විශාල දෙයක් නොකළත් කළ දේ ගැන සතුටුයි

රොහාන් ශාන්ත බුලේගොඩ
දෙසැම්බර් 12, 2019

 

සඳක් නම් බැස යන්න තිබුණා

හඬන අහසට අඳුර දී

මලක් නම් ගිලිහෙන්න තිබුණා

කටු අගට ලස්සන නොදී........

මීට බොහොම කාලයකට ඉහතදී ගැයුණ ගීතයක් මට මතක් වුණා. සඳ බැස ගියත් ඔහු බැස නොයන සඳක්ව තවමත් අපේ සංගීත ක්ෂේත්‍රයට එළිය ගෙනෙනවා. ඔහු රොහාන් ශාන්ත බුලේගොඩ. ගායන ලොවේ සුවිශේෂී චරිතයක්. ජනප්‍රියත්වය පසුපස හඹා යමින් තම නිර්මාණ ගොන්නේ ගොඩ වැඩි කර ගන්නට උත්සාහ දරනා නිර්මාණ කරුවන් අතර ඔහු සුවිශේෂී චරිතයක්. ඔහුට කිසිවිටෙකත් නිර්මාණකරණයට හදිස්සියක් තිබුණේ නැත. කාලය කොපමණ ගතවුවත් තම අනන්‍යතාවය සුරැකෙන යහපත් ගීත කලාවක් වෙනුවෙන් ඔහු හැමදාමත් පෙනී හිටියා.ඒ හින්දම වෙන්නැති පසුගිය කාලය පුරාම ඔහු ගත කලේ තරමක් නිහඩ බවකින් . එහෙත් ගායකයෙකු වශයෙන් හෝ මේ රටේ කලාකාරයෙකු වශයෙන් තමන්ගෙන් කිසියම් වගකීමක් ඉටුවිය යුතු අවස්ථාවක හෝ යුතුකමක් ඉටුවිය යුතු අවස්ථාවක ඔහු කිසිවිටෙකත් එවැනි අවස්ථා මඟහැරියේ නැහැ. ඒ නිසාම අපි පසුගිය දිනක ඔහුගේ නවක තතුත් සංගීත දිවියේ ඉදිරිය පිළිබඳත් කතා බහකට හමු වුණා.

‘‘පහුගිය කාලය පුරාම නව නිර්මානණකරනයේ යෙදුනෙ නැහැ. මට හිතුණා අලුතින් සින්දු කරලා වැඩක් නැහැ කියලා. අපි බොහොම දුක් මහන්සියෙන් සින්දුවක් කලත් ඒක මිනිස්සු අතරට යන්න විදියක් නැහැ. එහෙම යවන්න නම් මාධ්‍ය අවකාශ හදාගන්න විශේෂ පරිශ්‍රමයක් දරන්න සිද්ධවෙනවා. ඒකට වෙනම සටනක් කරන්න ඕන. අනිත් එක අපි ඉස්සර හිතුව ගීතය තුළයි අපි රූප දකින්නේ, රූප මැවෙන්නේ කියලා.නමුත් අද රූප ඇතුළේ ගීත හොයන තත්ත්වයකට අපි පත්වෙලා. බොහෝවිට අපි රූප ඇතුලේ ගීත හොයනවා.ඉතින් මේ තත්ත්වය තුළ මම වසර ගණනාවකින් ගීත එකතුවක් කලේ නැහැ.‘‘

දවසින් දවස කාලයෙන් කාලයට සමාජේ වෙනස් වෙනවා. ඉස්සර අපිට ගීතයක් රසවිඳීන්න තිබුණ එකම මාධ්‍යය වුණේ ගුවන්විදුලිය පමණයි.එහෙත් රොහාන්ලගේ කාලෙ වෙනකොට ඒක කැසට් පට වලටත් සංයුක්ත තැටි වලටත් පරිවර්තනය වෙලා තිබුණා.එය අදවනවිට තවත් වෙනස්කම් වලට භාජනය වෙලා වර්තමානයේ බොහෝ දෙනෙක් කරන්නේ ගීතයක් කරලා යූ ටියුබි එකට මුදාහරින එකයි. නව පරපුර අද ගීත අහනවට වඩා ගීත දකින්නේ යූ ටියුබය හරහායි. තරගකාරී වර්තමානයක් සමඟ උරෙනුර නොගැටුණත් අදටත් සංගීත ක්ෂේත්‍රය පුරා ඔවුන් කළ කී දෑ සදාතනිකයි. තවමත් ඒ ගැයූ ගීමිහිර ශ්‍රාවකයන් තුළ සදා අනුස්මරණීයයි.

