විෂම භාග පුළුවන්නම් චිත්‍රපටය ලේසියි

ලලිත් රත්නායකගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ගැන කතාබහක්
දෙසැම්බර් 12, 2019

මෙය ළමා චිත්‍රපටයක්ම නෙවෙයි. ඒ කියන්නේ ළමයින්ට බලලා ළමා මනසින්ම රස විඳීය හැකි චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න බැහැ. ළමයින් ගැන, ළමා මානසිකත්වය ගැන කතා කරන චිත්‍රපටයක්. ඒත් සැම කෙනෙකුටම රස විඳීන්න පුළුවන් කතාවක්.

අතීතයේ සිනමා විචාරකයන් විචාරය සඳහා යොදාගත් පරිනත බව ගැඹුරු ඥානය අද බහුතරයක් විචාරකයන් සතුව නැහැ කියලයි මට හිතෙන්නේ. යම් නිර්මාණයක් පිළිබඳ හරි විචාරයක් සිදුවන විට එය පරිශීලනය කරන අයට විශාල ඥාන සම්භාරයක් ඒ මඟින් ලැබෙනවා. ඒත් අද නිර්මාණකරුවා බලාගෙන ඉන්නවා විචාරකයන්ට තමන් කළ දේ දැනෙයි කියලා.

“වැඩිහිටියකුගේ එක වචනෙකින් පුංචි ළමා මනසකට කොයි තරම් බලපෑමක් කරන්න පුළුවන්ද? අවුරුදු 10ක විතර පොඩි දරුවකුට පාසලේදී දෙන නියෝගයක් නිසා හිතේ ඇතිවන ප්‍රශ්නය නිසා ඇතිවන වේදනාව දරාගෙන දරුවා තමන්ගේ දෛනික ජීවිතය ගත කරන ආකාරය කෙබඳුද? එය ප්‍රේක්ෂකයාට දනවන්න දරන උත්සාහයක් තමයි විෂම භාග. මතුපිටින් කතා කරන්නේ ඒ දේ වුණත් කතාව අභ්‍යන්තරයෙන් ගලා යන තේමාව පිළිබඳ විද්වතුන් මට කීවේ විෂම භාග කතා කරන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන යම් දුර්වලතාවක් ගැන. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියන අතීත අධ්‍යාපන ක්‍රමය අදටත් සරිලනවාද? ඒ කාලේ දක්ෂ ශිෂ්‍යයකු කීවේ ගණිතය, විද්‍යාව වැනි සම්මත විෂයයන්ට හැකියාව ඇති දරුවන්.
ඒත් ඒ ගණිත කුල්ලෙන් බිමට හැළෙන මිණිකැටවලට, සංගීතයට, නර්තනයට, ලලිතකලාවලට ආදරය කරන ඒවාට දක්ෂ ළමයින්ට මේ අධ්‍යාපන ක්‍රමය තුළ මොකද වෙන්නේ කියන ගැඹුරු යථාර්ථය වගේම ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයට වඩා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක වැදගත්කම කුමක්ද? දියුණු රටවල ඒ ක්‍රමය භාවිත කිරීමෙන් කොතරම් ප්‍රතිලාභ ලබා තිබෙනවාද කියන පණිවිඩය විෂම භාග මඟින් කතාවෙනවා.”
විෂම භාග සිනමා පටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සරසවියට ගොඩ වී කීවේ එහෙමයි. පසුගිය දා අප කර්තෘ අරුණ ගුණරත්න සොහොයුරාද සහභාගී වූ ගෝවා හි අන්තර්ජාතික සිනමා උලෙළේදී ‘ආසියාවේ ආත්මය’ අංශයේ තිරගත වූ විෂම භාග මෙරට තිරගත වන්නට නියමිත ලබන සඳුදා (16) සිටයි. දරුවන්ගේ නිවාඩු කාලයේ දින කීපයකට පමණක් සීමා වී ප්‍රදර්ශනය කෙරෙන මේ කෘතිය ඔවුන්ට අපූර්ව අත්දැකීමක් වනු ඇති බව ලලිත් රත්නායක අප සමඟ පැවසුවේ අපේ පැනවලටද පිළිතුරු සපයමින්.

ඔබ මේ අධ්‍යාපන ක්‍රමය විවේචනය කරන්නෙ කුමන පදනමක් මත සිටද?


