අධ්‍යක්ෂගේ සිහිනය කැමරා ශිල්පියාගේ වගකීමයි

සම්මානණීය කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා
නොවැම්බර් 28, 2019

 

අනූව දශකයේ අග භාගයේ සිට මා හඳුනන ‘රුවන් අය්යාගේ’ බාහිර ස්වරූපය නම් එකමය. ඒ දිනවල ඉතා හීන්දෑරි සිරුරක් හිමි මට තිබූ ලොකුම ගැටලුව මේ පුද්ගලයාගේ ශරීර ස්වභාවය සමඟ කිලෝ දහතුනක් පමණ බර බීටා කෑම් කැමරාව කෙසේ හසුරුවා ගන්නේද යන්නය. ඒ මුල්වරට ටීවීටී ආයතනයේදී රුවන් කොස්තා නම් කැමරා ශිල්පියා සමඟ වෙළෙඳ දැන්වීමක් සඳහා සහාය අධ්‍යක්ෂිකාවක ලෙස මා කටයුතු කළ අවස්ථාවේදි ඇති වූ සිතිවිල්ලකි. එහෙත් කිසිදු අපහසුවකින් තොරව ඔහු ඉතා නම්‍යශීලීව තම කය මෙන්ම සිත ද, වචනය ද හසුරුවාගෙන කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ ආකාරය එදා මට අපූරු දසුනක් විය. දෛවෝපගතව අප දෙදෙනාම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එකම නිර්මාණයකට දායක වෙමිනි.

ඒ එවක ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ජයන්ත චන්ද්‍රසිරිගේත්, සහාය අධ්‍යක්ෂ නිමල් ෆ්‍රැන්සිස්ගේත්, රූපවාහිනී කැමරා ශිල්පියකු වූ රුවන් අය්යාගේත්, නිෂ්පාදන කළමනාකාර මගේත් නිර්මාණයට සහභාගී වූ තවත් බොහෝ දෙනකුගේත් ප්‍රථම සිනමා ප්‍රවේශය වූ අග්නිදාහය චිත්‍රපටයෙනි. එයින් ඇරැඹි රුවන් අය්යාගේ සිනමා කැමරාකරණය අද වන විට චිත්‍රපට 26ක් දක්වා විහිදී ඇත. මේ වනවිට විසි වසරකට පෙර මා දුටු ඔහුගේ ස්වභාවය එසේම තිබියදී කීර්ති නාමය බොහෝ වැඩී ඇත. ඉතින් අපි ඒ ගමනේ තොරතුරු මුල සිට දැනගන්නට සරසවිය සම්මානලාභී ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා සමඟ මෙසේ පිළිසඳරක යෙදුණෙමු.

 

ඉතින් රුවන් අයියා අපි පටන්ගමු අලුත් වැඩකටයුතුවලින්ම? ආ ගිය තොරතුරු විමසීමෙන් පසු මම මුල පිරුවෙමි.

"මේ දවස්වල ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මන්දාරා චිත්‍රපටයේ කැමරාකරණය කළ යුතු ආකාරය ගැන තමයි කල්පනා කරන්නේ. පසුගිය දවස්වල වෛද්‍ය නෙඔමාල්ගේ දඩඉම, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී වැඩකටයුතු ඉවර කළා. ළඟදිම එන්න තියෙන්නේ කන්දක් සේමා චිත්‍රපටය. මේ ටිකේ තිබුණු එක එක දේවල් නිසා ටිකක් කල්ගියා." ඔහු කෙටියෙන් කියා අවසන් කළේය. යළි මගේ වාරයයි.

අපි කියමුකෝ කැමරා ශිල්පියෙක් වෙන්න මුල පිරුණේ කොහොමද කියලා?