නිහඩ අරණ දළු මල් පුබුදයි

ආදරයේ සුන්දර සක්මන්

හඬන ඇසට හසරුල් පළඳයි

ආදරයේ නිම් නැති අභිමන්

බුලේගොඩ ක්ෂේත්‍රයට පැමිණි මුල්ම අවදියේ ජනප්‍රිය වූ ගීතයක් මට මතක් වෙනවා.

‘‘ මම අන්තිමටම ගීත එකතුවක් කළේ 2011 වසරේදීයි.ඉන් පස්සේ ගීත එකක් දෙකක් වරින්වර කරන්න ඇති. නමුත් මම හිතන්නේ නෑ ඒවා මිනිස්සු අතරට ගියා කියලා.අද වෙනකොට ගීත එකතුවක් කරනවා කියන එක නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කරන්නේ ගීතයක් දෙකක් රූප රචනය කරලා නිදහස් කරන එකනේ. මම අන්තිමට කරපු ගීත එකතුවේ ඉතාම හොඳ ගීත ටිකක් තිබුණා.නමුත් ඒකත් රසිකයන් අතරට ගියේ නෑ. මට හිතෙනවා ඒ සඳහා තිබුණු මාධ්‍ය අවකාශය හරිම සීමිතයි කියලා.වර්තමානය වනවිට ගීතයක් රසවිඳීමේ ස්වරූපයත් වෙනස්වෙලානේ. අපි හැමවිටම ගීතයක් ගායනා කරද්දී එහි ශබ්ද රසය ගැන පමණක් හිතන්නේ නෑ. අරුත්බර පද රචනාවක් වෙන්න ඕන. එහි සාහිත්‍ය රසය ගැන හැම විටම කල්පනාකාරී වෙනවා. අනිත් පැත්තෙන් මියුරු ගීතනු නිර්මාණයක් වීම සහ සුගායනීය බව කියන මේ හැම දෙයක් කෙරෙහිම සැලකිලිමත් වෙලා තමයි අපි නිර්මාණයක් එළි දක්වන්නේ නමුත් අද වන විට මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා. බොහෝවිට අද සලකන්නේ ගීතයක ශබ්ද රසය ගැන විතරයි කියලයි මට නම් හිතෙන්නේ වෙලාවකට මට හිතෙනවා අපි යාවත්කාලීන නොවීම අපේ දෝෂයක්ද කියලත්.ඒකේ වගකීමත් යම්තාක් දුරට අපි බාර ගතයුතුයි.නමුත් එහෙම කියලා නිර්මාණයක තිබෙන මූලිකාංග විනාශ වෙන දේ කරන්නත් බෑ.අනිත් පැත්තෙන් කිසියම් දේකට උත්තේජනයක් ඇති වෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මතනේ.ඒ පැත්තෙන් බලනකොට අද ගීත එකතුවක් මිලදී අරගෙන එය රස විඳීන පිරිස හරි අඩුයි.ඇහෙන දේ ඇහෙන්න අරිනවා මිසක් අහන්න උවමනාවකින් ඉන්න පිරිස අඩුයි.‘‘

අපේ සංගීත ඉතිහාසය දෙස බලනකොට අපිට හොඳ සංගීත ශ්‍රාවකයෝ පිරිසක් හිටියා. අතීතයේ ගුවන්විදුලිය ඔස්සේ මේ අය ගීත රසවින්දා වගේම පසු කලෙක කැසට් ගී පට හා සංයුක්ත තැටි මිලදී ගෙනද ඒවා රසවිඳීන්නට පෙලඹී සිටියා. ඒ රසවින්දනයට ඔවුන් ඕනෑ තරම් කාලයද තිබුණා. එහෙත් වර්තමානය වනවිට මිනිසා අතිශයින්ම කාර්ය බහුල වෙලා. කොටින්ම කිවුවොත් අද ඔවුන්ට නිසි වෙලාවට තමන්ගේ ආහාර වේල ලබා ගන්නවත් කාලයක් නෑ. උදේ කාර්යාලයට යමින් ගමන් හෝ කාර්යාලයට පැමිණ වෙනත් වැඩක යෙදෙන ගමන් ආහාරවේල ලබා ගන්නා පිරිස් අද ඕනෑ තරම්.ඉතින් මෙවන් පිරිසකට කෝ සින්දු අහන්න වෙලාවක්. පොතක් පතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න, නාට්‍යයක් බලන්න වෙලාවක් නැති කෙනෙකුට කොහොමද රසාස්වාදයක් ගොඩනැගෙන්නේ. මුදල් පසුපස අධි වේගයෙන් දුවන සමාජයක එහෙම දේවල් සිද්ධ වෙනවා.