අපට මඟහැරෙන දේකින් මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නම්. අපි හිතනවා ළමයෙක් ශිෂ්‍යත්වය පාස්වෙලා, සාමාන්‍ය පෙළට ඒ 9ක් අරගෙන, උසස් පෙළට ඒ 4ක් අරගෙන දොස්තර කෙනෙකු හෝ ඉංජිනේරුවකු වීම තමයි ලොකුම දේ කියලා. මමත් විද්‍යාව කළ කෙනෙක් ලෙස කියන්නේ, සැබෑ යථාර්ථය නම් යම් යම් විද්වතුන් විසින් සොයාගන්නා ලද යම් යම් විද්‍යානුකූල මත කටපාඩම් කරලා විභාගයට ඒ පාඩම් කළ ඒවා ලියා විභාගය සමත්වන උගතුන් ලෙස නම් කරන ඒ අය සමාජ ඥානයක් තිබෙන බුද්ධිමතකු බවට පත් වනවාද? කියන ප්‍රශ්නය තිබෙනවා. සමහර විට ඒ පන්තිවලම හැංගිලා ඉන්න පුළුවන් ගණිතය විද්‍යාව බැරි වුණාට චිත්‍ර, සංගීතය වගේ විෂයයන්ට දක්ෂ, මානව ගුණදහම් පිරුණු ළමයෙක්. ඒ ළමයා මේ අධ්‍යාපන ක්‍රමය නිසා මරලා දානවා. එය මේ චිත්‍රපටයෙන් කතා කරනවා.

මේ වගේ මාතෘකාවක් සිනමාවට ගේන්න හිතුවේ?


මෙය කාලීන මාතෘකාවක් නිසා මෙය නිර්මාණය කළා නෙවෙයි. මීට වසර විස්සකට විතර කලින් ඉඳන් මගේ හිතේ තිබුණ කතාවක්. එය හැබැයි සදාකාලිකව ආසියාතික රටවල දකින්න පුළුවන් දෙයක් නිසා ඒ ගැටලුව පවතින තාක් මේ මාතෘකාව කාලීනයි. ඉතින් මේ පණිවිඩය ළමයකුට තමන් ගැන තේරුම් ගන්න, මම කියන අසම්මත ලෙස හිතන ළමයකුට තමන්ගේ වටිනාකම තේරුම් ගන්න, ගුරුවරයකුට තමන් මෙතෙක් කල් උගන්වන ක්‍රමය නිවැරැදිද? දරුවන් ගැන හිතන ක්‍රමය හරිද? කියලා තේරුම් ගන්න, දෙමව්පියන්ට ගණිතය, විද්‍යාව අසමත් අපේ දරුවන් ගැන අප ගන්නා තීරණ නිවැරැදිද කියා නැවත හිතා බලන්න පුළුවන් විදිහේ නිර්මාණයක්. ඊට වඩා ලෝකයක් ළමයින් වෙනුවෙන් විවර කරන්න පුළුවන් කියන පණිවිඩය විෂම භාග තුළින් දෙන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මේ කාලයේ මේ මාතෘකාව කතා කරන එක උචිතයි කියලා මම හිතුවා.

මෙය වර්ගීකරණය කරන්න ඔබ කැමති කෙලෙසද?


මෙය ළමා චිත්‍රපටයක්ම නෙවෙයි. ඒ කියන්නේ ළමයින්ට බලලා ළමා මනසින්ම රස විඳීය හැකි චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න බැහැ. ළමයින් ගැන, ළමා මානසිකත්වය ගැන කතා කරන චිත්‍රපටයක්. ඒත් සැම කෙනෙකුටම රස විඳීන්න පුළුවන් කතාවක්. අනෙක මේ යුගයේ ළමයින් අරමුණු කරගෙන බිහි වුණු බොහෝ චිත්‍රපට කතා කළේ එකම දේ. ළමයින්ට සතුට ගෙන එන්න යම් හේතුවක් උදා කරලා, දුප්පත් අවදියකින් පොහොසත් අවදියකට ගෙනවිත් ඇති කරන සතුට මඟින් ළමයින් සහ වැඩිහිටියන් ඒ චිත්‍රපටය වටා එක්රොක් කරගන්න කළ උත්සාහයන් ලෙසයි මම දකින්නේ. ඒකෙ වරදකුත් නැහැ මොකද වාණිජ සිනමාවකුත් රටේ තිබිය යුතු නිසා. ඒත් මම උත්සාහ කරන්නේ නැටුම් ගැයුම් සමඟ සරල වින්දනයක් ලබා දෙන්න නෙවෙයි. සමාජ පද්ධතියක් තුළ දුෂ්කර ජීවිත ගෙවන පවුලක සිදුවන කතාවක්.

