සිංහල ප්‍රේක්ෂකාගාරයට සිනමා සංස්කෘතියක් නැහැ

දෙසැම්බර් 19, 2019

වසර 30කට ආසන්න කාලයක් පුරා අප චන්න දේශප්‍රිය නම ඉදිරියෙන් දකින්නේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ නම් ධුරයයි. එහෙත් ඔහුගේ ගමන් මඟේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ යූ ටර්න් ඔහුගේ නම ඉදිරියට සිනමා අධ්‍යක්ෂධුරය ගෙනාවේය. එම් එන්ටර්ටේන්මන්ට්ස් විසින් නිෂ්පාදනය කළ හත්වැනි සිනමා කෘතිය වන යූ ටර්න් ඒ නමින් නිපදවුණු කොලිවුඩ් චිත්‍රපටයක නැවත නිෂ්පාදනයක් බව රහසක් නොවේ. අපි චන්න දේශප්‍රිය හමු වූයේ කලාත්මක සිනමා ධාරාවේ ගලා ගිය ඔහුගේ දිවි සැරියේ ගැසූ මේ යූ ටර්නය පිළිබඳ ඔහුගේම වචනයෙන් දැන කියා ගන්නටය.

මේ චිත්‍රපටය රී මේක් එකක්. එවැනි නිර්මාණයක් ඔබේ කුලුඳුල් අධ්‍යක්ෂණය බවට පත් කරගන්න හිතුවෙ ඇයි?

ඇත්තෙන්ම නිෂ්පාදකවරයා තමයි මට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ආරාධනා කළේ. ඒ අය නිර්මාණය කරන චිත්‍රපට වර්ගයක් තිබෙනවා. බොහෝ වෙලාවට ඔවුන් යොදා ගත්තේ විදේශීය අධ්‍යක්ෂවරු සහ කැමරා අධ්‍යක්ෂවරුන්. ඒ අතරින් හතරවැනි අධ්‍යක්ෂවරයා බවට පත්වූයේ මම. මට හමු වූ නිෂ්පාදකයාගේ ස්වභාවය තමයි ඒ. ඉතින් මෙය මම හිතාගෙන හිටපු වර්ගයේ හෝ මගේ විදිහේ චිත්‍රපටයක් නොවුණට අධ්‍යක්ෂණය කියන විෂයයට පිවිසෙන්න මට මේ අවස්ථාව වැදගත් වුණා. ඒ වගේම මේ කතාව ආසියානු කලාපයටම පොදු මාතෘකාවක් නිසා මම කැමැති වුණා. පහුගිය කාලේ දකුණු ඉන්දියානු චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපට තරමක් මොඩර්න්. එය අපි තවම ළඟාකරගෙන නැහැ. ඒ සාම්ප්‍රදාය බිඳ දමලා වෙන තැනකින් හිටගෙන සිටින අයගේ කුලකයේ පිහිටි අලුත් පියවරක් තැබූ චිත්‍රපටයක් මෙය. සිනමා භාෂාව වෙනස් කළ යුගයක චිත්‍රපටයක් නිසා යම් වෙනසක් බලාපොරොත්තු වන මිනිසුන් ලෙස එය අපට වටිනවා.

ඔබ කැමරා අධ්‍යක්ෂවරයෙක්. අධ්‍යක්ෂණය සහ කැමරාකරණය අතර වෙනස අත්වින්දේ කොහොමද?

ඒක තමයි දරුණුම ප්‍රශ්නය. බොහෝ වෙලාවට මතයක් තිබෙනවා මිනිසුන් අතර කැමරාකරණය හා අධ්‍යක්ෂණය එකළඟින් යන දෙකක් කියලා. හැබැයි ප්‍රායෝගිකව ගත්තාම ඒ දෙක සම්පූර්ණ වෙනස් විෂයයන් දෙකක්. කැමරා ශිල්පියකු ලෙස තිබෙන අත්දැකීම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂණයට ඕන වෙන්නේ. ඒත් මගේ වෘත්තීය ජීවිතයේ කැමරා ශිල්පියකු ලෙස සිටීම කියන දේ අවශ්‍ය වුණේ කිසිම චිත්‍රපටයක් නොකළ අලුතෙන්ම ක්ෂේත්‍රයට එන අධ්‍යක්ෂවරයකුට වඩා විශ්වාසයක් රංගන ශිල්පීන් ඇතුළු අනෙක් අනුශාංගික අංගවල නිරතවන ශිල්පීන් අතර දිනා ගැනීමට පමණයි. ඒ හැර කැමරා කෝණය පිළිබඳ හෝ කාච ආදිය පිළිබඳ තිබෙන දැනුමට වඩා අධ්‍යක්ෂවරයකුට අවශ්‍ය වන්නේ හොඳ දැක්මක් නැත්නම් ජීවන දර්ශනයක් සහ සෞන්දර්යාත්මක හැඟීමක් බවයි මට දැනෙන්නේ. ඒ නිසා කැමරා ශිල්පියකු‌ට අධ්‍යක්ෂණය ලේසියි කියලා දෙයක් නැහැ.

