මම ලබන වසරේ විශ්‍රාම යනවා

නොවැම්බර් 21, 2019

පි‍්‍රයන්තගේ සොඳුරු කැඳැල්ලට යමු

මගේ පළමු වෘත්තිය ගුරු වෘත්තියයි

"මුජේ බොහොත් සුන්දර් පරිවාර් හේ. වී ලෝක් මෙරි සින්දර් ගි හේ. මුජේ ඒක් බෙටී ඕර් ඒක් බේටා හේ. බොහොත් ප්රෙයාර් හේ හස්බන්ඩ් කේ සාද්"

(මට ලස්සන පවුලක් ඉන්නවා. ඒ අය මගේ ජීවිතයයි. මට දුවෙකුත්, පුතෙකුත් ඉන්නවා. බොහොම ආදරණීය සැමියකුත් සමඟ)

තමන්ගේ පවුල ගැන මෙහෙම කියන්නේ හාස්‍ය රංගනයට ප්‍රවීණ රංගන ශිල්පියකු වන ප්‍රියන්ත සෙනෙවිරත්නගේ ප්‍රිය බිරිය. කාංචනා කාරියප්පෙරුම. ඈ හින්දි භාෂාවට ප්‍රවීණ ශිල්පිනියක්. ගුරුවරියක්. අනුලා විද්‍යාලයේ හින්දි භාෂාව උගන්වන කාංචනා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක්.

"බිරියට වගේ ම ප්‍රියන්ත අයියේ ඔයාටත් හින්දි කතා කරන්න පුළුවන් ද?"

පසුගිය දිනෙක ප්‍රියන්ත සෙනෙවිරත්නගේ කැදැල්ලට පිවිසුණු මා ඔහුගෙන් විමසුවේ ඔහුගේ බිරිය කාංචනා පැවසුව සුන්දර අදහස යළිත් සිතට නඟන ගමන් ම.

"මට හින්දි ගීත නම් ගයන්න පුළුවන්. ඒත් හින්දි කතා කරන්න පුළුවන් කොඤ්ඤං කොඤ්ඤං තමයි"

ඔබ බෙහෙවින් ආදරය කරන රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න මගේ ප්‍රශ්නයට පිළිතුරු පැවැසුවේ උස් සිනහ හඬක් මුවඟට නංවමින්. ඔහුගේ සිනහව මුළු නිවෙස පුරාම විහිදුණා. ඒ සිනහවට හවුල් වෙන අතර තුර ම මගේ මතකයට නැඟුණේ මේ දවස්වල ඔහුගේ රුව විවිධ ආකාරයට අපේ නෙතඟ ගැටෙන බව.

"මේ දවස්වල හිරු රූපවාහිනියේ ඔබ වෙනම ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ නිසා සෑම සති අන්තයකම විවිධ ස්වරූපයෙනුයි ඔබ රූපවාහිනි නරඹන්නන් අතරට එන්නේ?"

"හිරු රූපවාහිනියේ 'හිරු සුපර් ඩාන්සර්' කියන වැඩසටහනේ ඉදිරිපත් කරන්නෙක් විදියට සහභාගි වෙනවා. එහිදි දවසින් දවස විවිධ චරිත මඟින් වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක් කරමිනුයි මා නරඹන්නන් අතරට එන්නේ. එහි අවසන් මහා තරගයේ වැඩසටහන තිබෙන්නේ මේ මාසයේ 23 වැනිදා. මේ දවස්වල ඒ සඳහා අප සියලු දෙනා සූදානම් වෙමිනුයි කාලය ගත කරන්නේ."

ඒ කියන්නේ ඔහු බෙහෙවින් කාර්යබහුල රංගන ශිල්පියකු වී හමාරයි. ඒ විතරක් ම නොවෙයි, මේ දවස්වල තිරගත වන 'ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්' චිත්‍රපටයේත් ඔහුගේ රඟපෑම අප දකිනවා.

"උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ චිත්‍රපය තමයි 'ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්' කියන්නේ. එහි මට රඟපාන්න ලැබුණේ ප්‍රධාන චරිතයක්. මේ දවස්වල එය ප්‍රදර්ශනය වෙනවා. මේ චිත්‍රපටය කරන කාලයේ උදයකාන්ත මහත්තයා මට කතා කරලා කිව්වේ මම කරන්න යන්නේ කොමඩි චිත්‍රපටයක් නොවෙයි. ඒත් මිනිස්සුන්ට යමක් හිතන්න අවබෝධ කරලා දෙන්න දෙන චිත්‍රපටයක්. මේකේ ඔයාගේ චරිතය ඇවිල්ලා ඔයාමයි කියලා. මේ චිත්‍රපටයේ මගේ චරිතයේ නමත් ප්‍රියන්ත. මාව එහිදි හඳුන්වලා දෙන්නෙත් ඒ විදියටමයි. ඒක හරිම සීරියස් රෝල් එකක්. එහෙම වුණත් මට හිනා වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. එයට අමතරව මේ චිත්‍රපටයට කලින් මා රඟපෑවේ ගිරිරාජ් කෞශල්‍යගේ 'කතුරු මිතුරු' කියන චිත්‍රපටයේ. එහි සියලු කටයුතු අවසන් වෙලා අපි මේ ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වන තුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ කටයුතුවලට අමතරව මගේ ගුරු වෘත්තියේ කටයුතුත් කරගෙන යන අතර ම නාට්‍ය හා රංගකලාව පන්තිත් ආරම්භ කළා. අ.පො.ස.සාමාන්‍ය පෙළ ළමයින්ගේ ප්‍රායෝගික පරීක්ෂණ තිබුණා. ඒ කටයුතුත්, පාඩම් කටයුතුත් අවසන් කළා. ඒ වගේ ම උසස් පෙළටත් පන්ති ආරම්භ කළා."

මේ කටයුතුවලට අමතරව ඔහු සෑමදෙනකුගේ ම හදවත සතුටින් පුරවන රංගන ශිල්පියක්. බොහෝ දෙනා ආදරය කරන්නේ ඔහුගේ මේ ගුණයට. ඒ නිසා ම ඔහුට විවිධ ආයතනවලින් විවිධ ආරාධනා ලැබෙනවා. ඔහුත් එක්ක ඔහුගේ ගණයටම අයත් ප්‍රාණ හා සමාන මිත්‍රයා ගිරිරාජ් කෞශල්‍යයත් මේ වැඩසටහන්වලට සම්බන්ධයි.

"අවුරුද්ද අවසානයේ විවිධ ආයතනවල සුහද හමු ආදි විනෝදාස්වාදය ගෙනෙන විවිධ වැඩසටහන් තිබෙනවා. ඒ ලැබෙන ආරාධනා අනුවයි ඒ වැඩසටහන්වලට ගිහින් ගිරිරාජ්ත්, මමත් විනෝදාත්මක නාට්‍ය අංග ඉදිරිපත් කරන්නේ. ඒ වගේ වැඩසටහන් යූ-ටියුබ් එකේත් දැන් ඔබට නරඹන්න පුළුවන්. මේ ඉදිරිපත් කරන විනෝදාත්මක නාට්‍යවලට, අපේ කොමඩි රඟපෑමට හොඳ ඉල්ලුමක් තිබෙන බවයි අපට හැඟුණේ. මොකද බොහෝ අය අපෙන් විමසන්නේ ඔයාලගේ මේ වැඩසටහන් එක එක තැන්වල තිබෙන නිසා ඔයාලගේම යූ-ටියුබ් චැනල් එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි කියලයි. ඒ සඳහා පිළිතුරක් ලබා දෙන්නයි අපි දෙන්නා මේ දවස්වල වෙහෙසන්නේ. ඉදිරියේදි ගිරිරාජ් විත් ප්‍රියන්ත කියන යූ - ටියුබ් චැනල් එක ළඟදීම ලෝන්ච් කරන්නයි බලාපොරොත්තු වන්නේ.”

ප්‍රියන්ත ඇතුළු පවුලේ සියලු දෙනාම නියැළෙන්නේ එක එක වැඩවල. ලබන අවුරුද්දේ ඕලෙවල් කරන්න ඉන්න පූජානි මාණික්‍යා දුව ඉගෙන ගන්නේ 9 පන්තියේ. චිරාත් ගගන් පුතා 7 පන්තියේ. දෙන්නම යන්නේ පානදුර ජාත්‍යන්තර පාසලට. ඒ නිසා ඔවුන් සිව්දෙනා ම නිවෙසේ රැඳෙන්නේ එහෙමත් දවසක. අදත් ඒ වගේ දවසක්.