චිත්‍රපටය තැනුණු ආකාරය ගැනත් කතාකරමු?


චිත්‍රපටයේ රූපගත කිරීම් 2018 අගභාගයේ සිට මේ වසරේ පෙබරවාරි දක්වා සිදුවුණා. එතැන් සිට අපි විදෙස් උලෙළ පිළිබඳ උනන්දු වුණා. අපි මුලින්ම නිර්දේශ වුණේ චීනයේ ෂැංහයි නුවර පවත්වන ෂැංහයි අන්තර්ජාතික උලෙළේ හොඳම තිරරචනය සහ හොඳම නළුවාට. එහි අවසන් තරගකරුවන් හතර අතරට පැමිණි නිසා ඇගයීම් සම්මානයක් ලැබුණා. චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම වුණෙත් ඒ උලෙළෙදි. අපට ලැබුණු අන්තර්ජාතික සම්මාන උලෙළවලදී සම්මාන 70ට අධික සංඛ්‍යාවක් හොඳම ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය, සහාය නිළිය, සහාය නළුවා, ළමා නළුවා, කැමරාකරණය, සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය, තිරරචනය ආදී අංශවලින් ලැබී තිබෙනවා. එයින් වඩාත් වැදගත් වන්නේ ෂැංහයි සහ ගෝවා අන්තර්ජාතික සිනමා උලෙළ දෙකයි. මුළු ලෝකයම තරගවදින ඒ උලෙළේ ආසියාවේ ආත්මය ලෙස තෝරා ගන්නා චිත්‍රපට හතෙන් එකක් බවට පත් වුණා විෂම භාග. එය විශාල භාග්‍යයක්. එය තරමක් අමාරු අංශයක්. මේ වන විට සිනමාව පිළිබඳ දන්න, හදාරන අය කියන්නේ ලෝකේ ඒ ශ්‍රේණියේ උලෙළ දෙකක තිරගත වූ එකම චිත්‍රපටය විෂම භාග කියලයි.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙය දකින්න ලැබෙන්නේ?


චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම මුලින්ම කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වගේම එරට වැසියනුත් ශාලා පිරීතිරී යන ආකාරයෙන් හැමදාම සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස පණිවිඩයක් ලංකාවට ආවා මේ වගේ චිත්‍රපටයක් හැදිලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි නවසීලන්තයෙත් මෙය ප්‍රදර්ශනය කළා. මීට මාස 5ට පමණ කලින් අපි ඊඒපී සමාගමත් සමඟ එකඟතාවකට අත්සන් කළා චිත්‍රපට තිරගත කිරීමේ කාලය වෙන් කරන්න. ඒ අනුව දෙසැම්බර් 16 සිට ජනවාරි 26 දක්වා සම්පූර්ණ කාලයට නිදහස් කිරීමක් ලෙස චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තීරණය කළා.


මෙහි නිෂ්පාදනය සංඝයාවහන්සේ නමක විසින් කළේ?


මෙහි මූලික ආශීර්වාදය ලැබුණේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගෙන්. එහි නිෂ්පාදක ලෙස ඉදිරිපත් වන්නේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් අළුදෙණියේ සුබෝධ හිමියන්. මේ චිත්‍රපටයේ විශේෂත්ව ගැන කියනවා නම් ජැක්සන් ඇන්තනි නැමැති සුවි‍ශේෂී රංගන ශිල්පියා ප්‍රථම වරට අන්තර්ජාතික සම්මාන කීපයකින්ම පිදුම් ලැබුවේ විෂම භාගවල හොඳම සහාය නළුවා ලෙසයි. අනෙක හොඳම ශබ්ද නිර්මාණය සඳහා මෙතෙක් ලංකාවට සම්මාන හිමි වෙලා තිබුණේ නැහැ. එය සසික රුවන් මාරසිංහට ලැබුණා. හොඳම සංගීතයටත් අන්තර්ජාතික සම්මානයක් ලැබුණා චාමර රුවන්තිලකට ඔහු මොන්ට්‍රියල් උලෙළෙදී සම්මානයට පාත්‍ර වුණේ. මේ ඔහුගේ පළමුවෙනිම සංගීත නිර්මාණය.