එහෙනම් අධ්‍යක්ෂණය පිළිබඳ ඔබ‌ට දැන් මතයක් ඇති?

මම තවම කැමති නම් කැමරා අධ්‍යක්ෂණයට තමයි. එහි වෙනම වගකීමක් බරපතළකමක් තිබෙන බව ඇත්ත වුණත් අධ්‍යක්ෂණයට වඩා විශාල නිදහසක් මට කැමරාකරණයේ දැනෙනවා. වසර විසිපහක් තිහක් තිස්සේ මම පුහුණු කළ දේ එය නිසා කැමරාකරණය හෝ ඒ ආශ්‍රිත විෂයයක් කරන්නට යොමු වන ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්‌නෙකුට මගේ ශිල්පීය ක්‍රමවේද අධ්‍යයනය සඳහා සුදුසු මට්ටමේ යැයි හිතෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් මම මේ විෂයයන් දෙක දෙකක් හැටියටම තබා ගන්නවා මිස කැමරාකරණයේ ඉදිරි පියවර අධ්‍යක්ෂණය කියන මතය විශ්වාස කරන්නේ නැහැ. මම දැනටත් වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ කටයුතුවල කැමරාකරණයේ යෙදෙනවා. ඇත්තෙන්ම මට හතරකොන පැනලා වැඩ පෙන්වන්න පුළුවන් කැමරාකරණයේ තමයි. මම එහෙම කියන්නේ අධ්‍යක්ෂණය කියන්නේ වෙනම අධ්‍යයනයක්, ප්‍රවේශයක්, දර්ශනයක් සහිතව වෙනම ප්‍රගුණ කළ යුත්තක් මිස ඒ දෙක පටලවා ගත යුතු නැහැ කියන එක මගේ විශ්වාසය නිසයි. ඇත්තෙන්ම ඒ දෙක එකක් නම් මේ ලෝකයේ අති දක්ෂ කැමරා අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂණයට ඇවිත් කරන නිර්මාණ 'මා..ර' වෙන්න එපැයි. එහෙම නැහැ. කැමරා ශිල්පීන් නිතර පුහුණු කරන්නේ එක එක අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්න. තමන්ගේ ප්‍රකාශනය තියෙන්නේ ඒ තුළයි.

අපි සරලව උදාහරණයකින් කීවොත්?

අපි හිතමු දෙමව්පියන් කියන්නේ අධ්‍යක්ෂවරයා කියලා. ඔහු හිතනවා තමන්ගේ දරුවා මේ පාසලට යා යුතුයි. මේ විෂයයන් ඉගෙන ගත යුතුයි. මේ විෂයය බාහිර ක්‍රියාකාරකම් කළ යුතුයි. මේ ක්‍රීඩාවල නිරත විය යතුයි. මේ කෑම ආහාරයට ගත යුතුයි කියලා. ළමයා ඒ පාසලට යනවා විෂයයන් කරනවා ආහාර ගන්නවා. ඉතින් ළමයා ඒ දේ කරනවා කියලා දෙමව්පියන් සතුටු වෙනවා. හැබැයි ඒ අතර ළමයා කෙල්ලො එක්ක යාළු වෙනවා. ස්කූල් කට් කරනවා. හොරෙන් අයිස්ක්‍රිම් කනවා. වැස්සෙ දඟ කරනවා. කරාටේ පන්ති යන්න දුන්නේ නැත්නම් ස්විමිං යන්නේ නැහැ කියලා හර්තාල් කරනවා. ඒවාට දෙමව්පියන් එකඟ කරගන්නවා. ඉතින් ළමයත් සතුටු නැතුව නෙවෙයිනේ ඒ තීරණවලට. ඉතින් දෙමාපියන් හිතනවා දරුවා තමන් කියන දේ කරනවා කියලා. ඒ අතර දරුවාත් තමන්ට ඕන දේ කරගන්නවා. අන්න ඒ වගේ දෙගොල්ලන්ම තම තමන්ගේ උවමනා එපාකම් ටික කරගන්නවා. අධ්‍යක්ෂවරයා හිතනවා තමන්ට ඕන දේ කරනවා කියලා. ඒ ප්‍රධාන ගමනේ යමින් කැමරා අධ්‍යක්ෂවරයා අර හොරෙන් අයිස්ක්‍රීම් කනවා, කෙල්ලො එක්ක යාළු වෙනවා, හර්තාල් කරලා තමන්ට ඕන දේත් කරගන්නවා වගේ වැඩ කරනවා. දෙදෙනාම සතුටුයි. ඉතින් මගේ කැමරාකරණයත් ඒ වගේ කියලයි මම හිතන්නේ.