"මම ඉස්කෝලෙ ගියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට. අපේ චිත්‍ර ස'ර් අපට ජනේලයක් ළඟ පෝච්චියක්, බෝලයක්, අරලිය අත්තක් එහෙම තියලා අඳීන්න දෙනවානේ. මම ඒ ආලෝකය අඳුර නැත්නම් ලයිට් ඇන්ඩ් ෂේඩ් හැදෙන විදිහ අඳීන්න හරි ආසයි. අද වුණත් මම ආසා ඒ දේට. චිත්‍රපටයක අලෝකකරණය කරන්න ගියාම මට අදත් අපේ ඉස්කෝලේ වීදුරු කොටු -කොටු ජනෙල්වලින් ඒ වස්තූන් ආලෝකවත් වුණ ආකාරය මැවෙනවා. ඉස්සර මට හොඳට චිත්‍ර පුළුවන්. කාටූන් එහෙමත් ඇන්දා. ළමයින්ට විහිළු කරන්නේ ඒවායින්. දැන් පෑනක් පැන්සලක් ඇල්ලෙන්නැති නිසා චිත්‍ර බැහැ. (සිනාසෙයි). ඔය ආසාව නිසා නිවාසාන්තර නාට්‍ය උලෙළ තියෙනවානේ, මම චිත්‍ර ස'ර් මුණගැහිලා කීවා මට රඟපාන්න ඕනේ කියලා. එතකොට නම් මම හුඟක් කෙට්ටුයි හොඳේ." ඔහු අප සිනා ගස්සමින් කීවේය.

"ඉතින් ස'ර් මාව ගත්තා අපේ නිවාසයේ නාට්‍යයකට. ගටම් ගහන ක්‍රිෂ්ණා දන්නවනේ එයා අපට වඩා සීනියර්. ඉතින් අපි එකතුවෙලාත් නාට්‍ය කරන්න ගත්තා. ඇත්තටම මම ෆොටෝග්‍රැෆි පැත්තට එන්නේ මගේ අක්කා ඉන්දු ශ්‍යාමලී කොස්තා හින්දා. ඒ කාලේ අක්කා ඡායාරූප ඩිප්ලෝමාවක් කළා. එයාගෙ තනියට යවන්නේ මාව. මමත් ඉතින් පැත්තකට වෙලා ඒ කියන දේවල් අහගෙන ඉන්නවා. ගෙදර ඇවිත් අක්කා සුදු කළු කන්ටෑක්ට් ෂීට් ගහමු කියලා කතාවුණා. අක්කා තියරි ටික දන්නවා දැන් ප්‍රායෝගිකව පින්තූර මුද්‍රණය කරගන්න සහයට ඩැනී තමයි මම. අපිම ගත්ත පින්තූරයක් පළමුවෙනි වතාවට ප්‍රින්ට් කරලා බලනවා කියන්නේ ජීවිතේ මාරම දෙයක්. අක්කට අවසන් ඇල්බමය හදන්න ඕනෙ වුණා. ඒකට පින්තූර අපිම ප්‍රින්ට් කරන්න එන්ලාජරයක් ඕනෙ. ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් අපි එකක් හදන්න හිතුවා. අපේ අයියා කෙනෙක් හිටියා රුසියාවේ ගිහින් ඇවිත්. එයාගේ කැමරාවේ ලෙන්ස් එකක් ඉල්ලගෙන, ගෙවල් ළඟ හිටපු වඩු බාසුන්නැහේ කෙනෙක් අල්ලගෙන ලී පෙට්ටියක් ගහලා බෙලෝ එකකුත් හදාගෙන අම්ම‌ට කියලා කළු රෙදි කෑල්ලකින් ඉලාස්ටික් දාලා මහගෙන අපි ප්‍රින්ට් කරන්න ගත්තා. කන්ටෑක්ට් ෂීට් ගහපු නිසා ටයිමිං දන්නවා ප්‍රින්ට් එකක ඩිවලොපිංවල. අපට ඩාක්රූම් එකක් නෑ. රෑට ලයිට් නිවලා, වොට් පහේ රතු ලයිට් එකක් දාගෙන තමයි කරන්නේ. ටයිමින් දෙන්නෙ හිතෙන් එක දෙක තුන කියලා. ප්‍රින්ටිං පේපර් ගන්නත් වැඩිය සල්ලි නැති නිසා ඉස්සෙල්ලා පොඩි කෑල්ලක් ඉරලා ඒකේ එන විදිහ බලලා තමයි අඩු වැඩි කරන්න ඕන දේවල් තීරණය කරන්නෙ. අපට වැඩි හරියක් ලොකේෂන් තිබුණේ පේරාදෙණිය උද්‍යානයේයි, කඩුගන්නාවේ බිංගේ, මිනිස් මුහුණු වගේ ඒවා තමයි. අක්කගේ වැඩේ ආභාසය මට තිබ්බ නිසා මම කරපු වැඩේ ඉස්කෝලේ නතර වෙලා තිබුණු ෆොටෝග්‍රැෆික් සොසයිටි එක ආපහු පටන් ගත්තා. චිත්‍ර ස'ර් ගාව තමයි ඩාක්රූම් එකේ යතුර එහෙම තිබුණේ. මම කීවා මට ප්‍රින්ට් කරන්න ඩිවලොප් කරන්න එහෙම පුළුවන් කියලා.