අපි කැමැතියි ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වුණු ආකාරය දැනගන්න?


අපේ තාත්තා අපව නිදි කරන්න කතා කීම නිසා තමයි මට මුලින්ම කතා කීම ගැන ආසාවක් ඇති වුණේ. එකම කතාව කියලා ඇති වුණාම තාත්තා බොරු කතා හදලා කියන්න ගත්තා. ඒ පුරුද්දට මමත් බොරු ගොත ගොත කතා කියන්න ගත්තා. මගේ යාළුවෝ ඒවා ඇත්ත වගේ අහන්න ගත්තා. පාසලේ වේදිකාව තමයි මගේ ගමනේ ආරම්භය. ඊට පස්සේ මම කෙටි කතා ආදිය ලියන්න පුරුදු වුණා. පස්සේ ක්ෂේත්‍රයට තිබෙන ආසාව නිසා 1994 විතර ඉඳන් ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස පූර්ණකාලීනව කටයුතු කළා. වසර කීපයකට පස්සේ මම ටෙලි නාට්‍ය කීපයක් අධ්‍යක්ෂණය කළා. තෙත් සහ වියළි, අරුංගල්, වන් වේ සහ තාත්තා වැනි දීර්ඝ නාට්‍ය සහ ඒකාංගික ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. හැබැයි මේ හැමදේටම වඩා කතා කියන්න පුළුවන් හොඳම දේ සිනමාව කියලා මම දැනගෙන හිටියා. 80-90 ගණන්වල එල්ෆින්ස්ටන් එකේ ඉන්දියානු සිනමා උලෙළකදි සාජි එන් කරුන් අධ්‍යක්ෂණය කළ පිරවි දැකීම තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කියන්න පුළුවන්. ඒ කතාවේ අත්දැකීමක් අපේ ගෙදරත් තිබුණා. අපේ අය්යලාව හොයන්න තාත්තා ඇවිදපු හැටි මට අද වගේ මතකයි. ඒ සියලු අත්දැකීම් එක්ක චිත්‍රපටය බලද්දි මම හිතුවා සිනමාවට එනවාමයි කියලා. ඒ වෙනුවෙන් තමයි මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. අවසානයේ චිත්‍රපටයක් කරන්න ලැබෙන්නේ අවුරුදු 25ට පස්සේ. ඒ තමයි විෂම භාග.

ඔබ වාණිජ හා කලාත්මක චිත්‍රපට අතරින් වඩාත් කැමැති?


වාණිජ හා කලාත්මක වර්ග දෙකම ලෝකේ බිහිවෙනවා. සරල රස වින්දනය එල්ල කරගත් චිත්‍රපට තිබිය යුතුයි ඒ රසිකයන් වෙනුවෙන්. ඒවා නැතිව කර්මාන්තයකට පවතින්න බැහැ. හැබැයි කලාත්මක චිත්‍රපට රටකට අවශ්‍යයි. සිනමාවට කලාත්මක වටිනාකමක් ඇතිවීම රටක් හැටියට වටිනවා. ඒ වෙනුවෙන් හැදුණු සිනමා ශාලා ලෝකෙ රටවල තිබෙනවා.

අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හා අද යුගයේ වෙනසට හේතුව කුමක්ද?


