අපි ලලිත් මාමාගේ ගෙදර නැවතිලා සතියක් පුහුණු වුණා

පන්සිළු - පංකජ “විෂම භාග” සමඟ එන නිවුන් සොයුරන්
දෙසැම්බර් 19, 2019

එකම මුහුණුවර හිමි දෙදෙනෙකු සරසවියට පැමිණ සිටිති. ඔවුන් නිවුන් සහෝදරයෝය. දෙදෙනාගේ වයස අවුරුදු දාහතරකි. සාමාන්‍යයෙන් මෙතෙක් අප සම්මුඛ සාකාච්ඡාවන්ට බඳුන් කළේ තනි තනි පුද්ගලයින්ය. එහෙත් මෙවර දෙදෙනෙකුගෙන් එකවර විස්තර ඇසීමට සිදු වී ඇත. එයට හේතුව මේ සහෝදරයෝ සිනමාපටයක රංගනයේ යෙදෙන බැවිනි. එම චිත්‍රපටයේ නම විෂම භාග වේ. එහිද ඔවුන් රංගනයේ යෙදන්නේ ද අයිය මලෝ හැටියටය. විෂම භාග චිත්‍රපටයේ තිර පිටපත සකස් කරනු ලැබුවේ ද අධ්‍යක්ෂ ලලිත් රත්නායක විසිනි. ඔහුගේ හිතේ මැවුණු නිවුන් සහෝදර යුවළ එක් ළමා නළුවකු යොදා ගනිමින් ද්විත්ව රංගනයක විලසින් රූපයට නැඟීමට පුළුවන්කම තිබිණ. තාක්ෂණය ද ඉහළ මට්ටමක පැවතෙන මේ යුගයේ එම කාර්යය ඉතා සුළු දෙයක් වන්නේය. එහෙත් නිවුන් සහෝදරයන් දෙදෙනෙකුම යොදා සිනමාපටය නිර්මාණය කිරීමට ලලිත් උත්සාහ ගත්තේ විෂම භාග තවත් සාර්ථක කර ගැනීමේ අරමුණිනෙි. එහෙත් රඟපෑමට කැමැත්ත ඇති ඒ වයසේ පසුවන චරිතයට ගැළපෙන ළමා නළුවන් දෙදෙනෙකු සෙවීම පහසු වූයේ නැත. තමන්ට අවශ්‍ය ළමා නළුවන් දෙදෙනෙකු මුණ නොගැසූණු බැවින් සිනමාපටයේ රූපගත කිරීම ද නවතා තබා තිබිණ. පංසිළු වික්‍රමරත්න සහ පංකජ වික්‍රමරත්න යන නිවුන් සොහොයුරන් පෙනී සිටි දින දර්ශනයක් ලලිත්ගේ නෙත ගැටෙන්නේ ඔය මොහොතේදීය

ඊට පස්සේ මොකද වුණේ පංසිළු . . . මා හැරුණේ දෙසොහොයුරන්ගේ අයියා දෙසටය.

මං පන්සිළු නෙවෙයි. පංකජ මං මල්ලි. මේ ඉන්නේ අයියා . . .

මා අලි අමාරුවක වැටී ඇති වග දැනුණේ පංකජ පැවසූ දෙයිනි. ඔවුන්ගෙන් අයියා කවුදැයි කිසිසේත්ම අනුමාන කර ගැනීමට නොහැකි විය.

හරි හරි . . . මං තමයි පංසිළු. පංසිළු සපථ කරමින් කියා සිටි බැවින් මම ඔහුගෙන් පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියෙමි.

ලලිත් මාමා අපේ කැලැන්ඩරේ දැකලා අපිව ගෙන්නුවා. පිටපත අතට දීලා ඩයලොග්ස් කියන්න කිව්වා. ඊට පස්සේ විශේෂ දෙයක් කිව්වෙ නැහැ. ගෙදර ගියාට පස්සේ කෝල් කරලා කිව්වා චරිත දෙකට දෙන්නව තෝරගෙන ඉන්නවා කියලා. අපිට ගොඩක් සතුටු හිතුණා නේද මල්ලි . . .

ඔව් . . . අපි ගෙන්නුවා කොළඹ, වර්ක්ෂොප් කිහිපයක් තිබුණා. කොළඹ ලලිත් මාමාගේ ගෙදර නවත්තගෙන සතියක් විතර පුරුදු පුහුණු කළා. චිත්‍රපටයේ චරිත අපිට හොඳින් කරන්න පුළුවන් වුණේ ඒකයි.

මීට කලින් කැමරාවක් ඉස්සරහ රඟපාලා නැද්ද?

දෙදෙනාම නැහැ යන්න හැඟවීමට ඔළු දෙපසට වැනූහ.

ඉතින් කැමරාව ඉස්සරහ මුලින්ම රඟපාපු දිනය මතකද?