ස'ර් කීවා එහෙනම් ඕගොල්ලො පටන් අරන් මටත් උගන්නන්න කියලා. අපට කලින් සංගමේ කරගෙන ගිය අය්යලා කථිකාචාර්යවරුන් වගේ ගෙන්නගෙන පන්ති පැවැත්වුවා. මලකඩ කාපු එන්ලාජර් සුද්ද කරලා අරගෙන, ගෙදර හදපු ඩිවලොපර් එකත් ගෙනියලා වැඩේ පටන් ගත්තා. අක්කගේ පොත් ඔක්කොම කියෙව්වා. ඉස්කෝලේ පොඩි පොඩි උත්සවවලත් පින්තූර ගත්තෙ මම. පස්සේ ඉස්කෝලෙ ළමයින්ගේ පින්තූර ගත්තා. ඉතින් හොඳට ගන්නවා කියලා දැක්කාම තව තව ඉල්ලුම වැඩි වුණා. යාළුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලටත් උදව් කරන්න වුණා, මොකද යාළුවෝ හොරෙන් කොහේ හරි ගිහින් ගන්න කපල් ෆොටෝස් අරන් දෙන්න එපැයි. ඊට පස්සේ අක්කලාගේ යාළුවන්ගෙ ගෙවල්වල උපන්දින සාද,නංගිලාගේ උත්සව, මඟුල් ගෙවල් ඔහොම ඔහොම මම ඒ ප්‍රදේශයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියා වුණා.

 

 

සල්ලිවලටමත් නෙවෙයි. සමහර වෙලාවට යාළුවන්ට කියනවා රීල් එක අරන්දෙන්න කියලා. පින්තූර ටික අරගෙන දෙනවා ප්‍රින්ට් කරගන්න කියලා. ඒ කාලේ කළු සුදු අපට මුද්‍රණය කරන්න පුළුවන් වුණාට වර්ණ මුද්‍රණය කරන්න සිංගප්පූරු යවන්න ඕනා. මම මේ කියන්නේ අසූ ගණන්වල මැද වගේ. මම ඒ ලෙවල් විභාගෙ කරලා ඇත්තම කීවොත් මේ වැඩෙන් කීයක් හරි අතටත් එන නිසා ඉලෙක්ට්‍රොනික් ගැන ටෙක් කෝස් එකක් කළා මිසක උසස් අධ්‍යාපනය ගැන වදවෙන්න කැමති වුණේ නැහැ. මට හිතුණා මේක තමයි වැඩේ කියලා. වෙඩින් තියෙන කාලෙට රීල් බන්ඩ්ල් ගණන් මම ගෙන්වන්නෙ. ඒ අතර නාට්‍ය පිස්සුවත් තිබුණ නිසා අපේ යාළුවෝ කට්ටියක් එකතුවෙලා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කපුවා කපෝති නාට්‍යය නව නිෂ්පාදනයක් කළා. ඒකේ මානිස් මුදලාලිගේ චරිතය කළේ මම. ඒකට මට බඩක් බඳීන්නත් සිද්ද වුණා.

