‘චිත්‍රපට’ සම්මාන සඳහා නෙවෙයි ප්‍රේක්ෂක රස වින්දනයටයි

- සුනිල් ධර්මසිරි
නොවැම්බර් 28, 2019

 

සමහරු හිතුවා මං සුනිල් ටී සමාගමේ චිත්‍රපටවලට පමණයි ගීත ලියන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඉල්ලුවොත් ඕනෑම නිර්මාණකරුවකුට ගීත රචනා කරලා දෙන්න පුළුවන්.

 

සුනිල් ධර්මසිරි නාමය සුනිල් ටී චිත්‍රපට සමාගම හා බැඳුණු එකකි. මෙම නාමයන් එකට පෑහෙන්නට පටන් ගත්තේ අදින් වසර විස්සකට පමණ පෙරාතුව සිටය.

දෙන්නාම සුනිල් නිසා සුනිල් ධර්මසිරි නිතැතින්ම පොඩි සුනිල් බවට පත් විය. ඔහු සිංහල සිනමාවට සෘජුවම සම්බන්ධ වන්නේ සුනිල් ටී නිපැයූ දරුවනේ සිනමාපටය සමඟිනි. එහි ගීත රචකයා වූයේ පොඩි සුනිල්ය. එමෙන්ම ඔහු චිත්‍රපටයේ නිෂ්පාදන කළමනකරු ලෙසත් තව භූමිකා කිහිපයක්ම දරාගෙන එහි සාර්ථකත්වයට දර දිය ඇද්දේය. පොඩි සුනිල් දරුවනේ සඳහා ලියූ දේදුන්නෙන් පාට අරන් ළමා ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවේය. අනතුරුව චිත්‍රපට විස්සකට අධික සංඛ්‍යාවකට ගීත රචනා කරන්නට සුනිල්ට සිදු විය. දරුවනේ, දෝනි, සිංහයා, ජය පිට ජය ආදී ලෙසට පොඩි සුනිල් රචනා කළ චිත්‍රපට පෙළගැස්විය හැකිය. අද වන විට සුනිල් ටී චිත්‍රපට සමාගමෙන් ඉවත්ව කොල්ලුපිටිය සැක්සන් සිනමා ශාලාවේ කළමනාකරු ලෙසට වෘත්තීය කටයුතු කරගෙන යන සුනිල් කතාබහ ආරම්භ කළේ මෙලෙසය.

කොහොමද ඔබේ අලුත් රැකියාව?

හොඳයි වරදක් නැහැ. ආයේ ඉතින් වෘත්තීය ජීවිතයේ මුලටම ගියා වගේ දැනෙනවා.

ඔබේ සිනමා ශාලාවෙත් පේ‍්‍රක්ෂකයෝ හිඟද?

මේකෙ පෙන්නන්නේ දමිළ සහ ඉංග්‍රීසි චිත්‍රපටනේ. එවා අති දැවැන්ත පිරිවැයක් වැයකරලා නිපද වූ ඒවා. හොඳට රස විඳින්න පුළුවන්. ඒ හින්දා එවා බලන්න සෙනඟ ඉන්නවා ඒ අතරේ අපේ සිංහල චිත්‍රපටයක් දැම්මොත් සෙනඟ නැහැ. ඇයි අපි චිත්‍රපට හදන්නේ ලංකාවට විතරයි. හෝල් විසි පහක තිහක විතර පෙන්නුවොත් ඇති කියලා අධ්‍යක්ෂවරු කියනවා. එහෙමතමා චිත්‍රපට කරන්නේ අපේ අය. ඉතින් පේ‍්‍රක්ෂකයෝ නැති වෙන එක අහන්නත් දෙයක්ද.

ඔබ වෘත්තිකයකු විදිහට ඔසවා තැබූ සුනිල් ටී චිත්‍රපට සමාගමට හදිසියේම සමු දෙනවා. දැන්වත් කියමු ඊට හේතුව?

එදා හේතුවම තමයි අදටත් කියන්නේ. අවුරුදු විස්සක් වැඩ කළා. මං එතනින් යද්දි සුනිල් ටී චිත්‍රපට සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා හැටියට හිටියේ. විරාමයක් ඕන කියලා හිතුණ, ඕනම කෙනකුට එහෙම හිතෙන්නට පුළුවන්නෙ.

සුනිල් ටී චිත්‍රපට සමාගමේ ඉන්න කොට ඔබ මොනවද කළේ කියලා මං ඇහැව්වොත්?

