තනියම ඉන්නයි මං ආසා

නොවැම්බර් 21, 2019
ප්‍රාර්ථනා සෙව්වන්දි

 

මට වැඩිපුර කතාකරලා තියෙන්නේ ඓතිහාසික නිර්මාණවලට.

 

මං කොහොමත් ඒවගේ නිර්මාණවලට ආසයි.

 

රාවණා ටෙලි සිතුවමේ සෙන්පතිනි ඇයයි. නිරූපණ ශිල්පිනියක වශයෙන් ද ඇය කැපී පෙනෙයි. ලැබෙන සෑම චරිතයක්ම බාර නොගෙන ඉන් තෝරා බේරාගෙන රංගනයේ නියැළීමට ඇය අපේක්ෂා කරයි. හඳුන්වා දීම ඇයටම බාරදී රිසි සේ අදහස් දැක්වීම ඇයට මෙසේ අපි ඉඩහසර ලබා දෙන්නෙමු.

පළමුව මං තුති පුදනවා සරසවිය පුවත්පතේ මං වෙනුවෙන් ඉඩක් ලබා දුන්නාට. මම ප්‍රාර්ථනා සෙව්වන්දි. දැනට රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරනවා. මෝස්තර නිරූපණයෙත් යෙදෙනවා. මොඩ්ලිං කරන්න ඇවිල්ලා දැන් අවුරුදු දෙකාහමාරක් වෙනවා. උරුමයක අරගලය නාට්‍යයේ තමයි මං පළමුවරට රංගනයේ යෙදුණේ. ඊට පස්සේ සකූගෙ කතාව, සිද්ධාර්ථ ගෞතම වගේ නිර්මාණවලට කතා කළා. වඩාත් කැපී පෙනෙන චරිතය කළේ රාවණා නාට්‍යයේ. ඒකේ දෙවැනි කොටසෙත් මං ඉන්නවා. සෙන්පතිනිගේ චරිතය පෙරටත් වඩා ඒකේ ඉස්මතු වෙන විදිහට තමයි නාට්‍යය ලියවිලා තිබුණේ. මං ඉගෙන ගත්තේ වෑවිට මෛත්‍රී නවෝද්‍යා පාසලෙන්. මගේ ගම බණ්ඩාරගම. පුංචි කාලේ මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න නමුත් මාව ඉබේටම මේ පැත්තට යොමු වුණා. මං රූප රැජන තරගාවලි කිහිපයකටම ගියා. ඒ අතරින් දෙදහස් දහඅට මිස් ශ්‍රී ලංකා යූ එස් ඒ තරගාවලි විශේෂයි. එකේ මිස් බියුටිෆුල් අයිස් හැටියට දිනුවේ මං. ඒ වගේම මිස් ලංකා තරගාවලියේ මිස් ෆොටෝ ජනික් හැටියට මං තේරුණා. මං හිතනවා රංගනයේ අවස්ථා මට උදාවන්න ඇත්තේ ඒ හින්දා.

කලාවට එද්දී එක එක අය එක එක කතා කිව්වා. මං හිතනවා කොයි ක්ෂේත්‍රයෙත් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. අපි ඉන්න විදිහ තමයි වැදගත්. කෙටි මාර්ගවලින් ජනප්‍රිය වෙන්නත් හොඳ නැහැ. කලාව ගැන නොදන්නාකම නිසාම ගෙදරිනුත් මුලින් අකැමැති වුණා. නමුත් දැන් ඒ අය දන්නවා මං වැරදි පාරේ යන්නේ නැහැ කියලා. සමහර අය උපන් දිනවලට අති විශාල උත්සව සංවිධානය කරනවා. අපෙනුත් යාළුවො අහනවා උපන් දිනයට මොකද කරන්නේ කියලා. නිළියක් වුණාම උපන් දිනයට පාර්ටියක් දෙන්න ඕන කියලයි හිතන්නේ. මම නම් වැඩේට එච්චර ආස නැහැ. කරනවට වැරැදි කියනවා නෙවෙයි. හොඳ පැත්තකුත් ඇති. නමුත් මං එහෙම නැහැ. මට වැඩිපුර කතා කරලා තියෙන්නේ ඓතිහාසික නිර්මාණවලට. මං කොහොමත් ඒවගේ නිර්මාණවලට ආසයි. ඒ වගේම හේමාල් රණසිංහ අයියත් එක්ක රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. මං ගැන තව විස්තර කිව්වොත් මගේ වයස අවුරුදු විසි තුනයි. අනූ හයේ දෙසැම්බර් විසි එක තමයි මගේ උපන් දිනේ. මං ටිකක් තනියම ඉන්න ආස කෙනෙක්. මේ වන විට මා පෙම්වතියක් නෙවෙයි. මගේ මතය අනුව මේ වගේ ක්ෂේත්‍රයක වැඩ කරද්දී පෙම්වතියක් වීම තරමක බාධාවක්. කවදාවත් ක්ෂේත්‍රයේ කෙනකු එක්ක මා විවාහ නොවේවි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.