අපේසිනමාවේ ආරම්භයේ ඉඳන්මත් මේ රීමේක් ක්‍රමය දිගින් දිගටම දකින්න ලැබෙනවා?

රීමේක් එකක් කීවාම ලංකාව‌ වගේ රටක තිබෙනවා බාර ගැනිමේ පොඩි පැකිලීමක්. ඒත් මේ දේ ලෝකෙම සිදුවෙනවා. ජෝතිපාල කියූ ගීතවලින් භාගයක් විතරම රීමේක් තමයි. ඒක ලෝක යථාර්ථයක්. ඉතින් විචාරය කරලා හෝ මතවාදීව ගහබැනගෙන හෝ මේ දේ වඩා හොඳ තැනකට ගේනවා මිස මේ දේ නතර කරන්න බැහැ. උදාහරණයකට හුස්ම රී මේක් එකක්. යසපාලිත නානායක්කාර වගේ අධ්‍යක්ෂවරුන් තාක්ෂණික පහසුකම් නැති යුගයේ පවා මුල් නිර්මාණයේ වීඩියෝව නරඹලා රීමේක් කළ අවස්ථා තිබෙනවා. හැබැයි රී මේක් එකක් කරනවා කියලා කාටහරි ගිහින් චිත්‍රපටයක් බලලා ඒ වගේ එකක් හදන්නත් බැහැ. ඒ සඳහා ශිල්පීය ඥානයක් වගේම නිර්මාණශීලී බවක් වෘත්තිය මට්ටමක් අවශ්‍යයි. රී මේක් කරන දේ ලෝකේ සිදුවෙනවා. නිෂ්පාදකවරු ඒ සඳහා යොමුවෙනවා. අපි කොහොමද එය සුබවාදී කරගන්නේ කියලයි බලන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඉතිහාස කතා රැල්ලට අපේ යම් විරෝධයක් ආවානෙ. ඒත් ඒවා තාමත් කෙරෙනවා, ඒවාට නිෂ්පාදකවරු ඉන්නවා, ප්‍රේක්ෂක පිරිසක් බලනවා. මේ රටේ නයෙක් ආවා කීවත් බලන්න එන පිරිසක් ඉන්නවනෙ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවානේ යමක් පිළිගන්න ඕනෙ කොහොමද කියලා. එහෙම තියෙද්දි මේ විසිඑක් වැනි සියවසද මන්දා කියලා හිතෙන තරමට ඒ දේවල් පස්සේ මිනිස්සු යනවා. තවදුරටත් කීවොත් මේ රටේ කාම රැල්ලක් ගියා, කොමඩි රැල්ලක් ගියා. එත් අපේ සම්භාව්‍ය සිනමාකරුවා කියන කෙනා ගත්තොත් ඒ අය මේ රැල්ල තමන්ගේ පැත්තට හරවා ගත්තේ නැහැ.