මං එනකොට සුනිල් ටී හිටියේ වෙනම ආරක චිත්‍රපට කර කර. ඔය දරුවනේ එතැනින් ඔහු ගලව ගත්තු චිත්‍රපටය. ඒකට මුල් වුණේ මම. මං හිතනවා ඒ චිත්‍රපටය සමඟ තමයි සුනිල් ටී ගේ දෙවැනි උපත සිදු වුණේ සිනමා ගමනේ. අපේ සිනමාවෙත් ටර්නිං පොයින්ට් එකක් වුණානෙ ඒක. පස්සේ පස්සේ ඒ රටාව දිගටම පවත්වා ගත්තා. සුනිල් ටී. චිත්‍රපටල ගීත රචකයෙක්, නිෂ්පාදන කෘත්‍යාධිකාරීවරයෙක් වගේම චිත්‍රපටයක් හදන්න පෙර පිටපතත් කියවල බැලුවා. ඔක්කොටම කලින් පිටපත හොඳ වෙන්න ඕනනෙ. එහෙම අධික්ෂණය කරලා චිත්‍රපට හදන්නට සහාය වුණා. ඒ චිත්‍රපට අධික ලාබත් ලැබුවා. තව දෙයක් තියෙනවා. පෙන්න ගන්න බැරුව ඉන්න චිත්‍රපට රැසක්ම ප්‍රදර්ශනය කළානෙ. ඔය බොර දිය පොකුණ වගේ.

ඒ අතරේ ගීත රචනයෙත් යෙදුණා?

චිත්‍රපටවලට ලිව්වා. ඔය දේදුන්නෙන් පාට අරන් ගීතය ලන්ඩන්වල පවා පෙර පාසලක කොන්සර්ට් එකකට අරගෙන තිබුණා. අපේ රටේ ඒ වගේ ළමා උත්සවවලදී ප්ලේ කරනවා මං දැකලා තියෙනවා. දෝනි එකට මං ලියපු බාචි ගයන කිරි සිහින බිඳුනාදෝ ගීතයත් ජනප්‍රිය වුණා. තව චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. දෙවැනි යුද්ධය, පාට නැති ආදරයක්, අපට සැදුණ අපේ ලෝකය වගේ ඒවා.

වැඩි හරියක් ඔබේ ගීත රචනා අඩංගු වුණේ සුනිල් ටී සමාගම හා සබැඳි චිත්‍රපටවල?

ඒක මං හිතාගෙන කරපු වැඩක් නෙවෙයි. ඔය තත්ත්වය මට අවාසියකටත් හිටියා. සමහරු හිතුවා මං සුනිල් ටී සමාගමේ චිත්‍රපටවලට පමණයි ගීත ලියන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඉල්ලුවොත් ඕනෑම නිර්මාණකරුවකුට ගීත රචනා කරලා දෙන්න පුළුවන්.

ඔබ අධ්‍යක්ෂණයට යොමු නොවුණේ ඇයි මෙතරම් අත්දැකීම් එහෙමත් ලැබිලා තියෙද්දි?

තව තවත් ඉගෙන ගන්න තමයි මං ආස කළේ. අද වන විට මං පිටපත් තුනක් රචනා කරලා තියෙනවා. ඒවා තිරයට ගෙන එන්න සූදානමකුත් තියෙනවා. අන්න ඒවා මම අධ්‍යක්ෂණය කරන්නේ. මං මේ වන විට අති විශාල චිත්‍රපට සංඛ්‍යාවක් නරඹලා තියෙනවා. ප්‍රේක්ෂකාගාරවල ගැවසිලා තියෙනවා. ෆේල් චිත්‍රපට මිනිස්සු නරඹන චිත්‍රපට පිළිබඳ යම් අවබෝධයකුත් තියෙනවා. ඒවා ගැන අධ්‍යයනයක් කරලා තමයි පිටපත් රචනාවේ යෙදුණේ. සම්මාන නෙවෙයි ප්‍රේක්ෂකයනට රසාස්වාදී චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි මගේ අදහස.

සුනිල් ටී. ප්‍රනාන්දු කියන්නෙ ටිකක් හිතුවක්කාර චරිතයක්. එහෙම කෙනෙක් එක්ක වසර ගණනනාවක් වැඩ කරද්දී ගැටුම් ඇති වෙලාම නැද්ද?

ගැටීම් ඇති කරගෙන නැහැ. තෙල් තාච්චිය හැරෙන හැරෙන පැත්තට කඩල මුට්ටිය ගෙනියන කෙනෙක් නෙවෙයි මම. වැරැද්දක් නම් කියනවා. එහෙම අදහස් නිවැරිදි කර ගත්තු අවස්ථා ඇති හිසේ කෙස් ගාණට.

චිත්‍රපට අධ්‍යක්ෂණය ද ඔබේ අන්තිම අරමුණ?

ඒකත් කරලා බලනවා. ගැළපුනොත් දිගටම මං චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරාවි. මං එදා සිනමාවට එද්දී තිබුණ තැන තමයි සිනමාව අදත් තියෙන්නේ. මේවා වෙනස් වෙලාම නැහැ. ඒකට ප්‍රධානතම හේතුව චිත්‍රපට සංස්ථාවට, සබ්ජක්ට් එක දන්නේ නැති ඇතැම් අය සභාපති ධුරයට පත්වීම. හොඳ කෙනෙක් ඇවිත් මේක ගොඩ ගත්තොත් අපි වගේ දහසකුත් නිර්මාණකරුවෝ ක්ෂේත්‍රය ඇතුළේ හොඳට පෙළහර පාවි.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.