සුජීව ලියනගේ තමයි අධ්‍යක්ෂණය කළේ. කපිල කුමාර කාලිංග සින්දු ලීවේ. අපි ඉතින් ෂෝස් විස්සක් විතර කළා. ඒ කාලේ ටෙලිවිෂන් ආපු අලුත නිසා ඒ පිස්සුවත් තිබුණා. ඒ ඔක්කොමේම මිශ්‍රණයක් අපට තිබුණේ. ඉතින් නුවර සත්‍යෝදය පදනමේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් කියලා කෝස් එකක් කළා. සුචරිත ගම්ලත් මහාචාර්යතුමා තමයි දේශනවලට එහෙම ආවේ. මට මතකයි මැල්කම් මචාඩෝ, සුදත් මහදිවුල්වැව එහෙම ඒකේ නාට්‍යකරණය කරනවා. ඒක නිසා චිත්‍රපට ගැන ඉගෙන ගන්න හරි උනන්දුවක් ඇති කරන යොමුවක් වුණා. අපට සිද්ධාන්ත විරතයි ඉගැන්නුවේ. ඒත් අපි යාළුවෝ එකතුවෙලා ලයනල් වෙන්ඩ්ට් එක ගාව වටරවුමේ එක්කෙනෙක් ඇවිදන් එනවා සුපර් එයිට් එකෙන් කෙටි චිත්‍රපටයක් කළා. ඒක තමයි මගේ ජීවිතේ පළමුවෙනි සිනමා කැමරා අත්දැකීම. හැබැයි ඒක ප්‍රින්ට් කරන්නවත් බැරි වුණා. වෙච්ච දෙයක් අපි දන්නෙත් නැහැ. ඉතින් මට මේ ගැන තිබුණු උණ වැඩි වෙච්ච පාර තාත්තා ඒක දැනගෙන කතෝලික සිනමා පර්ෂදයේ පාඨමාලාවට යැව්වා. ඒ අතර තාත්තා ම‌ට හොඳ කැමරාවකුත් අරන් දීලා තිබුණු නිසා මඟුල් ගෙවල් එහෙමත් කරන වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියේ ඉබේම. හැබැයි අපි දැන් පරම්පරාව වගේ නිකං හිටියේ නැහැ. පුළුවන් තරම් වැඩ කළා." ඔහු බොහෝ හිතාමතා කීවේය. ඉන්පසු යළි සිනමා පර්ෂදයේ මතකයට ගොඩවිය.

"අපට කලින් බැච් එකේ තමයි සුනේත්‍රා රාජකරුණලා, අයේෂ්මන්ත හෙට්ටිආරච්චිලා හිටියේ. මාත් එක්ක විමල් දේශප්‍රිය, බෙනට් රත්නායක, වික්‍රම සෙනෙවිරත්න, එල්සන් දිවිතුරුගම වගේ අය එක්ක දෙසීයයක් විතර කට්ටිය. අපට ඉගැන්නුවේ ඇන්ඩෲ ජයමාන්න ස'ර්. හොඳ ප්‍රායෝගික පාඩමක් කරනවා. හැබැයි අපට තිබුණේ වීඑච්එස් කැමරා. හවසට මලිමීටර් 35,16 චිත්‍රපට පෙන්වනවා. අවසන් පරීක්ෂණයට අපට කෙටි චිත්‍රපටයක් කරන්න වුණා. මම කළේ ආවර්ජනයක් කියලා රෑ වැස්සේ සොහොනකට එන මනුස්සයෙක්ගෙ කතාවක් අධ්‍යක්ෂණය කරපු එක.

ඒ වෙද්දි අපට යූටියුබ් අරවා මේවා මුකුත් නැහැ. කවදාවත් ෂූටිං එකක් දැකලත් නැහැ. ඒත් මට වැස්ස ඕන නිසා මමම හිතලා කැමරා ලෙන්ස් එක ඉස්සරහින් ෂවර් එකක් හයි කරලා වහිනවා කියලා පෙන්නන්න ෆොටෝ ෆ්ලඩ් ලයිට් දාලා ෂූට් කළා. ඒක මගේ හිතට හරියන්නේ නැහැ. දවල් වගේ ලයිට් එක. මට ලයිට් ඇන්ඩ් ෂේඩ් ඕනෙනේ. උදව්වට මට අර හැම තැනින්ම ආපු යාළුවො නම් වැහි වැහැලා හිටියා අපේ ගෙදර. අම්මා උයලා දෙනවා, තාත්තා කන්තෝරුවෙන් ගෙනාපු වාහනේක අපිව දාගෙන ගිහින් බස්සලා. ගෙවල් ගාව කනත්තක තමයි ෂූට් කළේ ළඟපාත ගෙදරකින් කරන්ට් එකත් ඉල්ලගෙන. අර වැස්සත් මට හරි ගියේ නැහැ.