උදාහරණයකට කිසිකෙනෙක් උත්සාහ කළේ නැහැ සුබ සහ යස වගේ චිත්‍රපටයකින් විදග්ධ කොමඩියක් කරන්න. රැල්ලට බැන බැන හිටියා මිස. රජ කතා රැල්ලක් රටේ තියෙනවා. ඒකේ තේරුම රැවුල වවාගෙන ජටා බැඳගත් මිනිස්සු ටිකක් සිංහල අමුතු විදිහට කතා කරන එකද? එහෙම නැතිව අපට බැරිද දුටුගැමුණු රජුගේ මුළුතැන්ගේ ඛේදවාචකය කතා කරන්න. අපේ අය රජකතාවලට තරගෙට හැදුවේ කොළඹ කතා. ඩෙනිම ගහලා ෂර්ට් එක ගලවාගෙන, කොණ්ඩෙ රැවුල වවාගෙන මොනවා හරි කරන එකෙක් ගැන කතාවකින් රජකතාවලට තරගයක් දෙන්න බැහැ. ඒ ප්‍රේක්ෂක පිරිස අද්දවා ගන්නත් බැහැ. මම මේ කියන්නේ මේ විදිහටම දේවල් කරන්න ඕනේ කියලා නෙවෙයි. යම් යෝජනාවක් විතරයි. රීමේක් මමත් දිගටම කරනවා කියලාත් නෙවෙයි. මට කියන්න ලැජ්ජයි ඒත් නොකියාත් බැහැ. සිනමා ශාලා හිමියන්ගෙන් ඇහුවාම ඔවුන් කියන්නේ මේ කොළඹ අවට ශාලා ටික පවතින්නේ දෙමළ ප්‍රේක්ෂකයන් නිසා කියලා. සිංහල චිත්‍රපටයක් තියෙනවා 10.30, 1.15, රාත්‍රි 7.00ට සෙනඟ නැහැ. ඒත් 4.30 දෙමළ චිත්‍රපටයට හවුස් ෆුල් කියලා. ඒකේ තේරුම අපේ මිනිස්සුන්ට සල්ලි නැහැ කියන එක නෙවෙයි. සිංහල ප්‍රේක්ෂකාගාරයට සිනමා සංස්කෘතියක් නැහැ කියන එක. භාෂාව කියන එක අපේ වගේ රටක සාධකයක් තමයි. සමහර විට හොඳ සිංහල චිත්‍රපට නැහැ කියලාත් කෙනෙක් කියන්න පුළුවන්. එහෙනම් මගේ තර්කය ඇයි හොඳ දෙමළ චිත්‍රපටයක් හරි බලන්න අපේ අය යන්නේ නැත්තේ. එකම ආයතනය පවත්වන නාළිකා තුනෙන් හොඳ චිත්‍රපට යනවා කියලා දෙමළ චැනල් එක බලනවාද? නෑනේ. දෙමළ චිත්‍රපට බලන්න යන්නෙත් සල්ලි තියෙනම දෙමළ අය නෙවෙයි. නාට්ටාමිලා, ඈත පළාත්වලින් ඇවිත් බෝඩිං වෙලා ඉන්න පිරිස්. රැජිනි කාන්ත් වගේ නළුවෙක්ගෙ නම් වයසක අය අනිවාර්යයි. මේ තියෙන ජාත්‍යාල කතාවත් එක්ක හරිනම් අපි බලන්නේ සිංහල චිත්‍රපට විතරයි කියලා හරි ගැම්මක් එන්න එපැයි එහෙමත් නැහැ. අනෙකා මොනවද කරන්නේ කියලා ඕපාදූප බලනවා මිස කිසිම දේකට කිසි පියවරක් ගන්නේ නැති ජාතියක් බවට පත්වෙලා. මම ජාතිවාදි කතාවක් නෙවෙයි මේ කියන්නේ. සිංහල චිත්‍රපටවලට විතරයි ප්‍රේක්ෂකාගාරයක් නැත්තේ. ඒ ගැන අපි තව තවත් හිතන්න වෙනවා.

මේකට වගකියන්න ඕනේ සිනමා නිර්මාණකරුවන් නෙවෙයිද?