‘‘ ඇත්තටම කිවුවොත් ඉස්සර හොඳ රසිකයන් පිරිසක් හිටියා. ඒ රසිකත්වයම තමයි අපි වුණත් අද මේ තැන්වලට ගේන්න හේතු වුණේ.මම ගායකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක්.ඒ හැඟීමෙන් තමයි අපි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අපිට ගීතයක් නිර්මාණය කරත්දී වෙන ප්‍රාර්ථනා , අරමුණු. බලාපොරොත්තු කිසිවක් තිබුණේ නෑ.හොඳ නිර්මාණයක් කරන එක තමයි එකම බලාපොරොත්තුව වුණේ. අද මේක වෙනත් අරමුණු වලට යටවුණු ව්‍යාපාරයක් බවට පත්වෙලා. හැම පැත්තෙන්ම සංකීර්ණ වෙලා. සියල්ල දියුණු වෙන්න ඕන තමයි. තාක්ෂණය පැත්තෙන් අපි ඉහළට යන්න ඕන තමයි. වාණිජ වීමත් අවශ්‍යයයි තමයි. නමුත් මානුෂීය බව රැක ගනිමින් කෙරුණොත් තමයි හොඳ.ඒ ගැන හිතන්නේ නැතුව යන ඕනම කෙනෙකුට ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන් තමයි. නමුත් ගිහිල්ලා ආපස්සට හැරිල බලත්දි ඉතුරුවෙන හරයක් නෑ. එකම දේ ආර්ථික සම්පත්තියම නෙවෙයි.

වානිජවාදී සමාජයක මුදල් යන්න අත්‍යාවශ්‍ය කාරණාවක් තමයි. නමුත් ඔහු විශ්වාස කරන අන්දමට ජීවිතය යනු මුදල්ම නොවෙයි.ඒ හින්දම ඔහු මෙතෙක් ගොඩනඟා ගෙන ආ ක්‍රමවේදය තුළ සැනසිලිදායක සුවයක් අත්විඳීනවා.

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දශක දෙකකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින්. මේ කාලය දිහා ආපස්ය හැරිලා බලනකොට මට කනගාටු වෙන්නට දෙයක් මම කරලා නෑ. මහ විශාල දෙයක් කරලා නැති වුණත් ඒ කරපු කියු දේවල් ගැන කලකිරීමක්, අප්පිරියාවක්, දුකක් කනගාටුවක් මට නෑ.මම මුල්ම ගීතය කළේ 1989-90 කාලයේදී . අදටත් මේ ගීතය ට පෙරදා වගේම මිනිස්සු කැමතියි.මගේ මුල්ම කැසට් පටය තමයි ‘‘ සඳක් නම්‘‘. මේ අතීතය රසිකයන්ටත් තාමත් හොඳට මතකයි. අනිත් එක අතීතය මට සතුටින් මතක් කරන්න පුළුවන්.එක පැත්තකින් ඒක හරි භාග්‍යයක්.අපි සමාජයට දායාද කලේ යහපත් ගීත.මම හිතන හැටියට සුභාවිත ගීත කියලා අමුතු ගීත වර්ගයක් තියෙන්න බැහැ.සුභාවිත නැත්නම් ඒවා භාවිතයට සුදුසු නැහැනේ.රසික ජනමන පෝෂණය කිරීම යමෙක්ට තනිවම කළ හැකි වැඩක් නොවෙයි.ඒ යුතුකම හා වගකීම තියෙන්නේමාධ්‍ය වලට.අයාලේ යන මාධ්‍ය හා එහි සදාචාරය නියාමනය කල යුත්තේ රජය විසින්.එය රජයක වගකීම.මිනිස්සු රජයක් පත් කරල බලාපොරොත්තු වෙන්නේ ඒකයි.මොකද මේ ජනතාවට අයිති ගුවන් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්ට ප්‍රධානය කරලා ඔහේ බලා සිටීම නොවේ රජයක් කළ යුත්තේ.වෙනෙකක් තබා අඩුම තරමින් බස් රථයක නැගලා කනක් ඇහිලා නිදහසේ මනුස්සයෙකුට ගමනක් යන්න පුළුවන් තත්වයක් නොවෙයි අද තියෙන්නේ.කරනවා නම් මේවා සුළු දේවල්.මේ අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම්.”