අම්මෝ . . . මතකයි මතකයි.

දෙදෙනාගේම දෑස් විසල් වී එලෙස කියවිණ. එහෙත් පිළිතුර මල්ලිගෙනි.

අපි දෙන්නම හොඳටම බය වෙලා උන්නේ. ටිකක් වෙලා යනකම් හරියට රඟපාගන්න බැරි වුණා. ලලිත් මාමා බැන්නේ එහෙම නැහැ. පස්සේ පස්සේ හරි ගියා.

විෂම භාග නිසා අයියයි මල්ලියි දෙන්නම අන්තර් ජාතිකව සම්මානයට පාත්‍ර වුණා නේද?

අයියටයි මටයි දෙන්නටම සම්මාන ලැබුණා. හොඳම නළුවා හොඳම සහාය නළුවා හැටියට. දැනට අපිට අතට සම්මාන හයක් ලැබිලා තියෙනවා.

චිත්‍රපටයේ ඔය දෙන්නා ආසාවෙන්ම කරපු දර්ශනය මොකක්ද? ඒ පැනයට දෙන්නටම සිනහ පහළ වුණා.

මල්ලි කියන්නකෝ අර සිද්ධිය, හකුරු කෑව එක.

පංසිළු මල්ලිට හකුරු කතාව මතක් කරන්න කිව්වා.

මට හකුරු කන්න තිබුණා දර්ශනයකදී. කෑවා කෑවා හොඳටම කෑවා. පැණි රසට මත් වෙලා වගේ හිටියේ. හකුරුනෙ, කන්න බැරි නැහැනෙ.

දර්ශන තලයෙදි තව අපුරු දෙයක් වුණා. ඔය දෙන්නා අනන්තවත් මාරු වුණාලු?

පංසිළු - අපි දෙන්නා මාරු වුණා තමයි. සමහර මාරු වුණ වෙලාවල්වලදී දෙන්නා සද්ද නැතුව හිටියා. අන්තිමේ ප්‍රඩක්ෂන් ටීම් එකේ මාමා කෙනෙක් තමයි සැකයට බලන්නේ මේ රඟපාන්නේ හරිම කෙනාද කියලා. එයාට තමයි ගොඩක් වෙලාවට අපි දෙන්නව අහු වුණේ.

ඔය දෙන්නගෙ පාසල මොකක්ද?

පංකජ - අපි මුලින්ම ගියේ අහුන්ගල්ල රාජපක්ෂ මහ විදුහලට. විෂම භාග රඟපාද්දී අපි ඉගෙන ගත්තේ ඒකේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ අළුදෙණියේ සුබෝධි හාමුදුරුවොනෙ. උන්වහන්සේ අපට කඩුවෙල මහමෙවුනා අසපුවට සම්බන්ධ මහමෙවුනා බෞද්ධ විදුහලට යන්න අවස්ථාව ලබා දුන්නා. දැන් අපි ඉගෙන ගන්නේ ඒකේ.

පංසිළු කියන්නකෝ අම්මාගේ තාත්තාගේ විස්තර?

අම්මා තුෂාරි පි‍්‍රයංගිකා ද සොයිසා. තාත්තා සමන්ත උදය වික්‍රමරත්න.

පංකජ කැමැති ලොකු වුණාම කවුරු වෙන්නද?

මං කැමැතියි එකවුන්ටන් කෙනෙක් වෙන්න.

එතකොට පංසිළු?

මැකැනික් කෙනෙක් වෙනවා.

පංකජ සහ පංසිළු ඇවිත් හිටියේ ඔවුන්ගේ පියා එක්ක. ඔහු අපට පැවසූ අදහසකින් මේ සාකච්ඡාව හමාර කරන්න හිතුවා.

විෂම භාග කියන්නේ ළමයින්ටත් වඩා ගුරුවරුන්ට උචිත චිත්‍රපටයක්. විෂම භාග කතාවේ එන සිද්ධියට සමාන දෙයක් මං පොඩි කාලෙ මටත් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයටත් තදින් බලපෑවා. ඒ නිසා තමයි මං කියන්නේ චිත්‍රපටය වඩාත් උචිත ගුරුවරුන්ට කියලා. ආදායම යොද වන්නේ උතුරු මැද පළාතේ ජල ව්‍යාපෘතියක් සඳහා. ඒ පළාතේ සමහර පැතිවල මිනිස්සු දරුණු අන්දමින් වකුගඩු රෝගයට මුහුණ දීලා තියෙනවා. ඒ ප්‍රදේශවලට පිරිසුදු ජලය ලබාදෙන්නයි චිත්‍රපටයේ ආදායමෙන් කරන්න හදන්නේ. ඒ නිසා මේ චිත්‍රපටය නැරැඹීමම පුණ්‍ය කටයුත්තක් වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.