මොකද ළඟ විතරනේ වහින්නේ. පස්සේ වැස්ස අයින් කළා. ඒ පැත්තම වතුරෙන් තෙමලා වැස්ස පෑයුවට පස්සේ කියලා කතාව වෙනස් කළා. පස්සේ බිස්කට් පෙට්ටිවල කෑලි කපලා ලයිට්වලට අල්ලලා අඳුර හදාගත්තා. දැන් මට කතාව එඩිට් කරන්න ඕනේ. ටෙලිෆින් කියන ආයතනයේ තමයි අපට අවස්ථාව දීලා තිබුණේ වෙලාවල් වෙන්කරලා. දැන් මගේ වීඑච්එස් එක එඩිට් කරන්න බෑ. යූමැටික්වලට මාරු කරගන්න ඕනේ. රණතුංග කියල මහත්තයෙක් ඒක කරල දුන්නා. දැන් මට සවුන්ඩ් ට්‍රැක් ඕනෙ. විලිරුදාව හැදුණු ගෑනුකෙනෙක්. ඔරලෝසු බට්ටෙක්, රැහැයි හඬක් එහෙම. අපට මයික් නැහැ. අපේ ගෙදර කැසට් ප්ලෙයර් එකට ඉලෙක්ට්‍රොනික් වැඩ කරන බාප්පා කෙනෙක්ට කියලා ඒ කාලේ තිබුණු ටෙලිෆෝන් රිසීවරයක මයික් එකට වයර් දෙකක් ගැටගහලා කැසට් එකට හයි කරලා බැට්රි කෑලි දාලා ගෙම්බන්ගේ සද්ද ගන්න වෙලේ තියාගෙන ඉන්නවා යාළුවොත් එක්ක. ඒක විශාල ව්‍යාපෘතියක්. අපි ගෙදරට කියලා යන්නේ ෆිල්ම් එකේ සවුන්ඩ් රෙකෝඩින් කියලනේ" ඔහු අපව හිනස්සන්නේ කිසිදු ආයාසයකින් තොර උපහාසයෙනි.

"මට මේ ශබ්දත් හරියන්නේ නැහැ. කැසට් එක ඔන් කරන සද්ද එනවා පිළිවෙළක් නැහැ. අපේ ඉස්කෝලෙ බස් එකේ ගියා ඒරානන්ද හෙට්ටිආරච්චි අයියා. එයා ගුවන්විදුලියේ නිසා මම එහෙ ගියා එයාව හමුවෙන්න. එදා මේ ක්ෂේත්‍රයේ මම දන්න එකම කෙනා එයා. කොහොමද ඉස්සල්ලා චිත්‍රපටය බලන්නේ ඇහුවාම අපේ ගෙදර ඩෙක් එකක් නෑ. ළඟ ගෙදරක ඇන්ටි කෙනෙක් ඩුබායි ඉඳලා ඩෙක් එකක් ගෙනල්ලා පැකිංවත් කඩලා නැතුව තිබුණා. ඒ අය දන්නෙත් නැහැ ඒක වැඩකරන විදිහ. අපි එහෙන් මෙහෙන් කරලා හයි කරලා බැලුවා. ටයිම් කෝඩ් නැති නිසා කට්ට වැටෙන මීටරෙන් රූපරාමු ගාණට ලියලා ඒකට හරියන විදිහට ඒරානන්ද අයියා ඇග්නස් සිරිසේනට කියලා සවුන්ඩ් ට්‍රැක් එකක් හොරෙන් කරවලා හොරෙන්ම මට ගෙනත් දුන්නා. දැන් ඒක කීවට කමක් නෑනේ?" ඔහු යළිත් කියන්නේ උපහාසයෙනි. ඒ කෙටි චිත්‍රපටය දෙබස් රහිත වූවකි. වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස වීඑච් එස් අංශයේ සම්මානය ලැබුවේ ද එයයි.

"මට මතකයි රෑ ප්‍රවෘත්තිවලට රිචඩ් ඩි සොයිසා ඒක කියනවා. පහුවෙනිදා උදේ ගමේ ආච්චිලා මට කැවුම් කිරිබත් හදලා ගෙනත් දෙනවා, ගමම සුබපතනවා. ටීවී එකේ පෙන්නපු ළමයෙක්නේ මම. මේ තරගයේ යූමැටික් අංශයෙන් සම්මාන ලැබුණේ බෙනට් රත්නායකට. ස්ලයිඩිං අංශයෙන් බන්දු ගුණරත්නම්ට. අපට මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ වෙලාවේ බෙනට් අයියා මගේ චිත්‍රපටය දැකලා හොඳයි කියලා මට ටෙලි නාට්‍යයක් කරන්න කතා කළා. මට ඉතින් වෙන මුකුත් ඕනෙද? මම ඔක්කොම දේවල් අතඇරලා කොළඹ ආවා. දෙවැනි සහය අධ්‍යක්ෂ හැටියට වැඩ කළා විමල් දේශප්‍රිය යටතේ. සයුරෙන් එහා බෙනට් අයියා අධ්‍යක්ෂණය කළේ ඒඩ්ස් නිවාරණ ටෙලි නාට්‍යයක් හැටියට. විජේකුමාරණතුංග නැතිවුණේ ඒ කාලේ. ෂූටින් නවත්තලා කට්ටිය ගියා ඉතිරි දේවල් මට සංවිධානය කරලා තියන්න පහුවෙනිදාට වැඩ කරන්න කියල. එදා තමයි මට සහාය අධ්‍යක්ෂණයේ බරපතළකම තේරුණේ. සංස්කරණය කළේ රවීන්ද්‍ර ගුරුගේ සැලසිනේදි. මාවනැල්ලේ ඉඳන් මම සැලසිනේ එනවා.