සංගීත ක්ෂේත්‍රයට ගෙවුණු දශක දෙක පුරා විවිධ රුළි ආවා ගියා. එහෙත් බුලේගොඩ ලා එන එන රැල්ලට ගසාගෙන ගිය වුන් නොවේ.පවතින දෙයක් එක්ක ඔහේ පැටලිලා ඉන්නවාය යන අදහසින් ඔවුන් සපුරා වෙනස් වූවන්.ජීවන ගමන හමුවේ ආර්ථික අර්බූදයන් ඔවුන්ටද නැතුවා නොවේ.

“ මමත් ජනප්‍රියත්වයේ ඉහළ තලවල ඉන්න අවදියේ විවිධ ගණයේ නිර්මාණ කරන්න ඇරියුම් ලැබුණා. පැවතුණු ආර්ථිකයත් එක්ක ඊට හොඳ මුදලකුත් ලැබෙනවා. නමුත් අපි රැකගෙන ආව දේවල් ටික රැකගෙන ඉදිරියට යාමේ වුවමනාව තිබුණ නිසා ඒවට නතු වෙන්න මට හිතක් තිබුණේ නෑ. මට මුදල් තිබුණ කෙනෙක් නොවෙයි. නමුත් මට මුදල් වෙනුවෙන් මගේ ආත්මය පාවා දෙන්න පුළුවන් වුණේ නෑ.මට සමහර ආරාධනා ආවා සංයුක්ත තැටි කරන්න නිෂ්පාදකවරයා කැමැත්තට ගීත 04 ට ඉඩදීලා. මට ඒක කරන්න පුළුවන් වුණේ නෑ. මගේහිත එකඟ නම් ගීත 04 නෙමෙයි ගීත 16 වුණත් නිෂ්පාදක ගේ කැමැත්තට කරන්න පුළුවන් .එහෙම නැතුව මුදල් වලට ජීවිතේ ලංසු කරන්න මම කැමති වුනේ නෑ.එහෙම නොකලා කියලා අද මට මොකුත් නැතිවෙලාත් නෑ. හොඳ මානසික සුවයකින් ජීවත් වෙනවා.

මුලින් සඳහන් කළ පරිදිම බුලේගොඩ කලාවට අවතීර්ණ වන්නේ මුලසිටම වඩවා ගත් අපූරු රසිකත්වයකින් යුක්තව . මේ සඳහා ඔහුට පූර්වාදර්ශ සැපයූවන් බොහෝයි. ගායකයෙකු වන්නට මත්තෙන් ඔහු අමරදේවයන් , සුනිල් එදිරිසිංහ, ටී එම් ජයරත්න . නන්දා මාලිනී, ගුණදාස කපුගේ , සනත් නන්දසිරි. වික්ටර් රත්නායක වැනි ගායක ගායිකාවන් ගේ ගීත ශ්‍රවණය කරමින් හොඳ රසිකත්වයක් ගොඩනගා ගත්තෙක්. ඉන් පසු ඔහු ගේ පාසල් කාලයේදී හමු වූ සංගීත ගුරුවරයා වූ විශාරද එඩිවඩී ජයකොඩි ඔහු ගේ මේ ගමනට පාර කැපූ විශිෂ්ටයෙක්.යහපත් ගමනකට පූර්වාදර්ශ සපයමින් ඔවුන් ලබා දුන් ගුරු හරුකම් අදටත් ඔහු ගේ දිවියට ආලෝකයක් බව ඔහු තදින්ම විශ්වාස කරනවා.