මෙහෙමයි. මේ හැදෙන චිත්‍රපට ටික ඇත්තෙන්ම හොඳයි. අපේ භාෂාවෙන් හැදෙන චිත්‍රපට අපේ විදිහනේ. හැදෙන අන්තිම සවුත්තුම චිත්‍රපටය ගත්තත් ඒකත් අපේ විදිහෙ එකක්. අපට එයින් හමුවෙන්නෙත් අපවම තමයි. ඔතනින් එහාට මොන විදිහට සල්ලි ලැබුණත් තාක්ෂණය තිබුණත් වෙනස් කරන්න බැහැ. සිංහල භාෂාව කතා කරන අයට තියෙන ප්‍රශ්නය චිත්‍රපටයේ ගුණාත්මක බව නෙවෙයි. ඒක ප්‍රධාන සාධකයක් වෙන්න පුළුවන්. එහෙම නම් දෙමළ චිත්‍රපටවල ඔය කියන තරම් මහ විශාල ගුණාත්මක බවක් තිබෙනවාද? අපෙන් ගිලිහිලා තියෙන්නේ ශාලාවට යන සංස්කෘතිය. එකම රටේ එක භාෂාවකින් කතා කරන අය ශාලාවලට යන්නයි, අනිත් අය නොයන්නයි හේතුව හොයන්න වෙනවා. ඒ ගිලිහීමට හේතුව හොයන එක සිනමාකරුවන්ගේ නෙවෙයි සමාජ විද්‍යාඥයන්ගේ වැඩක් කියලා මතක් කරන්න විතරයි මට පුළුවන්.

මම කීවොත් ගුණාත්මක බව තමයි ප්‍රධානම සාධකය කියලා? මොකද 70-80 දශකවල තැනුණු අතිශය ජනප්‍රිය සිංහල හාස්‍යෝඋත්පාදක චිත්‍රපටයක රීමේක් එකක ප්‍රේක්ෂකයන් වෙනුවට මැස්සො ඇහිරෙනවා? මොකක්ද හේතුව?

ඔබ අදහස්කරන චිත්‍රපටය ඒ කාලේ කරනකොට සමාජය පිළිබඳ ඉතාම සංවේදී ඥානයකින් තමයි ඒවා නිර්මාණය වුණේ. ඒ කාලේ විහිළු අද එහෙමම මේ සමාජයට අතහැරියාම ඒවා වැඩකරන්නේ නැහැ. උදාහරණයකට ඒ කාලේ ලියුමක් ලියන ප්‍රේම කතා අදට ගැළපෙන්නේ නැහැ. අදට ගැළපෙන්නේ මොකක්ද කියලා හොයා ගන්න ඕනා. දෙනවක හාමිනේ එදා කරාබු දාගෙන කළ දේ අදට යොදාගන්න ඔනේ කොහොමද අද සමාජයට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද කියන එක තීරණය කිරිම නිෂ්පාදකවරයාගේ හා අධ්‍යක්ෂවරයාගේ කාර්යයක් තමයි. මොකද අපේ අධ්‍යක්ෂ, නිෂ්පාදකවරු ඉන්නේ ස්වර්ණමය යුගය කියලා බොහෝ දෙනා හඳුන්වන මීට වසර තිහ හතළිහකට පෙර යුගය පිළිබඳ අතීත කාමයක. එතකොට ඒ අය යාවත්කාලින නොවන බවක් පේනවා. උදාහරණයකට අද අපේ කාන්තාවන් බහුතරයක් අඳීන්නේ සාය හැට්ට නැත්නම් කලිසම්. ඒත් අපේ චිත්‍රපටවල ඒ යථාර්ථය පෙන්වන්නේ කීයෙන් කී දෙනාද? ඇත්තෙන්ම මම ස්වර්ණමය යුගය කියන වචනයට එතරම් එකඟ නැහැ. මොකද ඒ තත්ත්වය ඇති වන්නේ සංවෘත ආර්ථික ක්‍රමය යටතේ වෙන කරන්න දෙයක් නැති වීම නිසා. ඉඳලා හිටලා හින්දි චිත්‍රපටයක් ආවට ලෝකයට අපි විවෘත වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපේ දේවල් හොඳ වුණා. ඒ නිසා ඒක ස්වර්ණමය නෙවෙයි සංවෘත යුගය කියන්නයි මම නම් කැමති. ඇත්තෙන්ම මම කියන්නේ සිනමාවේ ස්වර්ණමය යුගය තිබෙන්නේ දැන්. මොකද අපි ලෝකයේ දේවල් දකිනවා. ජනතාව ඒ දේවල් අනුව තීරණ ගන්නවා. චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට පනතෙන් ලැබී තිබෙන බලතල කොච්චරද කියලා දන්නවානේ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් වුණා නම් අපේ සිනමාව මාර තැනකට ගේන්න පුළුවන්. ඒත් අද පාවිච්චි කරන්න පුළුවන්ද? අවරුදු තිහක් පහුවෙනකොට ප්‍රජාවක් ලෙස ලබා ගන්නා ජයග්‍රහණ එක තැනක තියාගන්න බැහැ. ඒවා බෙදිලා ගිහින් තියෙන්නේ. ඒ නිසා ඒ බලතල පාවිච්චි කරන්න ගියොත් ඒ බලධාරියා නිකම්ම කොමඩියක් වෙනවා. වීරයෙක් වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයකයි අපේ සිනමාව පවතින්නේ.

