මා ජනපි‍්‍රය වූයේ ‘ඩ්‍රීම් ස්ටාර්’ නිසා

යශෝධා පි‍්‍රයදර්ශනී
නොවැම්බර් 28, 2019

 

 

ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා

වෙන්වෙලා ගිම්හානයේ දුක්වේදනා දරා

කඳුළින්ම ගී ගැයූ සමනල් යාළුවේ අසන්

හිත්යාය මත අපේ මල්යාය යළි පිපේ

 

 

දෙවැනි ඉනිම නාට්‍යය නරඹන ඔබට මේ ගීය කොහෙත්ම ආගන්තුක නැත. එහි ප්‍රේක්ෂකයකු නොවූ අයෙකුට වුවද මෙම ගීය කොහෙන් හෝ සවනත ගැටී ඇතිවගට අපි විශ්වාස කරමු. එතරම්ම එය ජනපි‍්‍රය දිනපතා ඇසෙන ගීයකි. මේ සොඳුරුතම පද මාලාවට හඬ මුසුකරන්නිය යශෝධා පි‍්‍රයදර්ශනීය. රුවින් ඔබ ඇය හඳුනාගත්තේ දෙරණ සිහින තරු මාවතේ හයවැනි අදියරේදීය. එහිදී යශෝධා අනුශූරතාවය හිමිකරගනියි. දිනපතා ඇසෙන දෙවැනි ඉනිමේ ගීයට අමතරව එවැනිම තේමා ගීතයක් ඇය ගයන්නීය. ඒ සිඳූ නාට්‍යයේය. මේ ගීත යුගල නිසා යශෝධාගේ හඬට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි.

 

දිනපතා ඔබේ හඬ ඔබටම ඇහෙද්දී මොකද හිතෙන්නේ?

 

ඒක ඇත්තටම වාසනාවක් කියලා මට හිතෙන්නෙ. හැමෝටම ඒ අවස්ථාව උදාවෙන්නේ නැහැනේ. සිඳු තමයි මං මුලින්ම තේමා ගීතය ගැයු නාට්‍යය. රණ්ඩුවක් වුණේ නැහැ යනුවෙන් තමයි ගීතය පටන්ගත්තේ. ඒක මං විතරක් ගැයූ එකක් නොවෙයි හේෂාන් සත්සර මල්ලිත් මාත් එක්ක ගයනවා. තනියම තේමාගීයක් කිව්ව දෙවෙනි ඉනිමෙ.

කොහොමද ඊට අවස්ථාව උදාවෙන්නේ?

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියෙන් මාව ගොඩක් අය හඳුනාගත්තා. ආයතනයේ උපසභාපති ලක්සිරි සර් තමයි සැම අවස්ථාවක්ම ලබාදුන්නේ. දෙවැනි ඉනිමේ ගීතය හදපු නිමේෂ් කුලසිංහ අයියාවත් මතක් කළ යුතුමයි.

ඔබේ හඬ දිනපතා ඇහෙද්දී පේ‍්‍රක්ෂකයන්ට එපාවෙන්න පුළුවන්.?

ඒක සාපේක්ෂයි . සමහරුන්ට එපාවෙන්න පුළුවන් සමහරු ආසාවෙන්නත් පුළුවන්.

ඍණාත්මක ප්‍රතිචාර එන්න ඇති?

ඔව්. ඔය මං කිව්ව එපාවෙච්ච උදවිය බනිනවා. විශේෂයෙන් යූ ටියුබ් හරහා දෙවැනි ඉනිම බලන අය කියන්නෙ ඩේටා කපාගෙන ඔයාගෙ සින්දුවක් අහන්න ඕනනෙ නාට්‍ය බලන්න කියලා.

 

හඬින් ඔබ රටක් හඳුනනවා රුවින් ?

ඩ්‍රීම්ස්ටාර් බලපු අයට නම් මාව හොඳට මතකයි. යම් අවස්ථාවලදි මං අහවලා, අහවල් ගීතය ගායනාකරන කෙනා කිව්වාම ගොඩක් අය ඇවිත් කතා කරනවා . එතකොට මාර ප්‍රතිචාර ලැබෙනවා.

 

ප්‍රසංග වේදිකාවේදි දෙවැනි ඉනිමේ ගීතය පේ‍්‍රක්ෂකයන් ඉල්ලනවද?

 

ඔව්. ඒක තමයි වැඩිපුරම ඉල්ලන්නෙ. සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල ඉල්ලන්නෙ වේග රිද්මයේ ගීතනෙ. හැබැයි මං රෑ දොළහටත් ස්ටේජ් නැගලා ළංවෙලා වස්සානෙ ගීය ගයනවා. මේ වෙනකම් කවුරුවත් එතනදි හූ කියලා කියා බෑඩ් කමෙන්ට් දීලා නැහැ. කීයට ප්‍රසංග වේදිකාවට ගොඩවැඳුණත් ඔය සින්දුව කියන්නම වෙනවා.

 

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්?

ඔව්. ජයවර්ධනපුර කැම්පස් එකේ හතරවැනි වසරේ මා ඉගෙන ගන්නවා. ව්‍යාපාර කළමනාකරණය තමයි මගේ විෂය. කවදාහරි බැංකුවක රස්සාවක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. මං ගායනය නම් අතහරින්නේ නැහැ.

 

ඔබේ හඬට වසඟවෙලා පේ‍්‍රමාරාධනා කරපු අය ඉන්නවද?

ඉන්නවා. වැඩිය නැහැ. ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙදි එහෙම කෙනෙක් ආවා. මං ඒවෙලාවේ හිතුවෙ මගෙ තරගය ගැන පමණයි.

 

මේ වෙන විට ඔබ පෙම්වතියක්ද?

නැහැ

නාට්‍ය තේමා ගීතවලට අමතරව ඔබ ඔබේම ගීත ගයා තිබෙනවද?

තව නාට්‍ය දෙකක තේම ගීත ගැයුවා. කුමී සහ පාවෙලා වලා කුළේ ඒවිද අම්මා තමයි ඒ නාට්‍ය දෙක. පාවෙලා වලා කුළේ ඒකේ නිරෝෂා චරිතයට තමයි මං ගැයුවේ. පාවෙලා වලාකුලේ කියල තමයි සිංදුව පටන් ගත්තෙ. ඊට අමතරව තම ගීත පහක් පමණ ගයා තිබෙනවා. ඒ අතරින් තාරුකා දෙනෙත් පුරාම සිංදුවට මියුසික් වීඩියෝවකුත් කළා.

 

යශෝධාගේ ගම කොහෙද?

ගිරිඋල්ල

ඉගෙන ගත්තු පාසල?

ඉස්කෝල දෙකකට ගියා. දඹදෙණිය මධ්‍ය මහ විදුහල සහ නාරම්මල මයුරපාද මධ්‍ය විදුහල තමයි ඉස්කෝල

 

මේ තාක් පැමිණි ගමනට තුති පිදිය යුත්තේ කාටද?

දෙරණට. සුනිල් දයානන්ද කෝනාර, නිමල් ජයකොඩි සහ ගුණපාල රත්නසේකර මහත්වරුන්ට

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.