සිනමාවේ වැදගත්ම සාධකය ප්‍රේක්ෂකයා. ඒ යුගයේ රසිකයා රස වින්දේ සිනමාව හා රේඩියෝව පමණයි. සජීවිව මිනිසුන් තිරයක ඇවිදිනවා බලන්න තිබුණු එකම මාධ්‍යය සිනමාව. අද වගේ විවිධ මෙවලම් තිබුණේ නැහැ. අනෙක උසස් රසවින්දනයක් එදා ජනතාවට තිබුණා. ඒකට හේතුව රූපවාහිනිය කියන මාධ්‍යය නොතිබීම. ඒ කාලේ පොතපත රේඩියෝව භාවිත කළ මිනිස්සු හිතෙන් තමයි දේවල් මවා ගත්තේ. පරිකල්පනය දියුණුයි. සිනමාවත් කතා කළේ හිතන්න යමක් ඉතුරු කරලා. ඒත් ටෙලිවිෂනය සියල්ල ඇහැට දෙන්න ගත්තට පස්සේ නිර්මාණශීලීත්වය හීන වුණා. අනෙක සාහිත්‍යය කියන විෂයය ධාරාව පාසල් අධ්‍යාපනයෙන් මීට දශක දෙකතුනකට පෙර ඉවත්වීම. කවිය, ගීතය ආදිය පිළිබඳ පාසල් මට්ටමෙන් ඉගෙන නොගත් ළමයි ලොකු වෙද්දි ඒ අයට උසස් රසවින්දනයක් හෝ සිනමාව පිළිබඳ දැනීමක් නැහැ.
අනෙක අන්තර්ජාලය ඇසුරු කරගත් මෙවලම් නිසා වීඩියෝ කියන මැජික් එක නැතිව යාම නිසා සිනමා ශාලාවලට ගොඩ වෙන්න උත්සාහ නොදැරීම. අනෙක් ප්‍රධානම දේ සිනමා සංස්කෘතියක් කියන දේ අපේ රටේ ගොඩ නොනැඟීම. ඒ සඳහා කතාබහ කිරීමට නම් සිනමාවේ රසය ගැන දන්න පිරිස් බිහිවෙන්න ඕනෙ. එහෙම පිරිසක් බිහිකරන්න අපේ වර්තමාන සිනමාව අපොහොසත් වෙලා තිබෙන නිසා පාසලට, විශ්වවිද්‍යාලයට සිනමාව ගෙනයන්න, සිනමා සමාජ ඇති කරන්න බැරිවෙලා තිබෙනවා. මේ දේවල් නිසා තමයි වෙනසක් ඇති වෙලා තියෙන්නෙ.

සිනමා විචාර පිළිබඳව ඔබේ දැක්ම?


අතීතයේ සිනමා විචාරකයන් විචාරය සඳහා යොදාගත් පරිනත බව ගැඹුරු ඥානය අද බහුතරයක් විචාරකයන් සතුව නැහැ කියලයි මට හිතෙන්නේ. යම් නිර්මාණයක් පිළිබඳ හරි විචාරයක් සිදුවන විට එය පරිශීලනය කරන අයට විශාල ඥාන සම්භාරයක් ඒ මඟින් ලැබෙනවා. ඒත් අද නිර්මාණකරුවා බලාගෙන ඉන්නවා විචාරකයන්ට තමන් කළ දේ දැනෙයි කියලා. ඒත් නිසි අධ්‍යයනයක් නොකිරීම වැනි කරුණු නිසා විචාරයේ ගැඹුර අඩුවෙලා තිබෙන බවක් පේනවා.

සිනමාවේ කුලුඳුල් අධ්‍යක්ෂවරයකු ලෙස නළු නිළියන් පිළිබඳ ඔබේ අත්දැකීම කොහොමද?


මගේ නිර්මාණවල ගොඩක් වෙලාවට ක්ෂේත්‍රයේ තරු දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මහපොළොවේ ඇවිදින මිනිස්සු මගේ කතාවල චරිත බවට පත්වන නිසා දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් මිස තරු නෙවෙයි ඉන්නේ. මගේ නිර්මාණවල මුලින්ම රඟපාලා ඉදිරියට ගිය අයත් ඉන්නවා. මගේ අවශ්‍යතාව පරිදි ඒ අය මෙහෙයවා ගන්න මම උපක්‍රම යොදවනවා. පොඩි දරුවන් මෙහෙයවීමේ වෙනස් ක්‍රමයක් තිබෙනවා. එයට අවශ්‍ය වන්නේ පොඩි අය මේ වැඩේට තිබෙන ආශාව උනන්දුව සහ සංයමය පමණයි. හැබැයි ප්‍රවීණ නළු නළියන් සමඟ කටයුතු කරද්දි තමන් කරන දේ පිළිබඳ කොතරම් අධ්‍යයනයක් සහිතවද දර්ශන තලයට එන්නේ කොයි තරම් කැපවීමක් තිබෙනවාද කියන දේ අපට තේරෙනවා. ඒත් තරුණ පෙළේ බොහෝ නළුනිළියන් අනෙක් සියලු වැඩ අතර වෙලාවක් තිබුණොත් තමයි රංගනයේ යෙදෙන්නේ. ඕක තමයි ලොකුම ප්‍රශ්නයකට තිබෙන්නේ. මම කියන්නේ නැහැ සියල්ලන්ම ඒ වගේ කියලා. ඒ අය අතරත් අධ්‍යයනයේ යෙදෙන කැපවීමෙන් යුතු අය ඉන්නවා. රූපය ඉදිරියට දාගත්තු අය බොහෝ විට කරන්නේ හිටගෙන ඉඳීම පමණයි.

