක්ෂණය සංස්ථාව සතු කරගෙන මේ සඳහා රාජ්‍ය මැදිහත්වීමත් සමඟ චිත්‍රපට ප්‍රදර්ශකයන්ට චිත්‍රපට ප්‍රදර්ශනයට නිදහසක් ලබා දිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ වගේ මම කියනවා අද චිත්‍රපට සංස්ථාව සතු රිද්මා මණ්ඩලය සංස්ථාවෙන් අයින් කොට එයත් ස්වාධීන මණ්ඩලයක් විය යුතුය කියන දේ. එහෙම වුණොත් අපේ චිත්‍රපට නිෂ්පාදකයන් අධ්‍යක්ෂවරුන්ට මීට වඩා යහපතක් සැලසෙයි කියලා මම හිතනවා.

පුරා වසර 48 ක් සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔබ තව නොබෝ දිනකින් ජීවන මඬලේ කඩඉමක් පසු කරනවා?

මේ මස 27 වැනිදාට මට වයස අවුරුදු හැත්තෑ පහක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.