“ මට පූර්වාදර්ශ වුණු ඒ ශ්‍රේෂ්ඨ මින්ස්සුන්ගේ අදහස් ආකල්ප ඇසුරේ තමයි මගේ කලාව පෝෂණය වුණේ. ඒ නිසාම ඒ ආකල්ප , ඒ හැඟීම් , ඒ අරමුණු තවමත් ඒ තැන්වලම තමයි තිබෙන්නේ.ඉදිරියේදී වුණත් නිර්මාණ කිරීමේ උවමනාවක් නැතුවා නොවෙයි. නමුත් අපි මහන්සි වෙලා කරන ඒ නිර්මාණයටත් යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ මාධ්‍යයට. අලුත් ශිල්පියෙකුගෙන් වුවත් ගීතයක් කරමු කියලා ලැබෙන ආරාධනයක් මට පිළිගන්න හිතෙන්නේ නැත්තේ ඒකයි. මට හිතෙනවා අන්තිමට ඒ ශිල්පියාටත් අනේ මේ වියදමි කරපු සල්ලි ටික අපරාදේ කියලා හිතෙයි කියලා.නව නිර්මාණ මිනිසුන් අතරට ගෙනයාම මාධ්‍යයේ වගකීම කියලා මට හිතෙනවා.දැන් හුඟක් වෙලාවට අපි දකිනවා ශිල්පියෙක් ගෙන්වලා වෙනත් ශිල්පියෙක් ගේ ගීත ඔහු ලවා ගායනා කරවනවා වැනි වැඩසටහන්.එහෙම කරනකොට නව නිර්මාණයකටත් ඉඳහිට හෝ වියදම් කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද.දැන් ඉස්සර අපේ ගීත මාධ්‍ය ආයතන වාදනය කරපු නිසානේ අපිත් මේ තැන් වලට ආවේ.නමුත් අද ඔවුන් අතීතය සම්පූර්ණයෙන්ම වලදාලා කටයුතු කරනවා.අද නිර්මාණයක් අගය කරන්න තියෙන්නෙත් වෙනවෙන මිණුම් දඩුනේ.බොහෝ වෙලාවට කතා වෙන්නේ නිර්මාණයේ අගය නොවෙයි.ඒ ප්‍රඩක්ෂන් එකට ගිය සම්පූර්ණ වියදම ගැන, එසේත් නැත්නම් ඒකට පාවිච්චි කරපු කැමරා ගැන ආදියනේ. නිර්මාණයක් හඳුන්වන්න. ගණනය කරන්න සහ අගය කරන්න වෙන වෙන තක්සේරු හා අගයන් තමයි හදාගෙන තිබෙන්නේ.‘‘

නොවෙනස් ප්‍රතිපත්ති වල පිහිටා සිටිමින් යහපත් දෙයක් කලාවට තිළිණ කිරීමේ අපේක්ෂාව පමණක්ම පෙරටු කොට ගෙන මේ ගමන ඔහුට යා හැකිවන්නේ ගායනය ඔහු ගේ වෘත්තීය දිවිය නොවන නිසාමය. තමන්ට වෙනම ජීවනෝපායයක් තිබේනම් නිර්මාණකරනයේදී ප්‍රතිපත්ති ගරුකව ජීවත්වීමට එය මහත් පිටුබලයකි. ඒ ආශිර්වාදය බුලේගොඩට මුල් කාලයේ සිටම ලැබී තිබිණ.

‘‘ ගායකයෙක් විදියට තාමත් මට තැනකට ගියාම සින්දු කියන්න සිද්ධ වෙනවා. අර මුල් කාලේ වගේ කාර්යය බහුල ගායකයෙක් නොවෙයි. නමුත් තාමත් රසිකයෝ මගේ ගීත අහන්න ආසයි. වාණිජත්වයටම කොටු වෙලා මේ ගමන යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. එදා වගේම තාමත් මට තියෙන්නේ හොඳ දෙයක් යහපත් දෙයක් සමාජයට දෙන්න සහ එයින් ආනන්දයක් ලබනවා සේම ප්‍රඥාවටත් යොමු කිරීමයි. ඉස්සරහටත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තියෙනවා නම් ඒක තමයි මම අත්විඳීන සහනශීලී ජීවිතය

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.