බෙනට් අයියා වැඩ ඉවරවෙලා එන්නේ. රෑ මාව කොටුවෙන් දානවා. ගෙදර ගිහින් ආයේ උදේ එනවා. රෂියන් කල්චරල් එකේ, ජර්මන් කල්චරල් එකේ චිත්‍රපට බලන්න යනවා. ඊට වඩා පිටිපස්සෙ ඉඳන් ප්‍රොජෙක්ටර් එක කැරකෙන හැටි තමයි බලන්න ආසා. පිනතූර ගැනිල්ලත් ආයෙ ටික ටික යන නිසා බෙනට් අයියා ඇහුවා අපි කොම්පැනියක් පටන් ගමුද කියලා. බෙන් ෆිල්ම්ස් හැදුණා. මුලින්ම කපිල කුමාර කාලිංගගේ සමුගැනිමේ නවාතැන ටෙලි නාට්‍යය කළා මම කැමරා ඇසිස්ටන්ට්. පරාක්‍රම සිල්වා කැමරාකරණය. ජවිපෙන් මුලින්ම ඒ පැත්තේ තරුණයෙක් මැරුවා. ෂූටින් කැන්සල්. අපි ගෙවල්වල ගියා. දෙවැනි ෂෙඩුල් එකට පරාක්‍රම මහත්මයාට එන්න බැරිවෙලා කීවා මාව දාලා කරන්න කියලා. ඉතින් මම කැමරා ශිල්පියෙක් වුණා. ඒ අතර පොඩි පොඩි වෙළෙඳ දැන්වීම්, ඒ කාලේ සින්දු කෑලි, කැසට් කමර්ෂල් කරනවා. වැඩ ඉවරවෙලා ගෙදර යන්නේ නැහැ. කොළඹ ගෙයක් අරන් ඉන්නේ. කැමරාව පාලනයට හෑන්ඩ් හෙල්ඩ් (කැමරාව අතේ ගෙන යෑම) වැදගත්. මම කරන්නේ ගේ ඉස්සරහ ටෙලිෆෝන් වයර් දිගේ වතුර බින්දු යන විදිහ රූපගත කරලා අත හුරු කරගන්න එක."

ඔය කාලේ නිළියො එහෙම මුණගැහෙනවා කවුරුත් බැල්මක් දැම්මෙ නැද්ද ඇත්තට? මගේ පැනය ඔහු‌ට මහත් හිනාවක් සමඟ දිගු අතීතාවර්ජනයක් ගෙනෙයි.

"මෙහෙමයි ඒක වුණේ. නුවර අපේ ගණන් පන්තියේ හිටියා ගර්ල් කෙනෙක්. මට ඉතින් පන්තියෙදි අහන්න ගට නැහැ. පන්තිය ඉවරවෙලා යද්දි යාළුවෙක් මේ මෙයා කතා කරනවා කිව්වාම ඒ ළමයා නැවතිලා ඇයි? කියල ඇහුවා මම ගොළු වෙලා නෑ කියලා ඇඹරුණා. මේ කියද්දිත් දාඩිය දානවා. ඒ ලැජ්ජාව දැනුත් දැනුණා. පස්සේ තව යාළුවෙක් හරහා ට්‍රයි කළාම යාළුවා මට ලියුමක් බස් එකේ තවත් යාළුවෙක් අතේ එවලා තිබුණා මචං කෙල්ල කැමති නෑ කියලා. ඒක එතනින් ඉවරයි කියලා මම හිටියා. ඒත් මම අර උත්සවවල පින්තූර ගන්නවා කීවේ. ඉස්කෝලෙක අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා එන උත්සවේක පින්තූර ගන්න වෙලා මම කණ්ඩියක් උඩ නැගලා කැමරාව මානන කෙරවලේ අර ගෑනු ළමයා ඉන්නවා. එයා හිනාවුණා. මට ඒවා බලන්න වෙලාවක් නැහැ. කලබලේ පැනගෙන ගිහින් පින්තූර ගත්තා. හිතේ පොඩි ආසාවකුත් ආවා ආයෙ දකින්න. ඒත් දකින්න ලැබුණේ නැහැ. ඒ කාලේ පින්තූර දෙන්නේ නෙගටිව් නම්බර් දාලා නම ලිපිනය ලියලා එහෙමනේ.