මම වැරදි නම් සමාවෙන්න, වැරැදි නම් නිවැරැදි කරන්න. මම දන්න තරමින් තවමත් ඩිජිටල් පනත සම්මත වෙලා නැහැ. අසූව දශකය වගේ වෙනකොට වීඩියෝ පටවලින් චිත්‍රපට පෙන්වපු නිසා ප්‍රසිද්ධ රැඟුම් ප්‍රදර්ශනය කරන්න පුළුවන් සැලෝලොයිඩ් පටයෙන් කියලා තමයි නීතිය තිබෙන්නේ. ඉතින් කවුරුහරි නඩුවක් දැම්මොත් අද අපි භාවිත කරන ඩීසීපීවලින් චිත්‍රපට පෙන්වන්නත් බැරුව යනවා. එයින් මම කියන්න උත්සාහ කරන්නේ අපේ සිනමාව වෙනුවෙන් තිබෙන නීති රාමුව කොයි තරම් පරණද කියලා. ඒකෙන් ගම්‍ය වන්නේ මේ රටට සිනමාවක් ඕනේ නෑ. සිනමාව තිබෙන්නේ සියලුම දේවල් කරලා ඉතිරි වෙන කාලය සහ මුදලින් තවත් දෙයක් කරලා ඊටත් පස්සේ සලකා බලන දෙයක් හැටියට. ඇත්තෙන්ම සිනමාව වුණත් හැමෝම එක විදිහට රස විඳීන්නෙත් නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ. සමහර විට ෂොපින් යන අතර, එහෙමත් නැත්නම් යමෙක් මුණ ගැහෙන්න වෙලාව එනතුරු කාලය මිඩංගු කරගන්න චිත්‍රපටයක් බලන, නැත්නම් වෙනත් අවශ්‍යතාවලට යන අතර කරන තවත් එක දෙයක් පමණයි. ඒත් යම් ප්‍රතිශතයක් ඉන්නවා සිනමාව රස විඳීන්න එන. අන්න ඒ පිරිස වෙනුවෙන් තමයි අර මුලින් කී පිරිසත් ශාලාවලට අද්දවා ගත යුතු වන්නේ. අද සිනමා සංකීර්ණ තැනෙන්නේ ඒ අරමුණ වෙනුවෙන්.

සිනමාව කියන්නේ ඒ තරම්ම සැහැල්ලු දෙයක්ද?

නැහැ. ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නෙ. රටක ගරුත්වය, අභිමානය සිනමාව කලාව වැනි නිර්මාණාත්මක සන්නිවේදන ක්‍රම මත පවතිනවා. උදාහරණයකට මට ඉරාණ ජාතිකයකු මුණ ගැහුණොත් ඔහු පුද්ගලයකු ලෙස මෙලෝ රහක් නැති කෙනෙක් වුණත් හොඳ සිනමාවක් තිබෙන රටකින් ආ කෙනකු නේද කියන ගෞරවය මට දැනෙනවා. ටිබෙටයෙන් කෙනෙක් ආවොත් එස් මහින්ද හිමියන්ගේ රටෙන් නේද කියලා අපේ ගෞරවයක් ඇතිවෙනවා වගේ දෙයක් ඒක. හොඳ සංස්කෘතියක්, හොඳ අභිමානයක්, හොඳ මානව ගුණාංග තිබෙන ආදරණිය මිනිසුන් ඉන්න මානුෂීය ගනුදෙනුවක් කළ හැකි රටක් කියන හැඟීම ලෝකෙට දෙන්න පුළුවන් සිනමාවෙන්. ඒ සඳහා අද අපේ නිර්මාණකරුවන් සහ ශිල්පීන් පිරිසකුත් බිහි වී තිබෙනවා. මේ වගේ පිරිසක් හදාගන්න සිංගප්පූරුව වගේ රටවල් ඩොලර් බිලියන ගණන් මුදල් වැය කරනවා. අපට ඉබේම ලැබී තිබෙන ඒ සම්පත තව ටික කලකින් නැති වෙලා යන්න කලින් නියම විදිහට කළමනාකරණය කරගන්නයි අවශ්‍ය.