මම මෙතනදි යම් ස්තුතියක් කළ යුතුයි මගේ පිරිසට. මොකද මගේ ප්‍රථම සිනමා පටය නිසා මෙයට දායක වූ රංගන ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් වගේම සියලු දෙනා මුදල් අරමුණු කරනොගෙන සහනශීලී ලෙස දායක වුණා. ජැක්සන් ඇන්තනි, කෞශල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ප්‍රියන්ත සිරිකුමාර වගේ ප්‍රවීණයන් වගේම තිලක්ෂණී රත්නායක, පන්සිළු වික්‍රමරත්න සහ පංකජ වික්‍රමරත්න නිවුන් ළමා නළුවන් දෙදෙනා මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ඒ වගේම පාලිත පෙරේරා ප්‍රවීණ කැමරා ශිල්පියකු ලෙස මට දැක් වූ සහාය අගය කරනවා. විශේෂයෙන්ම නිෂ්පාදකගේ පැත්තෙනුත් මගේ නිර්මාණයට අත නොදා පූර්ණ නිදහස මට දීම ගැන මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

එතකොට අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ මේ නිෂ්පාදක කර්මාන්තයට ඉතුරු කළා කියා හිතනවාද?


අනිවාර්යයෙන්ම. ලංකාවේ කොහොම වුණත් මට පිටරටවලින් ලැබෙන ආරාධනා සමඟ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියන දේ පැහැදිලියි. ඒ නිසා නිෂ්පාදක සුබෝධි හිමියන් තවත් චිත්‍රපට නිෂ්පාදනයකට බිය නැතිව අත තබන ලෙස අලාභයක් නොවන ආකාරයෙන් එය සිදුවේවි. අනෙක ප්‍රේක්ෂකයන් අප වටා රොක් වේවි කියා හිතනවා.

ඔබේ සියලුම තිරපිටපත් ලියන්නේ ඔබ?


ඒක මට පහසුයි රූප සත්කාරය කරද්දි. මොකද තිර රචනය කරද්දිම මගේ ඔළුවේ අවශ්‍ය රූප රාමු මැවෙන නිසා. ඒක එහෙම නොවීම තුළ තිබෙන වාසිය තමයි වෙනත් තිර රචකයකුගේ පිටපතක් කිරීමේදී කරන සාකච්ඡා නිසා වඩා හොඳ දේ අධ්‍යක්ෂවරයාට දැනෙන්න ගන්නවා. ඒත් මම පුරුදුවෙලා ඉන්නේ මගේම පිටපත් අධ්‍යක්ෂණය කරන්න.

විෂම භාගවලින් පස්සේ?


ජීවනෝපාය වන්නෙත් මේ වෘත්තිය නිසා මම වෙළෙඳ දැන්වීම්කරණයේ යෙදෙනවා. චිත්‍රපටයක් කරන්න තමයි ආසාවෙන් ඉන්නේ. මගේ රිද්මයට මට දැනෙන කතාවක් මට දැනෙන ආකාරයෙන් කරනවා මිස කලාත්මක ආකෘතියට සීමාවනවා කියලා කියන්න මම කැමැති නැහැ. හැබැයි බාගවෙලාවට ඊට කලින් ටෙලි නාට්‍යයක් කරන්නත් පුළුවන්. මේ වන විට පොඩි අදහසක් තිබෙනවා නූතන තරුණ පෙළ පිළිබඳ කතාවක් නිර්මාණය කරන්න.

 



 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.