හුස්මක් තරමට “අසලි”

සචිනි රුවන්තිකා
දෙසැම්බර් 12, 2019

හුස්මක් තරමට නාට්‍ය නිසා හුස්ම ගන්වත් බැරි තරම් කාර්ය බහුල වූ කෙනෙක් ඉන්නවා. ඒ තමයි සචිනි රුවන්තිකා. හුස්මක් තරමට නාට්‍යයේ ප්‍රධාන නිළි භූමිකාව රඟන්නේ ඇයයි. ඇගේ චරිතයේ නම අසලි. කෙටි කලක් තුළදී ඉහළම ජනප්‍රිත්වයක් ලැබීමට සචිනි සමත් වුණේ මේ අසලි නිසයි. ඇය රංගනයට එක් වූ මුල් යුගයේ සචිනිගේ පළමු පුවත්පත් ලිපිය ද පළ වුණේ සරසවිය පුවත්පතේ. ඒ හින්දම ඇය සරසවියට නිබඳව ළෙංගතු අයෙක්. සචිනි අසලි ගැන මෙන්ම තමන්ගේ කලා ජීවිතය ගැන අදහස් දැක් වූයේ මෙන්න මෙහෙම.

හුස්මක් තරමට නාට්‍යය නිසා ඔබ නොසිතු විරූ අන්දමින් ජනප්‍රිය වුණා නේද සචිනි?

ඔව් අයියේ. නාට්‍ය කිහිපයක මං කලින් රඟපෑවත් මාව මිනිස්සු අතරට වැඩියෙන්ම ගියේ මේ නාට්‍ය නිසා. 

විශේෂයෙන්ම කා අතරෙද අසලි ජනප්‍රිය?

ම්ම්ම් . . . වැඩිපුරම මට ප්‍රතිචාර දක්වන්නේ ඉස්කෝලේ යන වයසේ ළමයි. ඔය දහය එකොළහ වසරේ අය වගේ. මමත් ඒ වයසේ ශිෂ්‍යාවක් විදිහටනෙ රඟපාන්නේ. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන්නේ ඒක හින්දා වෙන්න ඇති.

ඔබ ඇතුළු කිහිප දෙනා පාසල් නිල ඇඳුමෙන් රංගනයේ යෙදීම කලක් බොහෝ දෙනා දරුණු අන්දමින් විවේචනය කළා?

දැන් නම් ඔය තත්ත්වය ටිකක් අඩුයි අයියේ. ඒ දවස්වල වැඩිපුරම බැන්න එකනෙ කළේ.

පාසල් නිල ඇඳුමෙන් පෙම් ජවනිකා ඉදිරිපත් කිරීම ගැන සචිනිගේ අදහස මොකක්ද?

පාසල් ජීවිතයේ විශේෂයෙන් ඒලෙවල් වගේ කරද්දී ඔය වගේ ලව් එෆෙයාර්ස් තියෙනවා. ඒක හරි නෝමල් දෙයක්. පාසල් ප්‍රේමයක් බොහෝ දෙනෙකුට තියෙනවා. ඇතැම් අය ඒක හංගනවා. පාසල් ඇඳුමෙන් අපි අනවශ්‍ය දේවල් පෙන්වන්නේ නැහැනෙ. මීට පෙරත් පාසල් නිල ඇඳුමින් පෙම් ජවනිකා තිබුණු නිර්මාණ ඕන තරම් තිබුණා.

පාසල් ප්‍රේමය ගැන ඔබ ඉහත කතාවේදි සඳහන් කළා. සචිනිටත් පාසල් ප්‍රේමයක් තිබෙන්නට ඇති?

ඔව් මටත් තිබුණා. ඒක දුරදිග ගියේ නැහැ. මුලදිම තේරුණා මේක කෙරෙන දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා ඒ ප්‍රේමය කාලය එක්ක යටපත් වුණා.

ඔබ සතු ඔබ අකැමැති ගති ගුණයක් තිබෙනවා නම් ඒ මොකක්ද?

ටිකක් මං ආත්මාර්ථකාමියි. මං සමහර වෙලාවට ඒ ආත්මාර්ථකාමිකම වැඩි ද කියලා හිතෙනවා. ඒ වගේම මට පුරුද්දක් තියෙනවා මං හරියට නියපොතු කනවා.

ඔබ මෑතකාලීනව හුඟක් ජනප්‍රිය වුණා. ඒත් ජනපි‍්‍රය නිළියගේ ලිස්ට් එකේ ඔබ නැහැ?

මම දන්නෙ නැහැ ඔය ලිස්ට් එක කොහොමද හැදෙන්නේ කියලවත් සම්මාන ගන්න අය කවුද කියලාවත් මං දැනුම්වත් නැහැ. මාව ඔය ලැයිස්තුවට ඇතුළත් නොවුණට දුකකුත් නැහැ. මොකද මං රඟපාන්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි.

අසලි කියන්නේ නාහෙට අහන්නෙ නැති චරිතයක්. චරිත සොභාවයට අනුව නිතර බැනුම් අහන්න වෙනවා. ඒ අතරතුරදී වෙච්ච අමතක නොවෙන අවස්ථාවක් නැද්ද?

මට කේන්තියෙන් බනින අනෙක් පාර්ශවයන් බනින කොට මට හිනා ගිය අවස්ථා නම් තියෙනවා. හිනාව තද කරගෙන ඉන්න අවස්ථාවලුත් තියෙනවා. බැනුම් අහපු ඔක්කොම අවස්ථා මතකයි. ඊටත් වැඩියෙන් මතක හිනා ගිය වෙලාවල්.

ඔබේ නාට්‍යයේ ඔබ ප්‍රේක්ෂිකාවක්ද?

ඔව්. හැකි සෑම වේලාවකම මං හුස්මක් තරමට නාට්‍ය බලනවා. වෙන එකක් නිසා නෙවෙයි. මං කැමැතියි මගේ අඩුපාඩු හදා ගන්න. නාට්‍ය නැරැඹීම තුළින් මං කරන්නේ මගේ අඩුපාඩු විමසිල්ලෙන් බලලා ඒවා හදාගන්න එක.

සචිනිට ගැළපෙනම පෙම්වතා කවුද? මං ඇහැව්වේ නිර්මාණවලදී?

මගේ උසත් එක්ක මං හිතනවා දෙවුනක පෝරගේව මට ගැළපෙනවා කියලා.

සචිනි මේ වන විට පෙම්වතියක්ද?

නැහැ. පෙම්වතියක් නෙවෙයි.

පමෝද් නිල්රූ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.