"පුතත්, දුවත් ඔබ වගේම රංගනයට දක්ෂ දරුවන් ද?"

"මේ දෙන්නා රඟපෑමට නම් ඒ තරම් කැමැත්තක් පෙන්නන්නේ නැහැ. අපේ නෝනා සංගීතයට ළැදි නිසා මේ දෙන්නා හොඳට ගායනා කරනවා. විවිධ තරගවලින් ජයග්‍රහණය කරනවා. මේ වන විට සංගීත විශාරද විභාගයි කරන්නේ. නිතරම සංගීත පන්ති ගෙදර පැවැත්වෙන නිසා ඒ කටයුතුවල නිරත වෙනවා. දෙන්නම දැනුම් තේරුම් ඇති දරුවන් නිසා අපට පහසුයි. ඒත් ඒ අයගේ වැඩ අපට වඩා වැඩියි. මේ නිසා ඒ දෙන්නාගේ වැඩ අනුවත් අපට හැඩ ගැහෙන්න වෙලා. වෙනදා නම් අපි දෙන්නා හිතු මතේ වැඩ කළාට දැන් ඒකට ටිකක් අපහසුයි. ගෙදර පරිසරය වෙනස් වෙලා."

ප්‍රියන්ත උගන්වන්නේ සයන්ස් කොලේජ් එකේ. ඒ නිර්මාණකරණය හා තාක්ෂණවේදය කියන විෂයය. ඔහු රංගන ශිල්පියෙක් විදියට රටම දැන ගත්තත් වෘත්තියෙන් ගුරුවරයෙක්.

"ඔබ පුංචි තිරයේ දකින්න නොලැබෙන්නේ ඒ වෘත්තියට පළමු තැන දෙන නිසා ද?"

"මගේ පළමු වෘත්තිය ගුරු වෘත්තියයි. විනෝදාංශයක් විදියටයි නාට්‍ය කළේ. ඒත් නාට්‍ය එන්න එන්නම මූලික වෘත්තිය බවට පත් වුණා. රජයේ වෘත්තියත් කරන අතර තුර ම රංගනයත් වෘත්තියක් විදියට කරගෙන යනවා. මේ දෙකම කරන නිසා කාලය කළමනාකරණය කරගන්න අපහසුයි. ඒ නිසා මේ දවස්වල ටෙලි නාට්‍යයෙන් ඈත්වෙලා ඉන්නවා. ටෙලි නාට්‍යවලින් විශාල කාලයක් අවශ්‍යයයි. ඒ නිසා ඒවත් සමඟ හැලහැප්පීම අපහසුයි. ඒ වගේ ම හොඳ ටෙලි නාට්‍යයක් රඟපාන්න ලැබුණෙත් නැහැ. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් භාර ගන්න අදහසක් තිබෙනවා. මේ හැමදෙයක් වගේම කියන්න ඕන ලබන වසරේ මුල වන විට මා සම්පූර්ණයෙන්ම රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නයි හිතාගෙන ඉන්නේ. රාජ්‍ය සේවයට වසර තිහක්. ඉන් පස්සේ නම් මට තරමක විවේකයක් ලැබේවි. මේ විවේක කාලය වෙනස්ම දෙයකට යොදවන්නයි හිතාගෙන ඉන්නේ. මා වසර තිස්පහක් පමණ ලබා ගත්ත අත්දැකීම් අලුත් පරම්පරාවත් එක්ක බෙදාහදා ගන්නයි මට වුවමනා වී ඇත්තේ. ඒ බෙදා හදා ගැනීම කොළඹට සීමා නොකර මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමේ අදහසක් මගේ සිතේ තිබෙනවා. සේවයක් විදියට. එතැනදි ජීවත්වෙන්න මුදලුත් අවශ්‍යයයි. ඒත් මුදලටම සීමා නොවී ඈත පිරිසර අයටත් මගේ අත්දැකීම් බෙදා දෙන්නයි සිතාගෙන ඉන්නේ."

අපහසු කාර් යයන් අතර එකක් වන්නේ හාස්‍ය මඟින් මිනිසුන් සිනා නැංවීමයි. ඒ අපහසු කාර්යයේ නියැළෙන ප්‍රියන්ත සෙනෙවිරත්නට සාමාන්‍ය ආකාරයේ රංගන ශිල්පියකු වූවා නම් මීට වඩා වාසි සහගත නොවනු ඇති ද? මට එහෙම සිතුණා.