ඒකෙන්නෙ තව වැඩ ලැබෙන්නේ. ඔය කාලෙම මම තව කෙටි චිත්‍රපටයක් ඕසීඅයිසී එකටම කළා නැත විරාමයක් කියලා. ඒක සංස්කරණය කරන්න යන දවෙස් මට දිග ලියුමක් එනවා බෝල අකුරුවලින්. අර ගෑනු ළමයාගෙන්. උත්සවේ තිබ්බ ඉස්කෝලෙ විදුහල්පතිගේ නෑදෑයෙක් එයා. පින්තූර ටික විදුහල්පතිට යවලා තියෙන්නේ මේගොල්ලන්ගේ නංගිගේ අතේ. ඒකේ මගේ නම ලිපිනය තියෙනවානේ. මේක සංසාරේ පතාගෙන ආව එකක්. අවුරුදු හතක් ආදරේ කරලා විසි පහෙදි බැන්දා. එයා ධම්මිකා කුමාරි වර්ෂකෝන්. ඒ අතර කොළඹදි කවුරු හම්බුණත් ඒ අයගේ බොරු ආටෝපවලට මම කැමති වුණෙත් නෑ. මට කෙනෙක් ඉන්නවානේ. අපි ඉතින් ටෲ ලව්නේ. දැන් පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ලොක්කාට 25ක් විතර වෙනවා. එයා මා එක්ක වැඩ කරන්න පටන්ගෙන තියෙනවා. දෙවැනියා ඩිසයිනින් පැත්තට බරයි. තුන්වැනියා තාක්ෂණය පැත්තෙන් උසස්පෙළ කළාට චෙෆ් කෙනෙක් වෙන්නයි කැමැතියි කියන්නේ." ඔහුගේ කතාව තරුණයන්ට ආදර්ශයකැයි සිතේ.

"බෙන් ෆිල්ම්ස්වලදි මම දිවුලගේ (සුදත් මහදිවුල්වැව) ධවල රාත්‍රිය ටෙලි නාට්‍යයේ එක කොටසක කැමරා සහායක ගියාට කලින් වගේම දෙවැනි ෂෙඩුල් එකේ කැමරා ශිල්පියාට එන්න බැරුව මම කැමරාව කරනවා. දිවුලා හමුවීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වනවා. ඒ කාලේ එල්ෆින්ස්ටන් චිත්‍රපට උලෙළ බලන්න යනවා, කඩල කකා පාර්ලිමේන්තු පිට්ටනියේ ලොකූ ෆිල්ම් ගැන කතා කරනවා. එයාට එන නිෂ්පාදන, වාර්තා වැඩසටහන්වලට යනවා. බෙනට් රත්නායකගේ ග්‍රහණය ටෙලියෙ තමයි මම කැමරාශිල්පියකු වශයෙන් පූර්ණව කටයුතු කළේ. ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) හඳුනාගන්නෙත් දිවුලා නිසා. ජයන්ත අයියා මට කිසිම දෙයක් නොකියා එක වෙළෙඳ දැන්වීමකදි ඒකටත් අදාළ නැති වගේ අමුතුම ආලෝකකරණ විදිහක් කරන්න කීවා. මම ඒක කළාම වැඩක් තියෙනවා කරමුද කියලා ඇහුවා. ඒ රැජන ටෙලි නාට්‍යය. ඒක ඉවරවුණ දවසේ බදාගෙන කීවා කොල්ලො උඹ මම හිතද්දි හිතලා ඉවරයි. මගේ මුල්ම චිත්‍රපටය කරන්නේ උඹත් එක්ක කියලා. මට මුල්ම ටෙලි සම්මානය ලැබුණෙ ඒකට. මම චන්න දේශප්‍රිය අයියාගෙන් ගිහින් දේවල් ටිකක් අහගත්තා. මම ඒ එක්කම මීටරයක් අරගෙන ලයිටිං තත්ත්වය බලන්න පුරුදුවෙලා හිටියා. මහින්දපාල අය්යා මට රීල් එකක් අරන්දුන්නා, සුමින්ද වීරසිංහ අයියා මට කැමරාව දුන්නා, ලගීනා මීඩියා එක අපට අනෙක් දේවල් දුන්නා, සත්‍යජිත් මාඉටිපෙ‌ගේ බොරදිය පොකුණ කරන වෙලාවේ පාලිත පෙරේරයි මායි අපට ඕනවිදිහට ටෙස්ට් එකක් කරලා බැලුවා. ඊට පස්සේ අග්නිදාහය කළා මගේ පළමු චිත්‍රපට කැමරාකරණයටම සරසවිය සම්මාන ලැබුණා.