අපි ආයෙත් යූටර්න් එකක් ගමු. චිත්‍රපටයේ අලුත් නළු නිළියන් කීපදෙනකු මේ නිර්මාණයේ දකිනවා. ඔබත් අධ්‍යක්ෂණයට අලුත්. ඒ තත්ත්වය අභියෝගයක් වුණාද?

මේ අය රූපවාහිනී මාධ්‍යයේ කැමරාව ඉදිරියේ සිටි අය නිසා ඔවුන් අලුත් බවක් මට දැනුණේ නැහැ. තව දෙයක් තමයි අපට ශිල්පීන් එකතු කරගන්නත් ඕනා මොකද මම එකඟ නැතත් නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ගේ මතයක් තිබෙනවා. ඒ තමයි ටෙලිවිෂනයේ වැඩිපුර පෙනෙන අය චිත්‍රපටවලට යොදාගැනීම නුසුදුසුයි කියලා. මම රූපවාහිනිය නරඹන්නේ නැති නිසා ඒ නාළිකාවල ජනප්‍රිය අය ගැන අදහසක් මට නැහැ. ඒ නිසා ඒ කතාවේ ඇත්ත නැත්ත මම දන්නෙත් නැහැ. හැබැයි මේ මතය නිසා රූපවාහිනි ක්ෂේත්‍රයේ දක්ෂ නළුනිළියන්, විශේෂයෙන්ම රංගන ශිල්පිනියන් සිනමාවට යෝජනා නොවන තත්ත්වයක් තිබෙනවා. හැබැයි එයින් සිදු වන්නේ දක්ෂයන් සිනමාවට යොමු නොවීම. ඒ නිසාම තමයි සමහර විට රංගන ශිල්පිනීන් හිඟයක් තිබෙන බවකුත් සිනමාකරුවන් වෙතින් කියැවෙන්නෙ.

සිනමා නිර්මාණයක් රූපරාමුවෙන් රාමුවට කොපි කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?

ඒක ප්‍රායෝගිකව කළ හැකි සාර්ථක දෙයක් නෙවෙයි. හැබැයි සංකල්පයක්, වස්තු බීජයක් තිබෙනවානේ. එය අපට ගැළපෙන්න ගොඩනඟන්න පුළුවන්. හැබැයි රූප රාමුවෙන් රාමුවට චිත්‍රපටයක් කරන්න ගියොත් යම් තැනක හිර වෙනවා. එය පුවත්පතක පිටුවකින් විස්තර කරන්න බැරි තරම් තාක්ෂණික කාරණයක්. නළු නිළියන්, ඔවුන්ගේ ස්වභාවය සහ හැසිරීම, දර්ශන තල, භාෂා භාවිතය සහ භාෂා දෙකේ වෙනස වගේ මූලික කරුණු මත මේ දේවල් වෙනස් වන බව සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්නේ. ඒත් රීමේක් එකක මූලික කතාව එයින් වෙනස්වෙන්නේ නැහැ.

ඔබේ ඉදිරි කටයුතු?

මහාචාර්ය සුනිල් ආරියරත්න, අශෝක හඳගම දෙදෙනා සමඟම චිත්‍රපට දෙකක කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න සැලසුම් වෙලා තිබෙනවා. මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල කැමරාකරණය මම බාරදෙන්නේ වෙනත් අයකුට. මොකද තව කෙනකුගෙන් ඒ කෘතියට වෙනස් ප්‍රතිකර්මයක් ලබා දෙන්න මම කැමතියි.

ඔබේ මීළඟ අධ්‍යක්ෂණය මොන ධාරාවේ නිර්මාණයක් වෙයිද?

මගේම නිර්මාණයකට තමයි යොමු වෙලා නම් ඉන්නේ. මම සාමාන්‍යයෙන් වාණිජ සහ කලාත්මක කියන බෙදීමට ඒතරම් එකඟ නැහැ. පොහොසත් චිත්‍රපට දුප්පත් චිත්‍රපට කියනවා හැර වර්ගීකරණය කරන්න හොඳ නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. ඒක උදාහරණයකින් තේරුම් කළොත් පාතර් පංචාලි කියන්නේ පොහොසත් චිත්‍රපටයක්. ටර්මිනේටර් කියන්නේ දුප්පත් චිත්‍රපටයක්.

 

නිශ්ශංක විජේරත්න

 

Add new comment