"ඒ කාර්යයේ වාසි අවාසි ගැන සිතනවාට වඩා අපේ හැකියාව මොකක් ද කියලා දන්නවනේ. කතාවට කියනවා නේ විකට චරිතයත් රඟපෑම පහසු නැහැ කියන එක. ඒක හැම නළුවකුම, නිෂ්පාදකවරයකුම, අධ්‍යක්ෂවරයකුම දන්න කාරණයක්. හැබැයි මට ඒ සඳහා සම්මාන පවා ලැබිලා තිබෙනවා. 2017 ජනාධිපති සම්මානය. 2009 රයිගම් සම්මානය. මේකෙන් කියන්නේ හාස්‍යය රංගනය යම් කිසි ඇගයීමකට ලක් කර ඇති බවයි. හැමෝම කියනවා නම් මේක අපහසු චරිතයක් කියලා අනෙක් චරිත ඒතරම් අපහසු නොවන බවයි නේ ඒකෙන් කියන්නේ. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්."

ප්‍රියන්ත සෙනෙවිරත්න රඟපෑව චරිත අතර තවමත් ප්‍රේක්ෂකයන් ඔහු ව හඳුන්වන චරිතයක් තමයි බෙනා මාමා. පබළු ටෙලි නාට්‍යයේ රඟපෑව මේ චරිතය ගැනත් කතා නොකළොත් අඩුපාඩුවක්.

"ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මේ නාට්‍යය ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයක්. එහි රඟපෑ සියල්ලන්ම මේ චරිතය රඟපාන්න මට ගොඩක් සහයෝගය දුන්නා. ඒකට වෙනම රඟපෑමක් මා නිර්මාණය කර ගත්තා. ඒ වගේ ම මේ වගේ චරිත කරන එක බොහොම භයානකයි. ඒ නාට්‍යය කොටස් 250කට වඩා ගිය නාට්‍යයක්. එහෙම වුණාට පස්සේ ඒ වගේ චරිත අපේ සැබෑ ජීවිතයටත් ඇතුළු වෙන්න බලනවා. මේ චරිතය කතා කරන විදිය. ඇවිදින විදිය. ඇත්තම කිව්වොත් මේ ලක්ෂණ මගේ ජීවිතයෙත් නොතිබුණා නොවෙයි. ඉන් පස්සේ එවැනි චරිත මා භාර ගත්තේ නැහැ. මා කාලයක් නිදහස්ව සිටියා. ඒ නිසා විවිධ රංග අභ්‍යාස මඟිනුයි මේ තත්ත්වය වෙනස් කර ගත හැක්කේ."

මීට පෙර අප යන විට අඩක් නිමව තිබූ නිවෙස මේ වන විට සුන්දර නිවහනක් ලෙස සම්පූර් ණ වෙලා. සුන්දර නිවෙසක සිහිනය ඔහුත් බිරිය කාංචනාත් සැබෑ කරගෙන. ඇගේත් මහන්සිය නිසා මුළු නිවෙසෙම හැඩ වෙනවා වගේ ම ප්‍රියන්තගේ ජීවිතයටත් ඈ ආලෝකයක්.

"අපි දෙන්නාම වැඩවල නියැළෙන විට මේ කටයුතුවලට සහය වන්නේ මගේ අම්මා, තාත්තාට අමතරව තවත් අපේ අක්කා කෙනෙක් ඉන්නවා."

කාංචනා ඔවුන්ගේ කාර්යබහුල ජීවිතය අතර සුන්දරව දිවි ගෙවනවා. ඇගේ සුන්දර බවත් සමඟ ප්‍රියන්තගේ ජීවිතය තව තවත් සුන්දරයි. නිතර ම කිචි බිචි ගගා ඉන්න පූජානි හා චිරාත් කුරුලු පැටව් දෙන්නා ඔවුන්ගේ සුන්දර ජීවිතයට අර්ථයක් ගෙනැවිත්. ඔවුන්ගේ එකමුතු බව දැක්ක මගේ සිතට නැඟුණේ එවැන් සුන්දර සිතිවිල්ලක්.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.