ඔහු කළ චිත්‍රපට සංඛ්‍යාව 26 කි. මුල සිටම වෙළෙඳ දැන්වීම් 3000ටත් අධිකය. ටෙලිනාට්‍ය 25 කට අධිකය. රූපවාහිනී වැඩසටහන් 5000කට අධිකය.

ඔබ කැමරා ශිල්පියා හඳුන්වන්න කැමති කොහොමද?

"මුලින්ම තිරපිටපත මම දකින්නේ කොහොමද කියලයි මම හිතන්නේ. මේක තාක්ෂණික කටයුත්තක් නෙවෙයි. මම මුලින්ම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා. මට තේරුණේ නැත්නම් මගේ රූප රාමුව කොහොමද ප්‍රේක්ෂකයා තේරුම් ගන්නේ. ආලෝකය තමයි කතාවට ප්‍රධානව බලපාන්නෙ. ඒ දේවල් අධ්‍යක්ෂ සමඟ කතා කරලා ප්‍රධාන නළුනිළියන් ගැන දැනගෙන, ඇඳුම්, වේශනිරූපණය හා දර්ශන තලය දැනගෙන ඒ අනුව තමයි හිතන්නේ. පාන්දරම පිටපත බලලා අධ්‍යක්ෂට කතාකරලා ඉතිරි දේවල් ගොඩනඟන ආකාරය කතා කරගන්නෙ. මම කැමරාව පිළිබඳ පොත් කියවලා තියෙනවා. ඒත් ප්‍රායෝගිකව ඒ තියෙන දේවල් සියල්ල කරන්න බෑ. අපේ තාක්ෂණික පහසුකම් තිබුණට තිබෙන අයවැය එක්ක හරඹ කරන්න බැරි හේතු තියෙනවා. ඒත් අපට අසමත් වෙන්නත් බෑ. මම විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අත්දැකීම් අනුවයි තීරණය කරන්නේ. අධ්‍යක්ෂවරයාගේ හීනය ඒ විදිහට රූපයට අරන් දෙන එකයි කැමරාකරුගේ වගකීම. ඒ සඳහා අධ්‍යක්ෂව කියවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අධ්‍යක්ෂවරයා කැමරා තාක්ෂණය දැනගැනීමටත් වඩා කතාවට අනුව චරිතවල භාවයන් දැනෙන අයුරින් කැමරා කෝණ තිබිය යුත්තේ කොහොමද කියන එක දන්නවා නම් හුඟක් පහසුයි. අනෙක මේක කණ්ඩායම් වැඩක්. මුළු කණ්ඩායමම එකිනෙකා හඳුනාගෙන සිටීමත් වැදගත්."

රුවන් අයියා මෙතෙක් ආ ගමනත් එක්ක ජීවිතය ගැන හිතන්නේ?

"පුළුවන් තරම් සරල වෙන්න. අනවශ්‍ය හිසේ කැක්කුම් නොගෙන ඉන්න. අපි ප්‍රතිපත්තිගරුකව ඉන්නවා නම් දේශපාලනය, ආගමික සංස්ථා පසුපස යන්න ඕනෙ නැහැ. අපි දෙන්නම කේන්දර වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. එදිනෙදා ජීවිතයට මුහුණ දෙනවා. ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. සම්මාන දෙන්නේ මගේ වැඩේ ගැන සතුටින් නිසා බාරගන්නවා. ඒ හැර මම මහන්සි වුණා මටම දිය යුතුයි කියලා එකක් නෑ. මෙතුවක් කළ නිර්මාණවල වැරැදි මම දකිනවා. ඒත් ඒ අවස්ථාවේ හැටියට ඒ දේවල් කරන්න වුණේ. ඒ නිසා මගේ ඊළඟ නිර්මාණය වඩාත් හොඳට කරලා කාටවත් වරදක් නොකර ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව."

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.